ජගත් ගේ සතියේ සටහන - 90
විජේදාසට රුපියල් කෝටි 50 ක වන්දියක් ගෙවන්න අධිකරණයෙන් ලේක් හවුසියට නියෝග
ශ්‍රී ලංකාවේ පැරණිතම පුවත්පත් ආයතනය සහ ආණ්ඩුවේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් 'ලේක් හවුස්' ආයතනය වැසී යෑමේ අනතුරකට මුහුණ පා තිබෙනවා.
ඒ අපහාස නඩුවක තීන්දුවක් දෙමින් හිටපු ඇමතිවරයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට රුපියල් කෝටි පනහක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලේක් හවුස් ආයතනයට නියෝග කිරීම නිසයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයකට අපහාස නඩුවක දී ගෙවීමට නියම වූ, විශාලතම වන්දි මුදල වන මෙම රුපියල් කෝටි 50 ක ගෙවීම, විශාල මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින 'ලේක් හවුස්' ආයතනයට බරපතල ප්‍රශ්නයක් බව ආරංචි මාර්ග පවසනවා.
2005 පැවති මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු ලෙස, කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ, විජේදාස රාජපක්ෂ මහතා, 2007 වසරේ අයවැය විවාදය අවස්ථාවේ, පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කොට, විපක්ෂයට ගොස් අසුන් ගත්තා.
මෙම සිද්ධිය විවේචනය කරන පිටු දෙකක දේශපාලන තීරු ලිපියක් 'සිළුමිණ' පළකොට තිබුණේ රාජපක්ෂ මහතාට තදින් ම පහර ගසමිනුයි. මෙම ලිපියෙන් තමාගේ කීර්ති නාමයට හානි සිදුවූ බව පවසමින් විජේදාස රාජපක්ෂ මහතා රුපියල් මිලියන 500 (කෝටි 50) ක වන්දියක් ඉල්ලා 2009 වසරේ දී ලේක් හවුස් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා.
මේ වන විට ලේක් හවුස් ආයතනයේ සභාපතිව සිටි බන්දුල පත්ම කුමාර මහතාත්, සිළුමිණ කතුවරයා ව සිටි කරුණාදාස සූරියාරච්චි මහතාත් ලිපිය ලියූ මහින්ද අබේසුන්දර මහතාත් මේ වන විට ජීවතුන් අතර නැහැ.
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට හා සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියාරච්චි මහතා වග උත්තර කරුවන් ලෙස නම් කරමින් පවරා තිබූ මෙම නඩුව විභාග කළ දිසා අධිකරණය 2013 ජුලි මාසයේ දී මෙම නඩුවේ තින්දුව ප්‍රකාශ කරමින් රුපියල් මිලියන 500 ක වන්දියක් රාජපක්ෂ මහතාට ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළා.
ලේක් හවුස් ආයතනයට එරෙහිව දිසා අධිකරණ තීන්දුව දී තිබෙන්නේ ඒකපාර්ශිකව යි. ඒ අවස්ථාවේ ලේක් හවුස් ආයතනය වෙනුවෙන් පෙනී සිටිය නීතිඥවරිය, වැරදීමකින් වෙනත් අධිකරණයකට ගොස් වාඩිවී සිටිය බව යි පැවසෙන්නේ. පසුව තමන් පැමිණ ඇත්තේ වාරදි අධිකරණයකට බව දැනගත් නීතිඥවරිය දිසා අධිකරණය වෙත ගොස් ඇති නමුත්, ඒ වන විටත් ඒකපාර්ශ්විකව තීන්දුව දී අවසන්.
මෙම තීන්දුවට විරුද්ධව ලේක් හවුස් ආයතනය අභියාචනාධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කළ අතර එම අධිකරණය 2019 මැයි 30 වැනි දින එම අභියාචනය නිශ්ප්‍රභා කරමින් නියමිත වන්දි මුදල පෙත්සම්කරුට ගෙවන ලෙස ලේක් හවුස් ආයතනයට නියම කළා.
ඉන්පසු ලේක් හවුස් ආයතනය මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනය දීර්ඝ විමර්ශනයකින් පසුව 2025 ඔක්තෝම්බර් 14 දින නිශ්ප්‍රභා කළා.
මේ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජේදාස රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 500 ක් ගෙවන ලෙස දුන් තීන්දුව බලාත්මක වෙනවා.
මේ අනුව දිසා අධිකරණය විසින් 2013 ජුලි 05 දින දුන් තීන්දුව අනුව විජේදාස රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 500 (කෝටි 50) ක වන්දිය ගෙවීමට සිදුවන්නේ එම තීන්දුව දුන් දිනයේ සිට යි. රුපියල් කෝටි 50 ක මුදලට මේ කාලය තුළ පොලිය ද එකතු වන බැවින් ලේක් හවුස් ආයතනයට ගෙවීමට සිදුවන වන්දි මුදල රුපියල් කෝටි 100 කට ආසන්න මුදලක් වනු ඇති බවයි මුල්‍ය විශේෂඥයින් පවසන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් බැවින් මෙම වන්දිය ගෙවීමට ලේක් හවුස් ආයතනය බැඳී සිටිනවා.
බැංකු ණය අයිරා ලබාගනිමින් ඉතා අසීරුවෙන් පවත්වා ගෙන යන ලේක් හවුස් ආයතනයට මෙම මුදල ගෙවීමට නම් එහි වත්කම් හා දේපොළ විකිණීමට සිදුවන බව ද මුල්‍ය විශේෂඥයින් පවසනවා.
