ඡන්දාපේක්ෂකයකු හෙළදිව ප්‍රශ්න පත්රයකට පිළිතුරු සපයයි. අද පිළිතුරු බඳින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දියවන්නා හොය තරණයට සැරසුණු ජනිත් පී. වී. විපුලගුණ
ජනිත් විපුලගුණ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්නදායකයින්ගෙන් ජනවරම් ලබාගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගිරුවා පත්තුවේ පොදු මහජන අවශයතා ඉටු කිරීමේ අපේක්ෂාව ම පෙරදැරිව පමණක් නොවේ. ඊට එහා ගිය දේශපාලන දැක්මක් ඔහු සතු ය. හේ තරග වදින්නේ සුප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දෙන මව්බිම ජනතා පක්ෂය ප්රමුඛ වාමවාදී දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් නිර්මාණය කෙරුණු සර්වජන බලය නම් සන්ධානයෙනි.
ජනිත් විපුලගුණ සුවිශේෂී චරිතයකට හිමිකම් කියන්නෙකි. ඔහු තමන්ට හිමි වූ මන්ත්‍රීධූරය, හම්බන්තොට දිසාවේ පොදුජන වරම පක්ෂයේ නියමය පරිදි නිහාල් ගලප්පත්ති මහතාට පිරිනමා නිහඬ වතකට එළැඹි මිනිසෙකි. ඒ 1994 අගෝස්තු 16 වැනි දා පැවති මහ මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණේ මල්බඳුන ලාංචනයෙන් තරග කොට මනාප 15691 ක් ලැබ දියවන්නා හොය තරණය කරන්නට සුදුසුකම් ලබා ගත් විපුලගුණ ජනතා විමුක්ති පෙරමුණේ තීරණයට එකඟතාවය දක්වා සිය පක්ෂයේ අභිමතයට ඉඩ හසර පාදා දීම හේතුවෙනි.
ජනිත් යනු විපුලගුණයෙන් පිරි එෙතිහාසික මන්ත්‍රීවරයකු සේ ලාංකේය දේශපාලන වංශකථාවට එක්වී ඇති චරිතයකි. ඒ පාර්ලිමේන්තු නියෝජිතයකු සේ ජනවරම ලැබ පාර්ලිමේන්තුවේ එක දිනක් හෝ අසුන් නොගත් මහජන නියෝජිතයා බව සටහන් කරමිනි.
2014 දී පසුව ඔහු සරත් ෆොන්සේකා මහතා ගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මාතර දිස්ත්‍රික් නියම්රවා සේ මැතිවරණයට තරග කළේ ය.     අද  ඔහු පදක්කම ලකුණ යටතේ දේශපාලන පොරපිටියට බැස සිටින්නේ කිසියම් විශ්වාසයකින් පිරි හිතකිනි. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් ගිරුවායේ ජන මනාපය ඉල්ලන ඔහු..... ඔහු කලාකරුවෙකි. හේ වෘත්තීය දිවිය අරඹන්නේ පළමුව මාධ්‍ය චිත්‍රශිල්පියෙක් ලෙස යි. ඒ විජය පුවත්පත් සමාගමට එක්වෙමිනි, ගුවන්විදුලියේ සහන නිවේදකයෙක් ලෙස ද සන්නිවේදනයේ නිම්වවළලු පුළුල් කර ගත් ජනිත් කලක් ධීවර වරාය නීතිගත සංස්ථාවේ ව්‍යාපෘති සම්බන්ධීකාරකයෙක් ලෙස ධීවර ප්‍රජාව අතර සැරිසැරුවේ ය. 
