වෙසක් පුන් පොහොය අදයි. ලෝක වාසී සියලු බොදුනුවන්ගේ උතුම් අසිරිමත් දිනය.  අපේ තෙමඟුල් දිනය මොන තරම් අගනේ ද යන්න සිහීකට යුත්තේ මන්දැ?
පුරා හවුරුදු 2568 ක් මුළුල්ලේ ලෝක වාසී බෞද්ධ ජනතාව ඉතා ගෞරවාන්විතව සමරණ වෙසක් පොහෙය යනු ලෝ වැසි බෞද්ධ ජනතාවගේ ශාස්තෘවරයාණන් වහන්සේ මෙලොවට වැඩිය දවස අද යි. තුන් ලොවට ම ශාන්තිය උදාකරන්නට රජ සැප හැරදා වනගතව බෝ දුක් කන්දරාවක් විඳ තමන් වහන්සේ විසින් ම හොයා දැන ගත් සත්‍යාවබෝධයෙන් අසම සම වූ දහමක් ලොවට අවබෝධ කර දෙන්නට, බුද්ධත්වය ලද්දා වූ දවස අද යි. ස්වයංභූ ඥානයෙන්  වටහා ගත් අමා මහ දිය දහර ලෝ වැස්සන් සනහන්ට පුරා හවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ගම් නියම්ගම හි මෙන් ම දෙව්ලොවට ද වැඩ වදාළා වූ ඒ මහා තථාගතයාණන් වහන්සේ පිරිනිවන් පෑ දවස අද යි.
ලෝක ශිවංකර, ශීරෝ මාණික්‍ය වූ, කරුණා නිධාන වූ, ලෝකේශ්ව වූ, ලෝකස්වාමී වූ, ඒකස්වාමී වූ තථාගත සර්වඥයාණන් වහන්සේ, මෙලොවට පහළ වූයේ ම සියලු සත්ත්වයන් සංසාර සාගරයෙන් එතෙර කරවීම උදෙසා ම ය. බුද්ධත්වය ලැබූ තැන් පටන් දෙව් මිනිස් ගණ අතරේ සිරිසරමින් උන්වහන්සේ පතළ මා කරුණාවෙන් දෙසූ ඒ මහා ධර්මස්කන්ධය 84000 කි. වදාරණ ලද ඒ අති මහත් දහම් වදන් හි හැම වචනයක ඇත්තේ එකම රසයකි. ඒ අමාමහ නිවන් රසය ම ය.
අති උතුම් මේ දම් රසය අපට දිව ඔසුවක් සේ පෙවීම සඳහා, වැදෑරීම උදෙසා ඒ වෙනුවෙන් අප ස්වාමි දරුවාණන් වහන්සේ සාරාසංකෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරම් පුරා අදින් හවුරුදු 2567 කට පෙර මේ පෘථවි තලයේ ජන්ම දායාදය ලද්දේ රාජ කුමාරයකු වශයෙනි.
තුන්ලෝකාග්‍ර වූ කුමරුවාණෝ දඹදිව් තලයෙහි කිඹුල්වත්පුර රාජ්‍ය කළා වූ සුද්දෝධන මහ රජතුමන් හා මහාමායා දේවිය යන මාපිය දෙපළ විසින්, අප මහා ශාස්තෘන් වහන්සේ ලෝ සත් හට දායාද කළහ.
