උණුසුම් පුවත්කාලීනදේශපාලන

පොලිස්පති ”ශ්‍රී ලංකා පොලිසිය” ජේවීපේ පොලිසියක් කරලා – විමල්

මාව උසාවි ගෙනියන්න පොලිස් දෙපාර්තමේන්තුවට බෑ.

පොලිස්පති තුමා ඔය නිල ඇඳුම  අන්දන්න කොස්තාපල් කෙනකුට. ඔය රාජකාරිය ඔබට වඩා හොඳට ඔහු කරාවි.

දැන් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෙවෙයි 'අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙලා

මාව උසාවි ගෙනියන්න පොලිස් දෙපාර්තමේන්තුවට බෑ. ගෙනියනවා නං මගේ ප්‍රකාශයෙන් අවමානයක්, අපහාසයක් හෝ කීර්තිනාමයට හානියක් වූයේ යැ යි කියන කෙනෙක් අධිකරණයේ පිහිට පතන්න.

මත්ද්‍රව්‍ය අපරාධයක් ගැන ශ්‍රී ලංකා පොලිසිය කරමින් සිටින පරීක්ෂණයක් සම්බන්ධයෙන් පොලිසියට විශේෂයෙන් කැඳවූ අයෙකුගෙන් ලබාගත් ‘‘ඉතා වැදගත් කට උත්තරයක්’’, ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් මාධ්‍ය ඒකකය මගින් මාධ්‍ය වෙත නිකුත් කර ‘‘ප්‍රසිද්ධ කර ඇතැයි’’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි. බත්තරමුල්ලේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී අද (11) උදේ වරුවේ විමල් වීරවංශ මහතා මෙම ප්‍රකාශය කළේ "පුවක්දණ්ඩාවේ සනා" නැමැති දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මීට පෙර තමන් විසින් පළකළ සංවේදී තොරතුරු කීපයක් ගැන විශේෂ කට උත්තරයක් ලබා ගන්නට තංගල්ල පොලිසියට පැමිණෙන්නැයි දන්වා, ඒ අනුව තමන් පසුගිය 9 දා තංගල්ල පොලිසියේ ‘‘අපරාධ විමර්ශන ඒකකය’’ වෙත ගොස් ලබාදුන් කට උත්තරය විකෘති කර වෙනස්කර මාධ්‍යවලට ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකයට බරපතල චෝදනාවක් නගමිනි.

මෙම වරද මාධ්‍ය ඒකකය කර ඇත්තේ පොලිස්පතිගේ අනුදැනුම මත බව පෙන්වාදුන් විමල් වීරවංශ මහතා, වත්මන් පොලිස්පතිවරයා අද, මෙතුවක් කලක් මේ රටේ කීර්තිමත් මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ‘‘ජනතා විමුක්ති පෙරමුණේ පොලිස් දෙපාර්තමේන්තුව’’ බවට පරිවර්තනය කරමින් සිටින බව තවදුරටත් කීවේය. එසේ කියමින් ඔහු පොලිස්පතිවරයාට චෝදනා කළේ තමන්ගේ රාජකාරිය කීර්තිමත්ව නීතියානුකූලව කරන්නට තමන්ට බැරිනම් එම නිල ඇඳුම පොලිසියේ කොස්තාපල් වරයෙකුට අන්දවන ලෙසයි. ඔහුට වඩා හොඳින් කොස්තාපල්වරයා එම රාජකාරිය වගකීමකින් ඉටු කරනු ඇතැයි ජනීපෙ නායකයා අවධිරණය කළේ ය.

ආණ්ඩුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් දැන් රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර නොදී ‘‘නිල් පාට බස් එකෙන් ගොඩයන්නට’’ සිතා සිටින බව පෙන්වා දුන් විමල් වීරවංශමහතා අවසානයේ කීවේ නිල් පාට බස් එකෙන් ගොඩයන්න සිටි අය අවසානයේ තමන්ගේ රතු පාට බස් එකවත් ඉතිරි කර ගත්තේ නැති බවය. රතු පාට බස් එක දේශපාලන ආගාදයකට පෙරළී ගිය බවය...

