හෙළදිව කෙටිකතාව - 3
පෙට්ටගම
තෙලිතුඩ - චූලනාථ ජගත්චන්ද්‍ර
හෙළදිව ඊ පුවත් සංග්‍රහයට නිර්මාණ ඉදිරිපත් කරමින් අප වෙබ් අඩවිය පොහොසත් කරනා ෂර්මිලා බංදුනී දංවත්ත ගුරුවෘත්තියේ නියැළෙන බෝ හැකියාවන් ගෙන් පිරිපුන් කිවිඳියෙකි. කෙටිකතා කාරියෙකි. ජපන් හයිකු කවියට පෙම්බැඳි කවිකාරියකි. ගුරු වෘත්තියෙන් ළමා මනස හැඩවැඩ කරමින් සමාජයට හෙට දවසේ යහපත් පුරවැසියන් දායාද කරන්නට වෙහෙසෙන ඇය පාඨක සිත් සතන් ඇඳ බැඳ ගෙන සුවහසක් දනන්ගේ මනැස් පුබුදුවන්නට ගන්නා උත්සාහය කෙසේ නම් මිනිය හැකි ද?
පෙට්ටගම ඇය විසින් හෙළදිව සරසන්නට මේ සතියේ ඉදිරිපත් කරන නිර්මාණය යි.
" පෙට්ටගම" මේ සා විශාල කලබැගෑනියකට මුලක් වේයැයි මිය ගිය ආත්තාම්මා හීනෙකින්වත් නොසිතන්නට ඇත.
ජීවත්ව සිටිනා තුරුම පවුල එක මිටකට තබාගනිමින් නෑදෑ හිතවත්කම් අකුරටම පවත්වාගෙන ගියේ අත්තම්මාය.තමන් දෑවැද්දට ගෙනා පෙට්ටගම මරණයකට මගුලකට සහභාගී නොවන තරමටම පවුල විරසක කරනු ඇතැයි මෙයට වසර ගණනාවකට පෙර මිය පරලොව ගිය අත්තම්මා කෙලෙස සිතන්නද.
මා මෙන්ම අප සොයුරු සොයුරියන් සිව් දෙනාම උපන් මහ ගෙදර මැද සාලයේ විරාජමාන වූ පෙට්ටගම එකල අපගේ කුතුහලය ඇවිස්සූ අද්භූත මැජික් පෙට්ටියක් විය. කිසිදා අපට සැර වැර නොකරන අත්තම්මා පෙට්ටගම අරින වහන කටයුත්තට නම් අවසර දුන්නේ නැත.
මගේ මතකයේ අද ද ආත්තම්මා රැඳී ඉන්නේ පෙට්ටගමේ යතුරු කැරැල්ලත් සමගින්මය.සිලි සිලි හඬ නගමින් සෙලවෙන යතුරු කැරැල්ල ඉනේ එල්ලාගෙන ගෙතුළ එහා මෙහා යන අත්තම්මා නින්දට යන විට එය කොට්ටය යට තබාගනී.
එහෙත් අමතක වීමකින් හෝ යතුරු කැරැල්ල පෙට්ටගමේ ම රැඳී තිබෙනා දිනයක එතුළට එබී බැලීමට ලැබෙන අවස්ථාව ලොකු අය්යා හැර පොඩි අයියාත්, මමත්, නංගීත් අතපසු කරන්නේ නැත. පිළිවෙලට නවා ඇති ලා පැහැති ඔසරි , සිල් රෙදි අතර අලංකාර ඇට මාල, හවඩි, හවරි කොණ්ඩ කූරු අප ගේ කුතුහලය අවුස්සයි. දැනුදු ඉඳ හිට පෙට්ටගම විවර කරන විට එතුළින් එකල හැමූ හුර පුරදු සැවැන්දරා හා කපුරු සුවඳ හමා ඒ.
