උණුසුම් පුවත්සංස්කෘතික

පොසොන් පුන් පෝය අද යි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් අප ලද උරුමය සුරකින්නට කාලයයි මේ

මහින්දාගමනය හා සිරිලක

 

 

 

එදා ලක්වැසියන් ගේ මහා උත්සව දිනයකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන් හට දිය කෙළි විධානය කොට මුව දඩයමට යාමට පිටත් ව හතළිස් දහසක් සෙනඟ පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේ ය. පර්වතයෙහි අධිගෘහිත දේවතාව රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝනකු ගේ වේශය මවා ගෙන තණ පඳුරක් කමින් සිටින්නා සේ දැක්වී ය. කෑම කමින් සිටින සතාට විදීම හොඳ නැතැ යි සිතූ රජතුමා ගෝනාට ඇසෙන්නට දුනු දිය ශබ්ද කළේ ය. ගෝනා එය අසා පර්වතයේ අනෙක්  පැත්තට දිව්වේ ය. තමා ලුහුබැඳ ආ රජතුමා මිහිඳු හිමියන් දකින විට ගෝනා අන්තර්ධාන විය.

හැම දෙනා එක වර දුටුවොත් රජ වැඩියක් ම භය වෙතැ යි සිතූ මිහිඳු හිමියෝ පළමු ව තමන් වහන්සේ පමණක් රජුට දැක්වූහ. උන්වහන්සේ පමණක් දැකීමෙන් ද රජතුමා භයට පත් විය.

''එන්න  තිස්ස!" යැ යි කියූ මිහිඳු හිමියන් ගේ වචනය ඇසූ රජතුමා ඒ යක්ෂයෙකැ යි සිතා වඩාත් භයට පත්විය.

''මහ රජාණෙනි, අපි ධර්මරාජ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ" යි මිහිඳු හිමියෝ වදාළහ. රජුගේ භය පහ විය. තමාගේ මිත්‍රයා වන අශෝක රජතුමන් විසින් එවන ලද පණිවුඩය ද රජුට සිහි විය. මේ වනාහි අශෝක රජුගේ ලියුමෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙක් යැයි නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා තෙරුන් වහන්සේට ළං ව හිඳ ගත්තේ ය.

රජතුමා සමඟ ගිය පිරිස ද අවුත් රජු පිරිවරා ගත්තා ය. මිහිඳුහිමියෝ ද තමන් සමඟ පැමිණි අනෙක් සදෙනා දැක්වූහ. රජතුම‌ා උන්වහන්සේලා දැක,

''මොහු කවදා ආවෝ දැ" යි විචාළේ ය.

''මා සමඟ යැ" යි තෙරුන් වහන්සේ වදාළහ.             

''මෙ බඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැ" යි රජතුමා ප්‍රශ්න කළේ ය.

''මහරජ, දඹදිව කෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි වනාහි ත්‍රිවිද්‍යාධාරී, ඍධිබලධාරී, පර සිත් දන්නා, දිව්‍ය ශොත්‍රලාභී මහරහතන් වහන්සේලා බොහෝ යි" යි මිහිඳු හිමියෝ වදාළහ.  

''වැඩියේ කුමකින් දැ" යි රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු හිමියෝ ''ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ" යි පිළිතුරු දුන්හ. අහසින් වැඩි බව රජතුමා දැන ගත්තේ ය.

රජු ගේ නුවණ විමසීම

මෙ සේ ටික වෙලාවක් පිළිසඳර කථාවෙහි යෙදී සිටි පසු මිහිඳු මා හිමියෝ රජතුමන් නුවණැති බව දැන දැන ම තව දුරටත් සෝදිසි කරනු පිණිස ප්‍රශ්න කළහ. ඇසූ ඇසූ පැණයට රජතුමා ව්‍යක්ත ලෙස පිළිතුරු දුන්නේ ය.

''මහරජ, මේ ගසේ නම කුමක්දැ" යි ළඟ තිබුණු අඹ ගසක් දැක්වූ මිහිඳු හිමියෝ රජුගෙන් විචාළහ.

''ඒ අඹ නමි" යි රජතුමා පිළිතුරු දුන්නේ ය.

ඊළඟට වූ ප්‍රශ්නෝත්තර මාලාව මෙ සේ ය.