මේ අයුරින් ශ්‍රී ලංකා පොලිසියට හා වත්මන් පුනරුද ආණ්ඩුවට චෝදනා එල්ල කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළ සමස්ත කතාව හෙළදිව මෙසේ සටහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් මේ මාධ්‍ය සාකච්ඡාවට අද මා සමඟ සම්බන්ධ වෙනවා ජාතික නිදහස් පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එච්. පී. නන්දකුමාර සහෝදරයා, ඒ වගේම කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ශෂී පෙරේරා සහෝදරයා.

අද මේ මාධ්‍ය සාකච්ඡාව හදිසියේම කැඳවන්න අපි තීරණය කළේ ඊයේ (10) උද්ගත වෙච්ච විශේෂ කාරණයක් පදනම් කරගෙන ජාතික නිදහස් පෙරමුණ හැටියට අපිි ඒ පිළිබඳව ස්ථාවරය පැහැදිලි කිරීම ජාතික අවශ්‍යතාවයක් හැටියට අපිට දැනිච්ච නිසා.

''වෙන මොකක්වත් නෙවෙයි ඉතිහාසයේ පළවෙනි වතාවට පුද්ගලයෙකු විසින් පොලිසිය සිදු කෙරෙන පරීක්‍ෂණයකට අදාළව ''දීපු ප්‍රකාශයක්'' විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කරපු, පොලිසිය විසින්ම ප්‍රකාශයට පත් කරපු පළවෙනි අවස්ථාව  ඊයේ අපි දැක්කා. අපේ ජීවිත කාලය තුළ අපි එවැනි අත්දැකීමක් ලැබුවේ ඊයේ දවස තුළ. ඉතින් ඒ පොලිසියේ අසිරිමත් භාවිතය පිළිබඳව අපේ ස්ථාවරය මැනවින් පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා අපි විශ්වාස කරන නිසා තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව හදිසියේම කැඳවන්න තීරණය කළේ"

ඔබ කවුරුත් දන්නවා පොලිසියේ සිදුකෙරෙන යම්කිසි පරීක්ෂණයකට අදාළව කිසියම් පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශයක් ගත්තොත්, කට උත්තරයක් ගත්තොත්, ඒ පුද්ගලයාට පුළුවන් අවශ්‍ය නම් මේ ප්‍රකාශයේ පිටපතක් ගන්න. ඒක කරන්න පුළුවන් වෙන්නෙත් නීතිඥයකු මාර්ගයෙන් මිස නිකම්ම තනිවම නෙවෙයි. එහෙම නැතුව ඒක තමන් දීපු කට උත්තරේය කියලා ''පිටපතක් තමන්ට රිසි පරිදි'' ගන්නවත් පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.

ඒකෙන් පේනවා යම්කිසි පරීක්ෂණයක් අවසාන වන තුරා ඒ පිළිබඳව කිසියම් පුද්ගලයෙකුගෙන් පොලිසියම තීරණය කරලා ගනු ලබන ප්‍රකාශයක් ආරක්ෂිතව, එහෙම නැත්නම් ඒකෙ රහස්‍යභාවය සහිතව තබා ගැනීමේ වැදගත්කම ඒකෙන් මැනවින් තහවුරු වෙනවා. සමහරවිට අධිකරණ ක්‍රියාවලියක් ගියොත් ඒ අදාළ පාර්ශවයේ නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේකෙ පිටපතක් ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව ගරු විනිශ්චකාරතුමා දෙන නියෝගයකට අනුව පොලිසියෙන් ඒ පිටපත ලබාදෙනවා මිසක්, එහෙම පහසුවෙන් ඒ පැමිණිලි පිටපත්, කට උත්තරයක පිටපත්, එහෙම නැත්නම් ප්‍රකාශයක පිටපත් එසේ ලබා ගැනීමේ හැකියාවක් නෑ.

