ජගත් ගේ සතියේ සටහන - 108
පක්ෂ දෙක එකතු කිරීම සජිත් ගේ ප්‍රධාන අරමුණ ලු 
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැඟීම සඳහා පසුගිය දිනවල පක්ෂ දෙක අතර පැවති සාකච්ඡා ඇනහිට ඇති බවක් පෙනී යනවා. එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමඟ එකතු වීමට දැඩි කැමැත්තෙන් පසුවන අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් බහුතරයකගේ අපේක්ෂාව වී තිබෙන්නේ පක්ෂ දෙකේ එකතුව යි.
එහෙත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ දෙකේ සාකච්ඡා පිළිබඳව මාධ්‍ය වලට හා ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නොකරන ලෙසට සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබෙන අතර ඒ පිළිබඳ සියලු කටයුතු තමා සිදුකරන බව පැවසීම නිසා ඔහුන් නිහඬව විමසිල්ලෙන් පසුවෙනවා.
පසුගිය සතියේ පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පක්ෂ දෙකේ එකතුව පිළිබඳ සාකච්ඡාවල තත්වය සජිත් ප්‍රේමදාස මහතා ගෙන් විමසූ විටඔහු පවසා ඇත්තේ ඒ පිළිබඳව තමා දිගට ම කටයුතු කරගෙන යන බවයි.
''මගේ ප්‍රධාන අරමුණ අපි යි එක්සත් ජාතික පක්ෂය යි එකතු කිරීම ගැන. ඒක අනිවාර්යයෙන් ම කරන්න ඕනැ. ඊට පස්සේ තමයි මම අනිත් අය එක්ක සන්ධාන ගතවීම් ගැන කතා කරන්නේ. මම කොහොමත් ඔය සජබ - එජාප පොදු වේදිකාව හදන වැඩේ ඉක්මනින් ඉවර කරනවා" යයි ද සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබෙනවා.
තමා මේ දිනවල ප්‍රමුඛත්වය දී තිබෙන්නේ කාන්තාවන්ගේ ගැටලු, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ප්‍රශ්න මෙන් ම ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත හා සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත් කෙටුම් පත වැනි පනත් හරහා ආණ්ඩුව සිදු කිරීමට යන මර්දනයන්ට සැම පක්ෂ එකී සටනට එක්වී එක හඬකින් ක්‍රියාකිරීම කෙරෙහි බව ද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කළා.
කිංස් නෙල්සන් ගෙන් හර්ෂට දැඩි ප්‍රහාර....!

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමඟ හවුලක් ඇති කරගත යුතු බව මුල සිට ම ප්‍රසිද්ධියේ පැවසූ ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ට විරුද්ධව සමගි ජන බලවේගයේ ම පිරිසක් දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බව ද වාර්තා වෙනවා.
සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හා පක්ෂයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යූටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජේ. සී. අලවතුවල හා සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් දෙදෙනා හර්ෂට දැඩි ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. ඔවුන් දෙදෙනා චෝදනා කොට තිබෙන්නේ යූටියුබ් සාකච්ඡාවේ දී හර්ෂ ද සිල්වා මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය විවේචනය කොට ඇති බවයි.
''සජිත් ප්‍රේමදාස තමයි අපේ පක්ෂයේ නායකයා. එතුමාගේ නායකත්වය පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් පක්ෂයෙන් ඉවත් වෙන්න. මීළඟ ජනාධිපතිවරණයේ දී අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස යි. එනිසා මොන තරාතිරමක හරි කෙනෙක් වුණොත් පක්ෂ නායකත්වයට එරෙහිව වැඩ කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් ඔබ තුමා දැඩි තීන්දුවක් ගන්න ඕනැ" යනුවෙන් කිංස් නෙල්සන් මහතා ආවේගශීලීව අදහස් දක්වා තිබුණා.
