ජගත් ගේ සතියේ සටහන - 106
ඒකාබද්ධෙ කණ්ඩායමක් සජිත් මුලිච්චි වෙලා
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සමගි සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව දොපර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙන අතර තුර පසුගිය සඳුදා සවස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් විපක්ෂ නායක කාර්යාලයට ගොස් සජබ නායක සජිත්
ප්‍රේමදාස මහතා හමුවුණා.


ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර යන මහත්වරු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙම සාකච්ඡාවට එක්වී සිටියා.
මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණේ රජයේ ප්‍රධාන තනතුරු මාලිමාවේ හිතවතුන්ගෙන් පිරවීම, විගණකාධිපති ධූරය සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම, ඇතුළු කාරනා ගණනාවක් ගැන සාකච්ඡා කිරීම යි.
මෙහිදී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිවීම හා තොරතුරු පනත යටතේ සිදු කරනු ලබන තොරතුරු ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළ කළ යුතු බව යි.
විපක්ෂයේ සියලු කණ්ඩායම් තම අනන්‍යතාවය රැක ගනිමින් පොදු වැඩ පිළිවෙළකට යායුතු බවත් ෙමහිදී වෙන්වී කටයුතු කිරීමෙන් පලක් නැති බවත් ජී. එල්. පීරිස් මහතා තව දුරටත් පැවසුවා. ''තෝරාගත් මතෘකා සම්බන්ධයෙන් සම්මුතියකට එළඹිය හැකි වැඩ පිළිවෙළක් ආරම්භ කළොත් ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න පුළුවන්" යැයි ද ඔහු පැවසූ විට සජිත් ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ "විපක්ෂය එක්ව ආරම්භ කරන ඕනෑම සටනකට සමගි ජන බලවේගය සහාය දෙනවා" යනුවෙන්.
තම කණ්ඩායම ඉදිරියේ දී මේ පිළිබඳව විපක්ෂයේ අනෙක් පක්ෂ හමුවීමට තම කණ්ඩායම කටයුතු කරන බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
එම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණා.
මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් සහභාගි වූ මෙම රැස්වීමේ ප්‍රධාන මාතෘකාව වුණේ මෙවර මැයි දිනය පැවැත්වීම යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම මැයි රැළියක් පැවැත්විය යුතු බව වැඩි පිරිසකගේ අදහස වුණා. මැයි රැළිය පවත්වන ස්ථානය, පාක්ෂිකයන් කැඳවන ආකාරය හා එහි සංවිධාන කටයුතු සිදුකරන ආකාරය ගැන ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.
එසේම රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පොදු සටන්වලට විපක්ෂයේ පක්ෂයක් ලෙස සහභාගිවී, සහයෝගය දැක්විය යුතු බව ද මෙහිදී කතාබහ කෙරුණා.
මේ අතර ම එදින ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වී විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගැනීම ගැනත් එහිදී එක්සත් ජාතික පක්ෂයේ කාර්යභාරය ගැනත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
හැමෝම එකතුවෙලා මැතිවරණයකට මුහුණ දෙන්න - රනිල්


වජිර අබේවර්ධන, හරීන් ෆ්‍රනාන්දු, රාජිත සේනාරත්න, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් මෙයට සහභාගි වී සිටියා.
පසුගිය බ්‍රහස්පතින්දා සිරිකොත දී එළි දැක්වුණු පක්ෂයේ සංවිධාන වැඩපිලිවෙළ පිළිබඳව දේශපාලන මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ගැන මල්පාරේ පිහිටි කාර්යාලයේ දි රාජිත සේනාරත්න මහතා ඇතුළු කිහිප දෙනකු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ දී හමුවුණා.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ "එකතුවීමේ අරමුණින් සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා දිගට ම සිදු කරගෙන යන බව යි. සන්ධානයක් හැදෙයි. අපි එකතුවෙලා වැඩ කරන්න ඕනැ. ඒ එක්කම අනිත් පක්ෂ සමඟත් කතා කරගෙන යනවා. හැමෝම එකතුවෙලා මැතිවරණයකට මුහුණ දෙන්න" යනුවෙන්.
විපක්ෂයේ සියලු දෙනා ම එකතු කරගෙන එක වේදිකාවකට ගේන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ජයග්‍රහණය" පැවසූ රාජිත සේනාරත්න මහතා ''මුළු විපක්ෂයම එක්වෙලා සමූපකාර ඡන්ද දිණුවා. ප්‍රාදේශීය සභා ගණනාවක බලය ලබාගැනීමට හැකිවුණා. මේක තමයි ෆෝමිලා එක. මැතිවරණයක දී පොදු අපේක්ෂක ලැයිස්තුවක් දැම්මා නම් හරි. මැතිනිය 1970 දී දිණුවෙත් එහෙමයි. ඉදිරියේ දී රට ලොකු ආර්ථික අරබුදයකට යනවා. ඒකත් බලාගෙන ම තමයි ඉදිරි දේශපාලනය කරන්න ඕනැ'' යැයි ද ප්‍රකාශ කළා.
සජබෙ මන්ත්‍රීවරුන් ගේ සුං වූ බලාපොරොත්තුව
මේ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා විපක්ෂ නායක කාර්යාලයේ දි රැස්වුණා.
මෙහිදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ සංවත්සරය වෙනුවෙන් කතරගම දී ඊයේ (07) පැවැත්වුණු පිංකම් මාලාවේ කටයුතු ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කළා.
එහෙත් මන්ත්‍රීවරුන් බලාපොරොත්තුවෙන් සිටියේ එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සන්ධානගත වීම සඳහා පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව පක්ෂ නායකයා ප්‍රකාශයක් කරනු ඇත කියා යි. සජිත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකිරීමට ප්‍රවේසම් වූ බවයි එක් මන්ත්‍රීවරයෙක් අප සමඟ සඳහන් කළේ.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සන්ධානයක් ගොඩනැඟීමට දෙපාර්ශ්වයෙහි ම මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් දැඩි උනන්දුවෙන් පසුවෙන නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව අනුගමනය කරන ක්‍රියාමාර්ග ඔවුන්ට ප්‍රශ්නයක් වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජබ ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සන්ධානයක් ඇති කරගත යුතු බව පවසනවා. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ හොරුන්, දූෂිතයින් සමඟ එක්වී ආණ්ඩු පිහිටුවීමට තමන් සූදානම් නැති බවයි.
ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් රැස්වීම්වල දී භික්ෂූන් වහන්සේලාට පහර ගසමින් කතා කිරීම පිළිබඳව රටපුරා මහජන මතයක් ඇති කිරීමට ප්‍රකට හිමිවරුන් පිරිසක් කටයුතු කරගෙන යන බව වාර්තා වෙනවා.
ජාජබ ආණ්ඩුව නිසිමඟට ගන්න සඟ සමුළුවක් - මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි
කේ. ඩී. ලාල්කාන්ත ඇමතිවරයා 'මිහින්තලේ වනචාරියා' යැ යි භික්ෂුන් වහන්සේ නමක් එල්ල කරමින් සිදුකළ ප්‍රකාශයට බොහෝ විරෝධතා එල්ල වුණා.
මේ අතර මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවා හැංගුණු වැවේ ධම්මරතන හිමියන් විසින් රචනා කළ ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා මිහින්තලේ දී පැවැත්වුණා. එම උත්සවයට සමගාමීව සාංඝික දානමය පින්කමක් ද පැවති අතර මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ අනුනාහිමි වරුන්, උලපනේ සුමංගල, දඹර අමිල, තීනියාවල පාලි, පාහියංගල ආනන්ද, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් ඇතුළු හිමිවරුන් දානමය පින්කමෙන් පසු මිහින්තලේ 