එදා දීපංකර බුද්ධ මූලයේ දී ජීවිතය පූජාකරමින් හෝ කළ කැපකිරීම මිනිස් බවක් ලද කිසිවකුට හෝ කළ හැකි දෙයක් දැ යි සළකන කළ,....  ඒ වන විට පඤ්චාභිඥා, අට්ඨ සමාපත්ති ඵල හි පිහිටා හුන්, අප බෝසතාණන් වහන්සේ, එබුදු හිමියන් ප්‍රමුඛ කොට වැඩම කරමින් හුන් හාර ලක්ෂයක් රහතන් වහන්සේ කළල් විලෙක එගොඩා කරන්නට, වැතිර කළා වූ සත්ක්‍රියාව අනුව, දිවැසින් බලා නියත විවරණ දුන් පුවත බෞද්ධයෝ නොදන්නෝ නොවෙති. ඉදින් ගහ දන්න අයට කොළ කඩා පෑම ඇවැසි නැත. පූරණය කරන ලද මහා පින් ඇති මේ රාජ බිළිඳාට දවස් පහක් ඉක්මෙද්දී නම් තැබුණේ සිද්ධාර්ථ යන නමිනි. මේ සිද්ධාර්ථ කුමාරයාණෝ සංසාර ගමනේ නිමාව සනිටුහන් කරමින් ලොවට ශ්‍රී පා පියුම් තබන ලද්දේ වෙසක් මහ පුර පසළොස්වක් දින ය. මේ උතුමෝ මෙයින් හවුරුදු සාරාසංකෙය්‍ය කප් ලක්ෂයකට පෙර බුදුබව පතා නියත විවරණ ලද්දේ ද, අද වන් වෙසක් පුන් පෝ දිනක දී ය. එනයින් බලන කළ තෙමඟුලක් නොව වෙසක් පුන් පසළොස්වක් පෝදා යනු සිව් මහ මංගල්‍යයෙකැ යි කිවහොත් ඇති වැරැද්ද කිමැ.
එදා මවට කිසිදු වේදනාවක් නොදී පෙර පින් බලයෙන් උපත ලද බිළිඳා පා ඔසවන්නට මිහිමත සිරිපා යුගල තබත්ම සියක්පත් පිපී සත් පියවරක් තබද්දී පිළිගත් අයුරු..... කිසිවකුට අමුතුවෙන් කිවයුතු නොවේ.
මේ පින්වත් බිළිඳුණෝ එතැන් පටන් රාජ්‍ය සම්පත් යෙහෙන් වළඳමින් සිට සිය නෑනා වූ කසෝදරාවන් හා සරණ බන්ධනයේ යෙදී එකුන් තිස් වියේ දී එදින ම උපන් පුතු හා සදාදරණීය පිය අඹුව හැර පියා වනගත වී, සත්‍ය සොයනු පිණිස සය හවුරුද්දක් අති දුෂ්කර ක්‍රියාවන් හි යෙදුණු බව බුදු සිරිතෙහි දැක්වේ.
එදා ලුම්බිණි සල්වනයේ සල් ගසක් සෙවණේ ජන්මය ලද ඒ කුමරුවාණෝ සිද්ධාර්ථ ගෞතම නම් වූහ. ඒ සිදුහත් කුමරා ගිහි ගෙයි විඳි සියලු සමපත් හැර පියා යොදුන් අභිනික්මන් කොට රාජාභරණ බැහැරට දමා රාජ ඇඳුම් උණා කසාවන් වත්කඩක් හැඳ, මඟුල් කඩුවෙන් ම මුහුළ කපා උඩ දමා තපස් වෙස් ගෙන ගත කළ කාලය කෙතරම් ද? පැවිදි දිවියට හුරු පුරුදු වූ මේ තපස්විරයාණෝ රජ බොජුන් වෙනුවට වැළඳුවේ ගෙන් ගෙට වැඩ උපයා ගත් පිණ්ඩපාතයෙනි. එය ද දිනෙකට එක වේලකි.
අති මහත් දුෂ්කර දිවියක් වෙනුවෙන් සය හවුරුද්දක් වැඩ හුන් තැන ම වැඩ හුන් උන්වහන්සේ සිරුරට දුක් දෙමින් මේ සසරින් එතෙර වෙන්නට මං සෙවූහ. එය අසාර්ථක බව අවබෝධ කරගෙන මැදුම් පිළිවෙතෙහි පිහිටා සත්‍යාවබෝධය පසක් කර ගන්නට අවසන වැඩියේ මගධ දේශයේ උරුවෙල් දනව් හි ගයා හීර්ෂයට යි.
එහි වූ ඇසතු රුක් මුල් හි පලක් බැඳ ගත්තෝ එදා උදේ අජපල් නුගරුක මුල භාවනානුයෝගීව වැඩ හිඳෝද්දී සුජාතා නම් කුමරියක විසින් පිළිගන්වන ලද කිරිපිඬු දානය බත් පිඩ හතළිස් නමයක් සේ සකසා ගෙන දවසකට එක පිඬක් බැගින් වලඳමින් පුරා සතියක් හුන් තැන ම හිඳ සත්‍යාවබෝධය ලබා ගත්හ.