මහින්ද රාජපක්ෂ මහතා ගේ දේශපාලන කටයුතු ලේකම්වරයෙක් ලෙස ද අනතුරුව ,
යංග් ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ නිෂ්පාදකවරයෙක් හා පිටපත් රචකයෙක් ලෙස ද පරිචයක් ඇති හේ,
දේශපාලනික පුවත්පත් කිහිපයක කතුකම ද දැරූවෙකි
ඉරිදා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස සේවයේ නිරත වූ ජනිත් විපුලගුණ මේ වන විට, දැන්වීම් ප්‍රචාරණ ආයතනයක අධ්යක්ෂවරයෙක් ලෙස සමාජ ඇසුරේ වැඩෙමින් දේශපාලන ක්‍රියාකාරකම් හි නිබඳව ම නිරත වන්නේ පොඩි මිනිහාගේ දුක කඳුළ කෙරෙහි ඔහු තුළ පවතින දයාර්ද බව නිසා ම ය.
ඉදින් හෙළදිව මේ සුවිශේෂී ඡන්දාපේක්ෂකයා ප්‍රථමයෙන් ම මුණ ගැසුුුණේ ඔහු වෙතින් දකිනා ඒ සුවිශේෂී භාවය නිසා ම ය.

මේ හෙළදිව ඊ පුවත් සංග්‍රහය ඔහු වෙත යොමු කළ ප්‍රශ්න මාලාව යි. ඊට ඔහු දුන් පිළිතුරු ද අපි කියවමු. බලමු. හිතමු
- 2024 මහ මැතිවරණයේ දී NPP ය ආසන කීයක් ගනීවි ද ?
මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි වුණු ආකාරය නිරීක්ෂණය කරනවිට, ශ්‍රී ලාංකීය ඡන්දදායකයා යම් සාධනීය නැඹුරුවකට ගමන් කරමින් සිටින බව අවබෝධ කරගත හැකියි. එසේ වුවත්, එය ඡන්දදායකයා යන ප්රපංචය, සමස්ත රටවැසියන් අතරින් වෙන්ව ගොස්, පුරවැසි මානසිකත්වයකින් යුතුව රටේත් ජනතාවගේත් අනාගත අභිලාෂ ජයගැන්වීම උදෙසා ප්‍රමාණවත්ව ගමන් කර නැති බවක් මට දැකගන්නට ලැබෙනවා.
ඒ අර්ථයෙන් ගත්විට ජාතික ජන බලවේගය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය, හුදු ප්රචාරාත්මක වාසියක් සහ අලුත් පරම්පරාවේ සහ පැරණි පරපුරේ, මානසිකත්වය වෛරය හා දුර නොවන ළඟ දකින, බලාපොරොත්තු ඉටුකර ගැනීම තුළ සතපවා ලබාගත් ඡන්ද ප්‍රමාණයක් හැටියටයි මම දකින්නේ.
ඉතින්, ඒ කෙටි දුර දැකපු බලාපොරොත්තු, ඉටු නොවන මානසිකත්වයන් වර්ධනය වීමත් සීඝ්‍ර යෙන් සිදුවිය හැකියි. ඒ නිසා සුවිසල් ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙයි කියලා හිතන්න අපහසුයි.
කෙසේ වෙතත්, පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඔවුන්ට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 100 ක් පමණ පහසුවෙන් ම ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එය ආරක්ෂාකර ගැනීම සහ වැඩිකර ගැනීමයි ඔවුන් විසින් සිදුකරමින් සිටින්නේ.
- විපක්ෂය ආසන කීයක් ගනීවි ද ?
ඉහත ප්‍රශ්නයට මා දුන් පිළිතුරට සමගාමීව විපක්ෂ විසින් ලබාගන්නා, මන්ත්‍රී ධුර සංඛ්‍යාව පිළිබඳව අවබෝධයක් ලැබෙනවා නේද ?
