උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වනවා නම් 2015  සිට පටන් ගන්න – විචාරක මතය

ජගත් ගේ සතියේ සටහන  -  66

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වනවා නම් 2015  සිට පටන් ගන්න - විචාරක මතය

ශ්‍රී ලංකාවේ ISIS සබඳතා ගැන හෙළිකළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 2017 අගෝස්තු මාසයේ දී අධිකරණ ඇමති ධූරයෙන් ද ඉවත් කෙරුණා.

පසුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් හා උසස් රජයේ නිලධාරීන් 40 කට ආසන්න පිරිසකට අප්‍රේල් මාසය අවසන් වීමට පෙර අල්ලස් හා දූෂණ චෝදනා යටතේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරගෙන යනවා.

2014 වර්ෂයේ සිට 2021 දක්වා ලැබී තිබූ අල්ලස් පැමිණිලි විශාල සංඛ්‍යාවක් විබාග නොකොට යටගසා තිබු අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් පවරා තිබූ නඩු රැසක් ද තාක්ෂණික හේතුන් මත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබුණා. එහෙත් එම නඩු යළිත් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැ යි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පවසනවා.

 

(හවුරුදු 2කට පෙර වජයදාස රාජපක්ෂ කළ අනාවරණයට සැලකිල්ලක් දැක්වූවා නම් මේ මෘගයින් ගේ කුරිරු බිලිගැනීම වළක්වන්නට හැකියාවක් තිබුණා නේ ද?) - 

පසුගිය වර්ෂයේ පාර්ලිමේන්තුව මඟින් සම්මත කරනු ලැබූ දූෂණ විරෝධී පනත නිසා කලින් යටගසා තිබු මෙම නඩු යළිත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත, මුදල් විශුද්ධිකරණ පනත හා දූෂණ විරෝධී පනත යටතේ පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් වන නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, දොස්තර රාජිත සේනාරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු අදීන්ට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ පුත් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට ද පවරා තිබෙන නඩු මේ වන විට විභාග වෙමින් පවතිනවා.

මේ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින්, ව්‍යාජ ලේඛන සකස් කර රජයේ රෝහල්වලට ස්නායු රෝගීන්සඳහා භාවිතා කරන ''හියුමන් ඉමියනෝන් ලෝබින්" සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ''රිටොක්සි චැප්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ද නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා.

අධිචෝදනා ගොනු කිරීම සඳහා මෙලෙස කටයුතු කරමින් සිටින්නේ බාල ඖෂධසැපයූ බව කියන 'අයුසුලේට් බයොටෙක් ෆර්මා' සමාගමේ හිමිකරු වන සුනෙත් ජානක ෆ්‍රනාන්දු, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එහි සහකාර අධ්‍යක්ෂ ශාන්තිනි සොලමන්, ගණකාධිකාරී නෙරංජන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එච්. එම්. ධර්මසිරි රත්න කුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සේඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන යන අයට එරෙහිව යි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් නීතිපතිවරයා ඉල්ලයි

මේ අතර මෙම පිරිසට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරු මූර්දු ෆ්‍රනාන්දු මහත්මියගෙන් ඉල්ලා යවා තිබෙනවා.

සමාජයේ මහත් කැළඹීමක් ඇතිකළ මෙනිසා ශ්‍රී ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවූ මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කළ යුතුව ඇති බව ද ඒ සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා අගවිනිසුරුවරිය වෙත යවා ඇති ලිපියේ සඳහන්.

පසුගිය ආණ්ඩු සමයේ සිදුවී ඇතැ යි කියන විවිධ දූෂණ හා අක්‍රමිතාවලට සම්බන්ධ තවමත් අමාත්‍යාංශවල ඉහළ තනතුරු දරණ ලේකම් හා අධ්‍යක්ෂ මට්ටමේ නිලධාරීන් පිරිසකට ද මේ මාසය අවසන් වීමට පෙර නඩු පැවරීමට අදාළ ලිපිගොනු සකස් කොට අවසන් බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශනකොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

මෙසේ පැවරීමට යන නඩු පිළිබඳව පසුගිය සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා අල්ලස් හෝ දූෂණ විමර්ශනකොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේ දී කතාබහ වී ඇති බව ද දැන ගන්නට තිබෙනවා.

මැයි මස 6 වැනිදාට නියමිත පළාත් පාලන මැතිවරණවලට පෙර මෙම නඩු පැවරීමේ කටයුතු අවසන් කරන්නැ යි ජනාධිපතිවරයා අදාළ අංශ වෙතින් ඉල්ලා සිටි බව ද වාර්තා වෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයකු හා ඌව මහ ඇමතිව සිටි චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් 28 වැනිදා එම කොමිෂන් සභාව වෙත යෑමට නියමිතයි.

මීට පෙර අප්‍රේල් 17 වැනිදා පැමිණෙන ලෙස කොමිෂන් සභාව වික්‍රමසිංහ මහතා ට දැනුම් දී තිබුණත් අවුරුදු නිවාඩුව නිසා පැමිණිය නොහැකි බව  ඔහු දැනුම් දී තිබුණා. ඒ වෙනුවට අප්‍රේල් 25 වැනිදා පැමිණෙන ලෙස යළිත් දැනුම් දුන්න ද ඒ මහතා කොමිසමට දන්වා ඇත්තේ අප්‍රේල් 28 වැනි දා තමා එහි පැමිණෙන බවයි.

'Breaking News' රහකර කර ඇදල ගහන්න බලන් හිටියත්....

 

මේ අතර පසුගිය කාලයේ ජනාධිපති අරමුදලින් ප්‍රතිකාර සඳහා රුපියල් කෝටි ගණන් ලබාගෙන ඇති මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පවත්වා ගෙන යන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති දෙකේ දෙවරක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා.

