උණුසුම් පුවත්කාලීනවිශේෂාංග

මහජන ආරක්ෂක ඇමතිවරයාට හිටපු දිසාපතිවරයකු කරන යෝජනාවක්

ඔබ කෙරෙහි ද, සංතීක්ෂණ සමාජ අවධානය යොමුව ඇති බව කනගාටුවෙන් වුව කියන්නට සිදු වේ

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයත්, පසුගිය සමයේ ඇතිවූ දිට්වා කුණාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශයකි. කලාඔය නිම්නයේ පිහිටි ගල්ගමුව, ඓතිහාසික හත් කෝරළයේ, වන්නි හත්පත්තුවට අයත් ප්‍රදේශයකි. පැරණි වන්නි වරුන්ගේ පාලනය යටතේ පැවැති ප්‍රදේශය යැයි සිතිය හැකි, වන්නි හත්පත්තුවට උතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා දෙමළ හත්පත්තුවේ කොටසක් ද, නැගෙනහිරට හිරියාල් හත්පත්තුවේ, නිකවැරටිය ගම්පහ කෝරළයෙන් ද, දකුණට හිරියාල හත්පත්තුවේ, මහ ගල්ගොඩේගොඩ කෝරළයෙන් ද, දැදුරු ඔයෙන්ද, බටහිරට රතඹලා ඔය හා දෙමළ හත්පත්තුවෙන් ද, මායිම් වන විශාල ප්‍රදේශයකි. මේ තුළ පිහිටි ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම්, හැට ගණනකින් සමන්විත විශාල ප්‍රදේශයකි. සාමාන්‍ය ව්‍යවහාරය පරිදි  මෙය කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන, ගැමි ජනතාවක් වාසය කරන ප්‍රදේශයකි. මේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය, පසුගිය දිට්වා සුළි කුණාටුව සමයේ ඇදහැලුණු ධාරාණිපාත වැසි නිසා කුඹුරු, මාර්ග පද්ධති ඇතුළු පහසුකම්වලට, දැඩිසේ හානි සිදුවූ ප්‍රදේශයකි.

රජය සිදු වූ හානි යටතේ කෙළින් ම, ජනතාවට සිදුවූ නිවාස හානි, ජීවිත හානි, දේපළ හානි ආදියට, සහන සැලසීමේ කඩිනම් වැඩසටහනක්, යෝජනා කර දියත් කළ අතර, ඒ යටතේ ගංවතුරින් යට වූ නිවාස, පිරිසිදු කිරීමට රුපියල් විසිපන් දහසක්, ගෘහ භාණ්ඩවලට වූ හානි පූර්ණය සඳහා, පනස් දහසක් ආදී දීමනාවන්, කඩිනමින් ගෙවීමට උපදෙස් ලබා දී, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරින් මාර්ගයෙන්, ඒ කටයුතු කඩිනම් කරවීම රජය ගත් පියවරක් ලෙස අගය කළ යුතු ය.

මීට පෙර ආපදාවක දී මේ අන්දමේ සහන පැකේජයන් ප්‍රකාශයට පත් කළ, අවස්ථා දෙකක් ගැන මගේ මතකයට එයි. එය මතකයට ආවේ, ආපදාවක දී මෙබඳු සහන පැකේජයක්, මුල්වරට ප්‍රකාශයට පත් කෙරුණේ, ඉන් පළමු අවස්ථාවේ බව සිහිපත් වීම නිසා ය. මේ අන්දමේ සහන පැකේජයක් ප්‍රකාශයට පත් වූ, මුල්ම අවස්ථාව 2016/06/05 දින සවස සිදුවූ කොස්ගම සාලාව, යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව, ගිනි ගැනීම නිසා සිදුවූ පිපිරීම්වලින්, සාලාව අවට ප්‍රදේශවල නිවාස, දේපළවලට බලවත් සේ හානි සිදුවූ අවස්ථාවේදී ය. කොස්ගම සාලාව යුද හමුදා කඳවුර පිහිටුවා තිබුණේ, පැරණි තුනී ලෑලි සංස්ථා කර්මාන්ත ශාලාවේ තිබුණු ගොඩනැගිලි සංකීර්ණය භාවිතා කරමිනි. ශ්‍රී ලංකා යුද හමුදාව සතු, බර අවි සඳහා භාවිතා කෙරෙන සියලුම උණ්ඩ, මෝටාර් හා මල්ටි බැරල් රොකට් ආදිය, ගබඩා කර තිබූ මෙම කඳවුරේ, අවි ගබඩාව හදිසි ගිනි ගැනීමකට ලක්ව, පුපුරා යාම පටන් ගත්තේ, 2016/06/05 දින සවස 5.00 ට පමණ ය.

