උණුසුම් පුවත්කෙටි කතාවවිශේෂාංග

පමාව

හෙළදිව කෙටිකතාව

 නිමාලි පුංචි අම්මා බැලීමට කැකිරාවේ ආවේ වසර කිහිපයකට පසුවය. පසුගිය වකවානුවේ මංගල උත්සව, දාන හා මළගෙවල් වලදී කිහිප වරක්ම අප මුණගැසුණත් කැකිරාවේ ඒමට ඉස්පාසුවක් නොලද්දේ රාජකාරී කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මෙකී නොකී කටයුතු සම්භාරයක් මැද දිනෙන් දිනම ඒ ගමන කල්ගිය හෙයිනි. නමුත් අම්මා අප නිවසට පැමිණි සෑම දිනක ම මතක්කර සිටියේ කැකිරාවේ ගොස් එන ලෙස ය.

              නිමාලි පුංචි අම්මා අපේ අම්මා ගේ එක කුස උපන් සහෝදරිය වීමෙන්  අම්මා හා සමාන ම ළබැඳියාවක් ඇය කෙරේ අප සිත් තුළ විය. නමුත් ඇය බැලීම සඳහා නිතර එහි යාමට අප අතර පැවති දුරෙහි ගැටළුව ද බාධාවක් වී තිබිණි. මාත් නංගිලා දෙන්නාත් කුඩා අවධියේ අම්මා රැකියාවට යන අතර තුර අපේ පාළුව මැකීමට ඇය පැමිණ අප නිවසේ නතරව සිටියා ය. සෝමා සමග පමණක් අපව නිවසේ දමා යාමට වඩා නිමාලි පුංචී ද සිටීම අම්මාට මහත් අස්වැසිල්ලක් විය. නිමාලි පුංචි අපේ අම්ම ට වඩා වසර දහයක් පමණ බාලය. ඒ දිනවල අපි අම්මාට ද වඩා ඇළුම් කළේ නිමාලි පුංචීට ය. නව යොවුන් යුවතියක් වූ ඇය පාසල් ගමන හමාර කර සිටියා ය.

                    පසුව ගුරු පත්වීමක් ලැබ කැකිරාව ප්‍රදේශයේ වැඩ බාරගත් නිමාලි පුංචී එහිදී ම හමුවූ ගුරුවරයකු වූ අතුලසිරි බාප්පා සමග විවාහ වී කැකිරාවේම පදිංචි වූවාය. පුංචී ගේ විවාහයට අපේ අම්මලා ගේ පවුලෙන් එතරම් මනාපයක් නොදැක්වූයේ දුරෙහි ගැටලුව නිසාය. කැකිරාවේ සිට බස්නාහිර පළාතට මාරුවක් හදාගන්නවාට වඩා කැකිරාවේ ම පදිංචි වීම ම පහසු බව එකල පුංචි අම්මා පැවසූ බව මට මතක ය.

                   කෙසේ හෝ දෙපාර්ශවයේ ම ආශීර්වාදය ඇතිව සිදුවූ විවාහයේදී පුංචි අම්මා කැකිරාවට ඇරලවා ඒමට ගිය ගමන අමතක වන්නේ නැත. වන්දනාවක යන්නාක් මෙන් දෑවැද්ද පිරවූ ලොරිය ද ඉස්සර කරගෙන කැකිරාවට ගියේ බස් රථයකිනි. කැකිරාවේ පිරිස ද මනාලිය පිළිගැනීමට සැදී පැහැදී සිටියේ කළුතරින් එන නෑදෑයන්ට තම ඇති හැකි කම් කියාපාන්නට මෙන්ය. බාප්පා ගේ පැරණි මහගෙදර උඩු වියන් බැඳ සුදු රෙදි ඇතිරූ මේස මත දහවල මංගල මේසය සූදානම් කර තිබූ ආකාරය නෑදෑයින් එකට එක්වූ විට තවමත් කතාකරන මාතෘකාවකි. එදා එහි තිබූ බොහෝ ආහාර පාන අප කෙදිනකවත් රස බලා නොතිබුණු ඒවා ය.

