ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

මහා සංඝරත්නයට හා සිංහල බෞද්ධ මහා සංස්කෘතියට පහර දීම මේ ආණ්ඩුව සමාජ විලාසිතාවක් කරලා

මේ යන්නේ 2028 එන ණය ගෙවීමේ අභියෝගය ජය ගන්න පාරේ නෙවෙයි. වැළලෙන පාරේ. - විමල් වීරවංශ ජනතාවට අනතුරක සේයාව පෙන්වයි අගවයි

වර්තමානයේ උතුරු හා දකුණු ලෙස දෙකට බෙදා වෙන්කර තිබෙන “සුඩානය” මෙන් නෝර්වේ ප්‍රමුඛ බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව බෙදා වෙන් කරන්නට නොහැකි වූයේ මේ රටේ උත්තරීතර මහා සංඝරත්නය රට දැය සමය රැකගත් නිසා බවත් බුද්ධාගම සිංහල භාෂාව හා ශ්‍රී ලාංකික ජාතිය මත ගොඩනැගුණු “මහා සංස්කෘතිය” මේ රටේ ජන මනස පෝෂණය කළ නිසා යැයි ද, මේ වන විට ජාත්‍යන්තර සමීක්ෂණ මගින් ඔප්පු වී ඇතැයි ද  ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු  නිවාස හා ඉදිකිරීම් ඇමති  විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ය.

වීරවංශ මහතා මෙසේ සඳහන් කළේ ඉකුත් සෙනසුරාදා බත්තරමුල්ලේ පිහිටි  ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයේ පැවැතිජාතික නිදහස් පෙරමුණේ, ආසන සංවිධායකයින්ට, පත්වීම ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදී, විශේෂ දේශනයක් කරමිනි.

“සාමයේ ඉත්තෝ” කියලා ඔවුන් විශාල දිග වාර්තාවක් හැදුවා. ඔස්ලෝ නුවරින් දුන්නා මුදල් ලෝකයේ මහාචාර්යවරු 10 ක පමණ කණ්ඩායමකට. ශ්‍රී ලංකාවේ සාමක්‍රියාදාමය අසාර්ථක වුණේ ඇයි දැයි  කියලා අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න. “සාමයේ ඉත්තෝ” සිංහලෙන් කියන්නේ ඒකට එහෙමයි. ඒකේ තියෙනවා කොහෙද ඒගොල්ලන්ට වැරදුණේ කොහොමද කියලා. දහයක් විතර තියෙනවා වැරදිච්ච හේතු. උඩම තියෙන එකක් තමයි “මහා සංඝරත්නය දිනා ගැනීමට හෝ දුර්වල කිරීමට නොහැකිවීම”. ඒකට වැඩ පිළිවෙලක් නොතිබීම. තව තියෙනවා. ජවිපෙ දිනා ගැනීමට වැඩ පිළිවෙලක් නොතිබීම.”

මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන අපහාසාත්මක ව්‍යාපාරයන් පිටුපස විදේශීය බලපෑම් පවතින බවත්, එය රටේ ශක්තිමත් ජාතික පදනම බිඳ දැමීමේ උපක්‍රමයක් බවත් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.  එමෙන්ම, මෙරට බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කිරීමට ඉඩ හැරීම සහ උතුරේ සිදුවන සංස්කෘතික ආක්‍රමණ හමුවේ රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටද ඔහු චෝදනා කළේ ය.

“ඒ නිසා තමයි ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන මකලා දාන්න ඉඩ දීලා ඉන්නේ. ඒ නිසා තමයි අම්මට තාත්තට වඳින ගාථා පාසැල් පෙළපොතින් අයින් කරන්නේ. අම්මට තාත්තට වඳින්නේ නැති, අම්මට තාත්තට සලකන්නේ නැති, අම්මට තාත්තට වටිනාකමක් දෙන්නේ නැති. අර බටහිර සමාජ එහෙමනේ. අවුරුදු 19 න් කොල්ල, කෙල්ල එළියට යනවා. ඊට පස්සේ අම්මා මැරුණොත් මල්බොකේ එකක් එවනවා.

ඒක තමයි මේ දෙන්න හදන්නේ පරමාදර්ශී ජීවන රටාව හැටියට. මේ නවලිබරල්වාදී වම්මු. නියම නවලිබරල්වාදී ඊනියා වම්මු. මේවද දෙන්නේ....