මේ ගිනි ගැනීම හා පුපුරා යාම නිසා, බර අවි උණ්ඩ, ඒ අවට ප්‍රදේශවලට පතිත වන්නට පටන් ගැනුණේ නිවාස, වෙළෙඳ සල් ආදී සියල්ල විනාශ කරවමිනි. වාසනාවට ජීවිත හානි කිසිවක් සිදු වූයේ නැත. සාලාව අවට ජනතාව, ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ ප්‍රදේශයටත්, හංවැල්ල ප්‍රදේශයටත්, අවිස්සාවේල්ල හා ඇහැලියගොඩ ප්‍රදේශවලටත්, කඩිනමින් ම පලා ගිය අතර, යුද කඳවුරේ අවි ගබඩාව පිපිරීම, දින තුනක් තිස්සේ සිදු විය. මේ ආපදාවේ පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු ලෙස, විපතට පත් ජනතාවට සහන සැලසීම ඇරඹීමට, සිදු වූයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ය. එම කාර්යාලය එවක කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස, කටයුතු කළ මගේ අධීක්ෂණය යටතේ තිබුණු, කාර්යාලයක් බැවින්, ඒ පිළිබඳව ආරම්භයේ සිටම, මැදිහත් වීමට මට සිදුවිය. සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීම, ස්වාභාවික ආපදාවක් නොව, මිනිසා විසින් ඇති කළ ආපදාවක් වීම නිසා, ඒ පිළිබඳව අවසාන වගකීම, රජය වෙත පැවරෙන බව, අපි ආරම්භයේදීම නිශ්චය කළෙමු. යුද හමුදාව රජයේ ආයතනයක් බැවින් එහි යම් වරදක්, ප්‍රමාදයක්, දෝෂයක් මත සිදුවූ පිපිරීමේ වගකීම, අනිවාර්යයෙන්ම රජයට පැවරේ. ඒ අනුව හානිවූ සෑම දෙයක්ම ජනතාවට ප්‍රතිපූර්ණය කරදීමේ, වගකීමෙන් රජය බැඳී සිටින බව, ගැටලුවකින් තොරවම නිගමනය කළ හැකි විය. නිවාස වලට හානි සිදුවීම මත, උන්හිටි තැන් අහිමි වූ ජනතාවට, ආහාර පාන ලබාදීම, තාවකාලික සුභසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම, ආදී ක්ෂණික සහන ක්‍රියාවලිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරද්දී, දිගු කාලීන හානි ප්‍රතිපූර්ණ වැඩසටහන, සීතාවක ප්‍රාදේශීය ලේකම්, බණ්ඩාර මාපා සමඟ සාකච්ඡා කරමින්, සැලසුම් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අප ක්‍රියාත්මක විය. අප යෝජනා කළ සහන පැකේජයට පදනම වූයේ, සිදුවූ හානියේ වගකීම, රජය විසින් දරනු ලබන අතර, ජනතාවට සිදුව ඇති සියලුම හානි, ප්‍රතිපූර්ණය රජය මාර්ගයෙන්, කරනු ඇත යන ප්‍රතිපත්තිය යි. මේ යටතේ නිවාස හානි සඳහා, කඩිනමින් වන්දි ගෙවීම, ගෘහ භාණ්ඩ හානි සඳහා වන්දි ගෙවීම, වෙළෙඳසල්, කර්මාන්ත ශාලා, ගොඩනැගිලි හානි වන්දි ගෙවීම, ව්‍යාපාරික ආයතනවල විනාශවූ උපකරණ, බඩු තොග සඳහා වන්දි ගෙවීම, හානිවූ නිවාස අලුත්වැඩියා කරන තුරු, මාස තුනකට, සියලු නිවාස හිමියන් සඳහා කුලී මුදලක් ගෙවීම, හානිවූ රථ වාහන සඳහා, රක්ෂණ වන්දි ලබාදීමට රජය මැදිහත් වීම, හානිවූ රාජ්‍ය ලේඛන (හැඳුනුම්පත්, පාස්පෝට් වැනි) යළි