එසේ තිබියදී, අපි දන්නවා අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 110/3 වගන්තිය හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් මේ ප්‍රකාශයක් ඒ කියන්නේ පරීක්ෂණයකට අදාළව පුද්ගලයෙක් විසින් දෙනු ලබන ප්‍රකාශයක් කොයිතරම් රහස්‍යභාවයක් සහිතව ආරක්ෂා කළ යුතුද කියන එක ඒ වගන්තිවලින් මනා ලෙස තහවුරු වෙනවා.
ඒ වගේම දැන් සාමාන්‍යයෙන් පරීක්ෂණයකට අදාළව පුද්ගලයෙක් දෙන ප්‍රකාශයක් එහෙම ලේසියෙන් ප්‍රසිද්ධියට පත් කළ හැකි නම් ඒ පුද්ගලයාටම පුළුවන් ඒකෙ පිටපතක් අරගෙන ඒක ප්‍රසිද්ධියට පත් කරන්න. ඒකට පොලිසියේ මාධ්‍ය ඒකකය අමුතුවෙන් මහන්සි ගන්න ඕනේ නෑ. ඔහුටම පුළුවන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ඒකෙ පිටපතක් මාධ්‍යයටත් දීලා මෙන්න මන් දීපු කට උත්තරේ කියලාා එහෙම කරන්න. හැබැයි එහෙම කෙරෙන්නේ නෑ. එහෙම කරන්න බෑ. එතකොට ඒකෙන් පේනවා. මොකද ඒ පරීක්ෂණයක් යනකොට ඒ යම්කිසි පුද්ගලයෙක්ගෙන් කට උත්තරයක් ප්‍රකාශයක් ගන්නේ ඒ පරීක්ෂණයට අදාළාව. එතකොට ඒක විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කිරීම පරීක්ෂණයේ නිරෝගී ක්‍රියාකාරීත්වය බාධාවක් වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි එවැනි ප්‍රකාශයක් කට උත්තරයක් හිතූ හිතූ පරිදි මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන්න කටයුතු නොකරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය නං එහෙම තමයි මෙතෙක් කටයුතු කලේ. නමුත් දැන් මේ තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ද? ජේ වී පී පොලිසියද කියන ප්‍රශ්නය අද මතුවෙලා තියෙනවා. හ්‍රී ලංකා පොලිසිය නම් එහෙම කරන්න විදියක් නෑ. හැඉැයි ජේ වී පී පොලිසිය නම් එහෙම කරන්න බොහෝ ඉඩකඩ තියෙනවා.

ඒ නිසා පළමුවෙන්ම අපට දැනගන්න අවශ්‍යයි මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන, ඒ අයගේ බදු මුදලින් යුනිෆෝම් එකේ රෙද්ද අරගන්න, ඒ අයගෙ බදු මුදලින් යටට අඳින බැනියම අරගන්න, යුනිෆෝම් එකේ රෙද්ද අරගන්න, එක මහගන්න, ඔය බොත්තන් අරව මේවා ඔක්කොම ටික හයිකරගන්න. මොකද අර දයාශාන්ත අයියල නෙවෙයිනේ පොලිසියට වුවමනා දේවල් ටික ලබාදෙන්නෙ.

බදු මුදලින් පදක්කන් ටික හහි කරගන්න, යාන වාහන ලබා ගන්න ඒවට ඉන්ධන පහසුකම් ලබාගන්න, මේ පඩිනඩි ලබාගන්න මේ ඔක්කොම කෙරෙන්නේ මහජන බදු මුදලින්. මහජන බදු මුදලින් නඩත්තු කරන ශ්‍රී ලංකා පොලිසිය ජේ වී පි පොලිසිය බවට පත්කරන්න වර්තමාන පොලිස්පතිවරයා දරණ වෑයම මොනතරම් අසාධාරණද.  ඒක කොයිතරම් පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වයට හානි කරන ක්‍රියාවක්ද කියන එක සියලු දෙනාම කල්පනා කරල බැලිය යුතු යි

ඇත්ත වශයෙන්ම අපට පේනවා මේ ඊයේ කරපු ඒ ක්‍රියාවෙන්... ඇත්ත කතාව ගත්තොත් තංගල්ල පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන කොරන පරීක්ෂණයකට මාව ගෙනල්ල කැඳවලා ප්‍රකාශයක් ගන්න තරම් දෙයක් නෑ. මම කිව්වේ ඔහු... ඔය කියන පුද්ගලයා සහ ඔහුට තියෙන දේශපාලන සම්බන්ධතා ගැන. ඒව ගැන තමයි මං කිව්වේ. ඒක මේ පරීක්ෂණයට එතරම් තදින් අදාළ එකක් නෙවෙයි.