මිහිඳු හිමියෝ -  ''මේ හැර තවත් අඹ ගස් තිබේ ද?"

රජකතුමා - බොහෝ අඹ ගස් ඇත"

මිහිඳු හිමියෝ -  "මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?"

රජතුමා - " ස්වාමීනි, බොහෝ ගස් ඇත. ඒ ගස් අඹ නොවේ"

මිහිඳ හිමියෝ -  "ඒ අඹත් නො අඹත් හැර තවත් ගස් තිබේ ද?"

රජතුමා -  ''ස්වාමීනි මේ අඹ ගහ"

මිහිඳු හිමයෝ -  ''මහරජ, තෙපි පණ්ඩිතයෙහි"               

මිහිඳු හිමියෝ -  ''මහරජ, තොපගේ නෑයෝ සිටිත් ද?"

''ස්වාමීනී,  ''බොහෝ දෙනෙක් සිටිති"

මිහිඳු හිමියො -  ''නො නෑයෝත් සිටිත් ද?"

රජතුමා  -  ''ස්වාමීනී, බොහෝ නො නෑයෝත් සිටිති"

මිහිඳු හිමියෝ  -  ''ඒ නෑයනුත් නො නෑයනුත් හැර අනෙකෙකුත් සිටියි ද?"

රජතුමා  -  ''ඇයි ස්වාමීනී, මම"

මිහිඳු හීමියෝ - ''මහරජ තෙපි පණ්ඩිතයෙහි"

තිස්ස රජතුමා හොඳ නුවණැතියෙකු බව දැනගත් මිහිඳු හිමියන් වහන්සේ රජහට  'චූලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි රජතුමා හතළිස් දහසක් පිරිස සමඟ තිසරණෙහි පිහිටියේ ය.

ඒ සැන්ඳෑවෙහි රාජපුරුෂයෝ රජතුමාට බත් එළවූහ. රජතුමා "මුන්වහන්සේලා දැන් නොවළඳති" යි දැන දැන ම ඇසිය යුතු යැ යි හිතා මිහිඳු හිමියන්ගෙන් විචාළේ ය. ඒ වෙලාවේ නොවළඳන බව කී හෙයින් වළඳන වේලාව ඇසී ය. අරුණෝද්ගමනයෙහි පටන් මධ්‍යාහ්නය දක්වා කාලයේ වළඳන බව දැනගත් රජතුමා නුවරට යෑමට වඩින ලෙස මිහිඳු හිමියන් හට ආරාධනා ක‌ෙළ් ය.

''මහරජ, තෙපි යා, අපි මෙහි වසන්නෙමු"යි උන්වහන්සේ වදාළහ.

''එසේනම් මේ කුමාරයා අප සමඟ එවුව මැනවි" යි රජතුමා පණ්ඩුක කුමාරයා දක්වමින් ඉල්ලී ය.

''මහරජ, මේ කුමාරයා මාර්ගඵලලාභී කෙනෙකි. පැවිදි වනු  සඳහා අප වෙත වාසය කරයි. දැන් ඔහු පැවිදි කරන්නෙමු. මහරජ, තෙපි යව" යි මිහිඳු හිමියෝ වදාළහ. 

මේ අද වන් දවසක එනම් බුද්ධ වර්ෂයෙන් 237 හී ව්‍යවහාරික වර්ෂයෙන් ක්‍රිස්තු පූර්ව 307 දී මේ බිමේ වූ අති ශ්‍රේෂ්ඨ, අති උතුම්, පූජණීය සංසිද්ධිය, මහමහාවංශ කරුවා හෙවත් මහාවංශ ග්‍රන්ථ කතුවර එකල 'දික්සඳ පිරිවෙන්' හි වැඩවිසූ මහානාම මහ තෙරුන් වහන්සේ ඉතා සිත් ඇද බැඳ ගන්නා අයුරින්  හෙළදිව් වැසියන් බුදුදහම අනුව හැඩ ගැසුනු පිළිවෙළ දක්වා ඇති අයුරු ය. මෙය කෙතරම් මනස්කාන්ත දැ යි සිහියට නැඟෙන්නේ හෙළයන් ගේ ලිඛිත ඉතිහාසය ගැන කියවා බලන විට යි.

