උණුසුම් පුවත්දේශපාලන

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් මත පනවා ඇති දේශපාලනික හා සමාජයීය සීමාවන් හා වාරණයන් අහෝසි කරන්න. මහජන එක්සත් පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි…

කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායකට මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජයවර්ධන කියයි

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් මත පනවා ඇති දේශපාලනික හා සමාජයීය සීමාවන් හා වාරණයන් අහෝසි කරන්නැයි මහජන එන්සත් පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි.
මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ පසුගිය පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ දේශපාලන සහ පුරවැසි අයිතිවාසිකම් මැයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා වෙත ලිපියක් යොමු කරමින් මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජයවර්ධන මහතා මෙම ඉල්ලීම සිදු කර තිබේ.
හැත්තෑ හත්දහසක් පමණ වන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින්ගේ දේශපාලන හා සාමාජීය ක්‍රියාකාරකම් විවිධ සීමාවන්ට සහ වාරණයන්ට යටත් වී ඇති බවට වාර්තා වී ඇත.
මොවුන් ඒ ඒ දේශපාලන පක්ෂවල තම භූගෝලීය ප්‍රදේශ තුළ බිම් මට්ටමේ දේශපාලන හා සාමාජය ක්‍රියාකාරිකයින් වනවා මෙන්ම ඡන්දදායකයින් සමඟ සමීපතම සම්බන්ධතා පවත්වන අය වෙති.
පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් වන තෙක් හෝ අන් ආකාරයකින් එම නාමයෝජනා පත්‍රවල පැවැත්ම අවසන් වන තෙක් අනියත කාලයක් එම අපේක්ෂකයින්ගේ දේශපාලන හා සමාජීය ක්‍රියාකාරකම් වාරණයන්ට හෝ සීමාවට යටත් කර තැබීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තියේ පරමාධිපත්‍ය හිමි ජනතාවගේ ඡන්ද බලය යටතේ පැවරෙන අයිතිවාසිකම් ද උල්ලංඝනය වීමක් ලෙස අපි සලකමු.
එබැවින් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් මත පනවා ඇති දේශපාලනික හා සමාජයීය සීමාවන් හා වාරණයන් අහෝසි කිරීමට සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් වරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.