උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

පනත සම්මත වුණාට පස්සේ මහින්ද නිල නිවසින් යනවා – සාගර කියයි

ජගත් ‌ගේ සතියේ සටහන - 84

අයිස් නමැති විෂ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කිරීම සඳහ පකිස්ථානයෙන් ගෙන්වන ලදැ යි කියන රසායනික ද්‍රව්‍ය කිලෝ 50, 000 ක තොගයක් ඉකුත් සිකුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණියේ තෝරයාය ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබිය දී පොලිසියේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට උදව් දෙන දේශපාලනඥයින් ගැන ද, තොරතුරු හෙළිවෙමින් පවතින බව නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගල මහතා පවසනවා.

පසුගිය දා ඉන්දූනිසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, ඇතුළු පාතාල නායකයින් පස් දෙනාගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වල දී ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම රසායනික ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව යි පොලිසිය කියන්නේ.

පිඟන් භාණ්ඩනිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වන මුවාවෙන් අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා ගල් විශේෂයක තොගයක් කන්ටේනර් දෙකකින් මෙරටට ගෙන්වා ඇත්තේ ඉකුත් ජනවාරියේ දී බව යි පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබෙන්නේ.

මෙම ගල් විශේෂය වළදමා තිබී ඇත්තේ මිද්දෙණියේ තෝරයායේ පෞද්ගලික ඉඩමක බවත්, එම ඉඩම විශාල තාප්පයකින් ඉදිකොට සී. සී. ටී. වී. කැමරා ද සවි කර තිබි බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර තංගල්ලේ නැාල්පිටිය ප්‍රදේශයේ ඉඩමක වළලා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය බවට සැකකරන තවත් ගල් තොගයක්, ඊයේ (06) පොලිසිය විසින් සොයාගෙන තිබුණා.  

මේ සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන පියල් මනම්පේරි නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී තිබෙනවා. මොහුගේ සහෝදරයා ද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ සිද්ධියෙන් පසු පියල් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවා ඇති බව ප්‍රකාශ කළා.

පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවට හොඳ තුරුම්පුවක් වී තිබෙනවා. ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවසන්නේ මේ රටේ පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට හා මුදල් විශුද්ධිකරණයට දේශපාලන රැකවරණය ලැබී තිබුණු බව යි.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පාතාලයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබී තිබු දේශපාලන රැකවරණය අහිමිවීම නිසා දැන් එම ජාවාරම් ඇල්ලීමට හැකිවී තිබෙන බව ද ඔවුන් ප්‍රකාශ කළා.

මේ අතර මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා මිද්දෙණියේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය රජයේ ප්‍රධානීන් කිහිප දෙනකු සමඟ සිටින ඡායාරූප කිහිපයක් මාද්‍ය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දේශපාලන ආරක්ෂාව ලැබී තිබු අන්දම මේවායින් පැහැදිලි වෙන බව යි.

විපක්ෂයේ සියලු පක්ෂ දැඩි ලෙස කලබලයට පත්වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මත්කුඩු සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවීමට පියවර ගත් බවත්, මේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණ සිදුකොට මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කරන්නට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට තම පක්ෂයේ සහයෝගය දෙන බවත් කියා සිටියා.

''ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණ අවුරුද්දකටත් කිට්ටු වුණා. හොරු අල්ලනවා යි පොරෝන්දු වී බලයට පැමිණි මේ ආණ්ඩුව කෝ හොරු ඇල්ලුවාදැ යි පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ නායකයින් පසුගිය කාලයේ ආණ්ඩුව සමච්චලයට ලක් කරමින් විවිධ ප්‍රකාශ සිදු කළා.

එයට පිළිතුරු වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ''ඔව් අපි හොරු අල්ලා දඬුවම් දෙනවා. හැබැයි එතකොට කෙඳිරි ගාන්න එන්න එපා" යනුවෙන් ප්‍රකාශ කළා.

එහෙත් පසුගිය දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමත් සමඟ විපක්ෂයේ සියලු පක්ෂ දැඩි ලෙස කලබලයට පත්වී සිටිනවා.