පසුගිය 21 වැනිදාට වසර හයක් සම්පූර්ණ වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු ගැන අප්‍රේල් 21 දාට පෙර හෙළිකළ හැකිවනු ඇතැ යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අප්‍රේල් මුල් සතියේ ජනහමුවල දී පවසා තිබුණා.

ඒ අනුව අප්‍රේල් 21දාට හෝ ඊට පෙර හෝ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු විස්තර ආණ්ඩුව විසින් අනාවරණය කරනු ඇතැ යි අනුමාන කළ මාධ්‍ය ආයතන ඒ පිළිබඳ 'Breaking News' පළ කිරීමට සූදානමින් සිටි බව ද වාර්තා වුණා.

එහෙත් ජනාධිපතිවරයා කළේ පාස්කු ප්‍රහාරයේ හයවැනි සංවත්සරය යෙදී තිබුණු ඉකුත් 21 දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීම යි.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කොට කිසිවකුට හෝ නඩු පැවරීමට තිබෙන හැකියාව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ගේ ප්‍රධානත්වයෙන් සිව් දෙනකුගෙන් යුත් කොමිටියක් පත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉරේෂා මුතුමාල, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ එච්. ඩී. කේ. සී. පෙරේරා යන මහත්ම මහත්මීන් මෙහි සෙසු සාමාජිකයින් වෙනවා.

ඊට දිනකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර මහතා ද මෙම කොමිටියට පත්කරනු ලැබුවා.

පිටු 66000 කින් යුත් මෙම කොමිෂන් සභා වාර්තාව පස් දෙනකුගෙන් යුත් මෙම කොමිටියට ඉක්මනින් කියවා නිර්දේශ ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් එම කොමිටිය විසින් තවත් අනු කොමිටු කිහිපයක් පත් කිරීමට යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

FBI 33 ක් ඇවිත් කළ පරීක්ෂණ

එහෙත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම කොමිටි මඟින් කොමිෂන් සභා වාර්තාව කියවා බලා විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතවීමට ඉඩ ඇති බවයි.

අප පසුගිය සතියක හෙළික ළ අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI ආයතනයේ විමර්ශකයින් 33 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ මාස ගණනාවක් තිස්සේ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කළා.

එෆ්බීඅයි ආයතනයේ පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාණ්ඩුවේ ඉල්ලීමක් අනුව නොවෙයි. 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇමරිකානු පුරවැසියන් 5 කු මරුමුවට පත් වුණා. මෙම පිරිස පැමිණියේ එම මරණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට යි.

එම FBI කණ්ඩායම පරීක්ෂණ අවසානෙය් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු කාත්තන්කුඩියේ දී බෝම්බ පුපුරුවා ගෙන මියගිය සහරාන් හෂීම් මෙම ප්‍රහාරයේ ප්‍රදානියා හෙවත් මහ මොළකරු බවයි.  FBI වාර්තාව අනුව මොහොමඩ් නවුෆර් මවුලවි එහි දෙවැනියා ලෙස කටයුතු කොට තිබුණා. ISIS ත්‍රස්ත සංවිධානයේ නියෝග අනුව සහරාන් ඇතුළු කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරය සිදු කොට ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

   ආචාර්ය විජයදාස 2016 නොවැම්බර් 18 වැනිදා කළ අනාවරණය

 ආණ්ඩුව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට නම් කළ යුතුව තිබෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන සෙවීම නොව FBI වාර්තාව අනුව පරීක්ෂණ කිරීම බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිව සිටිය දී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 22 ක් සිරියාවට ගොස් අවි පුහුණුව ලබා  ඇති බව 2016 නොවැම්බර් 18 වැනිදා අනාවරණය කළා. මෙයින් ශ්‍රී ලංකාවට ඉදිරියේ දී අනතුරුදායක තත්වයක් ඇතිවමට ඉඩ ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නා.

යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් නායකයින් ගේ විරෝධය

ඔහුගේ එම ප්‍රකාශයට යහපාලන ආණ්ඩුවේ ඇමති, මන්ත්‍රී තනතුරු දැරූ මුස්ලිම් නායකයින් දැඩි ලෙස විරෝධය පළ කළා. විජේදාස රාජපක්ෂ මහතා ජාතිවාදය ඇවිස්සීමට යන බවට ද ඔවුන් චෝදනා කළා. අධිකරණ ඇමතිවරයාගේ මේ ප්‍රකාශයේ අඩංගු කරුණු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය බුද්ධි අංශය විසින් හෝ පරීක්ෂණ පැවැත්වූයේ නෑ. එයට හේතුව මුස්ලිම් පක්ෂ සමඟ ආණ්ඩුව කරගෙන ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ හො යන මහත්වරුන් ඒ ගැන නිහඬව සිටීමයි.  ආරක්ෂක මණ්ඩල රැස්වීම්වල දී වත් ඒ ගැන සාකච්ඡා නොවූ බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ISIS සබඳතා ගැන හෙළිකළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 2017 අගෝස්තු මාසයේ දී අධිකරණ ඇමති ධූරයෙන් ද ඉවත් කෙරුණා.

යහපාලන ආණ්ඩුවේ සිටි මුස්ලිම් නායකයින් ගේ බලපෑම් නොතකා ඒ දිනවල ම පරීක්ෂණ පවත්වා නිසි පියවර ගත්තා නම් 2019 අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබු බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වනවා නම් 2015  සිට එම පරීක්ෂණ ආරම්භ කළ යුතු බව ද ඔවුන් පවසනවා.

   - ජගත් -