රජමහා විහාරයේ දී රැස්වුණා.
මැති ඇමතිවරුන් මහා සංඝයා විවේචනය කිරීමත්, ආණ්ඩුව ඒ ගැන සොයා නොබැලීමත් ගැන මෙහිදී සාකච්ඡා වුණා. එහිදී තීරණය වූයේ මේ
භික්ෂූන් වහන්සේලා 8000 ක් කොළඹට වැඩමවා සඟ සමුළුවක්
ප්‍රකාශවලට එරෙහිව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ මහ මළුවේ දී සඟ සමුළුවක් පැවැත්වීමට යි. ඉන්පසු මහනුවර සිට කොළඹට පාදයාත්රාවකින් වැඩමවා කොළඹ දී තවත් සඟ සමුළුවක් පැවැත්වීම ගැන ද මෙහිදී සාකච්ඡා වුණා.
මෙවැනි ම සාකච්ඡාවක් මල්වතු අස්ගිරි විහාරස්ථාන නියෝජනය කරන හිමිවරුන් හා මුරුත්තෙට්ටුවේ ආනන්ද, තීනියාවල පාලිත යන හිමිවරුන් ගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයේ දී ඉකුත් සතියේ පැවැත්වුණා.
භික්ෂූන් වහන්සේලා 8000 ක් කොළඹට වැඩමවා සඟ සමුළුවක් පැවැත්වීමට එහිදී තීරණය වී තිබෙනවා. මෙම සඟ සමුළුව පවත්වන්නේ ආණ්ඩුව නිසිමඟට ගැනීම සඳහා යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා තිබුණා.
කතානායකට විශ්වාස භංගයක්!
පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් කටයුතු කරගෙන යන බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
කතානායක වරයාගේ මෙහෙයවීමෙන් පසුගියදා වැඩ තහනමට ලක් කළ පාර්ලිමේන්තුවේ නියෝජය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා කතානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ල පදනම් කොට ගෙන ඔවුන් මෙම විශ්වාස භංගය ගෙන එන බවයි දැනගන්නට තිබෙන්නේ.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු ද ඇතුළත් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් විසින් චමින්ද කුලරත්න මහතා ගේ වැඩ තහනම් කොට තිබුණේ ඔහු රාජ්‍ය සේවයේ නිලධාරියකු බව පෙන්වා වාංචනික ලෙස නියෝජ්‍ය මහ ලේකම් ධූරයට පත්වූ බව පවසමින්. ඔහු පසුගිය ආණ්ඩුවේ විපක්ෂ නායක කාර්යාලයේ හා සභානායක කාර්යාලයේත්, අගමැති කාර්යාලයේත්, සේවය කොට ඇත්තේ දේශපාලන පත්වීම්අනුව බවයි ඔහු පිළිබඳ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු විසින් පවත්වනු ලැබු විනය පරීක්ෂණයේ වාර්තාවක සඳහන් වෙන්නේ.
එහෙත් මෙම වැඩ තහනම කතානායක විසින් සිදුකොට තිබෙන්නේ කුලරත්න මහතා සමඟ පවතින ඔහුගේ පුද්ගලික කාරණාවක් නිසා බවයි විපක්ෂය චෝදනා කරන්නේ.
කෙසේ වුවද චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් එම කොමිසම දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව ද වාර්තාවෙනවා.
