උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

මහින්ද ගෙ ඉස්කෙළියාව දැක්ක ගමන් සජීවී විකාශය හබක් කළ ස්වාධීන මාධ්‍ය භාවිතාව

ජගත් ගේ සතියේ සටහන  -  73

ජතික ජන බලවේගයේ ආණ්ඩුවට බහුතර බලය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඒකාබද්ධව පොදු විපක්ෂය ලෙස එක්ව කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ඒකාබද්ධ පොදු විපක්ෂය විසින් පසුගිය 12 වනදා බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වුවා.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සීයකට අධික සංඛ්‍යාවක බලය පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය කටයුතු කරගෙන යන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය ද සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේ දී තිස්ස අත්තනායක මහතා පැවසුවේ ඒකාබද්ධ පොදු විපක්ෂයට තවත් දේශපාලන පක්ෂ ගණනාවක් හා ස්වාධීන කණ්ඩායම් රැසක් එක්වී සිටින අතර මේ සියලු දෙනා එක්වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවයි.

''මාලිමා ආණ්ඩුව පත්වීමත් සමඟ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අහිමි වී යන බව පෙනෙන්නට තිබෙන බවත් ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩනැඟීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මෙහිදී කියා සිටියා. දේශපාලන වාදභේද ඉවත දමා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම ඒකාබද්ධ පොදු විපක්ෂයේ අරමුණ බවත් ඔහු සඳහන් කළා.

පළාත් පාලන ආයතන ගණනාවක සභාපති සහ උප සභාපතිවරුන් පත්කර ගැනීම සදහා පසුගිය සතියේ පැවති මංගල රැස්වීම්වල දී ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණයේ දී ජයග්‍රහණය කොට තිබූ කඩුගන්නාව නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත් වුණා. මේ අතර ජාතික ජන බලවේගයට වැඩි ආසන ගණනක් හිමිව තිබූ උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා.

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජේසිරි ඒකනායක මහතාත් උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ මොහොමඩ් කාදර් ඉර්ෆාන් මහතාත් වැඩි ඡන්දයෙන් පත්වුණා.

පසුගිය සතියේ පැවති තවත් ඡන්ද විමසීම්වලින් කැබිතිගොල්ලෑව, උඩුදුම්බර ප්‍රාදේශීය සභාවල බලය සමගි ජන බලවේගයට ද පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති තෝරා පත්කර ගැනීමේ රැස්වීම හෙට (16) පැවැත් වෙනවා.

ඒ සඳහා ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර්  මහත්මිය හා සමගි ජන බලවේගයේ රීසා මොහොමඩ් මහතා නගරාධිපති ධූරය සඳහා තරග වදින බවයි වාර්තා වෙන්නේ.

 හවුල් නැතැ යි කී  NPP කොළඹ බලයට කෙමිනක්  අටවලා?

සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයාට විරුද්ධව චෝදනා පවතින බවට පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබුණා.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයින් වන මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන මහත්වරුන් සමඟ මල්පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා ගැලපෙන ප්‍රසිද්ධ චරිතයක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයට හා එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබීම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ද වාර්තා වෙනවා.

එවැනි තත්වයක් තුළ 2006 දී කොළඹ මහ නගර සභාවට ඇස් කණ්ණාඩිය ලකුණෙන් තරග කොට තේරී පත් වූ ත්‍රීරෝද රථ රියැදුරකු වූ උවයිස් ඉම්ටියාස් වැන්නකුට නගරාධිපති පුටුව හිමි වුණොත් පක්ෂ දෙකට ම උන්හිටි තැන් නැතිවනු ඇතැ යි මෙහිදී දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා. 

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ බලය නොගෙන සිටීම මේ අවස්ථාවේ උචිත බවට සාකච්ඡා වී ඇති නමුත් සමගි ජන බලවේගයේ නගරාධිපති සටන මෙහෙය වන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ගේ මතය වී ඇත්තේ ලංකාවේ ම බලය නොලැබුණත් කොළඹ නගර සභාවේ බලය කෙසේ හෝ පිහිටුවිය යුතු බවයි.

මේ තත්වය යටතේ කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂ සන්ධානයට ගැනීම අවිනිශ්චිත බවයි පෙනී යන්නේ.

සමගි ජන බලවේගයට මන්ත්‍රීන් 29 ක් ද එක්සත් ජාතික පක්ෂයට 13 ක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 5 ක් හා මුස්ලිම් කොන්ග්‍රසයට 4 ක් ද වශයෙන් මන්ත්‍රීවරුන් සිටින නමුත් මන්ත්‍රීවරුන් 48 ක් සිටින ජාතික ජන බලවේගයට අවශ්‍යව ඇත්තේ මන්ත්‍රීවරුන් 12 ක් පමණ ය.