අප හැම යෙදී සිටින්නේ භව ගමනක ය. ඒ අප සිත් හි නිබඳවම රැඳී ඇති තෘෂ්ණාව හේතුවෙනි. තෘෂ්ණාව නැති කළහොත් යළි මතු සසරක නො උපදින බව ඇසතු රුක් මුල් හි දී උන්වහන්සේ සොයා ගත්තේ ස්වයංභූඥාණයෙනි. සසර ගමන නසන්නට නම් සතරාර්ය සත්‍යය වටහා ගත යුතු වග ද දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගත් ඒ සිදුහත් තවුසාණෝඒ උදෙසා අනුගමනය කළ යුතු මාර්ග අටක් ද පසක් කර ගත්හ. ඒ ආර්ය අෂ්ටාංගික මඟ හැර සසර ගමනෙන් එතෙර වන්නට අන් කිසිදු මාවතක් නොවේ.  යැ යි විදු ඇසින් බලා වදාරා සත් සතියක් පුරා තමන් වහන්සේට ලොක් සත්‍යය වටහා ගන්නට පිහිට වූ බෝධි මූලය හා අවට වැඩ හිඳිමින් සත් සතියකට පසු තමන් අවබෝධ කර ගත් දහම ලෝක සත්ත්වයාට තේරුම් කර දීමට හැකි ද නොහැකි ද යන්න ගැන නිශ්දයක් නැතිව සිටිය දී උන්වහන්සේගේ සිතැඟි දැන ගත් සක්දෙව් රජ පෙනි හිඳ ලෝකයා කතර ගමනින් මුදාලන්නට දම් දෙසන්නට පසුබට නොවනා සේ දැන්වූහ.
ගයා ශිර්ෂයේ දී සම්මා සම්බුද්ධත්වයට පත් අපේ අර සිදුහත් කුමරුවාණෝ දුෂ්කරක්‍රියා කෙරෙමින් සත්‍යාවබෝධයට උත්සාහ කොට එය නිශ්ඵල වෙහෙසක් බව දැන මැදුම් පිළිවෙත වැලඳ ගත් වහා තමන් හා එකට හිඳ තමන්ගෙන් වෙන් වූ පස්වග මහනුන් සොයා ගයාවේ සිට බරණැස් නුවර මිගදාය බලා වැඩියහ.
පස්වග මහනුන් වෙත දම්සක් සුතුර දෙසා වදාළ අපේ සර්වඥයන් වහන්සේ එදා පටන් ඇරඹු ලෝ සත්ත්වයන්ට මෝක්ෂය ළඟා කරදීමේ සම්බුද්ධ කාර්යට හවුරුදු හතළිස් පහක් ම කැප වූහ.
ඒ ලෝ සියලු වැස්සන් කෙරෙහි පතල මහා කරුණාවෙනි. උන්වහන්සේ ගේ ඒ මහා කරුණාගුණය කෙබන්දක් දැ යි විමසුවොත් මෙලොව වසනා සියලු මව්වරුන් ගේ සියලු පියවරුන් ගේ කරුණාගුණය එක පඩක් කළද ඒ මහා කරුණාගුණයට සම කළ නොහේ.
''සූ විසි අසංඛ්‍යයක් සතුන් මා පස්සෙහි ලා ගෙනැ මම පළමු කොටැ නිවන් දුටු නුවණැත්තෙමි. රජ දරුවන් පැහැර ගත නොහැකි , දියෙන් නො ගැනැ යා හැකි ගින්නෙන් නො දැවිය නො හැකි, ශ්‍රද්ධා දාන, ශීල ධන  ආදී වූ මහා ධන ඇත්තෙමි. හුන් සිටි තන් හි මා මුදුන් ඉද්දෙන් අකනිටා බඹලෝ දක්වා පක්ෂීන් කෙරෙහි පටන් මහ බඹු දක්වා අහස්හි පොවා හසර කරන්නේ නැත. කුසල් නම් මා කීයෙකැ. අකුසල් නම් මා බිණුවෙකැ, දෙව් ලේ යනුවෝ මා ගැතියහ. නිරැ යනුවෝ මා සඳහන් නැතියහ.
නිවන් දක්නෝ මාගේ ශාසනෙහි සත් හැවිරිදි හෙරණ පැවිද්දාහ. දෙවියන් මරුන් බඹුන් සහිත මුළු ලොව්හි මා කී බසට මේ කී සෙ නපුරැ යි උත්තරයක් දෙන එකද සතෙක් නැත. හැම සත්හු මා ගේ පාමුලට වැඳ සැනැහෙන්නට සිතති.
