උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

ප්‍රේමය හැඳින්නෙමී…..

චම්මිගෙ හිතිවිලි

"ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා ....
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා....
ප්‍රේමය හැඳින්නෙමී....
මේ ලෝ තලයේ"

ආදරණීය ජගත් මලයාගේ ආරාධනාත්මක හඬින්  චමත්කාරය උදෙසා හිත කීරි ගස්සන ඒ ගැයුම එක්ක  උදේම වසු වියේ ඒ හිරිමල් සුවඳ මා සොයා එන්නට කැරළි ගසන්නට පටන් ගනිමින්.

ප්‍රේමයට වයසක්, ආගමක්  ජාතිකුල මල නෑ කියන එක පට්ට ගිය පාරම්පරික කියමනක්. ආදර සංස්කෘතියේ.

ඒක වෙලාවකට මහ ආත්මාර්ථකාමි සිතුවිලි ප්‍රපංචයක්.

වෙලාවකට හදවතට පවන් සලන ආත්මීය උත්ප්‍රේරකයක්.

මහා ජවයක් දෙන දෙයක්.

ප්‍රේමයම ආදරණීය වූ කල එය මහා පුනරාවර්තන ඇවතුම් පැවතුම් ජනිත කරවන්නක්.

හැබෑවටම එහෙම ආදරණීයම බවක් අපේ හිත්වල ඇතිවෙනවද? මට කියන්න තියෙන්නේ ඔව් කියල. ඒත් ඒක පවත්වා ගෙන යනවද? ඒක හරියටම අවබෝධ කරගන්නවාද? නැත්නම් හරියටම හඳුනා ගත්තද කියන පැණය මතුවෙන්නේ ඒ ප්‍රේමයේ කඩතොළු ඇති වී වයිරය ක්‍රෝධය හා පළිගැනීමේ ආයුධ ඒ කරතබා ගත් ආදර ඔලොගුවෙන් එළියට පනිද්දී.

එකෙක් නොවෙන දෙන්නෙක්ගෙ පොරොන්දම් විස්සම ගැලපුණත් ඔවුන් අතරත් හඳුනා ගත් ප්‍රේමයේ බිඳවැටීම් නැද්ද?

ප්‍රේමයෙන් බැඳීගිය සිතක  මුල් කාලීන ආශ්වාදනීය වින්දනය නොවේද ජගත් අපිට කියන්නේ.....?

"ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී..."
ඒ නිසා ම විය නොහැකිද සමහර දැනමුත්තන් "ප්‍රේමය අන්ධයි"කීවේ.

"නෑ ඒ 'ආලය' "කියා ඔබ කියාවි. 

මට හිතෙන්නේ, ආලය,

ප්‍රේමය, ආදරය එකම වගුවක එහා මෙහා ගිය සටහනක අනුමාතෘකා කියලා.

ඒ සනාථ කරන්නේ වෙනස් වූ දෙදෙනෙකු එක්ව යාමේදී එකිනෙකා තුළින්  මතුවීමේදී, ඇතිවෙන ආගන්තුක වෙනස්කම් ඇති බවයි. නැවුම් බව,

ආධුනිකත්වය,

සිත ජයග්‍රහණය කිරිම හා සතුකර ගැනීම නම් වූ

සාරවූ පෞද්ගලික හිමිකම් නිසා ඒ මොහොතේ ප්‍රේමය හඳුනා ගත්ත ද ඒ ප්‍රේමය නඩත්තු කිරීමේ නුපුරුදු බව නිසා අපිට මුලින්ම අමතක වෙන්නේ ප්‍රේමයයි. එහිදී මතුවෙන්නේ මමත්වයයි. එහිදී අප හඳුනා ගන්නේ ලෝකය නොවෙයි.

මට මොකක්ද වුණේ කියන එකයි.

ඒ නිසා අපි මේ ලෝ තලයේ හඳුනා ගත යුත්තේ ප්‍රේමය පමණක්ම නොවෙයි. එය පවත්වා ගැනීමේ කලාව හා අනිකා හඳුනා ගැනීමේ මානව කියවීමයි.

එසේ නොවෙනතාක් අපි,

 "ලොවම එපා වී

ලොවම කළකිරී

දැවී දැවී හිඳිනා"

මිනිසුන් නොවෙමුද?

අපි ප්‍රේමය හඳුනා ගත්තේ නම් ඒ

''වේලේ,

ඔබේ දයාබර එකම වදනකින්

මගේ ආත්මය සුවපත් වේ"

කියල හදවතට එකඟව කියාගන්න පුලුවන් නම්... ඒ තුළ කිසිම සැඟවී ගිය අනුශාංගික හෝ න්‍යාය පත්‍ර නැත්නම් ජගත් දුටු ප්‍රේමයත් 'නන්දාවන්' කියන සුවපත්වීමත් ප්‍රේමයේ ගුණපණ ලැබීම වෙයි.

එසේ වූ කල්හි,

"දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා,
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තිබෙන තුරු
මුහුණ මත ඇස් රන්ඳා ඉන්නා
දෙයකි සෙනෙහස"
සරච්චන්ද්‍රයන් කියන දේ සැබෑවක් වෙයි.
එවිට ප්‍රේමය පළා නොයයි. නොරිදවයි. වංචනය නොකරයි. පාංශකූලයට අත් නො වනයි. රැක ගනියි.

මට හිතෙන්නේ අපි අපිට අනුව ප්‍රේමය, ආදරය,සෙනෙහස පුදන්න ගියානම් එය අපිම විඳීම හා ඉවසීම කියා සිතුවානම් ඉන් විඳවීමක් නැති වින්දනයක් ලබන්නට හැකිය.

එවිට ආයෙත් මතුවෙන නන්දක්කාගේ හඬ අපිව සැහැල්ලු නොකරයිද..?

"පවනේ පාවෙන ඔබේ සුවඳකින්

විකසිත වු හද

සිහිළැල් වේ"

එහෙම නැත්නම් ජගත් හඳුනා ගත් ප්‍රේමයේ හද නැවතුමේ නැංගූරම වෙන්නේ වෙනස් ලෙසකිනි.

"කුමටද ආදරයේ පෙම් සැමරුම්

ඉමක් කොණක් නැත පෙම් පාරාදීසේ

ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා"

කොහොමත් හැමදේම වාගේ ප්‍රේමයත් සොඳුරුයි.

එය පරාර්ථයෙන් යුතුව දෙදනාම හඳුනා ගත් කල.

ඒ නිසයි පැරණි සාහිත්‍යයේ ප්‍රේම සෘෂිවරුන් කීවේ,

"ආදරේ සේ සුවදෙනා

නැත ලොවේ

අන් රසඳුනා" කියා.

එසේ වූ කල

මේ ලෝකයම එක යායකි.

එහෙම වෙන්නේ  ප්‍රේමය විසින් අනෙකා නොරැවටීමත්

අනෙකා විසින් ප්‍රේමය නොරැවටීමත් මතය.

තේරුම් ගත යුත්තේ එය නොවේද?

එවිට ලොවම සිනාසෙනු ඇත.

චම්මින්ද වෙලගෙදර

30-07-2025