නංගී උපන් පසු මා රාත්‍රියට නිදාගත්තේ අත්තම්මාගේ වියන් ඇඳේ ඈ සමගය. එවිට මට පෙරවන්නට දෙන රෙදි වලින් හැමුවේ ද පෙට්ටගමෙන් හමා එන සුවඳමය. හැංගිමුත්තම් කළ දිනයක පොඩි අය්යා මා පෙට්ටගම තුළට දමාවැසූ දිනයේදී නම් එහි ඇති අඳුරට බියවූ මා මහ හඬින් හඬමින් පෙට්ටගමට පහරදුන් අයුරුත් අප්පච්චී පැමිණ මා පිටතට ගෙන පොඩි අය්යට තැලූ අයුරුත් මතකය.
පෙට්ටගම හා සම්බන්ධයෙන් ලොකු අය්යා පිළිබඳ මතකයක් නම් මට නැති අතර ඔහු ඒ වන විටද අපට වඩා බොහෝ ගාම්භීර බවක් මවාගෙන කටයුතු කළ අයෙකු විය.
කළුවර ලීයෙන් තනා හොඳින් ඔප දමා රන් පැහැති පිත්තල කැටයම් අල්ලා අලංකාර කර තිබෙන පෙට්ටගම අත්තම්මා ගේ මරණයෙන් පසු මහ ගෙදරම විසූ ලේලිය වන අම්මාට අයිති විය. ඒ පිළිබඳව නැන්දා නම් සිටියේ නොසතුටෙනි. එනමුත් අප්පච්චී ට එරෙහිව එය රැගෙන යාමට නැන්දා එඩිතර නොවූවාය. ඉඳ හිටක මහ ගෙදර ආ දිනක දී පෙට්ටගම අසල කැරකෙමින් එය අතපත ගාන නැන්දා මා දැක ඇත.
වෛද්‍ය වරයෙකු වන ලොකු අය්යා විවාහවී පදිංචිය සඳහා කැනඩාවට ගොස් දැන් බොහෝ කල්ය. ගුරුවරියක වන නංගී විවාහ වූයේ නුවරටය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පොඩි අය්යා විවාහයෙන් පසු කොහුවල මාලතී අක්කාගේ මහ ගෙදරම පදිංචි වී සිටී. බැංකු කළමණාකරුවකු වන මා සුභද්‍රා සමග විවාහ වී ආසන්න නගරයක සේවය කරමින් පදිංචි වූයේ මහ ගෙදරමය. නාගරික ගති සිරිත් හුරු කාන්තාවක වන සූභද්‍රා මහ ගෙදර ජීවිතයට මනාප නොවූවත් " පවුලේ බාලයා" ලෙස උරුමය මෙන්ම කරුමය ද පැවරුණේ මටම ය.
විදුහල්පතිවරයෙකු වූ අප්පච්චී මිය යාමට කලකට ඉහතදී ඔහු සතු චංචල නිශ්චල දේපල ඉතාම සාධාරණ ආකාරයට අප හතරදෙනා අතර බෙදා දුන්නේය. ඒ අනුව වෙනත් වතුපිටි සමගින් මහ ගෙදරද එහි ගෘහ භාණ්ඩ ද ඒවා අතරට ගැනෙන පෙට්ටගම ද නිරායාසයෙන්ම මට හිමි විය. වෙනත් දේපළ කෙසේ වෙතත් පෙට්ටගම කෙරෙහි සුභද්‍රා දැරුවේ සතුරු ආකල්පයකි.
ඒ වන විට පෙට්ටගම අම්මාගේ පරිහරණය යටතට පත්ව තිබූ අතර අම්මා ද තම නැන්දම්මාගෙන් ලද උරුමය මහත් ගෞරවයෙන් හා ආඩම්බරයෙන් පරිහරණය කලාය. සංකර අදහස් උදහස් තිබූ සුභද්‍රා පෙට්ටගම සාලය මැද තිබෙනවාට නොයෙක් ආඩපාලි කිව් නමුත් අම්මා මියයන තෙක්ම පෙට්ටගම තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට මගේ හිත ඉඩදුන්නේ නැත.
අම්මා මියගොස් නොබෝ දිනකින්ම පෙට්ටගම අත්තම්මාත් පසු කාලයක දී අම්මාත් පරිහරණය කළ කාමරයේ මුල්ලකට වීසිවී ගිය අතර එය සුභද්‍රා ට මහත් අස්වැසිල්ලක් විය.
