උණුසුම් පුවත්දේශපාලන

පාලනයේ සහ ජනතාවගේ වුවමනා එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු

ජාතික ජන බලවේගය ගම්පහ කාන්තා සමුළුවේ දී නායක ඒ. කේ. ඩී කියයි

වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලනයක්, නීතිය සැමට ක්‍රියාත්මක වන දේශපාලනයක්, ජාතික සම්පත් විකිණීමට එරෙහි දේශපාලනයක් සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලනයක් පොදු ජනතාවගේ අවශ්‍යතාවය වුණා. මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලයට පහර දෙන විට වරායේ, ජාතික රෝහලේ, සහ වෙනත් තැන්වල ජනතාව එක එල්ලේ දුවගෙන ගෝල්ෆේස්වලට ගියා. තමන්ගේ දරුවන්ට අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් පෙළ ගැසුණා. ඒ නිසා පොදු ජනයාගේ වුවමනාවත්, දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ වුවමනාවත් පැහැදිලි බෙදුම් රේඛාවකින් වෙන් වෙන මොහොතක මධ්‍යස්ථ යනුවෙන් කිසිවෙකුටත් හිටින්න බැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ දහස් සංඛ්‍යාත කාන්තාවන් එකතු වීමෙන් පෙන්වන්නේ ඒ බවයි.  අවුරුදු 76ක් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කණාමැදිරි එළියටත් බයෙන් ඉන්නේ. බැසිල් රාජපක්‍ෂ ඇමතිකමින් ඉවත් වූ වහාම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ ඔවුන්ට එරෙහි නඩු ටික ඉවත් කරගත් බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වූ වහාම ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවත්වාගෙන යා නොහැකි නිසා ඉවත් කර ගත්තා. මේ වගේ ඇති තරම් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාවක් ඉන්නවා. ඒ නිසා අපෙන් අහනවා, අපව විශ්වාස කරන්නේ කෙසේද කියලා. අපි එක සහතිකයක් ඔබට දෙනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබ මල් රොණක තරමින්වත් හානි වෙන්න ඉඩ නොදෙන බවට අපි සහතික වෙනවා. ඉතිහාසයේ ඔවුන්ගේ වුවමනාවත් ජනතාවගේ වුවමනාවත්

දෙකක් වුණා. ලංකාවේ පළමු වරට අපි එකතු වෙලා පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු.

ආර්ථිකයේ බිඳවැටීම රටටත් ජනතාවටත් බලපානවා. ආණ්ඩුවට වියදම් කරන්න භාණ්ඩාගාරයේ සල්ලි නැතිවීම රටට බලපානවා. මේ වසරේ ඇස්තමේන්තු කළ ආණ්ඩුවේ ආදායම රු. බිලියන 4164 යි. මේ සැරේ ණය වාරික ගෙවීම පොලී වාරික ගෙවීම සහ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 11,277ක් වැය වෙනවා. ආර්ථිකයක් කඩා වැටුණහම දේශීය වගේම රටට ආනයනය කළ යුතු භාණ්ඩ වෙනුවෙන් ඩොලර් නැති වෙනවා. මේ වන විට පාසැල් උපකරණ ඇතුළු අධ්‍යාපනයටත් වැට් බදු ගහනවා. ඒ වගේම ඖෂධ නිෂ්පාදනයට ගන්න අමුද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණවලටත් බදු ගැහුවා. විශාල බදු ජාලයක ජනතාව හිර කර විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල මිල විශාල ලෙස වැඩිකර තිබෙනවා. ලක්‍ෂ 10කගේ විදුලිය විසන්ධි කරලා. ආර්ථිකය කඩා වැටුණහම රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. අපි ගොඩනගන ආර්ථීකය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අඩුවෙන, නිෂ්පාදන වැඩිවෙන,  දරුවන්ට රැකියා උත්පාදනය වන නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. විදුලිය සඳහා යන වියදම අවුරුදු දෙකකින් පමණ 1/3කින් අඩුකළ හැකියි. ඒ වගේම නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකිරීමෙන් රු. කෝටි 30,000ක් රජයට අහිමි වෙනවා. අනික් පැත්තෙන් ඔවුන්ගේ සමීපතමයන්ට බදු දැලෙන් රිංගා යන්න, බැංකුවලට පොලු තියන්න ඉඩ දී තිබෙනවා. එය නැවැත්වීමේ මහජනයා හට පටවා තිබෙන බර විශාල වශයෙන් අඩුකළ හැකියි.