              පෙරදී  මහගෙදර වටකරගෙන තිබූ දිවුල් ගස් යාය  තුනීවී ගොස් ය. මහ ඉඩම කොටස් කර කම්බි ගසා අලුත් නිවෙස් කිහිපයක් ඉදිකර ඇත්තේ බාප්පාගේ සහෝදර සහෝදරියන් ගේ දරුවන් වන්නට ඇත. විවාහයෙන් පසු මද කලක් මහගෙදර ම විසූ නිමාලි පුංචිලා ද සුරංගී නංගී ලැබෙන්ටත් පෙරම පාර අද්දරට වන්නට නව නිවසක් ඉදිකරගෙන එහි පදිංචි විය.මහගෙදර අයිති වූයේ අතුලසිරි බාප්පා ගේ බාලම මල්ලී වන නිමල්සිරි බාප්පාට ය. දිවුල් ගස් අතරින් ඇතින් පෙනෙන මහ ගෙදර දැන් දකින්නට ඇත්තේ ගරාවැටුණු ස්වභාවයකි

              " පුංචි, දැන් මහගෙදර කවුරුත් නැද්ද "

               " ඉන්නවා

            නිමලසිරි බාප්පා විතරක් ඉන්නවා "

            " එතකොට කාන්ති පුංචි අම්ම යි දරුවෝ තුන්දෙන යි කොහෙද "

         " නිමලසිරී කාන්තී දෙන්නා දැන් ඉන්නේ වෙන් වෙලා. මහ යක්ෂ ගෑණියෙක්. මිනිහෙකුට වසන්න පුළුවන් ගෑණියෙක් නෙවෙයි එයා ඉන්නකොට වට පිට හැමෝම එක්ක ප්‍රශ්ණ. දරුවෝ නම් හොඳට ඉගෙන ගත්තා. ඒගොල්ලෝ ගෙවල් හදාගෙන වෙන් වෙලා. කාන්ති බාල දුව ළඟ ඉන්නවයි කියලා ආරංචියි "

          " එතකොට නිමල්සිරි බාප්පා කන්නේ බොන්නේ කොහොම ද "

         " පෙන්ෂන් එක තියනවනේ. තනියම උයාගෙන කනවා. අපිත් පුළුවන් වෙලාවට  දෙනවා "

මගේ හිතට දැනුණේ මහත් ශෝකයකි. එමෙන්ම පසුතැවීමකි. නිමලසිරි බාප්පාගේ තනිවීමට මමත් හේතුවක් වූවාදැ යි වැරදිකාර හැඟීමක් මාහට ඇතිවිය. නමුත් එදා මා කළ දෙය කළයුතුම වූ දෙයකි.

               නිමලසිරි බාප්පා දරුවන් අට දෙනෙකුගෙන් යුතුවූ පවුලේ බාලයාය. බාප්පා කීවාට අපට අයියා වන වයසේ ඔහු පසුවිය. කොහොමත් සෙල්ලක්කාර පෙනුමකින් හා ක්‍රියාවන්ගෙන් යුතුවූ ඔහු අප කැකිරාවේ ගිය ආගිය විටදී අප සමගද කුළුපගව හැසිරුණේ ය.

                 එක් සිංහල අවුරද්දකට අප කැකිරාවේ ගිය වෙලාවක අම්මා විමසුවේ

               " කෝ නිමලසිරි මල්ලී අද පේන්න නැත්තේ මොකද " කියාය .

               " එයාට ජොබ් එකක් ලැබුණනේ. තැපැල් දෙපාර්තමේන්තුවේ. වැඩ කරන්නේ කොළඹ. එහෙ බෝඩිං වෙලා ඉන්නේ "

                පුංචි අම්මා පැවසුවේ

               " මොනවා කරගනීද දන්නේ නෑ " යන කොටස ද පිළිතුරට එකතු කරමිනි.

               එකල අතුලසිරි බාප්පාගේ මව එනම් කැකිරාවේ කිරි අම්මා ජීවත්ව සිටි අතර ඇය මහ ගෙදර තනිව විසූවේ වයසට ගියත් හොඳ ශරීර ශක්තියකින් තම වැඩපල තනිව කරගනිමිණි.