අම්මා ගේ තුන් මස දානයට පැමිණි නංගී පෙට්ටගමට ගොස් ඇති කලදසාව දැක කම්පාවී මගෙන් පෙට්ටගම නුවර ගෙනයාමට අවසර ඉල්ලූ මුත් එවිට සුභද්‍රා කීවේ වෙනම ම කතාවකි.
" නංගිට දෙන්න ඕන ඒවා දීලයි පිටත්කරලා ඇරියේ "
" ඔය පෙට්ටගම ඔහෙ තිබුණාවේ "
ඉන් එහා කතාවකට මා නොගිය අතර නංගී ද ඉන් පසුව ඒ පිළිබඳව මතක් නොකලා ය .මාලතී අක්කා ද වරක් දෙවරක්ම විහිළුවට මෙන්
" මේක හරියන්නේ අපේ සාලෙට තමයි"
කියූ මුත් කෙලින්ම පෙට්ටගම ඉල්ලා සිටියේ නැත.
මැද මිදුලකින් හා ගෘහ කොටස් තුනකින් සමන්විත මහ ගෙය සුභද්‍රා ට නම් කෙදිනකවත් ප්‍රිය උපදවන ස්ථානයක් වූයේ නැත. ඇගේ සිහිනය වූයේ නවීන පන්නයට තැනූ දෙමහල් නිවසකි. ඒ අනුව මහ ගෙදර වත්තේ ම ගේට්ටුව කිට්ටුවට වන්නට නව නිවසක් ගොඩනැගීම ආරම්භ වූයේ මවගේ මරණයට ද පෙරදී ම ය. ටිකෙන් ටික ගොඩනැගුණු නිවසේ වැඩ අවසන්ව තිබුණෙන් ගෙට ගෙවදීම යොදාගෙන තිබෙන්නේ ලබන මස දෙවනිදාට ය.
නව නිවසට ගෙවැදීමේ දී මහ ගෙදර තිබෙන කිසිදු ගෘහ භාණ්ඩයක් ගෙනයාමට සුභද්‍රා සතුටු නොවූවාය. ඒ අනුව ගෙට අවශ්‍ය නව ගෘහ භාණ්ඩ තැනවූ මා. පැරණි ගෘහ භාණ්ඩ අවශ්‍යතාවය ඇති දන්නා හඳුනන අය අතර බෙදාදීමට කටයුතු යෙදූ අතර පෙට්ටගම දීමට තීරණය වූයේ පංසලටය.
මේ තීරණය දැනගත් විශ්වවිද්‍යාලයේ සිට නිවාඩුවට ගෙදර විත් සිටි දියණිය
" හරියට පොට්ට කාසිය සම්මාදම් වට්ටියට දැම්මා වගේ" යැයි කියමින් හිනැහිනි.
එයටද හේතුවක් තිබිණි. භාණ්ඩ බෙදීමට පෙර මා මුලින්ම ඇමතුවේ නංගීට ය. ඇගෙන් පෙට්ටගම හෝ වෙනත් කිසිවක් ගෙනයෑමට අවශ්‍ය දැයි විමසූ විට
" ඒ දවස්වල දුන්නා නම් පෙට්ටගම ගෙනියනවා . දැන් මට ඕවයෙන් වැඩක් නැහැ අය්යේ "යැයි පැවසුවා ය.
මාලතී අක්කා පෙට්ටගමට ඇති කැමැත්ත මතක්වී ඒ පිළිබඳව පොඩි අය්යාගෙන් විමසීමේදී
" මෙහෙ ගේන්න එපා"
" මෙහෙ ගේන්න එපා"
කියමින් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළා මිස වෙන කිසිවක් පැවසුවේ නැත.
ලොකු අය්යාගෙන් කිසිවක් නොවිමසූවේ කැනඩාවට මෙහි ඇති ගෘහ භාණ්ඩ කිසිවකින් පලක් නොවනු ඇතැයි සිතූ නිසා ය.
නමුත් ගැටලුව පැන නැංගේ කැනඩාවෙනි.
අවශ්‍යතාවයකට විනා ඇමතුමක් නොගන්නා ලොකු අය්යා ගිය සති අන්තයේ කතාකළේ ආවේගයෙනි.