හැබැයි මෙහිදී විපක්ෂය යනු සාම්ප්‍රදායික විපක්ෂය ලෙස, යළි පත්වන විපක්ෂය කටයුතු නොකළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ සමස්ත විපක්ෂය ම, මේ දක්වා ම කටයුතු කළේ ඉතා නරුම ආකාරටයි. ලොව ම වසාගත් කොරෝනා වසංගත කාලෙත්, අපි ඒ නරුම විපක්ෂයේ හැසිරීම මැනැවින් දුටුවා. ගොඩාක් අයට ඒවා මතක නෑ. මතකයේ තිබුණත් දේශපාලනයෙන් එහා ගිය කුහකත්වය මත ඒ කාලය, විහින් ම අමතක වූවා සේ කටයුතු කරනවා. ඒක රටේ අවාසනාවක්.
ඉතින්, මින් මතු ව්‍යවස්ථාදායකයට පත්වන විපක්ෂය රටට හෙණ ගැහුවත්, පෙරළා බලය ම ඩැහැ ගැනීමට මාන බලන, පෙර අප දුටු පට්ට කුහක, අධම විපක්ෂය ලෙස කටයුතු නොකළ යුතු යි.
ඒ නිසා, කවුරුන් විපක්ෂයට පත් වූවත් හොඳ දේ අගයන්නත්, ඊට නොපසුබටව සහාය දීමටත් ඉදිරිපත් විය යුතුයි. දැන්වත්, ඒ කියන්නේ මේ තැන සිටවත්, ගජබින්නාලංකාර කුහක දේශපාලනය ඔය සියල්ලෝම අත් හළ යුතුයි. තමන් ගැන සහ තම පක්ෂය ගැන මෙන් ම, තමන්ගේ පවුලේ දේශපාලන අනාගතය ගැන නොසිතා කටයුතු කළ යුතු යි.
- මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන මන්ත්‍රීවරු දේශපාලනයෙන් සමුගනීවි ද ?
පළමුව කිවයුත්තේ එලෙස මෙම මැතිවරණය මගහැර සැඟවුණු පුද්ගලයින්, සැබෑ ලෙස ම දේශපාලනයෙන් ඉවත් වන්නටත් පෙර ඉවත් කළ යුතුයි. මෙතැනදි මෙවන් තත්ත්වයක් නිර්මාණය වීමේ පසුබිමත් අපි සැලකිල්ලට ගත යුතුයි. ඇත්තට ම ඊට බලපෑ මුඛ්‍ය දේශපාලන භාවිතය, ප්‍රකට කළේ ජාතික ජන බලවේගය යි. ඔවුන්ගේ ඇවතුම් පැවැතුම් මේ සාම්ප්‍රදායික දේශපාලකයින්ට, දරාගන්නට බැරි සීමාවකට රැගෙන ගියා. ඒ නිසයි අද ඔය යම් පිරිසක් දේශපාලනයෙන් අතුගෑවිලා ගිහින් තියෙන්නේ. එය රටේ අනාගතයට සාධනීයයි.
නමුත්, මේ සමහර උදවිය පෙර පුරුදු ආකාරයට ම අවස්ථාවක් ලද සැනින්, යළි ලැජ්ජාවක් බයක් නැතුව ම ආයෙත් දේශපාලනයට ඒවි. ඒ අයට නිසි පිළිතුරු දීම පුරවැසියා සතු යි.
මම නිතර ම කියන දෙයක් තමයි ඕනෑම රාජ්‍යයක, රටවැසියන් සහ පුරවැසියන් ලෙස කොටස් දෙකක් සිටින බව. ඒවගේ ම දේශපාලකයින් සහ දේශපාලනඥයින් ලෙසත්, උගතුන් සහ බුද්ධිමතුන් ලෙස තවත් වර්ගීකරණයක් ද කළ හැකි බවයි. ඡන්දදායකයින් සහ අන්තේවාසිකයින් හෙවත් වහල්ලුන් ලෙස ද මැතිවරණ දේශපාලනය තුළ මේ සමාජය වර්ග කරගත හැකියි.
මේ වර්ගීකරණය පිළිබඳව වෙනත් අවස්ථාවක මම වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරන්නම්.