ලබාදීමට, රජය මැදිහත් වීම, කඩාකප්පල් වූ ව්‍යාපාරික කටයුතු හා, ස්වයං රැකියා වෙනුවෙන් දීමනාවක් තාවකාලිකව ගෙවීම, ආදී කරුණු ඇතුළත් යෝජනාවලිය, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, පුද්ගලිකවම ආපදාව සිදුවී, දින හතරක් තුළදී ඉදිරිපත් කිරීමට මට හැකිවිය. ඒ වන විටත් දේශපාලනික ස්වරූපයෙන්, මේ ආපදාවෙන් විපතට පත්වූවන් ඒකරාශී කරමින්, උද්ඝෝෂණ ඇරඹී තිබුණි. මේ උද්ඝෝෂණවල අරමුණක් ව තිබුණේ, විපතට පත්වූවන්ට උපකාර කිරීම මත, ආණ්ඩුවට දේශපාලන වාසියක් අත්කර ගැනීමට ඉඩ නොදීම බව, උද්ඝෝෂණ සංවිධානයට සම්බන්ධව සිටි, රාජ්‍ය නිලධාරියෙක් මා සමඟ පැවසුවේ, රහසිගතව ය. ඔහු අප කාර්යාලයට අනුයුක්තව සිටි, රාජ්‍ය සංස්ථාවක නිලධාරියෙකි. මේ තත්ත්වය පැහැදිලි කර, රජය වගකීම භාරගෙන, හානි පූර්ණය ප්‍රකාශිතවම භාර ගත් පසු, උද්ඝෝෂණකරුවන්ට අලුතින් ඉල්ලීමට දෙයක්, නැතිවන බව ජනාධිපතිතුමාට පෙන්වා දුනිමි. දීර්ඝ දේශපාලන අත්දැකීම් සහිත හොඳින් පදම් වූ, දේශපාලන නායකයෙකු වූ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා, මාගේ යෝජනා පිළිගැනීම මට මහත් ධෛර්යයක්, ගෙන දුන් ක්‍රියාවක් විය. ඒ අනුව ලංකාවේ ආපදාවක දී පූර්ණ වශයෙන් වගකීම, රජය භාරගෙන හානිපූර්ණ පැකේජයක්, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රකාශයට පත් කිරීම, සාලාව යුද හමුදා කඳවුරු, පිපිරීමේ ආපදාවේදී සිදු විය. ආරම්භක අවස්ථාවේ ඒ පැකේජයට, අයත් නොවූ එක් යෝජනාවක්, පසුව විපතට පත් වූ පිරිසකගේ ඉල්ලීම මත, එම පැකේජයට එකතු කිරීමට සිදුවිය. ඒ දීර්ඝ කාලයක් ව්‍යාපාර කටයුතු, කුලී ගොඩනැගිලිවල සිදු කරමින් සිටි, සුළු ව්‍යාපාරිකයන් පිරිසකට, විනාශවූ කුලී ගොඩනැගිලි අයිතිකරුවන් විසින්, යළි ඉදිනොකිරීමට ක්‍රියා කිරීම නිසා, ව්‍යාපාරික ස්ථාන අහිමිවීමේ ගැටලුව මතුවූ අවස්ථාවේදී ය. සත්‍ය වශයෙන්ම සුළු ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම වුණේ, ගොඩනැගිලි හිමිකරුවන්ට, වන්දි ගෙවීමේ දී යළිත් ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකර, පෙර කුලීකරුවන්ටම ලබාදිය යුතුය යන, කොන්දේසිය මත වන්දි ගෙවීම කරන ලෙසයි. ආණ්ඩුවේ දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, එම කොන්දේසි පැනවීමට එකඟ වුවත්, එසේ කොන්දේසියක් පැනවීමේ අනීතික බව, පැහැදිලි කරදීමට මට හැකිවිය. ඒ වෙනුවට රජයේ වියදමින්, සාලාව නගරයේ හමුදා කඳවුරෙන්, නිදහස් කර ගන්නා බිම් කොටසක, කඩ කාමර පේළියක් ඉදිකර දීමේ, විකල්ප යෝජනාවක් ප්‍රාදේශීය ලේකම්, බණ්ඩාර මාපා ඉදිරිපත් කළ අතර, එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ය.

