උණුසුම් පුවත්සෞඛ්‍යය

පෞද්ගලික රෝහලක දී කරන ලද සැත්කමකින් මිය ගිය කාන්තාවගේ මරණය ගැන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් පරීක්ෂණයක්

වාර්තාව උසාවියට ඉදිරිපත් කරන්න ගාල්ල මහේස්ත්‍රාත් නියම කරයි

ගාල්ලේ කරාපිටියේ පිහිටි පෞද්ගලික රෝහලක දී කරන ලද සැත්කමකින් පසු අසාධ්‍ය තත්වයට ලක්වූ එක්දරු මවක කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියයෑමේ සිද්ධියක් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් සැදුම් ලත් වෛද්‍ය මණ්ඩලයක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන සේ ගාල්ල මහේස්ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා කරාපිටිය ජාතික රෝහල් අධ්‍යවරයාට නියෝග කළේ ය.

මෙසේ අනුවේදනීය ලෙස මරණයට පත්වූයේ මීපාවල පදිංචිව හුන් සෙව්වන්දි ඉලේපෙරුම (46) නම් මාතාව ය. ඉලේපෙරුම මහත්මිය මියයන ලද්දේ ඉකුත් 23 වැනිදා යි.

උදරයේ හටගත් වේදනාවක් මත ප්‍රතිකාර ලබා ගැනීමට උක්ත පෞද්ගලික රෝහලට එම කාන්තාව ඇතුළත් කිරීමෙන් පසු ඇය පිරික්සූ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකු දන්වා ඇත්තේ ඇගේ ඩිම්බ කෝෂයේ ගර්භාෂයේ ගෙඩියක් හටගෙන ඇති හෙයින්  සැත්කමකින් එය ඉවත් කළ යුතු බව යි. ඒ ඉකුත් 08 වැනිදා යි. ඔහු විසින් රෝගී කාන්තාවට සැත්කමක් කිරීමෙන් අනතුරුව රෝහලෙන් මුදා හැර දිනකට පසු යළි වේදනාව උත්සන්න වීම නිසා අගෝස්තු 11 වැනිදා නැවතත් රෝහල් ගතකිරීමෙන් අනතුරුව වෙනත් වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර කරමින් කේ. සී. එන්නත දෙන්නැයි උපදෙස් දී ඇත.

රෝහලේ හෙදියක විසින් එම එන්නතෙන් පළමු මාත්‍රාව දී දෙවැන්නක් දෙනවිට ම වාගේ රෝගී තත්වය උස්සන්න වීම නිසා ඈ එම රෝහලෙන් වහා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් ඇගේ හෘදය ස්පන්දනය නතර වී තිබූ බවත් එහි වෛද්‍යවරුන් අප්‍රමාදව ඇයට ප්‍රතිකාර කර හෘදයේ ක්‍රියාකාරීත්වය පණ ගැන්වීමට සමත් වී තිබේ.

හටගත්තු සංකූලතා හේතුවෙන් ඇගේ මොළය අක්‍රියාකාරීව පැවති අතර එන්නත විදීමෙන් පසු මැයගේ අතක් ද ඉවත් කරන්නට සිදු විය.

මෙසේ අවාසනාවන්ත අයුරින් සිය බිරිය මියයෑමෙන් පසු සැමියා ගාල්ල මානව හිමිකම් ඒකකයේ සම්බන්ධීකාරක එස්. ඉරෝෂන් මහතාට කරන ලද පැමිණිල්ලක් අනුව සැමියා ගාල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශන ඇරඹූ පොලිස් අපරාධ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණ අරඹා අධිකරණයට දන්වා ඇත.

ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය කර පොලිසියට නියෝග කර ඇත්තේ මේ පිළිබඳ විමර්ශන කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට යි.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පී. එච්. ආනන්ද මහතා, ප්‍රධාන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයවීර මහතා ගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

ඔසඳ මිමේන්ද්‍ර අබේපාල නම් මියගිය කතගේ සැමියා විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන සේ ඉකුත් 13 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පෞද්ගලික රෝහල් නියාමන අංශයට ද ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ඉල්ලීම් කර ඇත.