ඉතිහාසයඋණුසුම් පුවත්සංස්කෘතික

පොසොන් පුන් පෝ දා අද (10) යි

මිස්සක පබ්බත මුදුනෙන් විහිදෙන බෞද්ධාලෝකයෙන් ලොව හැම සත් සිත් සැනහේවා!!

හෙළදිව වැසියන් බෞද්ධ ශිෂ්ටාචාරයෙන් පෝෂිත වී මහා දැගැබ්, වෙහෙර විහාර ඉදිකොට මහා වැව් බැඳ ලොව විශ්මයට පත් කරනා මහා විශිෂ්ට නිර්මාණ කරන්නට හුරු පුරුදුකම් වඩාත් වැඩි කර ගන්නට ඔවුනට හැකියාව පහල වූයේ අද වැනි දිනක අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මේ බිම ස්පර්ශ කිරීමෙන් පසු ඇති වූ තුන්සරණේ සවියෙනි. එදා මිස්සක පවුව මුදුනේ සිට විහිදි ධර්මාලෝකයෙන් මුළු දේශය ම ආලෝකමත් වූයේ මහින්ද මා රහතන් වහන්සේ විසින් මුවදඩයමේ යෙදෙමින් හුන් මෙබිමේ භාරකරු වූ තිස්ස නරේන්ද්‍රයාණන් හට බුදු වදන් වටහා දෙමින් කළ චුල්ල හස්ථි ප‌දෝපම සූත්‍රය දෙසුමේ බලමහිමයෙනි.

මහින්දාගමනයෙන් පසු හෙළ වැසියෝ බුදු දහම වැලඳගත්තෝ බෝ ශාන්ත දාන්ත දිවි මඟකට යොමු වූහ. උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය ඔස්සේ එදා පටන් සිරිලක සිරිලකක් ම වී යැ.
ඒත් අද වන විට නම් බොදුනුවන්ගෙන් ඒ අගනා වටනා දැක්මත් ඒ ඔස්සේ නංවාගත් පැවැත්මත් කෙළෙසා දමන්නට නේකාකාර උපාය උපක්‍රම මෙපින් බිමේ ක්‍රියාත්මක වෙමින් පවතී. බෙදුනුවන් ගේ ඉවසීම නිවට කමක් සේ සළකන ඇතැම් මිත්‍යාෘෂ්ටිකයින් නිතිපතා පැය විසිහතර පුරා නේක වෙස්ගෙන උහු අබෞද්ධයන් කිරීමේ කූට ව්‍යාපාර ජයට ම වපුරන්නේ ය.
අපිදු මේ දුර්ජනයින්ට මෙත් වඩමින් නිබඳව ම කටයුතු කරන්නෙමු. ඒ බොදුනුවන් උගත් දහමෙන් පෝෂිත හිත් හතන් ඇත්තන් හෙයිනි.
අද අනුරාධපුර රුව්න්මැලි මහාස්ථූපය කේන්ද්‍ර කරගනිමින් සිරිමා බෝ රජිඳුන්ගේ සෙවණේ රැඳෙමින් ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා වඩන්නට රටේ සිව් දෙගින් ම බැතිමත් බෞද්ධයෝ මිහින්තලය ඉලක්ක කොට ගෙන ඊයේ පටන් ඇදී ඒම අරඹා ඇත්තේ ඔවුන් සිත් තුළ පවතින මහා ශ්‍රද්ධාව සිඳලන්නට වසර පන්දාහක කාලයක් කවර බාධක අභියෝග මධ්‍යයේ වුව මෙසසුන මෙබිම් හි සුරැකෙන බව ද දැඩි සේ විශ්වාස කරමිනි.
බෞද්ධාලෝකය මෙබිමට විහිදුවන ලද මිහින්තලා පව්ව වෙත මෙන් ම මාබෝ සමිඳෞන් වැඩ වසනා මහමෙවුනාවේ පිහිටි  සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් වැ  හිඳිනා මහාස්ථූපයයක් කරා  වැල නොකැඩී ඇදී එන ශ්‍රද්ධා සම්පන්න බොදුනුවන් ගේ සාදු නදින් සිරිලක පුරා ශාන්තිය පැතිරෙන අයුරු අද හිරු මෝදු වූ තැන් පටන් දැක බලා ගන්නට ඇති හැකියාව අති විශිෂ්ට ය.