උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

මහින්දට නිල නිවස දුන්නේ අනුර කුමාරගෙත් එකඟතාවෙන් – රනිල් කියය

ජගත් ගේ සතියේ සටහන  -  55

 

ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට යන පළාත් පාලන මැතිවරණවලට එක පෙරමුණක් වශයෙන් තරග කිරීම සඳහා නව සන්ධානයක් ගොඩනඟා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වුණා.

එහෙත් ඒ අතර ම විපක්ෂයේ පක්ෂ ඒකරාශී කිරීමේ වැඩ පිළිවෙලක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ නායකත්වයෙන් ආරම්භ කොට ඇති අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තමාගේ නායකත්වයෙන් විපක්ෂයේ පක්ෂ එක්කර ගැනීමේ කටයුතු කරගෙන යනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ විපක්ෂයේ දේශපාලනඥයින් පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීඹක් පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.

මේ සඳහා නිමල් සිරිපාල ද සිල්වා, වජිර අබේවර්ධන, උදය ගම්මන්පිල, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, සාගල රත්නායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කාංචන විජේසේකර, ප්‍රේමනාත් සී දොළවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් හා පාඨලී චම්මිපක රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් බන්දුල චන්ද්‍රසේකර මහතා ද සහභාගි වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හමුවේ විපක්ෂය මුහුණ පා තිබෙන අර්බුද පිළිබඳව යි.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳත් හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් වන සිරිසේන අමරසේකර හා මයාදුන්නේ මහත්වරුන් අත්අඩංගුවට ගැනීම ගැනත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

''මේවයින් සිදුවන්නේ ඇත්තම අපරාධකාරයින් පිළිබඳව තිබෙන සමාජ මතය පවා නැති වී යනවා. මේ ගොල්ල මේ විධියට කුදලා ‌ෙගන ගිහිල්ලා නඩු දාන්න යන කොට හුඟක් අපේ මන්ත්‍රීවරු, හිටපු නිලධාරීන් අසරණ වෙනවා. ඒගොල්ලන්ට නීති සහය ලබා දෙන්න අපි කමිටුවක් හදන්න නෑ" යැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසූ විට,

''ඒක ඉතාම හොඳ යෝජනාවක්. අපේ උපරිම සහාය දෙනවා. අපි කමිටුවක් හදමු" යි නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත හා අනුර යාපා ඇතුළු කිහිප දෙනෙක් ම එය අනුමත කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‌ ඔහුගේ නිල නිවසින් පළවා හැරීමට ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල ද මෙහි දී සාකච්ඡා වී ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වරප්‍රසාද ලැබිල තියෙන්නේ ව්‍යවස්ථාවෙන්. දැන් කවුරු මොනව කිව්වත් ව්‍යවස්ථාව අනුව ඒ දේවල් හිමිවිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මේ ගැන දීර්ඝ විස්තරයක් කළ රනිල් වික්‍රමසිංහ මහතා ''ලෝකයේ හුඟක් දියුණු රටවල මේ වරප්‍රසාද හා ආරක්ෂාව හිටපු ජනාධිපතිවරුන්ට ලාබදෙන එක සම්ප්‍රදායක්. ඒ වගේ ම මූලධර්මයක්. සාමාන්‍යයෙන් රටක ජනාධිපතිවරයෙක්, ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පාතාල ලෝකයට විරුද්ධව කටයුතු කරනවා නම් ඒවා මර්ධනය කරන්න කැප වෙනවා නම් ඔහුගේ පවුලේ ආරක්ෂාව සහතික කරන්න ඊළඟට එන රජය වගබලා ගත යුතු යැ යි ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.
මහින්දට නිල නිවස දුන්නේ අනුරගෙත් එකඟතාවෙන් - රනිල්

''එහෙම කළේ නැත්නම් ඉදිරියේ දී එන කිසිම ජනාධිපතිවරයෙක් තම පෞද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළාගෙන ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය ජාවාරමට, පාතාල ලෝකයට එරෙහි වන්නේ නැහැ. මේ ගොල්ලන් මේ කරන්න හදන වැඩෙන් වෙන්නේ ඉස්සරහට එන ජනාධිපතිවරුන් ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය හුරතල් කරන ජනාධිපතිවරු බවට පත්කිරීමක්" යැ යි උදය ගම්මන්පිල මහතා පැවසුවේ රනිල් ගේ කතාවට ඌණපූරණයක් වශයෙනි.

මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වී පෞද්ගලික නිවසක සිටි බවත් පසුව නිල නිවසක් ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවත්, මෙහිදී පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්පසු තමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, චන්ද්‍රකි බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියටත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකත් කැඳවා සාකච්ඡා කොට මහින්දට ඔහු දැන් සිටින නිවෙස ලබා දුන් බවත් කියා සිටියා. දැන් මහින්ද ගේ නිල නිවසට විරුද්ධ වන අනුර කුමාර දිසානායක ඒ අවස්ථාවේ කිසිදු විරෝධයක් නොදැක්වූ බවත් වික්‍රමසිංහ මහතා තව දුරටත් සඳහන් කළා.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය සතියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට කැඳවා තිබුණා.

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සාමුහිකව කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා පැවැත්වූ මේ සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුද්දීන්, කඳුරට ජනතා පෙරමුණේ වී. රාධක්‍රිෂ්ණන්, සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත්කළ මන්ත්‍රී රවි කරුණානායක, එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක එස්. ශ්‍රීධරන්, පී. සත්‍යපාලන්, සෙල්වම් අඩෙක්කලනාදන් හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරුන් සහභාගි වී සිටියා.

ආණ්ඩුවේ යහපත් දේවලට සහාය දෙනවා මෙන් ම රටට හා ජනතාවට හානිදායක වන නෑම ක්‍රියාවකට එරෙහිව ජනතාව වෙනුවෙන් හඬනැඟීම සඳහා සැමදෙනා ම එත්විය යුතු බව මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

රනිල් ගේ ගැටේ 

සමගි ජන බලවේගය හා එක්සත්  ජාතික පක්ෂය අතර පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් එක පෙරමුණක් ලෙස තරග කිරීම සඳහා සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳ පක්ෂ දෙකේ නියෝජිතයින් අතර මේ වන වි‌ට සාකච්ඡා කිහිපයක් ම පැවැත්වී තිබෙනවා. 

එම පක්ෂ දෙකේ ම බිම් මට්ටමේ සාමාජිකයින්ගේ ඉල්ලීම මත සිදු කෙරෙන මෙම සාකච්ඡා ආරම්භ වුණේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකොරාළ මහත්මිය ‌ෙග් සහ ජාතික ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රධාන කණ්ඩායම් දෙක අතරයි.

එහෙත් මෙම පක්ෂ දෙකේ එකතුමට විරුද්ධව සමගි ජන බලවේගයේ ම පිරිසක් පවසන්නේ මෙම සාකච්ඡා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ උගුලක් බවයි. සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙම කණ්ඩායමේ මූලිකත්වය ගෙන කටයුතු කරන අතර සජබ තරුණ නායකයකු වන චරිත් අබේසිංහ මහතා ද ඔහුට එක්වී සිටිනවා.

මොවුන් විසින් සජිත් රැකගැනීමේ ව්‍යාපාරය නමින් සංවිධානයක් ද පිහිටුවා ගෙන ඇති අතරඑහි මෙහෙයවීමෙන් ''රනිල්ගේ ගැටයට හසු නොවන්නට" නම් තේමාව යටතේ කෝට්ටේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ (08) පෙරවරුවේ උද්ඝෝෂණයක් හා විරෝධතා රැළියක් ද පවත්වනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සන්ධානගතවීමට එරෙහිව සංවිධානය කළ මෙම විරෝධතා රැළියට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සංවිධායකයින් අතුළු විශාල පිරිසක් සහභාගි වූ බව ද වාර්තා වෙනවා.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂ සමගි සාකච්ඡාවල මූලිකත්වය ගෙන කටයුතු කරන සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉලක්කය වී තිබුණා.