අනික ඒක මම ප්‍රසිද්ධියේ කියලා ඉවරයි. එතකොට දැන් ඒකට ප්‍රකාශයක් අරගෙන ඒක තමන්ට ඕන කරන විදියට රැහැලා, වැරැදි අර්ථයක් එන විදිහට මාධ්‍ය මගින් ප්‍රකාශයක් කර ප්‍රසිද්ධියට පත් කරාම පොලිස් දෙපාර්තමේන්තුව, ඒ පොලිස් දෙපාර්තමේන්තුව ''ජේ වී පී පොලිස් දෙපාර්තමේන්තුව'' කියනවා ඇරෙන්න වෙන මොකක්ද අපට කියන්න වෙන්නේ.

ඒ නිසා ''පොලිස්පතිවරයා'' අද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ''ජේ වි පී පොලිස් දෙපාර්තමේන්තුව'' බවට පත්කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ''පොලිස් මධ්‍යය ඒකකය ''ජේ වී පී මාධ්‍ය ඒකකය'' බවට පත් කරලා තියෙනවා. ඒ තරම් පහත් තත්ත්වයකට පත්වෙලා තිබෙන බව තමයි, ඒ තරම් නිර්ලජ්ජිත තත්ත්වයකට පත්වෙලා තිබෙන බව තමයි ඊයේ මේ කරපු තුට්ටු දෙකේ ක්‍රියාවෙන්, ලැජ්ජා සහගත ක්‍රියාවෙන්, පොලිස් දෙපාර්තමේන්තුවට ''අවමානය කැටුව එන'' ක්‍රියාවෙන් සිදුකර පෙන්වනු ලැබුවේ. ඒ බව මිසක් වෙනය යමක් නෙවෙයි.

ඒ වගේම අපි බොහොම පැහැදිලිව දන්නවා මේ මහජන මුදලින් නඩත්තුවන පොලිස් දෙපාර්තමේන්තුවේ ''ගරුත්වය රකින්න බැරි නම් පොලිසියේ පොලිස්පතිවරයාට'', අපි දන්නවා ඔහුගේ නියෝගය අනුව තමයි ඔය විදියේ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් වෙන්නේ. මාධ්‍ය ප්‍රකාශයක් මාධ්‍ය ඒකකයට උවමනා පරිදිම නිකුත් වෙන්නේ නෑ. පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි තමයි ඒවා නිකුත් වෙන්නේ. අද පොලිස්පතිවරයා ආණ්ඩුවේ මර්දන ක්‍රියාකාරීත්වයේ ප්‍රධානි‌ෙයක් බවට පත්වෙලා තියෙනවා මිසක් මේ රටේ නීතිය හි සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධානියා බවට පත්වෙලා නෑ.

ඔහුගේ උදේ සිට හවස වෙනකම් භාවිතාව තියෙන්නේ ආණ්ඩුවෙන් ලැබෙන  න්‍යාය පත්‍රයට අනුව පුද්ගලයන් දඩයම් කිරීම හැර, දේශපාලන තන්ත්‍රයේ ඉන්න පුද්ගලයන් දඩයම් කිරීම හැර වෙන කිසිවක් නෙවෙයි ඔහුගේ ඔහුගේ රාජකාරාමය ක්‍රියාවලිය බවට පත්වෙලා තිබේ. ඇත්තටම ගත්තොත් මම විශ්වාස කරනවා මේ පොලිස්පතිවර යා සතුව තිබෙන මේ නිල ඇඳුම පොලිසියේ කොස්තාපල් වරයකටකට ඇන්ඳුවොත් ඒ කොස්තාපල්වරයාට පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය මීට වඩා හොඳින්, මීට වඩා හොඳින් ඒක රැකගන්න.

ඒ නිසා අපි පොලිස්පතිවරයාට යෝජනා කරනවා ''පඹයකුට අන්දන්න බැරිනම් ඔය  නිලෑදුම'' කරුණාකරලා ඔබට වඩා සුදුසු කොස්තාපල් කෙනෙකුට ඔය නිළෑඳුම දෙන්න. ඔහු ඔබට වඩා හොඳින් ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රකී. ඒවගේම ජ වි පෙ පොලිස් දෙපාර්තමේන්තුව බවට පත්කොට තිබෙන මේ පොලිසිය නැවතත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව බවට පරිවර්තනය කරනු ලබයි.