එදා මිහිනතලාවේ අඹරුක් සෙවණෙ හි දී ශ්‍රී ලංකාද්වීපයේ රාජ්‍ය පාලකයා වූ දේවානම්පියතිස්ස මහරාජණන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ගෙන් ශ්‍රී සම්බුද්ධ දේශනාව අසා තිසරණයෙහි පිහිටා රාජ අනුග්‍රහය ඇතිව සිරිලක් දෙරණෙහි සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට මූලික අත්තිවාරම, ශක්තිමත් පදනමක් මත පිහිටුවන ලද, ඒ උතුම් දවස අද වන් පොසොන් පුන් පෝදා වීම මොන තරම් නම් අසිරිමත් සිද්ධි දාමයක් ද?

බුද්ධ පරිනිර්වාණය සිදු වී අදට හවුරුදු 2568 කුත් මසක් ගත වී හමාර ය. බුදුරජාණන් වහන්සේ හෙළදිව තෙවරක් පාදස්පර්ශය කළ සේක. ඒ අති උතුම් සම්මා සම්බුදු දහම මේ පොළොවේ ඉතා රමනීය අයුරින් ස්ථාපනය කරන්නට අද වන් දොහක මේ බිමට වැඩියා වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉතා මැනවින් ලක්වැසි දනන් උදෙසා උපන් මහා කරුණාවෙන් යුක්තව සියලු කටයුතු සංවිධානය කළහ.

මේ බිමේ එදා හුන් රටවැසියන් බුද්ධ, ධම්ම සංඝ රත්නයෙහි පිහිටුවා වැඩ වදාළහ. උන්වහන්සේ ගේ අනුහසින් මේ පෘථිවිය පවතින තාක් කල් කවුරහු කෙසේ කෙතරම්, අනවිණ, හදිහූණියම් කළ ද, කෝටි ප්‍රකෝටි ගණන් මහා ධනස්කන්ධයක් වැය කොට, ශ්‍රේෂ්ඨ සද්ධර්මයත්, සංඝ ශාසනයත්, අතුගා දමන්නට අකාමකා දමන්නට, කිසිදු ජගතකුට නොහැකි බව, මැනවින් සිහියේ තබා ගෙන කටයුතු කිරීම අප හැම ගේ ඒකායන අරමුණ විය යුත්තේ ය.

මහින්දාගමනය හේතුවෙන්  සිරිලක් වාසීන් ලද දෑ බොහෝ ය. ඒ හැම දෙයක් ම හෙළ දිව් වැසියන්ට සිය ජීවන පැවැත්ම සකසා ගන්නට ඉවහල් විය. සම්මා සම්බුදු පියාණන් වහන්සේට කෙළසුන් මරා උතුම් වූ බුද්ධත්වය ලබා ගැනිමට ඉවහල් වූ, ශ්‍රී මා බෝ සමිඳුන් ගේ දක්ෂිණ ශාඛාව මේ බිමට වැඩමවා  අනුරපුර මහ මෙවුනාවෙහි රෝපණය කිරීමෙන්, බුදුන් වහන්සේට බොදු දනන්ට වන්දනාමාන කරමින් ගෞරව දැක්වීමට ඉඩහසර පාදා දීම නිසා ජාතියක් හැටියට, එදා මෙදා තුර ලාංකීය දනන්  කෘතවේදීත්වය දැක්වීමට හුරු පුරුදු ජාතියක් බවට පත්වූ බව කෙසේ වනම් ද? ඒ මහිඳු මහ රහතන් වහන්සේ ගේ මඟ පෙන්වීම ඔස්සේ ය.

සම්බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමට සංඝ සමාජය මෙන් ම, භික්ෂුනී සසුන ද නිමහම් කරන්නට, ස්වකීය සොවුරිය වූ සඟමිත් මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුනීන් වහන්සේලා ද කැඳවා ගත්හ. ශික්ෂු, භික්ෂුනී, උපාසක උපසිකා යන සිව්වනක් සෙනඟින් හෙළදිව පොහොසත් කළහ. අධ්‍යාත්මික ගුණවගාවන් හැම හිතක ම වඩවන්නට අපට අනුකම්පා  කළ මිහිඳු හිමිපාණෝ සැට වස් පිරුණු සේන් වස්සාන මාසයෙහි සෑගිරියෙහි වැඩ වසන සේන් වප් මස ශුක්ල පක්ෂයෙහි අටවක් දින පිරිනිවන් පෑ සේක. ඒ උත්තිය රජුගේ රාජාභිෂේකයෙන් අට වැනි ජය වර්ෂයෙහි ය.