මා සාමාන්‍ය පෙළ විභාගයට ලියා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නා අතර නිමාලි පුංචි අම්මා ලියා එවා තිබුණේ

            " දුවට පුළුවන් නම් ටික දිනක් අපේ ගෙදර ඇවිත් ඉන්න " යනුවෙනි.

             එකල දැන් වාගේ අමතර පංති උන්මාදයක් නොතිබුණු අතර උසස් පෙළ සඳහා විශයන් තෝරාගැනීම හා අමතර පංති තෝරාගැනීම සිදුකරන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආ පසුවය. එබැවින් අම්මලා වැඩටත් නංගිලා පාසලටත් පිටව ගිය පසුව නිවසේ ඉතිරිවන්නේ මා පමණි. නිමාලි පුංචි අම්මාගේ ලිපියට පිළිතුරු ලෙස තාත්තා මා කැකිරාවේ ගෙන ගොස් ඇරලුවේ ය.

               ඒ වන විට කැකිරාවේ කිරි අම්මා ද නිමාලි පුංචීලාගේ නිවසේ පදිංචියට පැමිණ තිබුණේ නිමලසිරි බාප්පා සමග අමනාපයෙනි. එයට හේතුව වී තිබුණේ කාටත් නොදන්වා ම නිමලසිරි බාප්පා නිවසට  කොළඹින් මනමාලියක කැන්දාගෙන ඒමය. කොළඹ රැකියාව කරන අතරතුර නැවතී සිටි බෝඩිමේ අයිතිකාරිය ගේ දියණිය හා හාදවී ඇය හා විවාහ වී ගමට මාරුවක් හදාගෙන පැමිණියද කැකිරාවේ කිරි අම්මා කීවේ.

             " මගේ කොල්ලා උන් අල්ලගෙන "

               අල්ලාගැනීම කෙසේ වෙතත් මනාලියට ඒවන විටද දරුවකු ලැබීමට සිටින බව ගම පුරා ආරංචි වී තිබිණි. මනාලිය එලි පහලියට නොබැස්සාය. වත්ත පුරා වැවී තිබුණු දිවුල් ගස් අතරින් පෙණුන විදියට නම් වැඩි රූප සෝභාවක් නොමැති කෙසඟ තරුණියකි ඇය.

               වෙනදා අප ආ බව ආරංචි වූ විගසම දුවගෙන එන නිමලසිරි බාප්පා මා එහි විසූ මාස දෙකක පමණ කාලය තුළ කිරි අම්මා බැලීමට වත් එම නිවසට නොආවේය. නමුත් ගේට්ටුව පසුකර යන විටදී හොරෙන් මෙන් ගේ දෙස බලනු ජනෙල් තිර අතරින් මා දැක ඇත. ඉඳහිටක මහගෙදර දෙසින් ගැහැණියක ගේ නොනවතින වචන ප්‍රවාහයක් ඇසුණු අවස්ථා ද තිබුණු අතර නිමාලි පුංචි කීවේ

             " කාන්ති ගේ කට නම් හරි සැරයි" යනුවෙනි

            මා නැවත නිවසට පැමිණි පසු එළඹුණේ අවිවේකී කාලපරිච්ඡේදයකි. උසස් පෙළ සඳහා විද්‍යා විශයන් තෝරාගත් මා හට පාසැල් ගමනත් අමතර පංතිත් පාඩම් වැඩත් අතරතූර වෙනත් බොහෝ දේ මගහැරිණි. නිමාලි පුංචිලා වරක් දෙවරක් පැමිණ ගිය ද ඇය සමග නිදහසේ කතාබහ කිරීමට හෝ කාලයක් මට නොතිබිණි. නැවත අපි කැකිරාවේ ගියේ කිරි අම්මා ගේ මරණයටය. ඒත් හත් දවසේ බණටවත් නොයිඳ ආපසු පැමිණියේ අප තිදෙනාගේ පාසැල් ගමන නිසාවෙනි.

