උණුසුම් පුවත්දේශපාලන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනපතිගේ සහායට එක් වෙති

ජනපතිට විජයග්‍රහණයක් ලබාදීමට කැපවන බවට ඔවූහු අවධාරණය කරති

නැවත පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන  ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති රටක් ගොඩනැඟිය හැක්කේ ජනපති රනිල්ට පමණයි

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිඳු කොන්දේසියකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කිරිමට  කැප වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් අද (30) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ප්‍රකාශ කළහ.

නැවත දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැඟිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවද ඔවූහු සඳහන් කළහ.

තමන් අසීරුවෙන් ගොඩනැඟු පක්ෂය රට ගැන නොසිතා සුළුතරයක බලපෑම මත ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර මෙම තීරණයට එළැඹි බව පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මීට එක්ව සිටී මන්ත්‍රීවරු පෙන්වා දුන් අතර, මේ වන විට හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පක්ෂ සාමාජිකත්වය ද තමන් ගත් තීරණය නිවැරදි බව සහතික කර ඇති බවත් පැවසීය.

රටේ ආර්ථිකය අස්ථාවර වී, නීතිය හා සාමය කඩවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහ මඟ ඝාතනය කළ තැනට වැටී තිබු රට දෙවසරක් තුළ ස්ථාවරත්වයට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත්, එදා ඔහු පිළිබඳ තැබු විශ්වාසය කඩ නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔවූහු වැඩිදුරටත් සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බවත්ය. ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බවද පැවසිය.

රට ගොඩනැඟීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගෙන් බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද කියා සිටියේය.

අමාත්‍යවරුන් වන අලි සබ්‍රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය  කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී. හේරත්, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රේමනාත් සී.දොලවත්ත, ජානක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න. ඩග්ලස් දේවානන්දා, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වුහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.