විපක්ෂය පවසන්නේ වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම, දේශපාලන පළිගැනීමක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අදීන් මෙය හැඳින්වූයේ ව්‍යවස්ථාමය ආඥාදායකත්වයක් කරා අණ්ඩුව ගමන් කරමින් සිටින බව යි.

මේ වන විට හිටපු ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ෆ්‍රනාන්දු යන දෙදෙනාට වසර විස්සක හා වසර විසිපහක් බැගින් සිරදඩුවම් නියම වීම, හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ හා නිමල් ලංසා අත්අඩංගුවට ගැනීම, හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරැළියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම ආදිය නිසා විවිධ චෝදනා එල්ල වී ඇති පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රාශියක් බලවත්  සේ කැලඹීමට පත්වී සිටින බවත් වාර්තා වෙනවා.

ජාතික ජන බලවේගය බලයට පත්වූ පසු කතාබහට ලක්වූ දේශපාලනඥයින්ට එරෙහි චෝදනාවලින් වැඩි සංඛ්‍යාවක් එම පක්ෂය බලයට පත්වීමට පෙර එල්ල වී පරීක්ෂණ ආරම්භ කොට තිබු ඒවා යි. එහෙත් දේශපාලන බලපෑම් හා වෙනත් හේතූන් නිසා එම පරීක්ෂණවලින් සමහරක් අතහැර දමා තිබු අතර සමහර පරීක්ෂණ ප්‍රමාද කොට තිබු බවයි පැවසෙන්නේ.

ආණ්ඩුව මේ ගැන පවසන්නේ තමන් බලයට පත්වූ පසු මෙම පරීක්ෂණවලට තමන් බලපෑම් නොකරන හෙයින් දේශපාලනඥයින්ට එරෙහි පරීක්ෂණ දැන් ස්වාධීනව ක්‍රියාත්මක වන බව යි.

මේ අතර දේශපාලනඥයින් හා හිටපු උසස් රජයේ නිලධාරීන් රැසකට විරුද්ධව ඉදිරියේ දී නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකර ගෙනයන බව ද වාර්තා වෙනවා.  

මේ නඩු ප්‍රමාද නොකොට කඩිනමින් විභාග කිරීම සඳහා ඒවා මහේස්ත්‍රාත් උසාවිවලට ඉදිරිපත් කොට අධි චෝදනා පත්‍ර භාරයේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කොට ඇති බව ද පැවසෙනවා.

මෙම නඩු විභාග කඩිනම් කිරීඹ සඳහා විශේෂ මහාධිකරණ පිහිටුවා ඒවා මඟින් කඩිනමින් නඩු විභාග පැවැත්වීමට හැකි වන පරිදි නීති සංශෝධන ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කර‌ගෙන යන බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.

⋆⋆⋆  ⋆⋆⋆   ⋆⋆⋆  ⋆⋆⋆

හිටපු ජනාධිපතිවරුන් ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ උසාවියේ මතය හෙට (09) මැතිසබේට

මේ අතර හිටපු ජනාධිපතිවරුන් ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව කතානායක  ජගත් වික්‍රමරත්න මහතා විසින් අඟහරුවාදා (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

නිල නිවසක පදිංචි මහින්ද පමණයි

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මේ සතියේ දී පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කිරීමට යන බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මේ පනත් කෙටුම්පත සම්මත වූ පසු හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ විශ්‍රාම වැටුප පමණයි. ඔවුන්ට ලබා දී තිබු නිල නිවාස, කාර්ය මණ්ඩල හා ප්‍රවාහන පහසුකම් ද මින්පසු ලැබෙන්නේ නැහැ.

දැනට රජයේ නිල නිවසක සිටින්නේ කොළඹ විජේරාම මාවතේ රජයේ නිවෙසක පදිංචි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණ යි.

මේ වන විට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු වාසය කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික නිවාස වල යි.

මෙම පනත සම්මත වූ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ නිල නිවසින් ඉවත්වෙනු ඇතැ යි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

    - ජගත් -