               මළගෙදරට නිමලසිරි බාප්පා මෙන්ම කාන්ති පුංචි අම්මා ද පැමිණ සිටි අතර ඒ වන විට ද ඇය කුඩා දරු දෙදෙනෙකු ගේ මවකි. කිසිවෙකු හා හිනාවක් කතාවක් නොකළ ඇය වෙත වූයේ වයසට වඩා මේරූ පෙනුමකි. වෙහෙසින් හෙම්බත්වූ බවක් පලකළ ඇගේ වතෙහි යම් කුරිරු බවක්ද සටහන් වී ඇතැයි එදා මට සිතිණි.

             පළමු වර උසස් පෙළ ලියූ මම නැවත විභාගය කිරීම පිළිබඳව සිතුවේ නැත. ප්‍රතිඵල ආ විගස විද්‍යා ගණිත ගුරු විභාගය ගැසට් කර තිබුණු බැවින් සරසවි යාමක් පිළිබඳවද නොසිතා එම තරඟ විභාගයට පෙනී සිටියෙමි. ඒ අනුව ඉහළ ලකුණු ලබා තිබූ මා හට විද්‍යා ගණිත ගුරවරියක ලෙස පත්වීම ලැබී තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ පාසැලකට ය.

                 " ඔය තරම් දුර යවලා කොහොම ද "

             තාත්තා පැවසුවත් මා ගේ බලකිරීම උඩ අවසානයේ යැවීමට එකඟ විය. එය දුෂ්කර සේවා පත්වීමක් වුව ද මට ලැබී තිබුණේ නගරයට කිලෝමීටර් හත අටක් දුරින් තිබූ පාසලකි. මා සමඟම එකම දිනයේ පත්වීම් ලබාගත් නවක ගුරුවරු කිහිප දෙනෙක්ම සිටි අතර එය තරමක් විශාල මහා විද්‍යාලයකි.

              තාත්තා සමග ගොස් විදුහල්පති මුණගැසී ඔහුගේ දැන ඇඳුනුම් කම මත තවත් ගුරුවරියන් කිහිපදෙනෙක් නැවතී සිටි නිවසකම නවාතැන් ගැනීමටද හැකි විය. නිවසින් වෙන්වී නන්නාඳුනන අය අතර කල් ගෙවීමට සිදුවීම විනා ගුරු දිවියේ ආරම්භය ප්‍රීතිමත් එකක් විය. ගොවි පවුල් වලින් පැමිණි දරු දැරියන්ගෙන් සමන්විත වුණු එම පාසැල මගේ ඉදිරි වෘත්තීය ජීවිතයට දැමුවේ හොඳ අඩිතාලමකි.

              මා සමගම පත්වීම භාරගත් මා සමග ම එකම නවාතැනේ ලැගුම් ගත් වත්සලා මගේ හොඳම මිතුරිය වූ අතර පාසලේදී මෙන්ම ඉන් බැහැරදීද අප කල් ගතකළේ එකටම ය. සති දෙකතුනක් යන විට අප දෙදෙනාගේ සමාගමට තවත් අයෙක් එක්විය. ඒ තමරාය. ඒ ප්‍රදේශයේම අයෙකු වූ තමරා අපට වඩා වසර හත අටකට වැඩිමහලු අවිවාහක ගුරුවරියක වූවාය. තලෙළු පැහැති උසට ගැලපෙන මහතකින් යුතු මනබඳන සිරුරකින් හෙබි ඇය මනාව අඳින පළඳින ප්‍රිය මනාප තැනැත්තියක වූවා ය.