සසර බය ඇති හැම නුවණැතියෝ මා වසන විහාරයට වැද එදුකින් මිදෙන්නට සිතති. මුළු සත් ලොවැ මා ගේ නුවණට නොඇතුළත් දතයුත්තෙක් නැත. කිහිඹි කුහුඹුවන් කෙරෙහි සිටැ සහන්පති මහ බඹුන් දක්වා ම පුතණුවන් රාහුල කුමාරයන් කෙරෙහි සිටැ මා මරන්නට ප්‍රයෝග කළ දෙව්දත් තෙරුන් දක්වා මා ගේ කරුණාවට නො අතුළත් එක ද සතෙක් නැත.
මාගේ සස්නෙහි මහණ වූ හෙරණ පැවිද්දන් පා ය ටැ තමන් හිස් සඟවා පියන්නට නොසිතන මහබඹුහු නැත. මා නම කී වන් කෙරෙන්, මා කෙරෙහි පහනුන් කෙරෙන්, එක මලකුදු  මට පිදුවන් කෙරෙන්, එක වේලක්හි දු මා කීවා කළවුන් කෙරෙන්, මියන වේලෙහි සදෙව් ලොවින් ගෙනා රස, බලබලා, වෙළෙයි නෑගී එව. මැටි පිඬු වැනි තෙල සිරුරු හැර දිව අත්බව ලදින් නඳුන් උයනෙහි කෙළනට එවයි කැඳවන දිව්‍ය ස්ත්‍රීන් රූ බලබලා මරණ පොවා මිහිරි කොටැ නොමියන්නෝ නැත. මා වැනි දෙදෛනක්හු මුළු පොළොව උසුලාගත නො හී. සමහර කලෙක් හි කප් ලක්ෂයක් කලුදු කප් කෙළ ලක්ෂයක් පමණ කලුදු කප් අසංඛ්‍යයක් පමණ කලුදු මා වැනියන් මුහුණු නො හැඳින, මුළු සත් ලෝ සතර අපාහි දුක් ගත්ති. මේ මුළු ලොව්හි සුවපත්තු නම් මා කරුණා ඇසින් බැලූ කෙනෙකැ යි සිතා මානයක් නො කොටැ  කසළ ගොඩැ කළල් කඩින් වසා දමාපු දරුවන් කෛරෙහි කරුණා කොට, උන් ඔත් තැනට යෙමින්, මියනන්නට සිටි සැඩොල් දුව දෙව් ලොවට ගෙන ගොස් සිටුවා පියනු පිණිස සැඩොල් ගමට දිවෙමින්, එක්සිය විසි යොදනෙකැ, සත්සියක් යොදනෙකැ දෙව්ලෝ බඹලෝ, යනාදි යයි දුරු කතරෙක්හි සිටි නිවන් දක්නට සුදුසු කෙනකුන් ඇතඑතන්හි කැටපත්හි ගෙනැ සේයක් දෙ දිවැ ගොස් පෙනී තදින් මොළොකින් බණ කියා ඔවුන් සිත් හි කෙලෙසුන් නසා අමාමහ නිවන් හි ලා නිවු සැනැහු බුදුන් වහන්සේ ගේ කරුණා නිධානය කොතරම් දැ යි අවබෝධ කොට ගනු මැනවි.
මෙවන් උදාර උත්තමයකු විසින් ලොවට දෙසා වදාළ අති උතුම් දහම් සයුරෙන් එක දෝතක් නොව එක බිඳකුදු උකහා ගත්තෝ වෙත් දැ  ඔවුන් සිත් නිවී සැනහෙන්නේ ය.
ඒත් කරුමයක මහත!