අනිත් එක තමයි අපි කවුරුත් දන්නව රෝහල්වල බෙහෙත් නෑ. මිනිස්සු අද නොමරා මරනවා. රෝගීන් රෝහල්වලින් ටිකට් කපල ගෙදර යවනවා බෙහෙත් නැති හින්දා. මිනිස්සු ඊට පස්සේ බෙහෙත් නැතිකමට මිය යනවා. ඒවා මිනීමැරුම්. ඒවා සාමාන්‍ය ස්වභාවික මරණ නෙවෙයි. ඒවා මිනීමැරුම්. එහෙම මිනී මරණ කාලයක්. රෝහල්වලට එන ලෙඩාව ගොඩගන්න පුළුවන්. ලෙඩාගේ ජීවිතය බේරගන්න පුළුවන්. නමුත් මේක ලෙඩක් හැදිච්ච රෝගියාව බෙහෙත් නැතිකම නිසා මරා දමන ආණ්ඩුවක්. ඒ විදියට මිනිස්සු මරා දමන ආණ්ඩුවක්. රටෙන් 25%ක් ජනගහනයෙන් 25%ක් දුප්පතුන් බවට පත් කරලා ඒ මත ඩෙඟා නටන ආන්ඩුවක්, පුරාජේරූ කතා පවත්වමින් ඉන්න ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් තියෙන රටක අද පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා මේගොල්ලෝ හිතනවා ''නිල්පාට බස් එකෙන් ගොඩයන්න''.

මේගොල්ලෝ හිතන්නේ අර ඒගොල්ලන්ගේ '' මෝඩ චුන් කාරයන්ට'' මේ චූන් පාන්දෙනවා වගේ නිල්පාට බස් එකෙන් ගොඩ යන්න. නිල්පාට බස් එකෙන් පුළුවන්ද මේ රට හදන්න. මේ රටේ ආර්ථික දියුණුව ඇති කරන්න. මෙරටේ අර 25% ක් දුප්පත්කමට ඇද වැටිලා ඉන්න මිනිස්සුව ගොඩගන්න.  අර බෙහෙත් නැතුව රෝහලේ  මරා දමන මිනිස්සුන්ගේ ජීවිතයට පණ දෙන්න. ඒක නිල්පාට බස් එකෙන් කරන්න පුළුවන් වැඩක්ද...

ඒවට... ඒවා ගැන කිසිම අවධානයක් නෑ. රෝහල්වල සීය දෙසිය තුන්සීය බෙහෙත් වර්ග නෑ, දිනපතා රෝගීන්, මිය යන්න සුදුසු නැති මිය යා යුතු නැති රෝගීන්ම මරණය වැළඳ ගන්නවා. ඒවට උත්තර නෑ, ඒවට උත්තර නැ. ඒවට උත්තර නැතුව නිල් පාට බස් එක පෙන්නලා තමන්ගේ අර ඉන්න 3% නේ ''ගෝල බාලයන්ටවයි  කුහක බලකායයි'' චූන් කරලා, ඒකෙන් පුළුවන් කියලා හිතනවා මේ රටේ දේශපාලන තන්ත්‍රය බිය වද්දලා මේ රටේ පාලනය ඉදිරියට අරගෙනය යන්න. අනේ ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියනවා. අපි මේ පිළිබඳව පොලිස් කොමිෂන් එකටත් පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරපු දුෂ්ට සහ නීතිය අවභාවිතාවට නගමින් කරපු ක්‍රියාව පිළිබඳව අපි පොලිස් කොමිෂන් එකට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

එ ඒ වගේම අපි හෙට දිනයේදී නීති උපදෙස් ගන්න බලාපොරොත්තු වෙනවා මීට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න. ඔබ දන්නවා මේ මම කරන ලද ප්‍රකාශයේ ''කිසියම් අගතියක්'' වෙලා තියෙනවා නම් කෙනෙකුට පුළුවන් ඔහුට ඒකෙන් අගතියක් අවමානයක් වුණා කියලා අධිකරණයට යන්න. මම තමන්ට අපහාසයක් කළා කියලා ඊට විරුද්ධෝ අධිකරණයට යන්න. එහෙම කරානම් මම සූදානම් අධිකරණයට ඇවිල්ලා කරුණු කාරණා සහිතව මම කියපු සියල්ල ඔප්පු කරලා පෙන්නන්න.

