උණුසුම් පුවත්දේශපාලන

පුංචි ඡන්දෙ කඩිනමින් පවත්වනු – ශ්‍රේෂ්ඨාධිකරණය

පංච පුද්ගල විනිසුරු මඬුල්ල කොමිසමට කියයි

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මෙන් ම මුදල් ඇමති ලෙස, ජනාධිපතිවරයා ද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරැති බවට තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දින නොපැවැත්වීම වැරැද්දක් සේ දකිමින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන සේ අද නියෝග කළේ ය.

ඉකුත් වසරේ මාර්තු මස 09 වැනි දා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැ යි තීරණයක් ලබා දෙන්නැ යි සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ත් පැෆරල් සංවිධානයත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිමින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. එකී පෙත්සම්වලින් දැක්වෙන කරුණු පිළිබඳව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල උක්ත නියෝගය මැතිවරණ කොමිසමට පවසන ලදි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ෆ්‍රනාන්දු, ගාමිණි අමරසේකර හා යසන්ත කෝදාගොඩ මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.