උණුසුම් පුවත්කාලීනවිශේෂාංග

මම ඔබේ ද? ඔබ මගේ ද??

චම්මිගේ හිතිවිල්ල

මම ඔබේ ද?
ඔබ මගේ ද?

මම ඔබ දෙස බලා සිටිමි. ඔබ කියන්නේ මා ඔබේ දේවල් බලන්නේ නෑ කියා. ඒත් මා තරම් ඔබ දිහා බලා ඉන්නා කෙනෙක් තවත් ඇද්දැයි මම නොකියමි.
එහෙත් ඔබටම එය තේරුම් ගිය අවස්ථා බොහෝ බව මම දනිමි.
මම සෑම මොහොතේම ඔබ සමග නැත.
එහෙත් ඔබේ බොහෝ සිතුවිලි අග්ගිස්සේ කොතනක හෝ මා නොසිටියේ යැයි ඔබට කිව හැකිදැයි මම නොදනිමි.
මම පුරාවෘත්තයක් නොවෙමි.
එහෙත් මා උකහා ගත් බොහෝ යහපත් පුරාවෘත්තවලින් උකහා ගත් දේ මම ඔබට නොමසුරුව දී ඇත්තෙමි. එහෙත් එය මා කළායැයි කිසිවිටෙක හඬගා කියා නැත.
මා දැන උගත් යම් දෙයක් වේද මම එයද එක් කළෙමි එයට.
මේ සියල්ල මා උගත්තේ ද ඔබෙනි.
ඔබට එවැන්නක් ඇවැසි යැයි මට දැණුනු විට ඒ මා සොයාගත් දෙයයි. එබැවින් මේ සියල්ලෙහිම කර්තෘ ඔබමය.
එය සොයන්නට පාර පෙන්නුවේ ඔබමය. එබැවින් එය සොයා ගිය දූතයා පමණකි මා.
එබැවින් මේ කිසි දෙයක හිමි කමක් නැති මම හෙටත් ඔබ වෙනුවෙන් එය සොයමි.
මගේ හෙට, අනාගතය නොව එළඹෙන අද මයි. එය අධම නොවී අධම නොවන සමාජයකට කාංදු කිරීමට මම සැරිසරමි. රැඳෙමි. වපුරමි. එහි අස්වැන්න ඔබේය. එහි 'කරුඅඳය' හෝ මට ඇවැසි නොවේ. එයද හිමි මේ භූමියටය. මන්ද ඔබ සිතුවිලි මා රක්නා බැවිනි.
එබැවින්ම මේ රැඳූම සැහැල්ලුය. ප්‍රීතියම ජීවිතය වූ කල.
එහි හිමිකාරිත්වය ද ඔබමය. මා නැතිවිට ඔබට මා මීට වඩා දැනෙතැයි මම නොකියමි. විය යුත්තේ වීනම් එය යහපත් දෙයක් නම් එය ඔබේ කරගෙන අන් අයට දීමයි කළ යුත්තේ.
එය පෙරට යා යුත්තේ කේවල නාමයෙන් නොව සර්ව නාමයෙනි. එවිට පිපී වැනෙන මලකින් හමා යන සුවඳ සේ එය ගලා යනු ඇත.
සුවඳ කැමත්තෝ ඉන් ළය පුරවා ගෙන සැහැල්ලුව විඳිනු ඇත.
ඇත්තේ ඒ මොහොතයි. එය සිරකළ නොහැකියි. ඇල්ලිය නොහැකියි. සියල්ල සිහිනෙන් ගෑ සුවඳක් සේම සිහිනෙක් බිවූ දිය හා සමානය.
අපි මේ මොහොතේ පමණක් සිටිමු.
අපි හිටියේ ද නැත.
සිටින්නේ ද නැත. එහෙත් සිටිමු.
ඒ මේ මොහොතේ ය.
ජීවිතය හා බවය යනු ද ඔබ හා මම යනු ද එයමය.
ඉන් මතු යමක් ඇතිද යන්න සිතන්නට මම ඔබට කියමි.
මට නික්ම යාමට නොහැකිය. හේතුව මා සිට නැත.
එහෙත් මම සිටිමි.
ඒ මේ මොහොතේදීය.
එය ඉතා සරළය. සැහැල්ලුය. ආදරණීයම වෙයි .

මට සිතුණු දෙය මම ඔබට කීවෙමි. ඔබේ කියවීම මට වඩා ඉහළ වෙනු ඇත.
ඒ මා ඔබ නොවන බැවිනි. මට යමක් කියා දුන් ඒ ඔබ බැවිනි.
ඔබ මා ද නොවේ.
මා ඔබද නොවේ.

ඔබ සුවපත් විය යුතුය!

චම්මින්ද වෙලගෙදර .
29-10-2025.