මේ අන්දමින්ම 2017/04/14 සිංහල අලුත් අවුරුදු දා, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී, මරණ තිහක් පමණ සිදුවී, නිවාස රාශියක් විනාශ වූ ආපදාවේ දී, ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශය වූයේ, සාලාව ආපදාවේදී අනුගමනය කළ රාජ්‍ය ප්‍රතිපත්තියයි. මීතොටමුල්ල කුණු කන්ද, ඇතිකිරීම රාජ්‍ය මැදිහත් වීමෙන් සිදුවූවකි.

කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ, එක් රැස්වන කසල බැහැර කිරීමට, මීතොටමුල්ල ප්‍රදේශය තෝරා ගැනුණේ, ආණ්ඩුවේ මැදිහත් වීමෙනි. නාගරීකරණයේ අත ළඟ තිබුණ ද, මීතොටමුල්ල යනු පැරණි හේවාගම් කෝරළයේ, අධිකාරිපත්තුවට අයත්, ගම් 16 කින් එකක් විය. සුන්දර වෙල් යායකින් සමන්විත, සැබෑ ග්‍රාමීය පරිසරයක තිබුණු, සිය පාරම්පරික ගම ආසන්නයේ, කසළ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ගැන, ඒ ආසන්නයේ ඒ වනවිටත් පදිංචිව සිටි, සාම්ප්‍රදායික ගම්වැසියන්ගෙන්, පැවතෙන පිරිස් බලවත් විරෝධයක් දැක්වූහ. මේ විරෝධය අඛණ්ඩව ක්‍රියාත්මක වෙද්දී, ඔවුන්ට සවන් නොදී ආණ්ඩුව, කුණු කසළ මීතොටමුල්ලට බැහැර කිරීම, අඛණ්ඩව සිදු කළේය. අවසානයේ කුණු කන්ද කඩා වැටී, ජීවිත තිහක් පමණ නැතිවී, නිවාස හා වාසස්ථාන රැසක් විනාශයට පත් විය. මෙහිදී ද ආපදාවේ මුළු වගකීම, රජය භාරගෙන සහන සැලසීම සිදු කළේ, කුණු කන්දෙන් වාසස්ථාන අහිමි වූවන්ට, වඩාත් ඉහළ පහසුකම් සපයා, ඔවුන් බොහෝ දෙනෙකුගේ සමාජ මට්ටම්, ඉහළ දමන අන්දමට ය. විනාශ වූ වාසස්ථාන සඳහා, ස්ථිර තට්ටු නිවාසයක්, විකල්පය ලෙස ලබාදෙන ලදී. එහිදී විනාශ වූ වාසස්ථානය පැල්පතක් වුවත්, ඒ පවුලට ලක්ෂ හතළිහක් වටිනා, මහල් නිවසක් සැපයුණි. විනාශ වූ වටිනා නිවාස හිමිව තිබූ අයට, නිවසේ වටිනාකමට වන්දි ලබා ගැනීම හෝ, තට්ටු නිවාසය සමඟ ලක්ෂ හතළිහක් අඩු කොට, ඉතිරි වන්දි මුදල ගැනීම යන, විකල්පවලින් කැමති දෙය, තෝරාගත හැකි විය. සෑම නිවසක ම විනාශවූ ගෘහ භාණ්ඩ වෙනුවෙන්, ලක්ෂ දෙක හමාරක මුදලක් ද, තාවකාලික නවාතැනක, කුලිය ලෙස මසකට පනස් දහස බැගින්, මාස හයක් සඳහා මුදල්ද, විනාශ වූ රථ වාහන සඳහා වන්දි ද, රුපියල් දස දහසක ප්‍රවාහන දීමනාවක් ද ගෙවන ලදී. නැති වූ ජීවිතයක් වෙනුවෙන්, ලක්ෂ දහයක වන්දියක් ද නියම විය. මේ සියල්ලට අතිරේකව, පදිංචිව සිටි ඉඩමේ හිමිකාරිත්වය, තහවුරු කළ අයට ඉඩම වෙනුවෙන් ද වන්දි ගෙවන ලදී. මේ සිද්ධීන් දෙකේ දී, ඊට අදාළ රජයේ වගකීම භාරගත්තේ එසේ ය. රජය එම ආපදා දෙකේ ම, වගකීම කරට ගෙන එම ආපදාවලට පදනම් වූ, හේතු කාරණා හෝ වගකිවයුතු පිරිස් පිළිබඳව හෝ, කිසිදු පියවරක් නොගත් බව ද සටහන් කළ යුතුය. ස්වාභාවික ආපදාවක් වන දිට්වා සුළි කුණාටුවේ දී, සිදුවූ හානි සඳහා ආකර්ෂණීය හානිපූර්ණ, පැකේජයක් ලබාදෙමින් රජය මේ ආපදාව පිළිබඳව, රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, සක්‍රිය නොකර සිටීමේ වගකීම ගත් බව, යමෙකු පැවසුවත්, එය සාධාරණ ය. මෙහිදී ද වනු ඇත්තේ මහජන මුදලින් වන්දි ගෙවා, මේසා හානියක් සිදු නොවී, හානි අවම කිරීමට පියවර නොගත්, වගකිව යුත්තන්ව ආරක්ෂා කිරීම ය.