- පත්වෙන ආණ්ඩුවේ මංගල අය - වැය ජනතා සහන වැඩි කරාවි ද ? අඩු කරයි ද ?
පැහැදිලිවම නව ආණ්ඩුවක් ජනප්‍රියත්වය හා පැවැත්ම ආරක්ෂාකර ගැනීම උදෙසා, විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒක ජාතික ජන බලවේගයටත් පොදුයි. හැබැයි ජනතාව ඔවුන් පිළිබඳව විශ්වාසය තැබුවේ, පැරණි දේ කරන්න ම නොවන බවයි මමත් විශ්වාස කරන්නේ.
ජනතා සහන ලබාදීම කියන කාරණයෙදි, සෑම ආණ්ඩුවක් ම රාජ්‍යයේ මූල්‍ය තත්වය තොරොම්බල් කළේ ම, පොරොන්දු ඉටුකිරීම කියන සරල සහ අමන තේමාවට යටත්වයි. දැන් මේ අයට එසේ කරන්නට බැරි තත්ත්වයක් ද නිර්මාණය වී තියෙනවා.
ඒ තමයි රට ට බාහිරින් නෛතිකව මෙන් ම, ගෝලීය හෝ කලාපීය හෝ, දේශපාලනික බලහත්කාරය කියන කාරණාවන්. මෙහිදී රාජ්‍යයේ මූල්‍ය කළමනාකරණයට මැදිහත් වූ, අන්තර්ජාතික සංවිධාන ද පහසුවෙන් නොසලකා හරින්න බැහැ.
මේ පසුබිම තුළ, ජනතාවට සහන සැලසීම අතුරේ යාමක් වැනියි.
මම යළිත් කියනවා. කොරෝනා වසංගතය වෙලාවෙත් පැවැති රජය අසීරුතාවන්ට පත් කරමින්, වහසි බස් දොඩවපු අයගෙන් ද සැදුම්ලත් කණ්ඩායමක් අතට බලය මාරු වෙලා තියෙනවා. දැන් අපි සැබෑ පුරවැසියන් හැටියට, ඒ අයට ඒ ආකාරයෙන් සැලකිය යුතු නෑ. අවස්ථාවක් දිය යුතුයි. වැරදි අඩු පාඩු මෙන්ම කුහක දේශපාලනයෙන්, මිදෙන්නත් අවස්ථාවක් දිය යුතුයි. ඒ නිසා ජනතාවට සහන දීම ගැන නම් මගේ එතරම් හඹා යෑමක් නෑ... මොකද එහෙම දෙන්න බෑ... හැබැයි කියපු විදියට නම් දිය යුතු යි.
- ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, (IMF), ලෝක බැංකුව ( World Bank), හා සෝපා ( SOFA) ගිවිසුම් ගැන බලයට ඒමට පෙර හා පසු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි ?
ඔබ විසින් ඉහතින් අසා ඇති පැනයට මම දුන් පළමුවන පිළිතුර මෙයට ඍජුව ම අදාළයි.
මීට පෙර විපක්ෂයේ සිටිය දී, අන්තර් ජාතික ගිවිසුම් සහ අන්තර්ජාතික ගනුදෙනු සම්බන්ධව කළ කී දෑ, බලයට පත් වූවාට පසුව සිදු කරන්නට බැරි බව දැන් පැහැදිලියි නේද ?
හුදු, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ජනතාව මුළා කළාට, දැන් එහෙම කරන්න ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ උපක්රමවලටවත් බෑ. යථාවට මුහුණ දිය යුතු යි. මෙන්න මෙතැනදි තමයි මම කියන පුරවැසි භූමිකාවට, සැබෑ සහ ප්‍රබල වලංගුභාවයක් ලැබෙන්නේ. රටේ, සැබෑ බුද්ධිමතාට, දේශපාලනඥයාට, ඡන්දදායකයාට සහ පුරවැසියාට මෙහිදී දැඩි වගකීමක් තියෙනවා.
