ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය

බාල ගල් අඟුරු ජාවාරමට සම්බන්ධ බල ශක්ති ඇමති කුමාර ජයකොඩි ඉවත් කරන්නැයි විපක්ෂය හඬ නගයි

ප්‍රශ්නයට විසඳුම් සෙවිමට බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන් ඇතුළු විද්වතුන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කරයි

ආණ්ඩුවේ කීර්තියට කැළලක් ඇති කර තිබෙන ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රශ්නයට විසඳුම් සෙවිම සඳහා බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන් ඇතුළු විද්වතුන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය ඩබ්ලිව්. ඒ. එස්. රොඩ්රිගෝ මහතා ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට මොරටුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ආචාර්ය, මහාචාර්යවරු 7 දෙනෙක් ඇතුළත් ය.
නොරොච්චෝලේ 'ලක්විජය' බලාගාරය සඳහා ගල් අඟුරු මිලයට ගැනීමේ ටෙන්ඩරය ලබාගත් ඉන්දීය සමාගමක් විසින් ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සපයා ඇති බවට විවිධ අංශවලින් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.
මෙම ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් බල ශක්ති ඇමති, කුමාර ජයකොඩි මහතා වගකිව යුතු බැවින්, ඔහු වහාම එම ධූරයෙන් ඉවත් කරන්නැ යි, විපක්ෂය ආණ්ඩුවට බල කරන්නේ ය.
 ගල් අඟුරු සැපයීම සඳහා සමාගම් 10 ක්, ටෙන්ඩර් ඉදිරිපත් කර තිබු අතර, එයින් අඩු මිල ගණන් ඉදිරිපත් කළ සමාගමට, ටෙන්ඩරය ලබා දුන් බව ආණ්ඩුව පවසයි. ගල් අඟුරු තත්වයෙන් බාල වුවහොත්, සැපයුම් කරුට දඩ මුදලක් නියම කරන බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කළේ ය.
දැනට ගල් අඟුරු නැව් 10 ක් පැමිණ ඇති බවත්, දැනටමත් නැව් 6 කින් ගෙනා ගල් අඟුරු, මෙට්‍රික් ටොන් 59831 ක් ප්‍රමිතියෙන් බාල වීම නිසා, එම සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2. 07 ක දඩ මුදලක්, අයකර ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේ ය.
කෙසේ වුවද විපක්ෂයේ සියලු පක්ෂ, එක හෙළා ම පවසන්නේ, බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බව යි.