ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්

දකින්න නම් ආසා නං අනුර ජනාධිපති කරන්න ලු - අනුර ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්

අප නිදහසෙන් පසු ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක ධජයක් යටතට ගෙන ඒමට මෙතෙක් කල් රට පාලනය කළ ප්‍රභූ පාලක පන්තියට හැකි වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කළේ තම බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් ඒ ඒ ජාතිකත්වයන්ට බෙදුණු කණ්ඩායම් ලෙස ඔවුන් අතර ගැටුම් උග්‍ර කරමින් පවත්වා ගෙන යාමයි. අපගේ ප්‍රතිපත්ති මේ වෙනුවෙන් සිදු කළ යුතු සංකල්පී ය ද්‍රව්‍යාත්මක, ව්‍යුහාත්මක ක්‍රියාකාරී මැදිහත් වීම් ගණනාවක් හඳුනා ගනී. සියලු ජාතිකත්වයන්ට ශ්‍රී ලාංකේය ජාතිය ලෙස පොදු අනාගතයක් පරිකල්පනය කිරීමේ ඉඩකඩ අප විසින් සකස් කරනු ඇත. නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් සිට කිරීමේ   ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේ දී සියලු ජාතිකත්වයන් එහි කොටස්කරුවන් කර ගැනීම අපේ අරමුණ යි.

යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ නිමාවේ දී සටහන් කරන්නේ සිය අත්සන ද තබමිනි.

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පූර්විකාව අපි මෙහි බහාලමු.

පූර්විකාව

අද ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති සමාජ පරිවර්තනය හුදු ආණ්ඩු මාරුවක් හෝ පාලක කණ්ඩායමක් ගෙදර යාම හේතුවෙන් හිස් වන පාලක හා නිලධාරි පුරප්පාඩු වෙනත් කණ්ඩායමක් මගින් පිරවීමක් පමණක් නොවේ. එය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසෙන් අවුරුදු 76 කට පසු ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි; පුනරුදයකි.