- රජයේ අරමුණ විදේශ සංචාරක ආදායම් නැංවීම නම්, නුවරඑළිය තැපැල් කාර්යාල සංචාරක ව්‍යාපෘතිය නතර කළේ ඇයි ?
මේ තමයි තවමත් ජාතික ජන බලවේගය තුළ තියෙන ජානමය ලක්ෂණ ඉස්මතුවීම. ඔවුන්ට ඇත්ත ඇති හැටියෙන් පිළිගන්නත්, පවසන්නත් තවම නොහැකි තත්ත්වයන් තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් සමාජගත කළ ඇතැම් අදේශපාලනික වෛරී කරුණු සමාජගතව තිබීමේ ප්‍රබලතාවය. ඒ නිසා, ජාතික ජන බලවේගයට කුමන හෝ තත්ත්වයක් මත, රාජ්‍ය බලය හිමිවීම වැදගත්. දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටිනවා, අපේ පැරණි ප්රස්ථා පිරුළක්. ඒක තමයි “කියනකොට එහෙමයි - කරනකොට මෙහෙමයි“. කියන පිරුළ.
- පහ (5) වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකීරීමට සම්බන්ධ පාසල් ගුරුවරයා කවුද ? ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයි ?
ඇත්තටම මට ඒ ගැන දීර්ඝ අධ්‍යයනයක් නැහැ. මම ඒ ගැන උනන්දු නොවන්නට එක් හේතුවක් තියෙනවා. ඔය ශිෂ්‍යත්ව විභාගය කියන්නෙ ම මහා අභූත වැඩක්. ඒකට හරි හමන් නිර්ණායක නැහැ. ඒක පවත්වන්නේ ඇයි කියලා නිශ්චිතව කරුණු පැහැදිලි කරන්නට අපේ අධ්‍යාපනයේ බලධාරීන්ටත් බැරිවෙලා තියෙනවා. දැන් බලන්න. මේ විභාගය “අම්මලාගේ විභාගයක්” ලෙස සමාජගතව තිබීම ම එම විභාගයේ සමාජ පිළිගැනීම හා වැදගත්කම වටහාගන්න හොඳටම ප්‍රමාණවත්.
මම ඒකෙන් අදහස් කරන්නෙ නැහැ එම විභාගය ඉතා නොවැදගත් කියලා. දරුවන් වෙනුවෙන් කඩඉම් විභාගයක් පැවැත්වීම වැදගත්. මම දිවා රෑ වෙහෙසිලා එම විභාගයට මගේ දරුවන් රැගෙන නොගියාට, මගේ දරුවන් එම විභාගය සමත් වූවා. එහෙත් එවැනි විභාගයක් මේ වැනි අපබ්‍රංශ තත්ත්වයකට පත්වෙනවා නම් දැන්වත් බලධාරීන් මීට වඩා ඒ ගැන විමසිලිමත් විය යුතුයි.
කෙසේ වෙතත්, වරදක් කර ඇති යමෙක් වෙත්නම්, ඔහුට හෝ ඇයට හෝ, නිසි දඬුවම් ලබා දිය යුතු යි. ජාතික ජන බලවේගයට ජනතාව යම් ප්‍රමාණයක් හෝ, ඡන්දය දීලා තියෙන්නේ ඒ බලාපොරොත්තුවෙන්. ඔවුන් එය ඉටු කළ යුතුයි.
- රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට කවරාකාර සැලසුම් ඔබේ පක්ෂය සතු ද ?
පැහැදිලිව ම මම පක්ෂයක් සමග එකතුවන්නේ ඒ පක්ෂය රටත් ජනතාවත් වෙනුවෙන්, ගන්නා සහ ඉදිරියට ගන්නට බලාපොරොත්තු වන, වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරලයි. ඒක තත්කාලීන සමාජ, ආර්ථික සහ ගෝලීය හෝ කලාපීය භූ දේශපාලනික හෝ, ප්රවණතා මත ද සැලකිල්ලට බඳුන් කළ යුතුයි.