ආපදාවේ ඊළඟ පියවර ලෙස, ගල්ගමුව ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි අනුව, පෙනී යන්නේ මෙවර ස්වාභාවික විපතත් සමඟ ම, විපතට පත්ව ඇත්තේ නීතිය බවයි. දැනට මාධ්‍යයන් ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත්, ප්‍රචාරය වෙමින් පවතින්නේ ගල්ගමුව ප්‍රාදේශීය සභාව, ආපදා මාර්ග ප්‍රතිසංස්කරණය මුවාවෙන්, නීති විරෝධීව රජයේ ඉඩම්වලත්, වැව් තාවුලුවලත්, පස් හා බොරළු කපමින්, මහා විනාශයක් සිදු කරමින් සිටින බව ය. මේ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා, අරමුදල් රජයෙන් ලබා ගැනීමට, ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී විධිමත් ක්‍රමවේද, අනුගමනය කිරීමකින් තොරව, කාර්මික නිලධාරීන්ගේ සම්බන්ධයක් නැතුව, ප්‍රාදේශීය සභාවේ ඇතැම් සභිකයන්ගේ හිතූමතයට සිදුකරන බවත්, එහිදී එකම ව්‍යාපෘතිය, ව්‍යාපෘති දෙකක් හෝ තුනක් හෝ ලෙස, මවා පෙන්වා ව්‍යාජ ඇස්තමේන්තු, සැකසීමකුත් සිදුව ඇති බව, ප්‍රාදේශීය සභාවේ සභිකයන් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇත. මේ අන්දමින් ව්‍යාජ ඇස්තමේන්තු සකසා, රජයේ අරමුදල් ලබාගෙන, පාරවල් තැනූ බවට, ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර, මුදල් වංචා කිරීමේ චෝදනාවට, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු, සබරගමු පළාත් සභාවේ නිලධාරීන් කිහිප දෙනෙකු හා, පළාත් සභාවේ මාර්ග විෂයභාරව සිටි අමාත්‍යවරයා ද, රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ පසුගිය වසරේ ය. ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ඇතුළු පාලනය, මේ ඇඹිලිපිටියේ සිද්ධිය ගැන, සොයා බලා කටයුතු කළොත්, අනාගතයේ හිරේ විලංගුවේ, නොවැටී සිටීමට හොඳ පාඩමක්, ඉගෙන ගත හැකි වනු ඇත.                                                                 

