ජගත් ගේ සතියේ සටහන - 65
පිල්ලෙයාන්!?
පසුගිය අප්‍රේල් 8 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකළපුවේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධාන මාර්තෘකාවක් බවට පත්වී තිබෙනවා.
ඒ පිවිතුරු හෙළඋරුමයේ නායක හිටපු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගිය 13 වැනිදා පිල්ලෙයාන්ගේ නීතිඥයා වශයෙන් බන්ධනාගාරයට ගොස් ඔහු සමඟ සාකච්ඡා කිරීම නිසයි. එමෙන් ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පිල්ලෙයාන් සමඟ දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස සිය ආරක්ෂක නිලධාරියකු මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ නමුත් එයට අවසරය ලැබුණේ නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පිල්ලෙයාන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 2006 වසරේ දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත බවයි දැනගන්නට තිබෙන්නේ.
යුද්ධය පැවති කාලයේ කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගේ දෙවැනියා ලෙස කටයුතු කළ පිල්ලෙයාන් පසුව කරුණා අම්මාන් සමඟ කොටි සංවිධානයෙන් ඉවත් වී රජයේ හමුදාවට සහාය දුන්නා. නැගෙනහිර කොටින්ගේ බලය විනාශ කිරීමට ඔවුන් දෙදෙනා විශාල කාර්යභාරයක් සිදුකළ බව එකල හමුදා ප්‍රධානීන් ද පවසා තිබුණා.
පසුව ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පිවිසි කරුණා සහ පිල්ලෙයාන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් වශයෙන් ද කටයුතු කළා.
සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් (TMVP) නම් දේශපාලන පක්ෂයක් ද පිහිටුවා එහි නායකයා ද වූ අතර පසුව ඔහු නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා ලෙස ද පත්කරනු ලැබුවා.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ව සිටි ජෝෂප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් 2015 දී සැකපිට අතුඅඩංගුවට ගනු ලැබූ පිල්ලෙයාන් වසර පහක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ ද පසුවුණා. එහෙත් නඩු පැවරීමට තරම් චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත්වීම හේතු කොටගෙන ඔහු 2020 දී නිදහස් කෙරුණා.
දැන් පිල්ලෙයාන් දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රිමාන්ඩ් බාරයට පත් කොට තිබෙනවා.
මේ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවසන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයට ද පිල්ලෙයාන් සම්බන්ධ බවයි. පිල්ලෙයාන් සමඟ සමීපව කටයුතු කළ අසාද් මව්ලානා නමැත්තා බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමින් පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ බවටප්රකාශ කොට තිබුණා. මේ වන විට ස්වීට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගෙන සිටින අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් පියවර ගෙන කැහැ.
පසුගිය 13 වැනිදා පිල්ලෙයාන් හමුවීමෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ආන්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස පිල්ලෙයාන් නම් කිරීමේ උත්සාහයක යෙදී සිටින බවයි. එහෙත් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පිල්ලෙයාන් රිමාන්ඩ් සිරභාරයේ පසුවූ බව ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
පාස්කු ප්‍රහාරයට හෙට ට (21) වසර හයක් සම්පූර්ණ වන අතර එහි වගකිවයුත්තන් අල්ලා ගැනීමට මෙතෙක් ආණ්ඩුව අපොහොසත් වීම ගැන කතෝලික සබාව නොසන්සුන් වී සිටිනවා.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කවුරුන් දැ යි ජනපති කියයි ද?
අප්‍රේල් 21 දාට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් අල්ලා ගත්තේ නැතිනම් කතෝලික සභාව දැඩි ක්‍රියාමාර්ග වලට යන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
එයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජන රැළියක දී පවසා තිබුණේ අප්‍රේල් 21 දාට පෙර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරනා බවයි.
පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා පිල්ලෙයාන් ගේ හිටපු රියැදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිල්ලෙයාන්ගේ තවත් කිට්ටු හිතවතුන් කිහිප දෙනකු පිල්ලෙයාන්ට විරුද්ධව සාක්කි දීමට ඉදිරිපත් වී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු උපුටා දක්වමින් රාජ්‍ය මාධ්‍ය වාර්තා කොට තිබුණා.
මේ අතර පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු මන්ත්‍රී සරත් වීරසේකර , ප්‍රේමනාත් සී දොළවත්ත ආදීන් පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරනවා.
ආණ්ඩුවේ සහ තවත් පිරිසකට අවශ්‍ය වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සැලසුම් කොට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා බව ඔප්පු කිරීමට යයි මේ පිලිබදව අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසනවා.
පාස්කු ප්‍රහාරය සැලසුම් කළ එකක බව පවසන පිරිස කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිසක් කතෝලික ප්‍රදේශවල ඡන්ද පොදුජන පෙරමුණට ලබා ගැනීමේ අරමුණෙන් මේ ප්‍රහාරය සිදුකරන්නට ඇති බවයි.
