ජගත් ගේ සතියේ සටහන - 129
දෙමළ බස කථාකරන පක්ෂ 6 ක නායකයින් ජනපති හමුවෙලා
උතුරු නැගෙනහිර සහ වතුකරයේ මලයගම් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එකතු වී පසුගිය මාසයේදී පිහිටුවා ගනු ලැබූ ඒකාබද්ධ සන්ධානය ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් ඉටුකර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කොට තිබෙනවා
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහ ජනන කොංග්‍රසයේ නායක, රිෂාඩ් බදුඋද්දීන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකය මනෝ ගනේෂන්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් හා කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්‍රිස්ණන් යන නායකයින් පසුගිය දිනවල කීප වතාවක්ම රැස්වී, සාකච්ඡා කොට තිබුණේ, තම ඉල්ලීම් පිළිබඳව ආණ්ඩුව, විපක්ෂය හා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීම් පිළිබඳව ය.
ඒ සඳහා ඔවුන් ගත් උත්සාහය සපල කරමින් පසුගිය 3 (සඳුදා) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකත් මහතා හමුවීමටත් එදින දවල් දොළහට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමටත් අවස්ථාව ලැබී තිබුණා.
ඒ අතර ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්මන් මහතා ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ සාකච්ඡා කිරීම සඳහා එදින සවස 6 ට අවස්ථාව ලබාගෙන තිබුණා.
ජනාධිපති කාර්යාලයේ දැනුම්දීම මත සඳුදා පෙරවරු දහයට එහි ගිය දෙමළ, මුස්ලිම් පක්ෂ සන්ධානයේ නායකයන් සුහදව පිළිගත් ජනාධිපතිවරයා වෙත මුලින්ම කරුණු ඉදිරිපත් කොට තිබුණේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයායි.
සියලු ප්‍රජාවගේ අයිතීන් තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණ පැවැත්වීම හා උතුරු නැගෙනහිර සහ මලගම් ජනතාව මූණ දෙන, ඉඩම් ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 කු නියෝජනය කරන මේ සන්ධානයේ ප්‍රධාන ඉල්ලීම් තුනයි.
ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ඔවුන් මුලින්ම ඉදිරිපත් කොට තිබෙන්නේ කඩිනමින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය යි.
දැනට පවතින මැතිවරණ ක්‍රමයේ තිබෙන අවුල් සහගත බව නිරවුල් කර ගැනීමට මැතිවරණ පැවැත්වීම ගැන පත්කොට තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ලැබුණු විගස පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකි බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔවුන්ට පවසා තිබුණා.
එහෙත් එයින් සෑහීමකට පත් නොවූ ශානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා එම තේරීම් කාරක සභාව රැස්වෙන්නේ මාසයකට හෝ දෙකකට හෝ වරක් බැගින් නිසා එහි වාර්තාව තව අවුරුදු දෙකකටවත් ලැබේවියැ යි විශ්වාස තැබිය නොහැකි බව පවසා තිබෙනවා.
එම තේරිම් කාරක සභාවේ සභාපති විජිත හේරත් මහතාට මේ බව දැනුම් දී වාර්තාව කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා තිබුණා.
දෙමළ මුස්ලිම් පක්ෂා හයේ සන්ධානයේ ප්‍රධානියෙක් වන හිටපු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරුණු දැක්වූ විට පිළිතුරු වශයෙන්ම ජනාධිපතිවරයා ආණ්ඩුව ඉක්මනින් ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු සිදුකර ගෙන යන බවත්, ඊට පෙර සෑම දේශපාලන පක්ෂයක ම හා සංවිධානයක ම අදහස් විමසීමට යන බව ද පවසා තිබෙනවා.
උතුරු නැගෙනහිර හමුදාවට පවරා ගෙන තිබෙන උතුරු නැගෙනහිර සිවිල් වැසියන්ගේ ඉඩම් ඔවුන්ට ආපසු ලබාදීම සිදුකර ගෙන යන බවත් එය තවත් කඩිනම් කිරීමට පියවර ගන්නා බවත් පවසා ඇති ජනාධිපතිවරයා වී. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා ඇත්තේ මලයගම් ජනතාවට ඉඩම් දීම දිට්වා සුළි කුණාටුවෙන් පසු කඳුකරයේ ඉඩම් විශාල ප්‍රමාණයක් නායයාම හේතුවෙන් එම ප්‍රදේශවලින් වලින්ම ඉඩම් ලබාදීම ගැටලුවක් බවයි.
ඉන්පසු මෙම මන්ත්‍රී සන්ධානය සඳෞදා දවල් 12 ට පමණ විපක්ෂ නායක කාර්යාලයට ගොස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තියෙනවා. එහිදීම ඔහු පවසා තිබෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහා තමන් බලයට පැමිණිය හොත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.