එදා මෙදා තුර මේ පින්බිම ඉතා සශ්‍රීකව පැවත්මට ඇවැසි සියලු ශිල්ප ඥාණය ලබා දෙන්නට ඇවැසි පියවර ගන්නා ලදහ.  මිහිඳු හිමිපාණන් වහන්සේ සිය නැගණිය සංඝමිත්තා මහ රහතන් වහන්සේ ලවා  දඹදිව් හිට මෙහි වැඩමව‌ වදාළ සිරිමා බෝ සමිඳුන්ාට උපස්ථාන කරන්නට, නේක විධ ශිල්පීය දැනුමින් පොහොනා සොළොස් කුලයක සෙනඟ හෙවත් පිරිසක් කැඳවා ගන්නට සමත්කම් පෑම සිරිලක  බොදුනුවන්ට කෙතරම් නම් යහපතක් ද?

මහාවංශ කතු හිමිපාණන් වහන්සේ ලියා ඇති තොරතුරු විස්තර කියවීමට කෙනකු යොමු වන්නේ නම් ඒ පුද්ගලයා වාසනාවන්තයෙකි. ඒ තරමට ම රසවත්වත්, හරවත්වත්, බස්වහරක් උන්වහන්සේ සිය පන්හිඳ හසුරුවා ඇති හෙයිනි. මහාවංශය ගැන නේක විධ මතිමතාන්තර නේකකාර පුද්ගලයින් දරනා බව සැබැවෙකි. එය කෙසේ වතුදු මෙතරම් අති සාර්ථක ඉතිහාසයක් ග්‍රන්ථාරූඩව ඇති ජාතියක් වෙතොත් ඒ බෝ අල්පය. හෙළයන් ගේඅතීතය ගැන ආඩම්බරයෙන් කතා කරන්නට ලැබීමත් මේ පුංචි කොදෙව්වේ උපන් මිනිසුන්ට කෙසේ නම් අහිංසක ආඩම්රයක් හිතේ ජනිත වන්නේ ද යන්න දන්නේ නම් ඒ අපේ යටැගියාව කියවා ඇත්තකු ම පමණි.

මේ එදා පොසොන් පසළොස්වක පුන් පෝදා හෙළයේ හෙළයන්,  බොදුනුවන් වූ විසිතුරු කතාවේ තවත් බිඳක් හුදිජන පහන්සංවේගය උදෙසා මෙසේ සටහන් කරන්නෙමු..

"මිත්‍රයාගේ පුත්‍රයා ම බව දැන"

''හෙට උදේ රථය එවන්නෙමි. එයින් නගරයට වැඩිය මැනවැ" යි ඉල්ලා සිටි රජතුමා භණ්ඩුක කුමාරයා කැඳවාගෙන පැත්තකට ගොස් මිහිඳු හිමියන් පිළිබඳ තොරතුරු විචාළේ ය. ඒ ස්වකීය අදෘෂ්ට මිත්‍ර අශෝක රජතුමා ගේ පුත්‍රයා බව දැනගත්, තිස්ස රජතුමා බලවත් සතුටට පත් විය. භණ්ඩුක කුමාරයා ගිහි වෙසින් සිටි නිසා, රජතුමා තුළ සැකයක් පහළ වන්නට ඉඩක් නො වී ය. එයින් ටික වෙලාවකට පසු මිහිඳු හිමියෝ, භණ්ඩුක කුමාරයා පැවිදි කොට උපසම්පදා කළ සේක. උන්වහන්සේ එකෙණෙහි රහත් වූහ.