ගල්ගමුවේ බොරළු හා පස් කැපීම නම්, අමු අමුවේ ප්‍රසිද්ධියේම සිදුකරමින් තිබෙන බව, දැනට සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, විකාශය වෙන දර්ශන දෙස බැලීමෙන් පැහැදිලි වේ. මේ බොරළු හා පස් කැපීම සිදු කරන්නේ, ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් බවත්, දිට්වා ආපදාවෙන් හානිවූ මාර්ගවලට, ඇතිරීමට යැයි කියමින්, මෙසේ පස් හා බොරළු කැපීම කරන බවත් ප්‍රදේශවාසීහු පවසති. ඇතැම් පුද්ගලික ඉඩම්වලට ද ඇතුළු වී, මේ පස් කැපීම සිදුකර ඇති බවත්, ඒ සඳහා ප්‍රාදේශීය සභාව සතු වාහන මෙන්ම, පුද්ගලික වාහන ද යොදාගෙන ඇති බව ද, ඔවුහු වැඩිදුරටත් පවසති.                                                                                                            

 රජය සතු ඉඩම් සියල්ලම, 451 වන අධිකාරිය වන, කැලෑ ආඥා පනතේ 20(1) වගන්තිය යටතේ සැලකෙන්නේ, වෙනත් වනාන්තර ලෙසයි. වෙනත් වනාන්තරයක් සේ සැලකෙන, රජයේ ඉඩමකින් බොරළු ඉවත් කිරීමේ දී, වන ආඥා පනත පරිදි ඒ සඳහා, රජයට නියමිත ගාස්තු ගෙවා, බලයලත් නිලධාරියෙකුගෙන් අවසර පත්‍රයක්, ලබා ගත යුතු ය. ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයේ ඇති, රජයේ ඉඩම්වල ප්‍රාදේශීය ලේකම්වරුන් ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති, රක්ෂිත හා යෝජිත රක්ෂිතවල වන දෙපාර්තමේන්තු නිලධාරීන් ද, බලයලත් නිලධාරීහු වෙති. මීට අතිරේකව මේ බොරළු සහිත පස්වල, යම් ස්වාභාවික ඛනිජ අඩංගු නම්, භූවිද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ අවසරයක් ලබා ගැනීමත්, විශාල ලෙස බොරළු හෝ පස් කැණීම හෝ, සිදුවන්නේ නම් පරිසර නීතිය යටතේ, නිසි අවසරයන් ලබා ගැනීමත් අත්‍යාවශ්‍ය වේ. මේ අනුව ක්‍රියා නොකිරීම, නීති විරෝධී වන අතර, මහේස්ත්‍රාත් අධිකරණයක නඩු විභාගයකින්, වැරදිකරු වුවහොත්, රුපියල් 50,000/= නොඉක්මවන දඩයකට හා, වසරක බන්ධනාගාර ගතකිරීමේ දඬුවමට යටත් වේ.                                             