ලංකාව නිදහස ලැබූ කාලය තුළ ඉංජිනේරු, සෞඛ්‍යය, අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය, මානව අයිතිවාසිකම් වැනි විවිධ කලාපයන් තුළ සිටි විශිෂ්ටතමයින් බිහි කිරීමට ප්‍රාර්ථනා කළ, ඒ සඳහා ඒ ඒ ක්ෂේත්‍රය තුළ අත්තිවාරම් දැමීමට උත්සාහ කළ එහෙත් මෙතුවක් කල් ලංකාව පාලනය කළ දූෂිත පාලක ප්‍රභූ කණ්ඩායම් විසින් යටපත් කළ දියුණු ලංකාවක් පිළිබඳ සිහිනය ප්‍රායෝගිකව මල්ඵල ගැන්වීමකි. ජාතික ජන බලවේගය අපේක්ෂා කරන පාලනය පුනරුද යුගයක් වන්නේ එය විසිවන සියවස තුළ ඇති වූ එහෙත් යටපත් කළ දියුණු ලංකාවක් පිළිබඳ සිහිනය විසිඑක්වන සියවස තුළ සැබෑවක් වීමේ හේතුව නිසා මෙන්ම, එය දැවැන්ත සාමූහික ජනතා මැදිහත්වීමක් මගින් සිදුවන රට ගොඩනැගීමේ ක්‍රියාවලියක් වීම හේතුවෙනි.
නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම අපගේ තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යයයි. ඒ නිසාම අපගේ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර ගණනාවක් ස්වභාවික සම්පත් රට තුළින්ම සොයා ගත හැකි, පහසුවෙන් දියුණු කළ හැකි, දැනටමත් අප සතුව ඇති වෘත්තීය හා පුහුණු ශ්‍රම සම්පත් පාවිච්චි කළ හැකි ඛනිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මය, සාගර සම්පත්, නිර්මාණශීලී කර්මාන්ත (උදා: චිත්‍රකලාව, සිනමාව, සාහිත්‍යය, සංගීතය, රංග කලාව...) වැනි කලාප කෙරේ අවධානය යොමුකොට ඇත.
අප විසින් යෝජනා කරන නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රධාන කාර්යයක් ඉටුකරනු ලබන්නේ විද්‍යාව හා තාක්ෂණයයි. අධ්‍යාපන, සෞඛ්‍ය හා ගමනාගමන ක්ෂේත්‍ර අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස සලකන ජාතික ජන බලවේගය මේ ක්ෂේත්‍ර තුළ රාජ්‍ය ප්‍රතිපාදන ඉහළ නංවමින් එම ක්ෂේත්‍ර ශක්තිමත් කරයි; සංවිධාන කරයි. අධ්‍යාපනය රජයේ මූලික වගකීමක් ලෙස සලකන අපි දෙමාපියන් මත පැටවී ඇති අධ්‍යාපනයේ 6 බර අඩුකිරීමට කටයුතු කරමු. සම්පත් බෙදීයාමේ අසමානතාව හේතුවෙන් රට පුරා පැතිර ඇති අධ්‍යාපනයේ විෂමතාව ක්‍රම ක්‍රමයෙන් දුරු කිරීමටද කටයුතු කෙරේ. අධ්‍යාපන ප්‍රතිත්ති තුළ අලු‍තෙන් හඳුන්වාදීමට නියමිත වෘත්තීය අධ්‍යාපන ධාරාව මේ වන විට බිඳ වැටි ඇති අධ්‍යාපනය හා රැකියා වෙළඳපොළ අතර සම්බන්ධය ගොඩනගනු ලබන අතර නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය වෘත්තිකයින් ගොඩනැගීම වෙනුවෙන් ප්‍රධාන කාර්යයක් ඉටු කරනු ඇත.
රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මූල්‍ය ප්‍රතිපාදන ඉහළ නංවමින් එම ක්ෂේත්‍රය මහජන සේවාවන් ලෙස වර්ධනය කිරීමට අපගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය අවධානය යොමු කරන අතර බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම රට තුළ දැනට භාවිත වන ආයුර්වේද, යුනානි, සිද්ධ වෛද්‍ය ක්‍රම වැඩි දියුණු කරමින් ඒ සියල්ල සංකලනය වූ වෛද්‍ය සේවාවක් සැපයීමට යෝජනා කරයි. පොදු ප්‍රවාහනයේ රාජ්‍ය පංගුව ශක්තිමත් කිරීම හා ඒ මගින් රට පුරාම දිවා හා රාත්‍රී කාලයන්හි ක්‍රියාත්මක කාර්යක්ෂම පොදු ප්‍රවාහනයන් ඇති කිරීම ගමනාග මන ක්ෂේත්‍රය තුළ ජාතික ජන බලවේගයේ බහුවිධ ක්‍රියාමාර්ග තුළ කේන්ද්‍රීය මැදිහත් විමයි. ‘මිනිසා පොළවේ හිමිකාරයා ය’, යන මතයේ පිහිටා සමස්ත ස්වභාව ධර්මය සමග ගැටුමකට යාමේ ප්‍රවේශයේ සිට පරිසරය, ගහකොළ, සතා සීපාවා සමග සහජීවනයෙන් වසන පරිසර පද්ධතීන්හි තුලනය රකින ප්‍රවේශයකට මාරු වීම අපගේ පාලනය තුළ සිදුවෙනු ඇත. ආර්ථිකය චක්‍රීය ආර්ථිකයක් බවට පත්වීමටත්, බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනීය බලශක්ති ප්‍රභව මත පදනම් වූ කලාපයක් බවට පත්වීමටත්, කෘෂිකර්මය පරිසර පද්ධති බිඳ නොදමන භාවිතයක් බවට පත්වීමටත්, ඉදිකිරීම් කර්මාන්තය හරිත මූලධර්ම මත පදනම් වූ කර්මාන්තයක් බවට පත්වීමටත් අවශ්‍ය ක්‍රමික ගමනකට පවතින යථාර්ථයන්ද සැලකිල්ලට ගනිමින් පදනම වැටෙනු ඇත.