දිව්‍ය බ්‍රහ්මයෝ රැස් වෙති

ධර්ම ශ්‍රවණ කාලය ඝෝෂා කරව" යි මිහිඳු හිමියෝ සුමන සාමණේරයන් වහන්සේට නියම කළ හ. "කෙතෙක් තැන් ඇසෙන්නට ඝෝෂා කරම් දැ"යි උන්වහන්සේ ඇසූහ. ''මුළු තාම්‍රපර්ණි දීපය යැ" යි මිහිඳු හිමියෝ වදාළහ. මුළු ලක්දිවට ඇසෙන සේ සුමන සමණේරයාන් වහන්සේ ''ධම්මස්සවණකාලො අයං භදන්තා" යන ආදී ගාථාව කියූ හඬ නාගචතුෂ්ක" නම් ස්ථානයෙහි ගලක් උඩ වාඩි වී බත් කමින් සිටි තිස්ස රජුට ද ඇසුණේ ය. භයට පත් රජ තෙමේ ආර්යයන් වහන්සේලාට උපද්‍රවයක් දැ යි දැනගෙන එනු පිණිස ඇමතියන් පිටත් කළේය.

සාමණේරයන් වහන්සේ ගේ හඬ අසා බූමාටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සඛ්‍යාත දෙවියෝ එහි රැස්වූහ. මිහිඳු හිමියෝ ඔවුනට ''සමචිත්ත සූත්‍රය දේශනා කළහ. අසංඛ්‍ය ගණන් දෙවියෝ ධර්මාවබෝධය ලැබූහ. නාග සුපර්ණයෝ ලක්ෂ ගණනින් තෙරුවන් සරණ ගියහ. සැරියුත් හිමියන් මේ සූත්‍රය දේශනා කළ දිනයෙහි රැස් වූ තරම දෙවි දේවතාවෝ මිහිඳු හිමියන් එය දෙසූ දිනයෙහි ද රැස් වූහ.

අගනුවරට වැඩීම          

රජතුමා ප්‍රතිඥා කළ පරිදි පසු දින උදය රථය යැවී ය. රියැදුරු මිහින්තලයට ගොස් ''නුවරට යාමට රථයට නැග්ග මැනැවැ " යි මිහිඳු හිමියන් හට ආරාධනා කළේ ය. රථයෙන් නොයන බවත් පසු ව එන බවත් කියා රියැදුරා පිටත් කළ උන්වහන්සේ පිරිවර රහතන් වහන්සේලා සමඟ අහසින් වැඩ නුවරින් නැගෙනහිරි දෙස තැනක බැස්සහ. තෙරුන් වහන්සේලා පළමුව බැස්ස එම ස්ථානයෙහි කරවන ලද චෛත්‍යයට අදත් පඨමක චේතිය යැයි කියනු ලැබේ. ‍

රජතුමාගෙන් තෙරුන් වහන්සේලා ගැන දැනගත් අන්තඃපුර ස්ත්‍රීහු උන්වහන්සේලා දකින්නට කැමැත්ත ප්‍රකාශ කළහ. ඇතුළු පුරයේ ම විශාල මණඩපයක් කරවා එය ශ්වේත වස්ත්‍රයෙන් හා මලින් මොනවට සැරසවී ය භික්ෂූන් වහන්සේලා උස'සුන් මහ අසුන්වල නො ඉන්නා බව චූලහත්ථිපදොමය සූත්‍රය ඇසීමෙන් දැන ගෙන සිටි රජතුමා තෙරුන් වහන්සේලාට කෙසේ ආසන පැනවිය යුතු දැ යි කල්පනා කරමින් සිටියේ ය.

ඒ අතර ආපසු පැමිණි රියැදුරා තමා එද්දි මිහින්තලයේ සිටි ආර්යයන් වහන්සේලා දැන් නුවර දොර අසල සිටිනු දැක පුදුමයට පැමිණ රජතුමාට ඒ බව දැන්වීය. උන්වහන්සේලා පුටුවල නො හිඳිතියි නිශ්චය කරගත් රජතුමා මනා ලෙස බිම ආසන පනවන්නට නියම කර පෙර ගමන් කොට මිහිඳු හිමියන් වැඳ පාත්‍රය ගෙන මහ පෙරහරින් උන්වහන්සේලා පුරයට වැඩම වීය.

බිම පැනවූ ආසන දුටු නිමිත්ත ශාස්ත්‍රය දන්නෝ ''මුන්වහන්සේලා පොළොව අයත් කර ගත්හ. මේ පොළොවට අධිපති වන්නාහ" යි කීහ. රජතුමා තෙරුන් වහන්සේලා අන්තඃපුරයට වැඩමවා පිළි අතුළ ආසනයන්හි වඩා හිඳුවා කැඳ  අවුළුපත් හා භෝජනයෙන් උන්වහන්සේලා සන්තර්පනය කළේ ය.