මේ අතර සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසුවේ කිසිදු ලෙසකින් රනිල්ල වික්‍රමසිංහ සමඟ එකතු විය නොහැකි බවයි.

''සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ මැදිහත් වීමෙන් නොවෙයි කියලා මුල දි කිව්වේ"

රනිල් වික්‍රමසිංහ මහත්තයා හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන බවයි අපට පක්ෂයෙන් පැවසුවේ. ඒ අකාරයට තමයි සිදුවිය යුත්තේ" කෙසේ නමුත් පිරිසිදු එක්සත් ජාතික පාක්ෂිකයින් සමගි ජන බලවේගය සමඟ එකතු වෙනවා නම් මගේ සහාය ලබා දෙනවා. අපේ මතයට විරුද්ධ පිරිස් සමගි ජන බලවේගයට එකතු වෙනවාට මම විරුද්ධයි" යි ද සුජීව සේනසිංහ මහතා තව දුරටත් ප්‍රකාශ කළා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී පසුගිය සතියේ ප්‍රකාශ කොට තිබුණේ කුමන සන්ධානයක් ඇතිකර ගත්ත ද පළාත් පාලන මැතිවරණවලට තමාගේ නායකත්වයෙන් 'ටෙලිපෝනය' ලකුණෙන් තරග කළ යුතු බව යි.

හරීන් ගේ කට

 

මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ඇණ හිටින තත්වයක් උදාවී ඇති බව ද වාර්තා වෙනවා. එයට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා කණ්ඩායමට කලින් ඇතුළත් නොවී සිටි හරීන් ෆ්‍රනාන්දු මහතා අන්තිමට හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවට පැමිණ සිටීමයි. එසේ ම සාකච්ඡාවෙන් පසු හරීන් ෆ්‍රනාන්දු මහතා මාධ්‍යයට පැවසුවේ පළාත් පාලන මැතිවරණවලට අලියා හෝ ටැලිපෝනය හෝ යන ලකුණුවලින් නොව වෙනත් ලකුණකින් තරග කරන බවයි.

ඔහුගේ මේ ප්‍රකාශය සමගි ජන බලවේගයේ සන්ධානගත වීමට විරුද්ධ කණ්ඩායමට ප්‍රබල අවියක් වී තිබෙනවා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 'ටැලිපෝනය' ලකුණින් තරග කිරීමට තීරණයක් ගෙන තිබිය දී හරීන් ගේ මෙම සාකච්ඡාවට පැමිණ ඉහත ප්‍රකාශය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ උවමනාවක් ඉටු කිරීමට බවයි ඔවුන් පවසන්නේ.

සජබ - එජාප දීගේ හබක්?

මේ තත්වය අනුව සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානගත වීමක් කිසිසේත් ස සිදු නොවනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

෴෴෴ ෴෴෴෴෴෴

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පෙරේදා (07) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වුණා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහාය ලැබුණා. එය අනුමත කරමින් අගමැතිනි හරිනිඅමරසූරිය මෙනෙවිය ද අදහස් දැක්වූවා.

දැන් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තු කටයුතු ඇමති විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතු වෙනවා.

විශ්‍රම වැටුප් පනත ක්‍රියාත්මක වූ විට...

මෙම පනත ක්‍රියාත්මක වන්නේ වර්තමාන පාර්ලිමේන්තුවට මෙවර පත්වී සිටින මන්ත්‍රීවරුන්ට පමණයි. කලින් සිට විශ්‍රාම වැටුප් ගන්නා හිටපු මන්ත්‍රීවරුන්ට මෙම පනතින් කිසිදු බලපෑමක් සිදු නොවන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් අප සමඟ ප්‍රකාශ කළා.

මේ වන විට හිටපු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 500 කට අධික පිරිසක් පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් ලබන අතර ඒ සඳහා මසකට රුපියල් 237 ලක්ෂයක මුදලක් වැයවන බව පෙරේදා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී අනාවරණය වුණා.

 - ජගත් -