අප පසුගිය සතියේ හෙළිකළ අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ FBI හෙවත් ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය කැලිෆෝර්නියා අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බවයි. ඔහු අම්පාරේ දී බෝම්බ පුපුරුවා ගෙන මියගිය අතර ඔහුගේ දෙවැනියා ලෙස මොහොමඩ් නවුෆර් මව්ලවි නමැත්තා එහි නම්කොට තිබුණා.
කෙසේ වුවද රිමාන්ඩ් භාරයේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියකු ලෙස නම් කොට ඉදිරි දිනවල දී අධිකරණය හමුවට පැමිණ වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.
ෙම් අතර පාස්කු ප්‍රහාරෙය් මහමොළකරුවන් 21 වැනිදාට පෙර හෙළි කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් අප්‍රේල් 21 දාට පෙර මහමොළකරුවන් හෙළි නොකළහොත් කාදිනල් හිමිපාණන් ගන්නා පියවර ගැනත් කතෝලික ජනතාව විමසිල්ලෙන් පසුවන බව ද දේශපාලන විචාරකයින් පවසනවා.
෴෴෴෴෴ ෴෴෴෴෴
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 වැනිදා ප්‍රකාශයට පත්කරනු ලැබූ නව තීරුබදු හේතුවෙන් රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් මහත් අසීරු තත්ත්වයකට පත්වුණා. දැන් එම බද්ද ක්‍රියාත්මක කිරීම ඔහු විසින් දින 90 කට අත්හිටවා තිබෙනවා.
ට්‍රම්ප් ගේ තීරුබදු!
ඇමරිකා එක්සත් ජනපදයේ මෙම නව තීරු බදු අනුව ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා කලින් 12% ක් ව තිබූ තීරුබද්ද 44% ඉහළ නංවා තිබෙනවා.
මෙයින් ශ්‍රී ලංකාවේ ඇඟළුම්, පොල් හා රබර් නිශ්පාදන භාණ්ඩ ඇතුළු අපනයන රාශියකට පහර වදිනවා.
මෙම තීරුබදු සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කොට සහනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිර්වර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් හෙට (21) ඇමරිකාව බලා පිටත්ව යන බව මුදල් අමාත්‍යාංශයේ ආරචි මාර්ග පවසනවා.
ඇමරිකා එක්සත් ජනපදියෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව 88% ක තීරුබද්දක් අය කරනවා. ඒ නිසයි ඇමරිකාව ශ්‍රී ලංකාවට 44% තීරුබද්දක් පනවා තිබෙන්නේ.
මෙම තීරුබද්ද අඩු කර ගැනීමේ අරමුණෙන් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බද්ද විශාල ලෙස අඩු කිරීම ගැන පසුගියදා භාණ්ඩාගාරය හා මහ බැංකුව සම මුදල් අමාත්‍යාංහයේ නිලධාරීන් සාකච්ඡා කොට තිබෙනවා.
ඇමරිකානු භාණ්ඩ සඳහා 05% හෝ 10% හෝ දක්වා තිරුබද්ද අඩු කළහොත් ඇමරිකාව ද ශ්‍රී ලංකාව සඳහා වැඩිකොට ඇති තීරුබදු අඩුකර ගත හැකිවනු ඇතැ යි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා.
මේ අතර යුරෝපා සංගමයේ රටවලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලබාදී තිබෙන GSP+ සහනය ලබන වසරේ අවසන්වීමට නියමිතයි.
එම සහනය ශ්‍රී ලංකාවට තව දුරටත් ලබාදීම ගැන සොයා බැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද වාර්තා වෙනවා.
එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම, නීතියේ ආධිපත්‍යය පවත්වා ගෙන යෑම ආදිය සොයා බැලීමට නියමිත යි.
දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා මානව හිමිකම් උල්ලංඝනය වන බවට චෝදනා එල්ලවී තිබෙනවා. එම පනත තව දුරටත් පැවතුණොත් GSP+ සහනය ලබා ගැනීමට එය බාධාවක් වීමට ඉඩ ඇති බැවින් එම පනත අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා.
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන වනවිට අහෝසි කිරිමට ආණ්ඩුව කටයුතු කරන බවයි.
මැයි රැළි අමතක කරලා ?
මැයි දිනයට ඇත්තේ තවත් දින දහයක් වැනි කෙටි කාලයක්.
එහෙත් මෙවර මැයි දින රැළි හා පෙළපාලි පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ ගණනාවක් ම තීරණයක් ගෙන නැති බවයි වාර්තා වෙන්නේ.
ජාතික ජන බලවේගය ඔවුන්ගේ මැයි රැළිය ගාලුමුවදොර පිටියේ පැවැත්වීමට කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවා.
සමගි ජන බලවේගය කොළඹින් පිට ප්‍රදේශයක මැයි රැළිය පමණක් පැවැත්වීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් කොට ඇතැ යි දැනගන්නට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින රැළියක් පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට පලාත් පාලන මැතිවරණයට තරග කරන එම පක්ෂයේ අපේක්ෂකයින් වෙනුවෙන් රැස්වීම් කිහිපයක් පැවැත්වීමට යන බවයි 'සිරිකොත' ආරංචි මාර්ග පවසන්නේ.