පළමුවෙන් සෝවාන් වූ සිංහල කාන්තාවෝ

වළඳා අවසානයෙහි තෙරුන් වහන්සේ වෙත හිඳගත් රජතුමා මහානාග නම් මල් යුව රජුගේ මෙහෙසිය වූ අනුලා බිසොව කැඳවා යැවී ය. ඒ දේවී පන්සියයක් කාන්තාවන් පිරිවරා ගෙන අවුත්, තෙරුන් වහන්සේලා වැඳ එකත්පසෙක හිඳ ගත්තා ය. මිහිඳු හිමියෝ ඒ පිරිසට පේතවත්ථු, විමානවත්ථු, සංචසංයුත්ත යන ධර්ම දේශනා කළහ. අනුලා බිසොව ඇතුළු ඒ ස්ත්‍රීහු ඒ ධර්මය අසා සෝවාන් ඵලයට පැමිණියහ.

අප මහාවංශය ගතෙහි 158 සිට 162 දක්වා වූ පිටුවල සඳහන්, ඒ රසබර විස්තරය මෙහි සටහන් කළේ, අති උතුම් ශ්‍රේෂ්ඨ සාමකාමී පැවැත්මකට, අපේ ජන දිවිය සකස් කර ගන්නට මං පෙත්  විවර කර දුන්, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට නමස්කාර වේවා යයි, ඉත සිතින් ගෞරව පුරස්සරව, දෙපා නැමැද වන්දනා කරන්නට අද මේ පොසොන් පෝදා පමණක් නොව සැමදා අප හුරුපුරුදු විය  යුතු බව සිහිපත් කරනනටයි.

මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර හෙළදිව් හි මුල් ම ආර්ය නරපතියාණන් වූ විජය කුමාරයා  දඹදිව් හි ලාටා රටින් පැමිණ, තම්මැන්නා වෙරළින් ගොඩ බසින විට පමණක් නොව, ඊට සියවස් ගණනකට පෙරාතුව පටන්, ශිෂ්ට සම්පන්න මිනිස්සු මේ බිමෙහි ජීවත් වූහ. ඔවුන් සතුව ද කිසියම් සාරධර්ම රට‌ාවක්, සංස්කෘතික හැදියාවක් තිබෙන්නට ඇති වගට සාක්ෂි ඇතැ යි ඉතිහාසඥයෝ කියති.

විෂ්ණු පුරාණ, ස්කන්ධඡ පුරාණ, රාමායණ ආදී ග්‍රන්ථයන් හි අපේ මව්බිම සම්බන්ධ නොයෙක් විස්තර ඇතුළත් ය. මේ කෘතින් ලියන ලද්දේ විදේශිකයන් විසින් නිසා ඒ පොත්වලින් කරුණු සලකා බැලිය යුතුව තිබෙනුයේ හතුරකු ලියන ලද්දකින් කරුණු ගෙනහැර දක්වන අයුරිනි.

අවුරුදු දස දහස් ගණනකට පෙර, විෂ්ණු ස්වකීය අනුචරයන් ද සමඟ, හෙළදිව ආක්‍රමණය කර එහි සිටි අයිරාන් සහ මකුට යන රජවරුන් සමඟ සටන් කළ සැටි, විෂ්ණු පුරාණයේ සඳහන් වේ. එකල හෙළදිව පැවති ශිෂ්ටාචාරය ඉතා උසස් බව එහි දැක්වෙන කරුණුවලින් සලකා ගත හැකි ය. විෂ්ණු ඇතුළු ආර්යයෝ තමන් සුර යැ යි කියා ගනිමින් හෙළදිව් වැසියන් අසුර යැ යි ව්‍යවහාර කළහ.

එයින් අවුරුදු බොහෝ ගණනකට පසු ස්කන්ධ කුමාරයා - කතරගම දෙවි - මෙහි පැමිණ තාරක නම් අසුර රජු සමඟ සටන් කළ පරිදි ස්කන්ධ පුරාණයෙහි විස්තර වේ.