තමා ද මේ යූටියුබ් සාකච්ඡාව අඩංගු වීඩීයෝ ව දුටු බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ''මමත් කියන්නේ මගේ නායකත්වය පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා නායකත්වය පිළිගන්න පුළුවන් කෙනෙක් ගාවට යන්න. එහෙම නැතුව මේකෙ ඉඳගෙන පක්ෂය අපහසුතාවයට පත්වෙන විධියේ වැඩ කරන්නෙපා" යැ යි කියා සිටියා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම රැස්වීමේ සිටිය නමුත් ඔහු කිසිවක් නෑසුණාක් මෙන් සිය ජංගම දුරකතනය ඔබමින් සිටි බව එම රැස්විමේ සිටිය මන්ත්‍රීවරයෙක් සිය හිතවතුන්ට පවසා තිබුණා.
ඔහු පසුව කිංස් නෙල්සන් මහතාට දුරකතන ඇමතුමක් දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තමාට එරෙහිව කතා කළේ ඇයි දැ යි විමසා ඇති බවත්, නෙල්සන් මහතා යළිත් ඔහුට බැණ වැදී ඇති බවත් දැනගන්නට තිබෙනවා.
පළාත් සභා ඡන්දෙ කොට උඩ ?
මේ අවුරුද්දේ පැවැත්වෙනු ඇතැ යි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි පළාත් සභා මැතිවරණය තවත් කල් යන ලකුණු පෙනෙන්නට තියෙනවා.
එයට හේතුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විමර්ෂණය කර ඒ සඳහා අවශ්‍ය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් පසුගිය සිකුරාදා (20) පත් කිරීම යි.
විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පත්කොට ඇති මෙම විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයින් වන්නේ, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, සුනිල් වටගල, ෂානක්‍යන් රාසමානික්කම්, ලක්ෂ්මන් නිපුණආරච්චි, සමන්මලී ගුණසිංහ, මුනීර් මුලාෆර්, අරුන් හේමචන්ද්‍ර, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි සහ නිෂාම් කාරියප්පර්යන මහත්ම මහත්මීන් ය.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පවතින නෛතික ක්‍රියා පටිපාටියට ඇති බාධා ඉවත් කරමින් වඩාත් උචිත මැතිවරණ ක්‍රමයක් හඳුනා ගැනීම මෙම විශේෂ කාරක සභාව පත් කිරීමේ ප්‍රධාන අරමුන බව ද, කතානායක වරයා සඳහන් කළා.
මෙම විශේෂ කාරක සභව රැස්වී සාකච්ඡා කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට කොපමණ කාලයක් ගතවනු ඇද්දැ යි පැහැදිලි නැහැ. සමහර විට අවුරුද්දක් පමණ ගතවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. එසේ වුවහොත් මේ වසර තුළ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවයි එම ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙන්නේ.
පළාත් සභාව විසින් පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා කලකට පෙර පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කළා. ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු වන්නේ කොට්ඨාස ක්‍රමය අනුවයි. කලින් පැවති දිස්ත්‍රික් අනුපාත ඡන්ද ක්‍රමය මේ සංශෝධනය නිසා අහෝසි වුණා.
එම සංශෝධන අනුව පළාත් සභා ඡන්ද පැවැත්වීම සදහා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සීමානීර්ණ කමිටුවක් ද පත්කොට තිබුණා. එම සීමානීර්ණ කමිටුව විසින් ඡන්ද කොට්ඨාස බෙදා තිබු ආකාරය පිළිබඳව විරෝධතා එල්ලවීම නිසා එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකිවුණේ නැහැ.
මේ තත්වය යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම දැනට වසර 10 කට ආසන්න කාලයක සිට ඇන හිට තිබෙනවා.
මෙයට පිළියමක් වශයෙන් කලින් පැවති දිස්ත්‍රික් අනුපාත ක්‍රමය යටතේ පළාත් සභා පවත්වන ලෙස දේශපාලන පක්ෂ රාශියක් පසුගිය ආණ්ඩු වලින් ඉල්ලා තිබුණා. ඒ සඳහා කළ යුතුව තිබෙන්නේ පළාත් සභා ඡන්ද විමසීම් කොට්ඨාස ක්‍රමය අනුව නොව පෙර පැවති දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට පළාත් සභා ඡන්ද විමසීම් පනතම සංශෝධනය කිරීම බවයි නීති විශාරදයින් පෙන්වා දෙන්නේ.