ලෝක කාන්තා ව්‍යාපාරයටම ආදර්ශයක් එක් කරමින් ගොඩ නැගූ “ගැහැනු අපි එක මිටට” ක්‍රියාකාරිත්වය ලංකා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්ත කාන්තා සක්‍රීයකරණ වැඩසටහනක් ලෙස නම් කළ හැකිය. ජාතික ජන බලවේයේ අරමුණ රටේ ජනගහනයෙන් හරි අඩක් නියෝජනය කරන කාන්තාවන්ට කායික, වාචික හා මානසික හිංසනයෙන් තොර සමාන අයිතිවාසිකම් භුක්ති විඳින නිදහස් සමාජයක් බිහිකරලීමයි. මේ යටතේ සිදුකළ යුතු ආකල්පවල පරිවර්තනයන් සිදු කිරීමත්, ආයතනික වෙනස්කම් සිදුකිරීමත්, අප දැනටමත් අත්සන් තබා ඇති අන්තර්ජාතික ප්‍රඥප්තිවලට අනුකූලව දේශීය නීති හඳුන්වාදීම හා ආරක්ෂණ යාන්ත්‍රණ ඇති කිරීමත් අපගේ ප්‍රමුඛත්වය වනු ඇත.
පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභා දක්වා සියලු‍ තීන්දු ගන්නා ආයතනයන්හි කාන්තා නියෝජනය ක්‍රමිකව 50% දක්වා ඉහළට ගෙන යාම අපගේ ඉලක්කයයි. මීට අමතරව තවත් වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමේ ජාතික ජන බලවේගයේ ප්‍රයත්නයයි. හිත්පිත් නැති, උණුසුමක් නැති, යාන්ත්‍රික ජීවිත ගත කරන, අනෙකා ගැන නොසිතන රටවැසියා, අනෙකා ගැන සිතන, කලාව, සෞන්දර්යය, දර්ශනය ඇසුරු කරන, මනුෂ්‍යත්වය විශ්වාස කරන, ජීවිතය විඳින කෙනෙක් බවට පත්වීමේ පදනම අපගේ පාලනයක් යටතේ බිහිවනු ඇත. ජනතාවගේ ජීවිත පවත්වා ගෙන යෑමේ සමස්ත බර ජනතාව මතම පටවා ඇති වත්මන් පාලනයන්ට ප්‍රතිපක්ෂව ජාතික ජන බලවේගය මේ බරින් සැලකිය යුතු කොටසක් රජය වෙත පවරා ගැනීම, දියුණු නිෂ්පාදන ආර්ථිකයක් තුළ ජනතාවට ලැබෙන ජීවන තත්වයේ ඉහළ යාම හා ජීවත් වීමේ පහසුව විසින් මෙම සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේ මූලික පදනම සකස් කරනු ඇත.
ජාතික ජන බලවේගයේ පාලනයක් යනු අවුරුදු 76 ක කාලයක් තුළ ක්‍රම ක්‍රමයෙන් කුණු වී ඕජස් ගලන අන්ත දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම හා යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමත්ය. අප පාලනයක් යටතේ දූෂිත ප්‍රභූ පාලක කල්ලි විසින් ජනතා දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ ධනය නැවත ජනතාව වෙත අත්පත්කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇත. මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරමින් හා දූෂණ විරෝධී කොමිෂන් සභාවට, පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට අවැසි මඟ පෙන්වීම කරමින් ඒවාට ස්වාධීන ආයතන ලෙස ක්‍රියාත්මක වීමේ සම්පූර්ණ ඉඩකඩ අප විසින් සපයනු ඇත.
කාලයක් තිස්සේ නොවිසඳුණු ජනමාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ මෙන්ම පාස්කු ඉරු දින ප්‍රහාරය ඇතුළු දේශපාලන බලය වෙනුවෙන් ජන කණ්ඩායම් ඉලක්ක කළ ඝාතනයන්ට අදාළ සියලු‍ තොරතුරු හෙළි කරමින් අපරාධකරුවන්ට දඬුවම් පමුණුවනු ඇත. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල සිට පාසලකට දරුවෙකු ඇතුළත් කර ගැනීම දක්වා සිදුවන බල පිරමීඩයේ ඉහළ සිට පහළටම වෙළා ගෙන ඇති පගාව, කොමිස් ඇතුළු වංචාව හා දූෂණය නතර කිරීමේ තිර අදිටනින් අප කටයුතු කරනු ඇත.