රාමයන් හෙළදිව ආක්‍රමණය කළේ මෙයින් ද අවුරුදු බොහෝ ගණනකට පසුව ය. රාමයන් හා රාවණයන් අතර ඇති වූ සටන ප්‍රසිද්ධ ය. රාවණ යනු ඒ කාලයේ සිටි රජවරුන් බොහෝ දෙනකු භාවිත කළ නමක් බව පෙනේ. මෙයින් කෙනකු ලියූ ‌ෛවෙද්‍ය ග්‍රන්ථ තුනක් අද ද දක්නා ලැබේ.  එකල ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රය දියුණු වී පැවති  ප්‍රමාණය කෙතරම් දැ යි එයින් පැහැදිලි වේ.

රාමයන් සමඟ සටන් කළ රාවණයන් හට ගගන යානයක් තිබුණු බව පිළිගැනුණකි. ඒ යුද්දයේ දී ඉන්ද්‍රජිත් වලාකුළු අස්සේ සිට බෝම්බ හෙළූ බව සඳහන්ව ඇත්තේ ය. මිනිත්තුවකට ඊතල 12000 ක් විද්ද හැකි, යන්ත්‍රයක් ඒ යුද්ධයේ දී භාවිත කරන ද බව දල, කාලතුවක්කු කීපයකින් යුත් සහස්‍රගති නමැති ආයුධයක් තිබුණු බව ද මත්ස්‍ය පුරාණයේ සඳහන් වේ

විෂ්ණු, ස්කන්ධ කුමාර, රාම යන ආර්යයන් තදෙනා මි, සටන් කළ යුගවලට බොහෝ කලකට පසු, විජය සපිරිවරින් ලංකාවට පැමිණියේ ය. එකල මෙහි යක්ෂයෝ ද, නාගයෝ ද සිටියහ. ඔවුන් අතර පැවැත්තේ ද ඉතා උසස් ශිෂ්ටාචරයකි'. යනුවෙන් ගුණපාල වීරසේකර සූරින් විසින්  1955 ද පළ කරන ලද මහාවංශය සංස්කරණයෙහි දක්වා ඇති වග සටහන් කිරීම මැනවැයි අපට හැඟුණි.

එවන් උරුමයක් සහිත මෙසිරිලක උදාර ජාතියකට, උදාර දෙශයකට්, අද සිදුවී ඇත්තේ කෙබන්දක් දැ යි සටහන් කිරීමට අපි උත්සාහ නොගනිමු.

කෙසේ වුව ද මොන තරම් උපාය උපක්‍රම යොද යෙදා, බුදු දහමට හතුරු පිරිස් විසින් අඛණ්ඩව කරන්නා වූ නේක විධ කුමන්ත්‍රණ ගැන කතා කරන විට අපට බොහෝ සේ ගල් මුල්වලින් පහර දෙන වග සක්සුදක් සේ දනිමු.

ඒ සියලු ප්‍රහාරවලට හේතුව ඍජු ලෙස, බොදු දහම, බොදු දර්ශනය ගැන අන්‍ය වූ මතිමතාන්තර දරන්නන්, නිබඳව ම අපේ ම පිරිස් දඩමීමා කර ගෙන, මිහිඳු මාහිමියන් විසින් මේ බිමේ වපුල බොදු බීජ, විනාහ කරන්නට කැස කවන හෙයිනි. එහිලා අපේ රටේ උගතුන් යැ යි කියන්නා වූ, සමර පුද්ගලයන් ද නේක විධ එන්ජීඕ නඩ ද, හෙළයන් ගේ බිම අවුලින් අවුලට පත් කරන්නට, මාන බලනුයේ හතරස් හැතැප්ම විසිපන්දාහකට ටිකක් වැඩි
 ලෝක සිතියමේ, අල්පෙනතේති තුඩක තරමටත් වඩා තුඩා දූපතක වසනා, මේ බිමේ මිනිසුන් සතු සියලු ආකාරයේ අක්මුල් නසා දැම්මොත්, විනාශ කළහොත්, ඔවුන් ගේ අපේක්ෂාව අරමුණ සාර්ථක වන්නේ ය යන විශ්වාසයෙනි.

එහෙත් මිහිඳු මාහිමිපාණන් වහන්සේ, අපට බුදුන් වහන්සේ දෙසා වදාළ, අසූ හතර දහසක් වූ (84000) ශ්‍රී ධර්මස්කන්ධය මනා සේ උගෙන, 'ඍදියෙන් වැඩ ස්ථාපිත කළ උතුම් සදහම් අමා දිය, සිරිලක හැම අස්සක් මුල්ලක් නෑර  එකසේ ගලා යෙමින් තව තවත් සරුසාර කරන්නට මඟ සලසා ඇත.