විශේෂයෙන් මම විශ්වාස කරන දෙයක් තමයි, අපේ භාෂාවෙන් කියනවා නම්, රටේ වෙසෙන සෑම කුටුම්භයක් ම රාජ්‍ය යේ ව්‍යවසායකත්වයේ කොටස්කරුවන් විය යුතුයි කියන එක. එසේ නොමැති වුවහොත් ඔවුන් රටට බරක් වීම වලක්වන්න බෑ.
දිලිත් ජයවීර මහත්මයා ගැන මට දීර්ඝකාලීන වැටහීමක් තියෙනවා. මම ඔහු දීර්ඝකාලීනව සමීපව ඇසුරු කරලා නැහැ. ඒ වුණාට ඔහු “අරමුණ“ කියලා සංකල්පීය තලයේ වැඩක් සමාජගත කරන විට මම දුරින් හිඳ ඒ ගැන අදහස් පළ කළා. පසු කලෙක ඔහු මට හමුවුණා. ඒකට මග පෙන්වූවේ තිමිර රාජපක්ෂ කියන මගේ, අපේ මිතුරා. මම මගේ අදහස කිව්වා. අපිට අපි දරන මතවල සමපාත බවක් දිස්වූවා. ඒ අනුවයි මම ඔහුගේ පක්ෂයට සහ ඔහුට සහාය දෙන්න තීරණය කළේ.
ඒ වගේම තමයි, දිලිත් ජයවීර කියන්නේ අප්‍රතිහත ධෛර්යෙන් යුතුව, මේ අධිකාරී ව්‍යාපාරික ලෝකය තුළ තමන්ගේ සන්නාමය ඉහළින් ම ඔසවා තබාගත් අයෙක්. ඔහු වැනි ස්වදේශික ව්‍යාපාරිකයෙක් දිනවන්නට කටයුතු කිරීම ලැජ්ජාවට කරුණක් නොවෙයි.
අනිත් දේ තමයි, ජාතිකවාදී බව. මම ඒකට එදත්, අදත් කැමැතියි. හෙටත් එහෙම ම වෙයි. ඒක මම දිලිත් ගෙන් දුටුවා.
සැබැවින්ම ලෝකයේ බටහිර සිට අස්සක් මුල්ලක් නෑර ම, ඔය දියුණුයි කියන සෑම රාජ්‍යයක් ම, ජාතිකවාදී ප්‍රතිපත්ති මතයි දියුණු වෙලා තියෙන්නේ. ජපානය, චීනය වගේ ආසියාතික රටවල් ගත්තත්, බටහිර දියුණුයි කියන රටවල් ගත්තත් එහෙමයි. ඒත් අපේ රටේ ජාතිකවාදය කුණු මුල්ලට දාලයි මේ බොහොමයක් අය දේශපාලනය කතා කරන්නෙ ම. ඒක හරිම අවාසනාවක්. එවැනි පසුබිමක දී වුවත් ජාතිකවාදී උත්ප්රේරණයන් සහිත, දියුණු ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනැගීමට, කවරෙක් හෝ දරණ උත්සාහය වටිනවා. මම මේ මොහොතේ ඊට සහාය දක්වනවා. ඒ තුළින් රට ට දියුණුවක් අත්කරගත හැකියි.
දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මේ පක්ෂයට, ශිෂ්ටත්වය අගයන පුරවැසියන් සහාය දක්වාවි. එසේ නොවුණු අය වෙත් නම්, මේ අවස්ථාවේදී වත් අප සමග අත්වැල් බැඳගන්නා ලෙස මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.
මම එදත් සිතුවේ පොදු යහපත. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. මියෙනතුරු එහෙමයි.
- සුගතපාල මැන්දිස් -
2024.10.19
 
            