             නවාතැනේ උයාගෙන කමින් සිටි වත්සලාටත් මටත් හැමදාම මොනව හෝ ඔතාගෙන පැමිණි තමරා  අප දෙදෙනා සමග කල් නොයවාම බොහෝ කුළුපග වූ අතර ඕනෑම රහසක් අප දෙදෙනා සමග හුවමාරු කරගන්නා තත්වයටද පත්වූවාය. අම්මාත් අවිවාහක අයියාත් සමග විසූ ඇය විවාහය පිළිබඳව විමසනා විට නම් සිනහවක් පා මගහැර ගියාය. නමුත් පාසලේ සංගීත ගුරුවරයා ඇය පිළිබඳ අදහසක් ඇතිකරගෙන සිටීම නම් ඒ වන විට ගුරුමණ්ඩලයට රහසක් නොවීය. නමුත් ඔහුව නොතැකූ තමරා ගේ හැසිරීමෙන් පෙනීගියේ ඇයගේ සිතේ වෙන කිසිවකු පිළිබඳව අදහසක් ඇති බවයි. තමරා ගේ යම් යම් ඉඟි වලිනුත් අපට නොකියනා ගමන්බිමන් වලිනුත් එය සනාථ විය.

            එදවස මා විවාහය පිළිබඳව සිතා නොතිබුණු අතර වත්සලා හිටියේ විවාහ ගිවිසගෙනය. ඇය විවාහ ගිවිසගෙන සිටි සමන්තද අප සමගින් බොහෝ කුළුපග විය. තමරාට යම් රහසක් අප හා පැවසීමට තිබුණත් ඇය කුමක් හෝ හේතුවකට ආයාසයෙන් එය වලක්වාගෙන සිටින බවක් වත්සලාටත් මටත් දෙදෙනාටම දැනී තිබිණි. විටින් විට ඇයට ම නොදැනී පිටවන වචන වලින් ඇයට අප නොදන්නා පෙම්වතකු සිටිනා බව අප දෙදෙනාගේම අනුමානය විය.

              අනුරාධපුරයට ගොස් වසර දෙකක් පමණ වූවත් තමරා අපට ඇගේ පෙම්වතා පිළිබඳව හරි විස්තරයක් පැවසූවේ හෝ ඔහුව අපට මුණගැස්වීමට උත්සාහයක් දැරුවේ නැත.

            දිනක් උදෑසන සිනා සිසී පැමිණි තමරා

" ඔන්න දෙන්නටම ළඟදිම හොඳ සාරි දෙකක් ගන්න වෙයි " කියා පැවසූවා ය

            වත්සලාත් මමත් බොහෝ සෙයින් සතුටු වූ අතර අප සිතුවේ තමරා ගේ මංගල්‍යය ආසන්නයටම පැමිණ ඇතැයි කියා         ය.

             ඉන් මාස දෙක තුනකට පසුව ඇය පැවසූවේ

             " වෙඩින් එක ගන්න ඉස්සෙල්ලා අලුත් ගෙයි වැඩ ඉවර කරගන්න ඕන කියලා එයා කියනවා" යනුවෙනි.

             තමරා පවසන කතාවල පරස්පර භාවය අපට නොවැටහුණේ ඒ දිනවල ගුරුවරියන් වූවත් අපද අත්දැකීම් නොමැති තරුණ කෙල්ලන් වූ නිසා බව අද මට සිතේ .

             දිනක් මා හට මනි ඕඩරයක් යැවීමට අනුරාධපුර තැපැල් කාර්යාලයට යාමට අවශ්‍ය විය. මා මේ පිළිබඳව පැවසීමේදී තමරා ද ඒ ගමනට එකතු වූයේ ඇයගේම කැමැත්තෙනි. මා ගිය කාරණය අවසන් වූ පසුව තමරා පැවසුවේ

          " යමු කෙනෙක් අඳුරලා දෙන්න "

          " අරය ද ? "

           මා විමසූ නමුත් සිනහ වූවා මිස තමරා කිසිවක් පැවසුවේ නැත.

           තැපැල් කාර්යාලය තුළට මා කැඳවාගෙන ගිය ඇය

           " තැපැල් ස්ථානාධිපති "

             ලෙස නාම පුවරුවක් එල්ලා ඇති කාමරයට ඇතුළු වූයේ හොඳ පලපුරුදු කාරියක පරිද්දෙනි. ඇය පසුපසින් එහි ඇතුළු වූ මා ගල්ගැසී සිටියේ දුටු දර්ශනයෙනි .

           එහි සිටියේ නිමලසිරි බාප්පා ය.