හැම පැත්තෙම දේශපාලන වශයෙන් අයි. එම්. එෆ්.... ඒක තමයි “නවලිබරල්වාදයේ දිසාව”. ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් අපේ සභ්‍යත්වයට ශිෂ්ඨාචාරයට ගරහලා ඒක වට්ටන එක ඒ තමයි “සංස්කෘතික නවලිබරල්වාදී” ප්‍රහාරය. ලිංගිකත්වය පැත්තෙන් එල්ජීබීටීකියු ප්‍රවර්ධනය කරලා, අපේ ඉන්න හොඳට ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඒ විසකුරු ජීවිතයට ගොදුරු කරගන්න එක. ඒක තමයි ඒ පැත්තෙන් ප්‍රහාරය. හැම පැත්තෙන්ම. ශාසනයට ගහන එකත් මේකේ ප්‍රධාන ව්‍යාපෘතියක්. වෙනද ඕව කරේ පිටින් ඇවිල්ලා. දැන් කරන්නේ තඹුත්තේගමින් ඇවිල්ලා”

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ භාෂාව, ආගම සහ සංස්කෘතික පදනම ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව තව දුරටත් විමල් වීරවංශ මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා පෙන්වා දුන්නේ, වසර 500 ක විදේශ ආක්‍රමණ හමුවේ පවා රැකගත් දේශීය අනන්‍යතාවය වර්තමාන “නවලිබරල්වාදී” ප්‍රවණතා හමුවේ අනතුරට ලක්ව ඇති බවයි.

විශේෂයෙන්ම මව් භාෂා දිනය වැනි වැදගත් අවස්ථාවන් රාජ්‍ය මට්ටමින් නොසලකා හැරීම සහ පාසල් අධ්‍යාපනය තුළින් දේශීය වටිනාකම් ඉවත් කිරීමට දරන උත්සාහය ඔහු දැඩි ලෙස විවේචනය කළේය.

“ඕනම ජාතියක පැවැත්මේ ප්‍රධාන සාධකය තමයි සංස්කෘතිය. සංස්කෘතියේ ප්‍රධාන ප්‍රවාහයක් තමයි භාෂාව. ඒ වගේම ඒ ආගමික දහමත් එක්ක නිර්මාණය වෙච්ච පොහොසත් සභ්‍යත්වය. ඒක තමයි සාරවත් පස. ඒ පස මත තමයි මේ ඕනම ජාතියක් ශක්තිමත්ව ගොඩනැගෙන්නේ. ඒ ජාතිය නැමැති මහා සද්ධන්ත ගස කඩලා ඉවත් කරන්න නම්, වනසන්න නම්, අර “පස” නිසරු කරන්න ඕනා. අර පස වනසන්න ඕනා. ඒ පසට විස පොවන්න ඕනා. ඒ පසේ තියෙන සාරය නැත්තටම නැති කරන්න ඕනා. එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ ඒ “ජාතිය නැමැති ශාඛය” පහසුවෙන් ඒ පස මතින් ගලවලා ඇදදමන්න. යුරෝපා ආක්‍රමණිකයා ඕක උත්සාහ කළා. නමුත් බැරිවුණා.”

ආර්ථික අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඇඟලුම් කර්මාන්තශාලා රට අතහැර යාම සහ විදුලි උත්පාදනය සඳහා බාල ගල්අඟුරු ගෙන්වීම වැනි දූෂිත ක්‍රියාවලීන් හේතුවෙන් රට තවදුරටත් ප්‍රපාතයට ඇද වැටෙමින් පවතින බවයි. අයි.එම්.එෆ් (IMF) වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත පමණක් විශ්වාසය තැබීම “යක්ෂයාගෙන් හාදු බලාපොරොත්තු වීමක්” බඳු යැයි ඔහු උපහාසාත්මක උපමාවකින් පැහැදිලි කළේය.