" උඹ අපේ දේපළ දොරදන් දෙන්නේ කාගෙන් අහල ද?"
"අත්තලා මුත්තලා කාලෙ ඉඳන් හිටපු ගේ දොර නිකරුණේ අත්හැරලා දැම්මා මදිවට ඇඳ පුටු මේස ටිකත් බෙදලා දාලා අත්තම්මාගේ සුවඳ තියන පෙට්ටගමත් පංසලට ගිහිං දැම්මා "
" උඹ කොහොමද තනිවම එහෙම තීරණයක් ගන්නේ. ගේ දොර උඹට ලිව්වට පෙට්ටගම උඹට ලිව්වේ නැහැනේ"
" අනෙත් ඒවට උඹට ඕන දෙයක් කරගනිං. "
" මට ඕනේ පෙට්ටගම"
" පවුලේ වැඩිමලා විදියට ඕක පන්සලට උස්සගෙන යන්න කලින් මගෙන් අහන්න තිබුණා "
" මම හිතුවා කැනඩාවට පෙට්ටගම් ඕන වෙන එකක් නැහැ කියලා"
මම සාවධානව කීවෙමි.
" ඒක තීරණය කරන්නේ මම නේ. අද ම ගිහිං පංසලෙන් පෙට්ටගම අරගෙන ඇවිත් පොඩි මල්ලිලාගේ ගෙදරට ගිහින්. දාපං. ලබන මාසේ මම ලංකාවට එනවා. ආවට පස්සේ කරන්න ඕන දේ තීරණය කරන්නම්"
මම වැටුණේ මහත් අමාරුවකය.
පංසලට පූජා කළ දෙයක් නැවත ඉල්ලන්නේ කෙසේද ?
අසරණ වූ මා පොඩි අය්යා ඇමතූ අතර ඔහුද මගේ ඇඟට කඩා පැන්නේ තවත් මා අසරණ කරමින්ය.
" ගේත් එක්කම ඔක්කොම බඩුමුට්ටුත් බදාගන්න කොට හිතන්න තිබුණා කවදා හරි ඕවා ඔක්කොම හිසරදයක් වෙයි කියලා"
"දැන් නම් එක මොහොතකටවත් ඔය පෙට්ටගම මගේ ගෙදරට නම් ගේන්න එපා. බදාගත්තා නම් තමුන්ම විසඳගන්නා එකයි තියෙන්නේ"
ඔහු දුරකථනය තැබුවේ මගේ කනට ගසන්නාක් මෙනි.
පෙට්ටගම පිළිබඳ තොරතුරු කැනඩාවට ගොස් තිබුණේ නුවර නංගී ගේ මාර්ගයෙන් යැයි සැක සිතූ සුභද්‍රා නංගීට දුරකථනයෙන් දෙහි කපා තිබුණේ මට වත් නොකියාම ය.
අද උදෑසන මා ඇමතූ නංගී ගෙට ගෙවදීමට පැමිණිය නොහැකි බවත් මින් පසු ගමට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවත් තමන්ට වුවමනා වූවත් මස්සිනා එයට ඉඩ නොදෙන බවත් පැවසුවේ හඬා වැටෙමිනි.
අවසන මම තීරණයක් ගතිමි.
පෙට්ටගම දැන් තිබෙන්නේ එයට සුදුසු ම ස්ථානයේ ය. කිසිවෙකුට පුද්ගලිකව අයිතිවාසිකම් කිව නොහැකි සඟ සතු ස්ථානයක ය.
කවුරු මොනවා කීවත් කළත් අත්තම්මා මෙන්ම අම්මා ද සිටිනා තැනක හිඳ සාදුකාර දෙනු නොඅනුමාන ය.
එනමුත් මා නව නිවසට ගෙවදින්නේ සහෝදර සහෝදරියන් කිසිවෙකුත් නොමැති පුද්ගලයෙකු ලෙසය.
අචේතනික පෙට්ටගමකට ලේ බැඳීමක් වුවද බිඳ දැමිය හැකි වීම කෙතරම් පුදුම සහගත ද,.