තමන් බෞද්ධ ය යැ මහ උජාරුවෙන් ලෝකයාට පෙනෙන සේ සුදු මල් වට්ටි දෝතින් දරාගන සුදු වතින් සැහී සුපේක්ෂල හික්ෂාකාමී බවෙක් අඟවන මෙබිමේ උපන් සමහර මිනිසුන් කරනා නොපනත්කම්, පව්කාරකම් කෙතරම් ද? පරපණ නස්නට දිවා රෑ සැලසුම් සකස් කරන්නෝ හිංසනය කෙරෙහි අබමල් රේණුවක තරම් තැකීමක් නැත්තෝ නොවේ ද? අන්සතු දේ කඩා වඩා ගන්නෝ, මුසාවාදය ම සිය එකම තම බලය රැක ගන්නට මෙන් ම බලය ලබන්නට ද රට කරවන හා කරවන්නට හීන දකින මිනිසුන් ගේ වෙස්ගත් නොමිනිසුන් බුදු වදනේ හරය ගැන නොසිතන්නේ පව්රැස් කර ගෙන හෝ විඳිය හැකි කාමබෝග සැපසම්පක් කෙරෙහි ම ලොල්ව නොවන්නේ ද?
පංචකාම සම්පත් විඳීමෙන් සසර තව තවත් දිගු කර ගන්නට ලෝකයා තෘෂ්ණාවේ ඇලී ගැලී නිබඳව ම දැන හෝ නොදැන හෝ කරනා අකටයුතු කම් බැහැර කරන්නේ නම් මේ බිම කෙතරම් වාසනාවන්ත රටකි. දේශයකි.
බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් මඟ යන්නෝ සසර දිගු කර ගන්නවා වෙනුවට සසර ගමන කෙටි කර ගන්නෝ වෙති. පංචශීලය බුදුන් සරණ ගිය පෘතග්ජනයා නිබඳව ම සුරකින්නේ නම් ඔහුට මෙන් ම රටට ද ජන සමාජයට ද කෙතරම් ශාන්තියක් උදා වෙන්නේ ද?
මේ වෙසක් පෝදා අප හිතට ගත්තොත් මෙතෙක් කළ සියලු වැරදි, ක්‍රියාකාරකම් කෙරෙහි සිතා බලන්නට එය බුදුන් වහන්සේට කරනා උතුම් සැලකිල්ලයි. ගෞරවය යි.
හවුරුදු 2567 කට පෙර අපගේ සාක්‍ය මුනින්ද්‍රයාණන් වහන්සේ පෙන්වා දුන් මඟ අනුව ප්‍රතිපත්තියෙහි පිහිටා හැම බොදුනුවකු ම ක්‍රියාකරන්නේ නම් එය අන්‍යාගමිකයනට කෙතරම් ආදර්ශයක් ගෙන දෙන්නේ ද?උන් වහන්සේ සෝපාකලාට, සුනීතලාට, මට්ටකුණ්ඩලීලාට, පටාචාරාවන්ට, කිසාගෝතමීයනට, පෑ දයාව, කරුණාව, මෙත් සිත ම, සුද්දෝධන මහ රජට ද, ප්‍රජාපතියට ද, රාහුල පුතණුවනට ද, රාහුල මාතාවනට ද, විශාඛාවනට ද, බිම්සර, අනේපිඬු සිටුවරයාණනට ද, අජාසත්තට මෙන් ම ඔහු පවට නතු කළ දෙව්දත් ස්ථවිරට ද පෑවේ එකම මෙත් සිතකි. එකම කරුණාගුණයකි.
සියලු සතුනට මෙන් ම ගහකොළට ද සෙනෙහෙ පෑ, ඉපදීම ද , බුද්ධත්වයට පත්වීම ද? පිරිනිවන් මඤ්චකයට ද උන් වහන්සේට පිහිට වූයේ ගහ කොළ ය. උන්වහන්සේට බුදුබව ලැබීමට ඉවහල් වූ බෝධි වෘක්ෂයට පුරා සතියක් මුළුල්ලෙහි කෘතවේදීත්වය දක්වමින් බුදුන් වහන්සේ අපට පෙන්වා දුන් ඒ උතුම් ආදර්ශය බොදුබව පෙන්වමින් රට කරවන ඇත්තන් ද කූට ව්‍යාපාරික ජාවාරම් කරුවන් ද ගහක වටිනාකම තකන්නේ නම් මේ සුන්දර රටේ පරිසරය කෙතරම් කදිමට පවතී ද?
ඉදින් එවන් උදාරතර ලෝකයේ මෙතෙක් පහළ වූ එකම ශ්‍රේෂ්ඨ මිනිසා උන්වහන්සේ ය. එදින් හෙළයේ අප කෙතරම් වාසනාවන්තයෝ වෙමු ද? ඒත් ඉතින්......
  -  සුගතපාල මැන්දිස්  -