ජගත් ගේ සතියේ සටහන - 108

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුව පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවත් පත් කළා.
මෙම කාරක සභාව පත් කිරීමත් සමඟ බොහෝ දෙනා ප්‍රකාශ කළේ මෙය ආණ්ඩුව පළාත් සභා ඡන්ද කල් දැමීම සඳහා කළ උප්පරවැට්ටියක් බව යි.
එහෙත් ලැබී තිබෙන අලුත් ම ආරංචි අනුව පළාත් සභා මැතිවරණ මේ අවුරුද්දේ අග දී හෝ ලබන අවුරුද්ද මුල දී හෝ පැවත්වීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා.
ආණ්ඩුවේ මේ අලුත් තීරණයට හේතුවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය දිනවල ඉන්දියාවේ සිදුකළ සංචාරයේ දී ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජෙයෂංකර් මහතා සමඟ පැවති සාකච්ඡාව බවයි ආරංචි මාර්ග පවසන්නේ.
උතුරු, නැගෙනහිර ඇතුළු මුළු දිවයිනේ ම පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන්නැ යි ජයෂංකර් මහතා ටිල්වින් සිල්වා මහතාට දැනුම් දී තිබෙනවා.
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන ලාල්කාන්ත මහතා පසුගිය සතියේ මහනුවර දී පැවසුවේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීමට පියවර ගන්නා බවයි.
මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය පිළිබඳ පත්කොට තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වූ විට පළාත් සභා මැතිවරණ කලින් තිබු දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට පවත්වන ලෙස ඉල්ලා සිටීමට සමගි ජන බලවේගයේ ඉකුත් සතියේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.
අලුත් ක්‍රම යෝජනා කොට ඒවා ක්‍රියාත්මක කිරීමට යාමේ දී තවත් වසරකටත් වැඩි කාලයක් ගතවනු ඇති බව විපක්ෂය පවසනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංකෝෂ් ජා මහතා පසුගිය බදාදා මල්පාරේ පිහිටි කාර්යාලයට ගොස් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. එහිදී මහ කොසාරිස්වරයා පළාත් සභා ඡන්දයට සූදානම් වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. එයට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තම පක්ෂය සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ එක්වී පළාත් සභා මැතිවරණයට මුහුණ දෙන බවයි.
ඔවුන් දෙදෙනා පැයක පමණ කාලයක් සාකච්ඡා කොට ඇති නමුත් එහි විස්තර කිසිවක් අනාවරණය වී නැහැ.
මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව සංතෝෂ් ජා මහතා තමා සමඟ කළ සාකච්ඡාවේ දී අවධාරණය කළැ යි රනිල් වික්‍රමසිංහ මහතා පසුව තම හිතවතුන්ට පවසා තිබුණා.
මේ අතර විපක්ෂයේ පක්ෂ කිහිපයක නායකයින් එක්ව පිහිටුවා ගෙන තිබෙන 'මහජන හඬ' සංවිධානයේ නායකයෝ පසුගිය බදාදා මල්පාරේ පිහිටි කාර්යාලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.
මෙම හමුවට මහාචාර්ය ජී. එල්. පීරිස්, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, අසංක නවරත්න, ප්‍රේමනාත් සී. දොළවත්ත, ජයසේන විජේසිංහ, සුගීෂ්වර බණ්ාර යන මහත්වරුන් ද, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය හා සභාපති වජිර අබේවර්ධන හා ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් ද සහභාගි වුණා.
මෙම 'මහජන හඩ' සංවිධානයේ මූලික අරමුණ ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලට එරෙහිව විපක්ෂයේ පුළුල් බලයක් ගොඩනැඟීම යි.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම පිරිසට පැවසුවේ මර්දනයට ලක්වී ඇති රටේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය උපරිම සහයෝගය ලබා දෙන බවයි.
''අප හැම එක්කෙනාට ම වගේ එක එක චෝදනා දාලා එක එක නඩු පටලවන්න හදනවා. මේ අය බලන්නේ දේශපාලන පක්ෂ, සමාජමාධ්‍ය ක්‍රියාකාරකම් නවත්වන්න. නීතිඥයින් ගේ ස්වාධීනත්වය නැති කරන්න. මේවාට විරුද්ධව අපි එකතුව ක්‍රියා කරමු. මේ සඳහා මගෙත්, අපේ පක්ෂයෙත් සම්පූර්ණ සහාය ලබා දෙනවා" යැයි ද එජාප නායකයා පැවසුවා.
විපක්ෂයේ පක්ෂ හැටියට අපට වෙන වෙනම අනන්‍යතා තිබුණත් රටේ අත්‍යවශ්‍ය ප්‍රශ්නවලදී පොදු වැඩ පිළිවෙලකට අවතීර්ණ වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙහිදී කියා සිටියා.
සෑම වසරක ම මාර්තු 8 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු සංවිධාන වසර මුල සිට ම සූදානම් වෙනවා.
ආණ්ඩුව සුපුරුදු පරිදි කාන්තා සමරු උත්සවයක් පවත්වන අතර විපක්ෂයේ පක්ෂවල කාන්තා සංවිධාන ද ඒ සඳහා දක්වන්නේ දැඩි උනන්දුවක්. කාන්තා ප්‍රශ්න ගැන කතා කරනවා හැර මේවායේ දේශපාලන මුහුණුවරක් නැහැ.
එහෙත් ලබන ඉරිදා 8 ට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට ජාතික ජන බලවේගය කටයුතු කරගෙන යනවා.
දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම කාන්තාවන් 40 000 ක් කොළඹට ගෙන්වා ගෙන රැළියක් පැවැත්වීමට පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය සතියේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී තීරණය කොට තිබෙනවා.