ආණ්ඩවු මේ විශේෂ කාරක සභාව පත් කිරීමෙන් පෙනී යන්නේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම කල් දමා ගැනීමට කළ උප්පරවැට්ටියක් බවට විපක්ෂය චෝදනා කරනවා.
⋆⋆⋆⋆ ⋆⋆⋆⋆ ⋆⋆⋆⋆ ⋆⋆⋆⋆

බාල ගල්අඟුරුවලින් රජයට කෝටි 2500 කට අධික පාඩුවක්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලට ගැනීමේ ටෙන්ඩරය ලබාදීමේ දී විශාල වංචාවක් සිදුවී ඇති බවට විපක්ෂය නඟන චෝදනා හමුවේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලවත් අසීරු තත්වයකට පත්ව සිටිනවා.
රජයට කෝටි 2500 කට අධික පාඩුවක් සිදුවී ඇති මෙම ගල්අඟුරු ගනුදෙනුවට වගකිව යුතු බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැ යි මේ පිළිබඳව පසුගිය සිකුරාදා (20) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයේ දී විපක්ෂය තරයේ කියා සිටියා.
ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු මිල දි ගැනීමේ ටෙන්ඩරය 2025 අප්‍රේල් මාසයේ දී කැඳවිය යුතුව තිබු නමුත් බලශක්ති අමාත්‍යාංශය එය සැප්තැම්බර් දක්වා ප්‍රමාද කොට ඇති අතර කැඳවන ලද ටෙන්ඩරයේ කොන්දේසි වෙනස් කොට ඇති බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.
ටෙන්ඩරය ලබා ගන්නා සමාගම මීට පෙර ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියනයක් සපයා තිබිය යුතු බවට පැවති ටෙන්ඩර් කොන්දේසිය ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂය දක්වා පහත දමා ඇති බව ද ඩී. වී. චානක මන්ත්‍රීවරයා මෙම විවාදයේ දී පැවසුවා.
මෙම ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් මේ වන විට ගල්අඟුරු නැව් 8 ක් ගෙනැවිත් ඇති බවත්, ඒ නැව් අටේ ම ගල් අඟුරු බාල තත්වයේ පවතින බව රසායනාගාර පරීක්ෂණ වලින් හෙළිවී ඇතැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා මෙම විවාදයේ දී පැවසුවේ ආණ්ඩුවට අවශ්‍ය වුණේ සාධාරණ මිලකට හොඳ ගල්අඟුරු ලබා ගැනීම බවත්, බාල ගල්අඟුරු සපයා තිබුණොත් ටෙන්ඩර් කරුට ඒ වෙනුවෙන් දඩ මුදල් නියම කොට ඉන් සිදුවන පාඩුව පියවා ගන්නා බවයි. මෙම ටෙන්ඩරයේ කිසිම දූෂණයක් සිදුවී නැති බව ද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වුවද ජයකොඩි මහතා මීට පෙර පොහොර සංස්ථාවේ සේවය කරද්දී ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වී සේවයෙන් ඉවත් කොට ඇති බව අජිත් පී. පෙරේරා මහතා විවාදයට එක්වෙමින් කියා සිටියා.
එම පොහොර සංස්ථාවේ ටෙන්ඩර් සිද්ධිය මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශනකොමිසම විසින් පරීක්ෂණ පවත්වා ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසනවා.
කුමාර ජයකොඩිට යන්න වේ ද? ජවිපෙ ඉහළ පෙළේ සාකච්ඡාවක්

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය අප්‍රේල් මාසයේ සිට 13% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.
විදුලි පාරිභෝගික සංවිධාන පවසන්නේ ගල් අඟුරු ටෙන්ඩරයෙන් සිදුවී ඇති පාඩුව පියවා ගැනීම සඳහා මෙසේ විදුලි ගාස්තු ඉහළ දැමීමට යන බවයි.
මේ තත්වය යටතේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්තේ ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂයේ ඉහළ පෙළේ රැස්වීමක දී සාකච්ඡා වූ බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