නිදහසෙන් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දූෂිත ප්‍රභූ පවුල් කිහිපයක් අත තිබූ රාජ්‍ය පාලනය සමස්තයක් ලෙස ජනතා පාලනයක් බවට පත්වනු ඇත. ජනාධිපති තනතුරේ සිට සියලු‍ නියෝජීත ආයතනයන් තුළ තනතුරු දක්වාත්, රටේ මෙහෙයුම් යාන්ත්‍රණයන්හි තනතුරුත් පාලක ප්‍රභූ පවුල් සම්බන්ධතාවයන්ගෙන් යුතු වීම හේතු කොට ගෙන නොව, සුදුසුකම් අනුව පොදුවේ රටේ ජනතාවගේ දූ දරුවන්ට හිමිවනු ඇත. ජාතික ජන බලවේග පාලනයක් පුරවැසි ක්‍රියාකාරිත්වයේ, සාමූහික මැදිහත්වීම්වල, සමාජ සාධාරණත්වයේ සහ යහපාලන මූලධර්මයන් භාවිතයේ නව යුගයක් ආරම්භ කරනු ඇත. නිදහසෙන් පසු ක්‍රියාත්මක වූ පාලකයන් හා ජනතාව අතර වූ ප්‍රභූ - යටත්වැසි ආකාරයේ සම්බන්ධතාවය වෙනුවට අභිමානවත් පුරවැසියෙකු හා ඔවුන්ට සේවය කරන ජනතා මිත්‍රයෙකු, හිතවතෙකු වන නව සම්බන්ධතාවයක් ගොඩනගනු ඇත. දේශපාලකයන් පසුපස නොයා තම කටයුතු ජනතාවට ඉටුකර ගත හැකි රාජ්‍ය ආයතන ව්‍යුහයක් හඳුන්වා දීම මෙහි මූලික පියවරකි.
රටක් ගලවා ගත හැකි දියසෙන් කුමරෙකු, රජෙකු හෝ විරුවෙකු ගැන ජාතික ජන බලවේගය විශ්වාස නොකරන අතර රාජ්‍ය පාලනය හා සංවර්ධනය සාමූහික ව්‍යායාමයක් ලෙස දකී. ඒ අතරම අඩු සුදුසුකම් සහිත දේශපාලන හෙංචයියන් වෙනුවට සුදුසුකම් සහිත පුද්ගලයන් නිශ්චිත ක්‍රමවේදයකට අනුව ආයතනයන්ට පත් කරනු ලබන අතර, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එම ආයතනයන්ට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා දෙනු ලැබේ. අධිකරණයේ ස්වාධීනත්වය සහමුලින්ම සහතික කරනු ලබන අතර අසාධාරණයන්ට ලක්වන විවිධ ජන කණ්ඩායම් ආරක්ෂා කිරීමේ නීතිරීති මෙන්ම ආරක්ෂණ හා සුබසාධන යාන්ත්‍රණද හඳුන්වා දෙනු ලැබේ.
බාහිර ලෝකය සමග නිසියාකාරව මුසුවීමට ඉඩ නොලැබීම ශ්‍රී ලංකාවේ නොදියුණුභාවයට හා පසුගාමීත්වයට ප්‍රධාන හේතුවක් ලෙස දකින ජාතික ජන බලවේගය විද්‍යා හා තාක්ෂණ, පර්යේෂණ, අධ්‍යාපනය, සංස්කෘතිය, කලාව, සිනමාව, සංගීතය, දර්ශනය, ක්‍රීඩාව යන කලාප ගණනාවක් තුළ ලෝකය සමග කරන ගනුදෙනු රාජ්‍ය, ආයතනික, පුද්ගල මට්ටමින් දිරිමත් කරනු ලැබේ. ජාතික ජන බලවේගයේ තවත් තීරණාත්මක මැදිහත්වීමක් වනුයේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ උත්සාහයයි. සිංහල, දෙමළ, මුස්ලිම් හා වතුකර ජනයා ලෙස බෙදී සිටි අප නිදහසෙන් පසු ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක ධජයක් යටතට ගෙන ඒමට මෙතෙක් කල් රට පාලනය කළ ප්‍රභූ පාලක පංතියට හැකි වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කළේ තම බලය පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ඒ ජාතිකත්වයන්ට බෙදුණු කණ්ඩායම් ලෙස ඔවුන් අතර ගැටුම් උග්‍ර කරමින් පවත්වා ගෙන යාමයි. අපගේ ප්‍රතිපත්ති මේ වෙනුවෙන් සිදු කළ යුතු සංකල්පීය, ද්‍රව්‍යාත්මක, ව්‍යුහාත්මක හා ක්‍රියාකාරී මැදිහත්වීම් ගණනාවක් හඳුනා ගනී. සියලු‍ ජාතිකත්වයන්ට ශ්‍රී ලාංකේය ජාතිය  ලෙස පොදු අනාගතයක් පරිකල්පනය කිරීමේ ඉඩකඩ අප විසින් සකස් කරනු ඇත. නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේ දී සියලු‍ ජාතිකත්වයන් එහි කොටස්කරුවන් කර ගැනීම අපේ අදිටනයි.
අප විසින් යෝජනා කරන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සාමූහිකව ක්‍රියාවට නැංවීම සඳහා මහජන ආණ්ඩුවක් ගොඩනැගීමට ජාතික ජන බලවේගය සමග සක්‍රීයව එක්වන ලෙස පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් අපේක්ෂා කරන සියලු‍ ශ්‍රී ලාංකිකයන්ට සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරමු.

අනුර කුමාර දිසානායක මහතා ගේ පොරොන්දු දැක්වෙන පොත පිටු 231 කි. මෙහි ඇත්තේ අල්පයකි.