අපි අනෙකාට මෛත්‍රී කරන්නට මෙන් ම, කෘතවේදීව සලකන්නට ද, උගත්තේ ඒ දහම අපේ ඇඟ, ඇට මස්,  ලේ, නහර, ඇට, ඇට මිදුළු ඔස්සේ, පරපුරෙන් පරපුරට ජානමය ගති ලක්ෂණ ඇතිව ගලා යන නිසාවෙනි. ඉදින් අප ශික්ෂණය කළා වූ මේ අමා දහම් දියවර, නිබඳව ම උකහා ගෙන, උරා බොමින්, අනෙකකු, කිසිවකුට කරදරයක්, හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් නොකර, ගෙවන්නේ නම් සොබා දහම විසින් ම, අප රකිනු සහතික ය. අපේ මව් බිමත්, ඒ මව්බිමෙහි දිවි ගෙවන, සියලු සතුනටත්, ගහ කොළටත්, වෙනස් වෙමින්, වෙනස් වෙමින්, වුව ලොව පවතින තාක් කල් පවතිනු සැබෑ ය.

''සියල්ල අනිත්‍ය ය. සියල්ල දුක ය. සියල්ල අනාත්ම ය" ඒ බුදුන් වහන්සේ අපට කියා දුන් පාඩමයි... සතර මහා භූතයන්ගෙන් මේ විශ්වය ම නිර්මාණය වී ඇත්තේ ය. ලෝකය දකින්න ම් තමා වෙත ම යොමු වෙන්න. මෙනෙහි කරන්නැ" යි අප දැන උගත්තේ බුදු දහමෙනි.

ඒත් මිනිසුන් කෙතරම් අනෙකා ගේ දේ ඩැහැ ගන්නට මාන බලන්නෙහි ද? අද මේ ධර්මද්වීපය අන් කවරදාටත් වඩා විකෘති වී ඇත්තේ ය. රටේ සිදුවන නේකාකාර අපරාධ ගැන සලකන විට බුදුන් වදාළ දහම අති බහුතරයක් දනන් නිසි සේ උකහා ගෙන නති බව මනාව පෙන්. ඒ් පවතින ආර්ථික රටාව නිසා බව පෙනේ. ලෝකයා ම විෂම ලෝකයක් නිර්මාණය කරද්දී බුදු දහමින් ජීවිතය හැඩ ගස්වා ගන්නට කිසිවකු යොමු නොවීම කෙතරම් පාපකාරී ද? එ

හැබැයි ඉතින් පවතින හැම දෙයක් ම වෙනස් වෙමින් විනාශ වන බව අප ධාරණය කර ගන්නේ නම් මානව දාවෙන් පොහොනා මානව දයාව ලොවට පෙන්නා දුන් අති උතුම් ශ්‍රෙෂ්ඨ ශාස්තෘවරයාණන් වහන්සේ ගේ සදහම අපට කියා දුන් මිහිඳු මහරහතන් වහන්සේ යළි පහළ වී ලෝකයාට හෙළයනට පෙතවත්ථු, විමනාවත්ථු ගැන වදාරන්නට කාලය යි මේ.  

සියල්ල ඇති වී, වැඩී, නැති වී යන බව, අපට පෙන්වා දුන් බුදුන් වහන්සේ ගේ, ඒ අති උත්තරීතර නිමල දහම අපට පොවා ඇති දැඩි කළ, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ කෙරහි, අප නිබඳව ම ගෞරව පූර්වකව, වන්දනාමාන කළ යුත්තේ ම ය. එයයි අපගේ විශ්වාස ය. මේ උතුම් පොසොන් පුන් පෝදා අපි ආමිෂ පූජාව මෙන් ම ප්‍රතිපත්ති පූජාව ම පුරුදු පුහුනු වන්නට හැකි හැම විටෙක ම නැඹුරු වන්නේ නම්.... එය යි බුදු දහමටත් අනු බුදු මාහිමි මිහිඳු හිමිපාණන්ටත් දැක්විය හැකි ඉහළ ම පිදුම එයයි.

   -  සුගතපාල මැන්දිස්  -