මෙම රැළියට තම ආසන වලින් කාන්තාවන් සහභාගි කරන ලෙස ජාතික ජන බලවේගය එහි මැති ඇමතිවරුන්, ආසන සංවිධායකයින් හා පළාත් පාලන නියෝජිතයින්ට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය කාලයේ ඇති වුණු දේශපාලන ප්‍රශ්න, ගොවි ගැටලු, ගෑස් හිඟය ආදී විවිධ ප්‍රශ්න නිසා ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ පවතින කළකිරීම් නැති කොට ආණ්ඩුව කරගෙන යන වැඩ ගැන දැනුවත් කිරීම මෙම කාන්තා සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ බවයි දැන ගන්නට තිබෙන්නේ. මෙම කාන්තා ජන සමුළුව මාර්තු 8 වැනි දා පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට යන බව ද දැන ගන්නට තිබෙනවා.
මේ අතර පසුගිය සතියේ රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ද මෙවර කාන්තා දිනය මහ ඉහළින් සැමරීමට ලක ලෑස්ති වෙනවා.
එක් මන්ත්‍රී කොට්ඨාසයකින් කාන්තාවන් දහස බැගින් 3000 ක් ගෙන්වීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී තීරණය වූ බවයි දැනගන්නට තිබෙන්නේ.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට යන මෙම කාන්තා දින රැළියට පැමිණෙන කාන්තාවන්ට ගමනා ගමන පහසුකම් සැපයීමේ වගකීම බස් හිමියකු ද වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහාතට බාරදී තිබෙනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆

අධිකරණ ඇමති ගොලාම් හොසෙන් මොහ්සේනි එජායි මරුමුවට
ඇමරිකාවේ සහාය ඇතිව ඊශ්‍රායලය ඊයේ (28) ඉරානයට මිසයිල එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද මැදපෙරදිග පිහිටි ඇමරිකානු යුද කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය යුද උණුසුමෙන් වෙළී ගොස් තිබෙනවා.
ඊශ්‍රායලය ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හා තවත් ප්‍රධාන නගරවලට එල්ල කළ ප්‍රහාර වලින් මේ වන විට ඉරාන අධිකරණ ඇමති ගොලාම් හොසෙන් මොහ්සේනි එජායි මරුමුවට පත්වී ඇත්තේ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින්.
මේ අතර ඉරානයේ උත්තරීතර නායක අල්කුමේනි ආරක්ෂාව තකා රහසිගත ස්ථානයකට ගොස් ඇතැ යි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරාන අධ්‍යාත්මික නායක අල්කුමේනි ද බිලි අරන්
එහෙත් විදෙස් මාධ්‍ය පසුව වාර්තා කළේ ඉරාන අධ්‍යාත්මික නායකයා සිය කාර්යාලය තුළ දී ම මරණයට පත් වී ඇති බවයි.
ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර වශයෙන් මිසයිල ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරානය විසින් මිසයිල ප්‍රහාර 30 ක් පමණ එල්ල කොට ඇති අතර ඉන් බොහොමයක් ඊශ්‍රායලයේ 'අයින් ෙඩ්‍රාන්' මිසයිල ආරක්ෂක පද්ධතිය විසින් විනාශ කොට ඇතැ යි ඊශ්‍රායලය පවසනවා.
මෙම ඉරාන මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ගොඩනැගිලි හා ජීවිත විනාශ වී ඇතැ යි විදෙස් මාධ්‍ය පවසනවා.
තවද ඉරානය විසින් බහරේන්, කුවෙට් හා සෞදියේ ඇමරිකානු හමුදා කඳවුරු වලට ද මිසයිල ප්‍රහාර එල්ල කොට තිබෙනවා.
මේ තත්වය යටතේ ඊශ්‍රායලය හා මැදපෙරදිග කුවේට්, බහරේන්, සෞවුදි ආදි රටවල සේවය කරන ශ්‍රී ලාංකීකයින් ගේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වන ලෙස එම රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් වර්ධනය වුවහොත් අපේ ආර්ථිකයට බලවත් ප්‍රශ්නයක්
එමෙන්ම ඊශ්‍රායලයට හා මැදපෙරදිග රටවලට යන ගුවන් ගමන් අවලංගු කිරීමට ගුවන් සමාගම් පියවර ගෙන ඇති අතර ඉරාන හා මැදපෙරදිග ගුවන් කලාප මග හැර පියාසර කිරීමට සිදුවී ඇති බැවින් ගුවන් ගමන්වල ප්‍රමාදයක් ඇති වන බව ශ්‍රී ලංකා ගුවන් සේවය නිවේදනය කළා.
මේ යුදමය තත්වය ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් ඇතුළු භාණ්ඩ ප්‍රවාහනයට තදින් ම බලපාන්නේ ඉරානයට හිතවත් කැරලිකරුවන් හොමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන තෙල් නැව්වලට පහර දීමට ඉඩ තිබෙන නිසා බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.
එමෙන් ම යුද්ධය උග්‍ර වුවහොත් මැදපෙරදිග හා ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකීකයින් මෙරටට ගෙන්වා ගැනීම ද ප්‍රශ්නයක් වනු ඇතැ යි විදෙස් රැකියා අංශ පවසනවා.
මෙම යුද ගැටුම් නිසා ගුවන් හා නාවික ගමනා ගමනය ඇන හිටියොත් මෙරටින් අපනයනය කරන ඇඟළුම් ඇතුළු භාණ්ඩ යැවීම ද බලවත් ප්‍රශ්නයක් වන අතර එය ශ්‍රී ලංකා ආර්ථිකයට තදින් ම බලපානු ඇති.