මේ තත්වය යටතේ 800 ක් පමණ වන ලේක් හවුස් සේවකයින්ගේ රැකියාඅවදානමකට මුහුණ දී සිටින බවයි එහි වෘත්තීය සමිතිපෙන්වා දෙන්නේ.
දිවංගත ඩී. ආර්. විජේවර්ධන මහතා විසින් 1926 දී ආරම්භ කරන ලද ලේක් හවුස් ආයතනයට වසර 100 ක් සම්පූර්ණ වන්නේ ලබන වසරේ දි. මෙතෙක් කල් නොයෙකුත් බාධක මධ්‍යයේ අඛණ්ඩව පවත්වා ගෙන ආ මෙම ආයතනයට අත්වී ඇති ඉරණමට ජනතාවගේ අවධානය යොමුවිය යුතු බවයි එහි සේවකයින් පවසන්නේ.
⚫ ⚫ ⚫ ⚫ ⚫ ⚫ ⚫ ⚫ ⚫
පළාත් සභා ඡන්දෙ මාර්තුවේ දී
වසර 9 ක සිට කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ දී පමණ පැවැත්වීමට ආන්ඩුව අදහස් කොට ඇතැ යි ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.
ඉන්දියාවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම නිසා පළාත් සභා මැතිවරණය තව දුරටත් කල් දැමිය නොහැකි තත්වයක් පවතින බව යි දැනගන්නට තිබෙන්නේ.
මේ අතරේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ද ලබන වසරේ මුල් භාගයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන පළාත් පාලන මැතිවරණය සඳහා දැන් සිට ම සූදානම් වෙනවා.
මරික්කාර් මහ ඇමති තනතුරට තරග වදින්නට ඉල්ලයි
පළාත් සභා මැතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා සමගි ජන බලවේගය පසුගියදා පුවත්පත් දැන්වීමක් මඟින් අයදුම්පත් කැඳවා තිබුණා. ඒ සඳහා දැනටමත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මේ අතර දැනට පාර්ලිමේන්තුවේ සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් මන්ත්‍රී ධූරවලින් ඉවත් වී පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා පක්ෂයෙන් අවසරය ඉල්ලා ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
එස්. එම්. මරික්කාර් මහතා බස්නාහිර පළාත් මහ ඇමති ධුරය සඳහාත්, වයඹ පළාත් සභාවට තුෂාර ඉඳුනිල් මහතාත්, සබරගමුව පළාත් සභාවට හේෂාවිතානගේ මහතාත්, මහ ඇමති ධූරාපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට දැනටමත් ඉල්ලා ඇති බව ද දැන ගන්නට තිබෙනවා.
හිරුණිකා මහ ඇමති ධූරයට තරගයට!
මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ධුරාපේක්ෂකත්වය ඉල්ලා ඇති බවත් පැවසෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඉකුත් සතියේ රැස්වී ඇති අතර එහි ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ පළාත් සභා මැතිවරණය යි.
දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න අයට සජිත්ගෙන් දෝස් මුරයක්
පළාත් සභා මැතිවරණය පැවැත්වුණොත් සමගි ජන බලවේගයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ සියලුම ආසන සංවිධායකවරුන් ඒ සඳහා තරග කළ යුතු යැ යි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර එම යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව අනුමත කර තිබෙනවා.
''අපට මේ වෙලාවේ ඕනෑ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන දිනන පැත්තකට පනින්න බලාගෙන ඉන්න අය ඉන්නවා නම් කරුණාකර දැන්ම ම අයින් වෙන්න" යි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබෙනවා.
සහෝදර පක්ෂ එකට වැඩ කිරීම පොදුජන පෙරමුණ සාකච්ඡා
මේ අතර විපක්ෂයේ සහෝදර පක්ෂ සමඟ එකතු වී වැඩ කිරීම සඳහා සාකච්ඡා මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා තිබෙනවා. එම පක්ෂය සමඟ සාකච්ඡා කිරීම සඳහා සංජීව එදිරිමාන්න හා ඩී. වී. චානක යන මහත්වරු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කොට තිබෙනවා.
ඒ යටතේ ප්‍රධාන සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ දී පසුගිය සතියේ පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරුන් හා උදය ගම්මන්පිල, සංජීව එදිරිමාන්නහා ටිරාන් අලස් යන මහත්වරු ද, එම සාකච්ඡාවට සහභාගි වූ බවයි වාර්තා වෙන්නේ.
පොදු ප්‍රශ්නවල දී එකට එකතු වී වැඩ කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
එජාප යේ මතය - සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට 
මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයඑක්ව කටයුතු කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් කබීර් හෂීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව කබීර් හෂීම් මහතා පසුගිය සතියේ ප්‍රේමදාස මහතාට භාර දී තිබෙනවා.
එය අධ්‍යයනය කොට තම අදහස් ප්‍රකාශ කරන බව ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයට පැවසූ බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සජිත් ගේ අකමැත්ත
එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත්තේ විපක්ෂයේ සියලුම පක්ෂ සමඟ එක්වී පොදු සන්ධානයක් වශයෙන් කටයුතු කිරීමයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳව සකස් කොට ඇති නිවේදනයේ දක්වා තිබෙනවා.
එහෙත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු පක්ෂ සමඟ එක්වී සන්ධාන ගත වීමේ යෝජනාවට අකමැත්ත පළ කොට ඇති බව යි දැනගන්නට තිබෙන්නේ.