මෙහිදී දැනගන්නට ඇති පරිදි, භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීන් විසින්, මේ බොරළු කැණීම් කළ වාහන හා පුද්ගලයන්, අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට භාර දුන්න ද, පොලිස් ස්ථානවලින් කිසිදු රාජකාරියක්, නොකර ඒ වරද කළ සැකකරුවන් හා වාහන නිදහස් කර යවා තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ ගල්ගමුව ප්‍රදේශයේ, ආණ්ඩුවේ දේශපාලන නායකත්වය දරන්නේ, මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා වන බැවින්, ඔහුගේ බලපෑම නිසා, පොලිසිය මේවාට එරෙහිව රාජකාරි නොකරන බව ය. මහජන ආරක්ෂාව භාර අමාත්‍ය, ආනන්ද විජේපාල මහතා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින, රාජ්‍ය ආයතනයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකු ලෙස, දීර්ඝ කාලීන අත්දැකීම් සහිත එකම අමාත්‍යවරයා ය. ඔහු රාජ්‍ය ආයතනයේ සේවය කළ සමයේ, වසර විස්සක පමණ කාලයක් පිළිබඳව, මම ද ඔහු හොඳින්ම දන්නෙමි. ඒ මුළු කාලයේම ඔහු බෙහෙවින් නීතිගරුකව, රාජකාරි කළ නිලධාරියෙකි. එම නිසා අමාත්‍යවරයෙකු  වූ පසුවත්, ඔහු නීත්‍යානුකූල නොවන නියෝග, ඔහු යටතේ ඇති පොලිසියට දේ යැයි, මම කිසිසේත් විශ්වාස කිරීමට අකමැත්තෙමි. එසේ වුවද, අමාත්‍යවරයාගේ අනුදැනුමක් නැතිව, ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට, දුර්වල පොලිස් ස්ථානාධිපතිවරුන්ට, බලපෑමක් කිරීමේ හැකියාව පවතී. දුර්වල පොලිස් නිලධාරීන්, එවිට නීති විරෝධී කටයුතුවලට, ඇස් පියාගෙන සිටින්නට ඉඩ කඩ පවතී. කෙසේ වුවද, සෑම නීති ගරුක පුරවැසියෙක්ම, දැනගත යුත්තේ කවර හෝ රාජ්‍ය ආයතනයකට, රාජ්‍ය නිලධාරියෙකුට හෝ දේශපාලකයෙකුට, ආපදාව පෙන්වා නීති විරෝධී ක්‍රියාවන් කිරීමට, ඉඩක් රටේ නීතියෙන් ලබා දී නැති බව ය. මහජන මුදලින් වැය දරමින්, නඩත්තු කරන පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සභිකවරුන්, රාජ්‍ය සේවාවේ සෑම නිලධාරියෙකුම, නීත්‍යානුකූලව තමන්ට පැවරූ රාජකාරි, කිරීමට බැඳී සිටින බවත්, කිසියම් නීති විරෝධී කටයුත්තක්, සිදුවනු නිරීක්ෂණය වුවහොත් එය, අදාළ රාජ්‍ය නිලධාරියෙකුට දැනුම් දිය යුතු බවත්, මහජනතාව තේරුම් ගත යුතු ය. තමන් කරන පැමිණිල්ලට නියමිත පරිදි, රාජකාරි නොකර දේශපාලන බලය හෝ, ධන බලය හෝ රාජ්‍ය බලයට බියේ, මඟ හැර සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව, පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම, දූෂණ මර්දන කොමිසමට පැමිණිලි කිරීම, ආදී ක්‍රියා මාර්ග මහජනතාවට ගත හැකි බවත්, තේරුම් ගත යුතු ය. සෙසු රාජ්‍ය නිලධාරීන් ද තමන් භාරයේ ඇති, රජයේ ඉඩම්වලින් අනවසරයෙන් පස් කපන, බොරළු හාරන හෝ ඒවා අනවසරයෙන් අල්ලා ගැනීමට, ඉඩ හැර නිහඬව සිටින්නේ නම්, ඔවුන්ට එරෙහිවත් අල්ලස් කොමිෂන් සභාවට, රාජ්‍යයට පාඩු සිදුවන ලෙස වෙනත් අයෙකුට, වාසි සැලසෙන ක්‍රියාවක් මගින් දූෂණය නම් වරද, කරන බවට පැමිණිලි කළ හැකි ය. ප්‍රාදේශීය සභාවක් දේශපාලන බලය යොදාගෙන, සිදු කරන අකටයුතු ද දූෂණ මර්දන කොමිසමට, පැමිණිලි කළ හැකි ය. එමෙන්ම ප්‍රාදේශීය සභාවක වැරදි මුදල් වැය කිරීම් ගැන, විගණකාධිපතිට පැමිණිලි කිරීමද හැකි ය. විගණකාධිපතිවරයාට ඒ පැමිණිලි ගැන, සොයා බලා සත්‍ය නම් ඒ ගෙවීම් සිදුකිරීම, අනුමත කළ සභිකයන්ගෙන් අධිභාර ලෙස, එම මුදල අය කිරීමට නියම කිරීමටද පුළුවන. යම් හෙයකින් එවන් අධිභාර කිරීමකට, යටත් වන සභිකයින් වුවහොත්, වසර පහකට ඡන්දය ඉල්ලීමේ අයිතියත් අහෝසි වෙයි.                                                                                                                   

