හේ බහ්‍රශ්‍රැතයෙකි. අති දැවැන්ත දේශපාලන චරිතයකි

ලංකා සමසමාජ පක්ෂයේ (LSSP) නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී ඇති වග හෙළදිව සාතිශය සංවේගයෙන් යුකුව දැනුම් දෙන්නේ ය. ඔහු විද්‍යා ජෝති ගෞරව පදවිනාමයෙන් පිදුම් ලද්දෙකි.
ශ්‍රී ලාංකේය දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් සේ දිගු කලක පටන් සමසමාජ දේශපාලනයේ යෙදෙුණු මහැදුරු තිස්ස විතරාණයෝ 2019 සිට 2020 දක්වා උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළහ. හේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි.
මහාචාර්ය උපාලි තිස්ස විතරණ නම් වූ ඔහු මියයන විට අනූ දෙවැනි වියේ පසු විය. 1934 අගෝස්තු මහේ 30 වැනි දා ජන්මය ලද තිස්ස විතාරණයෝ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ කොළඹ පිහිටි ලංකා විශ්ව විද්‍යාලයී ය වෛද්‍ය පීඨයෙට ඇතුළත්ව එම්. බී. බී. එස් (MBBS) උපාධිය ලැබ 1967 දක්වා වෛද්‍යවරයකු සේ සේවයේ නියැළී ඇත. හේ 1963/64 කාලයේ දී කොළඹ මහ රෝහලේ රෙජිස්ට්‍රාර්වරයා සේ ක්‍රියාකර ඇත. පාසල සමයේ හේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ද කොළඹ ආනන්ද විද්‍යාලයේ ද පාසල් දෙකටම ක්‍රිකට් ක්‍රීඩා කළේ ය
1957/58 දී විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ විතාරණ, සාරා කුසලාන තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකි.
ඔහුගේ පශ්චාත් උපාධි කටයුතු නිසා 1965 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ MD උපාධියක් ඔහුට හිමි විය. ඉන්පසු ඔහු එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීමට ගොස්, 1968 දී ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයෙන් බැක්ටීරියා විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහ 1971 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් වෛරස් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ගත්තේ ය.
1980 ගණන්වල එඩින්බරෝ නගර රෝහලේ කලාපීය වෛරස් රසායනාගාරයේ උපදේශක වෛරස් විද්‍යාඥයෙකු සේ සේවයේ යෙදුණු ඔහු 1991 සිට 1993 දක්වා මෙල්බර්න් හි වික්ටෝරියා බෝවන රෝග විමර්ශන රසායනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ ය.
1994 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විතාරණ මහතා 1995 - 2000 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ සේවයේ යෙදුණි.
1994 සිට 2001 දක්වා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ උපදේශකයෙකු විය.
2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විතාරණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කොට ඔහුට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරය පිරිනමන ලද්දේ ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසිනි.
මහජන වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ පීරිස් විතාරණ සහ එන්.එම්. පෙරේරාගේ සහෝදරිය වන එන්.පී. මැගී පෙරේරාගේ පුත්‍රයා වූ තිස්ස විතරණයන් ජන්ම දායාදය ලද්දේ නුවරඑළියේ දී ය.
කාමිනී මීදෙනිය විතරණයන් ගේ භාර්යාව යි. ඔවුන්ට පුතෙකු සිටී, හේ රනිල් විතරණ ය.