හැබැයි පොලිස් දෙපාර්තමේන්තුවට බෑ මාව උසාවි ගෙනියන්න.

ගෙනියනවා නම් ගෙනියන්න ඕනේ මං කරපු ප්‍රකාශයෙන් කාටහරි වෙලා තියෙනවනම් අපහාසයක් අවමානයක් ඔහුට පුළුවන් ඔහුගේ කීර්තිනාමයටට සිද්ධ වෙච්ච අපහාසය, එහෙම නැත්නම් හානිය ගැන ප්‍රකාශ කරමින් අධිකරණ පිහිට පතන්න. එතකොට මට පුළුවන් අධිකරණයේදී මං කියපු දේවල් ''ඡායාරූප සහිතව'' සියල්ල සනාථ කරන්න. ඒ නිසා ඒක නොකර නිකන් මේ පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා ''නිල් පාට බස් එක හොල්මන් කරවලා'' මේ රටේ දේශපාලන තන්ත්‍රය නිකන් ඒ අයගෙන් කටවල් වහන්න හදනවා නම්, කට වට කරලා වැට බදින්න හදනවා අපි කියනවා මහත්වරුනි.... ''කවදාක්වත් සිද්ධවෙන දෙයක් නෙවෙයි.'' සිද්ධ කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඔයිට වඩා භයානක ආණ්ඩු යටතේත් අපේ කටවල් වට කරලා වැට බඳින්න පුළුවන් වුණේ නෑ කියන එක අපි ඉතා ඕන කමින් කියන්න කැමතියි.

ඒ  විතරක් නෙවෙයි... අද වෙනකොට සමහර සමහර වගකිවයුතු මාධ්‍යායතනවල වෙබ් අඩවිවල වාර්තා වෙනවා නැවතත් මාව කැඳවීමක් කරනවා කියලා. ඉතින් ඔහොම කැඳවීමක් කරනවා නම් මම බලාපොරොත්තු වෙනවා තංගල්ල පැත්තෙන්ම කුලියට හරි ගෙයක් අරගෙන පදිංචි වෙන්න.   ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සමහර වෙබ් අඩවිවලින් වාර්තා වෙනවා. මම දන්නෑ ඒ මාවද නැත්නම් වෙන කාවද කියලා. කොහොම නමුත් අපි කියන්න කැමතියි...

මහත්තුරුනි බස් එක පාවිච්චි කරලා කවුරු බය කරන්න හැදුවොත් අපි ඔබයි කරන්න බෑ. ඔය නිල්පාට බස් එකෙන් ගොඩ යන්න හිතනවා නම්, එහෙම වෙන්නේ නෑ. නිල් පාට බස් එකෙන් ඕනවට වඩා ගොඩ යන්න කල්පනා කරන හැමෝටම වෙලා තියෙන්නේත්, ඕගොල්ලන්ට වෙන්නෙත් ''ඕගොල්ලොගේ රතුපාට බස් එක'' මහා විශාල ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි.

නිල්පාට බස් එකෙන් ගොඩ යන්න හිතනවානම් අනතුරු අඟවනවා ඔයාලයි රතු පාට බස් එක දරුණු ප්‍රපාතයකට ඇද වැටෙන දිනය වැඩි ඈතක නෙවෙයි. ඒ නිසා කරුණාකල රතු පාට බස් එකේ, අඩු ගානේ රෝද නැතුව හරි බොඩිය හරි ආරක්ෂා කරගන්න ඕන කමක් තියෙනවා නං ඔය ''නිල්පාට බස් එකෙන් චූන් ගන්න ක්‍රමෝපාය වෙනුවට'' මේ රටේ දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්නවලට උත්තර දෙන මාවතට ඇද වැටෙන්න කියලා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අපි යෝජනා කරනවා.

අඩුගානේ ''කුට්ටම අනද්දීවත් රටේ ජනතාවට පේන විදියකට අනන්න පුළුවන්කම තියන හදාගන්න කියලා අපි මේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.