           අප එකිනෙකා හඳුන්වා දෙන තමරා ගේ හඬ මට ඇසුණේ ඈත ඈත අනන්තයක සිට පැමිණෙන්නාක් පරිද්දෙනි. ඔහුද ගල් ගැසී මා දෙස බලා සිටි නමුත් මා හඳුනන බවක් ඉඟියකින් හෝ පළ නොකළේ ය. ඒ කාලාන්තරය තුළ කතා කළේ තමරා පමණකි. ඇයගේ සිතෙහි කිසිදු කහටක් නොතිබුණු බැවින් අපේ ගොළු බව ඇයට වැටහුණේ නැත.

             අවසානයේ යන්නම් කියා තනි වචනයෙන් නිමලසිරි බාප්පාගෙන් සමු ගත් මා කාමරයෙන් පිටතට පැමිණි වහා ඒ අසල තිබූ පුටුවක ඉඳගත්තේ වැටෙන්නට යන බවක් දැනුණු නිසාය. නමුත් අප දෙදෙනාගේ වෙනස අවංක පෙම්වතියට නොදැනීම ඒ අවස්ථාවේ මහත් සහනයක් විය.

            මෙවන් බරක් දරා පුරුද්දක් නොතිබුණු මට දැනුනේ මහත් අසහනකාරී බවකි. නිමාලි පුංචිට හෝ නිවසට ලියා දැන්වීම ද කළ නොහැක. මට තමරාටද මුහුණ දිය නොහැක. බලාගත් අත බලාගෙන කල්පනා කරන මගේ වෙනස වැටහුණේ වත්සලාට ය. මගේ විස්තරය අසා සිටි වත්සලාගේ අදහස වූයේ  වහාම මේ කරුණ තමරාට පැවසිය යුතු බවයි. ඒත් එය පවසන ආකාරය පිළිබඳ වැටහීමක් අප දෙදෙනාටම නොවීය. අවසන හිතට දිරි ගත් මම ඒ විසකුරු සත්‍යය තමරා හා කියා දැමුවේ හඬා වැළපෙමිනි.

              ගහක් ගලක් මෙන් එය අසා සිටි තමරා නැගිට ගියේ වදනක් හෝ නොදොඩා ය. පසු දින එයට පසු දින මෙන්ම සතියක් ගතවන තුරුද තමරා පාසැල් පැමිණියේ නැත. අසනීප බව දන්වා විදුලි පණිවිඩයක් එවා ඇති බව දැනගන්නට ලැබිණි. තව දුරටත් බලාසිටිය නොහැකි තැන දිනක් පාසල අවසන් වූ පසුව වත්සලාත් මමත් තමරා සොයාගෙන ඇගේ නිවසට ගියෙමු. අප යන විට නිවස පිටුපස වත්තේ කොහොඹ ගසක් යට වාඩිවී කල්පනා කරමින් සිටි ඇගේ ඒ දසුන කාලයක් යන තුරුම මගේ හිත රිදවමින් මතකයේ තැන්පත්ව තිබිණි.

             දන්නා තරම් සැනසිලි බස් පවසමින් හඬා දොඩා අවසන පසු දින පාසලට පැමිණීමට තමරා කැමති කරවා ගැනීමට අපට හැකි විය. නමුත් නැවත පැමිණියේ අප දැන සිටි තමරා නම් නොවේ. ඇගේ සිනහව කතාව කවුරුන් හෝ සොරාගෙන ගොස් තිබිණි. හිත හදාගත් බවක් මතුපිටින් පෙන්වූ තමරා සුපුරුදු ලෙසම රාජකාරී කටයුතු වල යෙදුනාය. නමුත් වෙනදා මෙන් අප දෙදෙනා සමග සමාගමයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

                 වසර තුනක දුෂ්කර සේවය නිම කළ මටත් වත්සලාටත් ගුරු විද්‍යාලයට ඇතුල්වීමට අවස්ථාව සැලසිණි. නමුත් ඒ ගුරු විද්‍යාල දෙකකට ය. කරගතයුතු රාජකාරී කටයුතු බොහොමයක් අතර තමරා හා ගැවසීමටද අපට අවස්ථාව මද විය. අප අනුරාධපුරය හැරදා එන අවසන් දිනයේ තමරා ගේ ඇස් වලින් රූරා ගැලූ කඳුළු අපවද හැඬවීමට සමත් විය. ඒ අප එක්ව ගතකල සොඳුරු යුගයක අවසන විය.