දැන් “MAS” එක වහලා යන්න හදනවා. ඇඟලුම් කර්මාන්තශාලාව. ලංකාවේ තියෙන, අපිට සාමාන්‍යයෙන් ඇඟලුම්වලින් හම්බවෙන්නේ අවුරුදකට බිලියන් පහයි. ඕකෙන් බිලියන් දෙකක් විතර මාස් “MAS” කියන කම්පැනි ඒකෙන්. දැන් ඒකේ දැන් තුල්හිරිය ෆැක්ටරියක් ගැ‍ලෙව්වා 1400 ක් විතර වැඩ කරන මිනිස්සු ඉන්න. දැන් ඒගොල්ලෝගේ ෆැක්ටරි රටවටා 38 ක් තියෙනවා. ඒවා ක්‍රම ක්‍රමයෙන් ගලවලා ඉන්දියාවට යන්න හදනවා. ඇයි? ට්‍රම්ප් මහත්තයාගේ බදු නිසා. බදු අපිට 20% යි ඉන්දියාවට 18% යි.

කලින් අපිට වඩා වැඩියි. දැන් අපිට වඩා අඩුයි. ඉන්දියාවේ බලශක්ති පිරිවැය අපිට වඩා අඩුයි. ශ්‍රමය මිල අපිට වඩා අඩුයි. දැන් මොකක්ද එතකොට මෙහෙ ඉන්න ෆැක්ටරිකාරයෝ බලන්නේ. ඉන්දියාවට යන්න. මෙහෙ එක ගලවනවා වහනවා ඉන්දියාවට යනවා. එතකොට අපේ තිබ්බ ශ්‍රමිකයාගේ අර ස්මාට් කමනේ තිබ්බේ. නූල් හරියට මැෂින් එකේ මහනවා එහෙ මෙහෙ පනින් නෑ. අර ඩැමේජ් වෙන ඒවා හරි අඩුයි අපේ අයගේ. ඉන්දියාවේ ශ්‍රමිකයා එහෙම ස්මාට් නැහැ. හැබැයි දැන් මේගොල්ලෝ මොකද කරන්නේ... “ඒ අයි” වලින් ඒ ප්‍රශ්නේ විසඳගන්නවා.

තව 13% දශම ගානක් ඉදුලි බිල වැඩි කරන්න හදනවා. නොරොච්චෝලට බාල ගල් අඟුරු නැව් අටක් ගෙනල්ලා. නැව් අටම බාලයි. බාල ගල්අඟුරු දානවා දැන් කොයි වෙලේ හරි අරකේ බොයිලේරුව පිපිරෙනවා. එහෙම වුනොත් මාස හයක් යනවා අඩුම හදන්න..

දැන් නැව් අටක් එනවා බාල ඒවා. ඒත් ගන්නවා. නොරොච්චෝල දුවනවා. මෙහෙම පට්ට හොරකමක් මෑත ඉතිහාසයේ ලංකාවේ වෙලා නැහැ. මේකෙන් වෙන්නේ විදුලි පාරිභෝගිකයාට 13% නෙවෙයි. ඊළඟට ඩීසල්වලින් විදුලිය උපදවන්න වුණොත් නොරොච්චෝලෙත් කැඩිලා. ඒ ඔක්කොම බර ජනතාවට දරන්න වෙනවා. එතකොට කර්මාන්ත කියන එක නැත්තටම නැති වෙනවා.

මේ යන්නේ 2028 එන ණය ගෙවීමේ අභියෝගය ජය ගන්න පාරේ නෙවෙයි. වැළලෙන පාරේ. ඒ නිසා තමයි ක්‍රිස්ටිනා නෝනා ඇවිල්ලා හාදු දීලා ඉඹලා මිරිකගෙන ඉඳලා හරිනිලට කියන්නේ.... ඔය පාරෙන්ම යන්න. ඔගොල්ලෝ හරි ෂෝක්. අපි කියනවටත් වඩා හොඳින් ඔගොල්ලෝ අපේ පාරේ යනවා කියලා. යන්න... ප්‍රපාතය ළගයි... නියමයි වල තියෙනවා කපලා වැළලෙන්න කියලා. ඒගොල්ලෝ විතරක් නෙමෙයි වැළලෙන්නේ ජාතියත් එක්ක වැළලෙන්නේ.

රට මුහුණ දී ඇති මෙම විනාශකාරී ගමන පරාජය කර, අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටීමට කැපවන ලෙස ඔහු නව සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

විමල් වීරවංශ මහතා කළ සම්පූර්ණ දේශනය හෙළදිව හි වෙනම ම පිටුවක පළ වී ඇති බව කරුණාවෙන් සලකන්න .