උණුසුම් පුවත්කාලීන

පොදු ප්‍රවාහන පහසුකම් පිළිබඳ නිරීක්ෂණයකට ඇමති බන්දුල මඩකලපුවට යයි

ඩකලපුව ප්‍රදේශයේ පොදු ප්‍රවාහන පහසුකම් පිළිබඳ නිරීක්ෂණයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මඩකලපුව දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක්විය. එහිදී උතුරු දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන නවීකරණ කටයුතුවලට සමගාමීව මඩකලපුව හා යාපනය අතර දුම්රිය ධාවනය තවදුරටත් ක්‍රමවත් කිරීම සඳහා ඉල්ලීම් සහ යෝජනා රැසක් දුම්රිය කාර්ය මණ්ඩල වලින් ඉදිරිපත් විය.

එම අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා ඉදිරියේදී ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත දුම්රිය එන්ජින් හා මැදිරි කට්ටල යොදා ගනිමින් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ජනතාවට වඩාත් පහසු හා ආයතනයට ලාභදායි ආකාරයෙන් සිදුකිරීමට පියවර ගන්නා බවත්, විශාල සංචාරක ආකර්ෂණයක් පවතින මඩකලපුව ප්‍රදේශයේ ප්‍රධාන දුම්රිය ස්ථානය ඇතුළු අනෙකුත් දුම්රිය සතු සම්පත් වඩාත් ඵලදායි ආයෝජනයන් සඳහා යොදා ගනිමින් ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා සිදුකෙරෙන නවීකරණ කටයුතුවලදී ඉවත් කෙරෙන, භාවිතයට ගතහැකි දුම්රිය පීලි, සිල්පර ඇතුළු අනෙකුත් කොටස් යොදා ගනිමින් දැනට අබලන් තත්ත්වයේ පවතින මෙම ප්‍රදේශයේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,අධිකාරී ඉංජිනේරු (නැගෙනහිර ) නිසල් ලියනආරච්චි මහතා, මඩකලපුව දුම්රිය ස්ථානාධිපතිතුමා, නියෝජ්‍ය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.