ඉන් අනතුරුව මෙම සන්ධානයේ නායකයින් එදින (සඳුදා) සවස 6 ටම කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී සන්තෝෂා මහතා මුණ ගැසුණා.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න - ඉන්දීය විදෙස් ලේකම් වික්‍රම් මිස්රා
එහිදී මෙම පිරිස ඉන්දීය මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා ඇත්තේ කල් දමා ඇති ප ළාත් සභා මැතිවරණය කඩිනමින් පවත් වන ආණ්ඩුවට දැනුම් දෙන ලෙසයි. එහෙත් සංතෝෂ් ජා මහතා නියෝජිත පිරිසේ අදහස්වලට සවන් දී ඇති නමුත් අදහස් දැක්වීමක් සිදුකොට නැහැ.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රා මහතා පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණියා එක් දිනකට පමණක් සීමා වූ ඔහුගේ චාරිකාවේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා දෙමළ, මුස්ලිම් සන්ධානයේ නායකයින් ද හමු වූ බවත් වාර්තා වෙනවා.
ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු අතර මුල් තැනක් දී තිබුණේ ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඔහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවයි.
ඉන්දීය මාධ්‍යවලින් ද මෙයට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණා.
මේ අතර මැතිවරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ අරමුණෙන් පිහිටුවා තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිය කටයුතුවලට උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කොට ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මෙම විශේෂඥ මණ්ඩලය, සංවිධාන සහ පුද්ගලයින් විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා 31 ක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව ද දැනගන්නට තිබෙනවා.
පළාත් පාලන මැතිවරණ සඳහා මිශ්‍ර ඡන්ද ක්‍රමය (අනුපාත කොට්ඨාස මට්ටමින්) හඳුන්වා දීම, මැතිවරණ දිනයට ෙපර ඡන්ද පාවිච්චි කිරීම හා ඉලෙක්ට්‍රෙනික් ඡන්ද විමසීම, කාන්තා නියෝජනය හා සුළුතර ප්‍රජාවගේ නියෝජනය වර්ධනය කිරීම හා විදේශයන් හි වසන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද බලය ලබාදීම යන කරුණු මෙම යෝජනා 31 අතර ප්‍රධාන තැනක් ගන්නා බවත්, විශේෂඥ මණ්ඩලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වුවද මෙම කරුණු විමර්ශනය කරන දේශපාලන විචාරකයින් පවසන්නේ පළාත් සබා මැතිවරණ තව දුරටත් ප්‍රමාද කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොලැබෙනු ඇති බවයි.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන ගැසට් පතත් ආවා
පසුගිය කාලයේ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සංවිධාන රැසක් දැඩි ලෙස විරෝධය පළ කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ගැසට් පත්‍රය ඉකුත් 7 වැනිදා නිකුත් වුණා.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඇතුළත් මෙම ගැසට් නිවේදනය අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ.
ඉන්පසු මෙයට විරෝධය පළ කරන පිරිස්වලට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට අවස්ථාව තිබෙනවා.
මේ සමඟ ම මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් පත්‍රය පසුගිය 7 වැනිදා නිකුත් වුණා.
විපක්ෂය හා නීතිඥ සංගමය මුලදී චෝදනා කළේ අග විනිසුරුවරයා ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට එරෙහිවයි. වර්තමාන අග විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මේ වසරේ දෙසැම්බර්යේ විශ්‍රාම යෑමට නියමිත බැවින් ඔහුට තවත් වසර දෙකක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට යන බවටත් ඔවුන් චෝදනා කළා.
මේ විනිසුරු ප්‍රශ්නය නිසා මේ දිනවල මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මා හිමිවරුන් හා කතෝලික සභාවේ අගරද ගුරු හිමිපාණන්ට කිසිදු විවේකයක් නැහැ. විපක්ෂයේ නායකයින්, ආණ්ඩුවේ ඇමතිවරුන්, නීතිඥ සංගමයේ නායකයින් හා ජී. එල්. පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සතියට කිහිප වරක් ම බැහැදැකීමට ගොස් තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීම දැන් සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී තිබෙනවා.
විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දික් කිරීමට ජනමත විචාරණයක් ඇවැසියි. විපක්ෂය
දැන් විපක්ෂය පවසන්නේ අග විනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව යි.
තවත් පිරිසක් තර්ක කරන්නේ අග විනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා විභාග කල නොහැකි බවයි. මෙය තමන්ගේ නඩු තමන් ම විභාග කිරීමක් ලෙසයි ඔවුන් හඳුන් වන්නේ.

