උණුසුම් පුවත්

ප්‍රාදේශීය පුවත්

දොමන්විල පොදු සුසාන භූමියේ පවුල් තුනක් විසින් අනවසරයෙන් අල්ලා ගෙන පදිංචි වී කුරුඳු වගාව ද කිරීම නිසා අවට ගම් ගණනාවක ජනතාව අපහසුවට පත්වෙලා

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් අක්කර දෙකකට ආසන්න ප්‍රමාණයෙන් යුත්(අක්කර 1 රූඩ් 1 පර්.27 ) දොමන්විල පොදු සුසාන භූමියේ පවුල් තුනක් විසින් අනවසරයෙන් අල්ලා ගෙන පදිංචි වී කුරුඳු වගා කිරීම නිසා එම සුසාන භූමිය ආසන්න යේ පදිංචි පිරිස් වලට මළ සිරුරු භූමිදානය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.දැනට මෙම සුසාන භූමියේ මළ සිරුරු මිහිදන් කිරීම සඳහා ඉඩ පහසුකම් ඇත්තේ පර්චස් විසිපහක තරම් භූමි භාගයකි.
මෙකී තත්ත්වය නිසා නින්දාන ,බටදූව , බටපොළ බටහිර , ලෙව්දූව , දොමන්විල ,මීටියාගොඩ ,එරනවිල යන ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි පුද්ගලයන්ට මෙම සුසාන භූමියේ මළ සිරුරු භූමිදානය කිරීමේදී මෙම පදිංචි කරුවන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා සිදුවී තිබේ.

විශේෂයෙන් හදිසි අනතුරු ,සිය දිවි නසා ගැනීම්, හේතුවක් නිශ්චිතව සොයා ගත නොහැකි මරණ ,මිනී මැරුම් වැනි මරණ අදාහනය කිරීම සඳහා අවසර ලබා නොදෙන අතර එම මරණ අනිවාර්යයෙන්ම භූමිදානය කළ යුතුය .
මේ පිළිබඳව ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන හා ගම් වාසීන් විසින් බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම් හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එම්.ජී. හසන්ති නිරෝෂනී මහත්මිය විසින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත ලිපියක් යවමින් පළාත් පාලන පනත් ප්‍රකාරව අධිකරණ ක්‍රියා මාර්ගය ක් මඟින් නෙරපීම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

මෙම සුසාන භූමිය නිදහස් කර ගැනීමේ පෙරමුණ ගෙන කටයුතු කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වන විමලසිරි පටුවත විතාන මහතා මෙසේ කීය. 1974-4-19 දිනැති 38(අ ) අතුරු විධානය ගැසට් පත්‍රය පරිදි 1974-5-31 වන දින අම්බලන්ගොඩ ප්‍රාදේශීය උප දිසාපති විසින් මෙම ඉඩමේ නිරවුල් භුක්තිය බටපොළ ගම් සභාපති වෙත බාරදී තියෙනවා .ඒ නිසා 1997 අංක 29 දරණ රජයේ සන්තකය ආපසු ලබා ගැනීමේ ( සංශෝධන )පනත ප්‍රකාරව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මේ සම්බන්ධයෙන් කටයුතු කල හැකියි.

පටුවත විතාන මහතා මෙසේද කීය.මන් 1991 වසරේ සිට 2017 සභාවේ මන්ත්‍රී වරයෙක් වශයෙන් කටයුතු කරමින් සභාපති වරුන් ගෙන් ඉල්ලීම් කරා. නමුත් ඒ අය දේශපාලන වාසි බලාගෙන මේකට විසඳුමක් දුන්නේ නෑ. මම ජනතා සේවය කලේ චන්ද බලාගෙන නෙවෙයි .දැන් මේකෙ මළ මිනියක් වළලන්න මිනිස්සුන්ට අමු මිනී ගොඩ දාන්න වෙනවා.එකම තැන අලුතින් හාරන කොට එහෙම වෙනවා. ඒක නීතී විරෝධියි. උසාවි නියෝගයකින් මළ සිරුරක් ගොඩ ගන්න උනොත් මළ සිරුර හොයා ගන්න නෑ.2017 න් පසුව මන්ත්‍රී කම නැතත් මම මේ සටන ගෙනහින් මේ සුසාන භූමිය නිදහස් කර ගන්නවා .
මේ වන විට අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හසන්ති නිරෝෂනී මහත්මිය විසින් අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන මෙම ඉඩමේ අනවසර පදිංචි කරුවන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අම්බලන්ගොඩ සභාවේ ලේකම් තුමියට දැන්වීම පිළිබඳව අපි එතුමිය ට ස්තුති වන්ත වෙනවා ඒ මහතා කීය.
මේ පිළිබඳව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමියගෙන් විමසූ විට ඇය කීවේ මේ පිළිබඳව කටයුතු කළ යුත්තේ පළාත් පාලන කොමසාරිස් වරයා බවකි.
1. විමලසිරි පටුවත විතාන මහතා පින්තූරය
2. ප්‍රාදේශීය ලේකම් සභාවට යැවූ ලිපිය
3. මළ සිරුරු මිහිදන් කිරීම සඳහා දැනට ඉතිරිව ඇති බිම