උණුසුම් පුවත්

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීමට 1927මේ දුරකතනයට තොරතුරු දෙන්න

රහස්‍යභාවය රකිනවා - ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න - නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ජනතාවගෙන් ඉල්ලයි

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීමට  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වාදෙයි

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීමට වෙනුවෙන් ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වාදීම සහ ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාවක්, ඊයේ (26) විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ රට තුළට ගෙන ඒම හා පැතිරීම පාලනය කිරීම, භාවිත‍ය සඳහා යොමුවීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර රටේ  අභිවෘද්ධිය සඳහා දායක කරගනිමින් සමාජ ආර්ථික සුරක්‍ෂිතතාවය උදාකර ගැනීම‍ උදෙසා මෙම කාර්යය සාධක බලකාය අමාත්‍යංශ 11 ක් සහ දෙපාර්තමේන්තු 14 ක සාමාජිකත්වයෙන් ස්ථාපිත කර ඇත. එහි සභාපති ලෙස 2023 ජනවාරි මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා පත්කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ඊයේ  (26) හඳුන්වාදුන් 1927 දරණ ක්‍ෂණික දුරකථන අංකය මඟින්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට පමණක් නොව  ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හටද තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව සඳහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා සමඟ; බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එම්. ටී. එන්. උපුල්දෙනිය මහතා, අන්තාරයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති එස්. නානායක්කාර මහතා, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තු කොමසාරිස් පී. ඒ. ඩී. ගුණරත්න මහතා සහ පුනරුත්ථාපන කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පුනරුත්ථාපන) ලුතිනන් කර්නල් ඒ. එම්. ඒ. දේශප්‍රිය යන නිලධාරීන් ඔවුන්ගේ දෙපාර්ත‍මේන්තු මණ්ඩල හා කාර්යංශ වෙතින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම සඳහා ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙනුවෙන් සිදුකරනු ලබන කාර්යය භාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සිදුකෙරිණි.