ගල්ගමුවේ ආපදාව මුවාවෙන් සිදුවෙතැයි කියන, ද්විතීයික ආපදාවක් වන අනීතික ක්‍රියා, පාලනය කළ හැකි වන්නේ, ඒ පිළිබඳව මහජනතාව නොබියව, පැමිණිලි කිරීමෙන් පමණි. බොහෝ විට රාත්‍රි කාලයේ නිවෙස්වලට ඇතුළුවී, මංකොල්ල කන හොරුන් නිවැසියන්ගේ මිල මුදල්, රන් රිදී බඩු මංකොල්ලකා, පැන යන්නේ පොලිසියට කිව්වොත් මරණ බවටත්, තර්ජනයක් ද සිදු කරමිනි. එසේ වුවද නිවැසියන් එසැනින් පොලිසියට පැමිණිලි කිරීමට බිය වන්නේ නැත. ඒ පරිද්දෙන්ම අනීතික වැඩ කරන අය, හැම විටම පෙන්වන්න උත්සාහ කරන්නේ, පොලිසියට පැමිණිලි කිරීමෙන් වැඩක් නොවන බව ය. නීති විරෝධී ක්‍රියා ගැන පැමිණිලි භාර නොගන්නා බව, පොලිසිය කීවොත් පැමිණිල්ල ලිඛිතව ලියා, පොලිස් ස්ථානාධිපතිටත්, පොලිස් අධිකාරිටත්, පොලිස්පතිටත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකිය. මේ අන්දමින් මහජනතාව ක්‍රියාත්මක වුණොත්, අනීතික ක්‍රියා කරන්නන් නිකම්ම පාලනය වනු ඇත. ගල්ගමුවේ ඇති වී ඇතැයි කියන, ආපදා ප්‍රතිසංස්කරණ මුවාවෙන් සිදුවන, අනීතික ක්‍රියා පිළිබඳව සියලු නීතිය, ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්, අප්‍රමාදව කටයුතු කළ යුතු ය. නැතිනම් යුනිෆෝම් පඹයින් ලෙස, ගෙදර යා යුතු ය.

ගරු ආනන්ද විජේපාල අමාත්‍යතුමනි,

ඔබ රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරද්දී, බලපෑම්වලට යට නොවී, නීතියට වැඩ කරන අයෙකු ලෙස, පවත්වාගෙන ගිය කීර්ති නාමයට, හානිවන දේ ඔබේ නම විකුණා, කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන ලෙස  ඉල්ලා සිටිමි. මක් නිසා ද මෙම සිද්ධිය අරබයා, මේ වන විට ඔබ කෙරෙහි ද, සංතීක්ෂණ සමාජ අවධානය යොමුව ඇති බැවිනි.

 - සුනිල් කන්නන්ගර -