              ගුරු විද්‍යාලයේ සිටි කාලයේත් ඉන් පසුවත් තමරා ගේ නමට පාසලටත් නිවසටත් ලිපි ගණනාවක්ම තැපැල් කළ නමුත් එවාට පිළිතුරු ලැබුණේ නැත. වත්සලා දන්වා තිබුණේ ද එයමය. පසුව දැනගත් පරිදි අප වෙන්වූ වහාම කැමැත්තෙන්ම මැදවච්චිය පැත්තේ අති දුෂ්කර පාසලකට මාරුවක් හදාගත් තමරා එහි නැවතීමට ගොස් තිබුණි.

              විවාහය,දරුවන් ලැබීම, රාජකාරී කටයුතු ආදී මෙකී නොකී කාරණා සම්භාරයක් අතර තමරා යන මතකය පසෙකට තල්ලු වූවත් නිමලසිරි බාප්පා හමුවූ විට හෝ ඔහුගේ නම සඳහන් වන විටදී නිතැතින්ම තමරා ගේ මතකය අලුත් වේ.

                මා මගහැරීමට බොහෝ සෙයින් උත්සහ කළත් අහම්බෙන් හෝ හමුවූ විටදී නිමලසිරි බාප්පා කතා කළේ කිසිවක් සිදු නොවූ පරිදිය. අම්මාටද ඒ රහස නොකී මා රහස රහසක්ම වන්නට ඉඩ හැරියේ නිමලසිරි බාප්පා ගේ පවුල් ජීවිතය පිළිබඳව සිතාය. නමුත් සිදුවී ඇත්තේ අනෙකකි. එම පවුල කොහොමත් දැන් බිඳී ගොස්ය.

              නිමාලි පුංචි අම්මලා ගේ නිවසේ දින දෙකක් නැවතීමට යොදාගෙන තිබූ බැවින් මා මගේ සැමියාව කැමති කරගත්තේ පසු දින උදෑසන තමරා සොයා යාමටයි. කෙසේ හෝ මතක ඇති පාරවල් ඔස්සේ විපරම් කරමින් ගොස් තමරා ගේ නිවස සොයාගැනීමට අපට හැකි විය. නියඟයෙන් දා ගිය ගෙවත්තේ එකම ගසක හෝ මලක් පිපී තිබුණේ නැත. වසා තිබූ දොරට කීප වරක්ම තට්ටු කළ විට දොර හැරිණි.දොරකඩ සිටියේ තමරාය. වයසට වඩා වයස ගිය ස්වභාවයක් පෙන්නුම් කළ ඇය පළමු බැල්මෙන්ම මා හඳුනා ගත්තා ය.

               ගෙතුළට ගොස් අසුන් ගත්තායින් පසුව එතුළ කැටි ගැසී ඇති අඳුරු පාළුව මා ගත සිත වෙලාගත්තේ සීතලක් පරිද්දෙනි. සුදු මල් මාල පළඳා ඇති තමරා ගේ අම්මාගෙත් අයියාගෙත් පිංතූර දෙක සාලයේ බිත්තියක එල්ලා තිබිණි. මගුල් පිංතූරයක් හෝ දරුවෙකු ගේ පිංතූරයක් සොයමින් දැස මෙහෙයවූවත් එවැන්නක් දක්නට නොතිබිණි.අවසන බැරිම තැන

           " කෝ මහත්තයා "

          යනුවෙන් මා විමසූවේ නොවිමසිය යුතු පැණයකි.

           මුවට මද සිනහවක් නගා ගත් තමරා

           " මහත්තයෙක් නැහැ

          මම බැන්දෙ නැහැ "

          එදා මෙන්ම අදත් හැඬුවේ මා ය.

           හමුවිය යුත්තන් හැමදාම හමුවුයේ පමා වෙලාය.

ෂර්මිලා බංදුනී දංවත්ත