කොළඹ බලේ බල්තසාර්ට ද?

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා කොළඹ මහ නගර සභාවට පත්වී සිටින සුළු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඔවුන් සමඟ සාකච්ඡා කොට තිබුණා. ඔවුනට නගැ සභාවේ විවිධ කමිටුවල සභාපති තනතුරු හා කොළඹ පිහිටි වෙනත් රාජ්‍ය ආයතනවල තනතුරු ලබාදීමට මෙහිදී පොරොන්දු වී ඇති බව ද පැවසෙනවා.

සමගි ජන බලවේගය ද ඒ අයුරින් ම සුළු පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම් කැඳවා සාකච්ඡා කොට තිබුණා. එහිදී ඔවුන්ට නගර සභාවට අයිති වෙළඳ සල් ආදිය ලබා දීමටත් බලය ලැබුණු පසු තවත් වරප්‍රදසා දීමටත් පොරොන්දු වූ බවත් දැන ගන්නට තිබෙනවා.

කෙසේ වුව ද දේශපාලන විචාරකයින් පවසන්නේ හෙට (16) පැවැත්වෙන රසැවීමේ දී කොළඹ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා  ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට ස්ථිර වශයෙන් හිමිවනු ඇති බව ය.

තම ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවන බල්තසාර් මහත්මිය දැනටමත් කොළඹ පැවැත්වෙන විවිධ උත්සවවලට ද සහභාගි වෙන අතර තමා නගරාධිපති ධූරයට පත්වූ පසු සිදු කරන කටයුතු ගැන පවසමින් ජනතාවට ප්‍රකාශ කරන්නේ තමා ස්ථිර වශයෙන් ම නගරාධිපතිවරිය වන බවයි.

⋆⋆⋆⋆⋆  ⋆⋆⋆⋆

පාර්ලිමේන්තුව තුළ පොදු විපක්ෂයක්! මේ අතර පාර්ලිමේන්තුව තුළ පොදු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් තීරණය කොට තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ පසුගිය සතියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවක දී.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පලනි දිගම්බරම් හා සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහත්වරුන් සහභාගි වූ බවයි වාර්තා වෙන්නේ.

එහෙත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ එම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු මෙයට සහභාගි වී නැහැ.

             පොදු විපක්ෂයකට සජිත් නොසතුටෙන් ලු

ඉදිරියේ දී මෙම පොදු විපක්ෂය පාර්ලිමේන්තුව තුළ දී හා ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂයට එරෙහිව කටයුතු කළ යුතු බවට රවි කරුණානායක මහතා පළ කළ අදහසට සියලු දෙනා ම එකඟ වූ බව එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා.

එහෙත් මේ සාකච්ඡාව ගැනත් පිහිටුවනු ලැබූ පොදු විපක්ෂය ගැනත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නායකයින් නොසතුටෙන් පසුවන බව ද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරිම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය හා එක්ව ක්‍රියාත්මක කර ඇති වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ණ්‍ය මුදලේ ඩොලර් මිලියන 344 ක් වන සිව්වන ණය වාරිකය තවමත් නිදහස් කොට නැහැ.

ඒ එම අරමුදලේ කොන්දේසියක් වන විදුලි ගාස්තු ඉහළ දැමීම ප්‍රමාද වීම නිසයි. එය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ විදුලි බල මණ්ඩලය පසුගිය බදාදා සිට විදුලිය ගාස්තු 15% කින් ඉහළ දමනු ලැබුවා.

මේ නිස‌ා ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මුද්‍ය අරමුදලේ සිව්වැනි ණ්‍ය වාරිකය ලැබෙනු ඇතැ යි රජය බලාපොරොත්තු වෙනවා.

මේ අතර ජාත්‍යන්තර මුද්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දෙදින සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා. ඇය පැමිණෙන්නේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පණවා ඇති කොන්දේසි ‌කොතෙක් දුඑරට ඉටු කර ඇති දැයි සොයා බැලීම පිණිස බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

විදුලි බිල විදුලි නිෂ්පාදන වියදමට සරිලන සේ ගැලපීම, ඒ සඳහා විදුලි බල මණ්ඩලය කොටස් හයකට වෙන් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයේ පාලනයෙන් ඉවත් කිරීම, රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීම හා ලක්ෂ 12 ක් වන රජයේ සේවක සංඛ්‍යාව ලක්ෂ 8 ක් දක්වා පහත දැමීම යන කොන්දේසි ඉදිරියේ දී ශ්‍රී ලංකාව රජයට ඉටු කිරීමට සිදු වී තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉදිරි ණය වාරික ලබා දෙන්නේ මේ කොන්දේසි සපුරාලීමෙන් පසුව යැයි ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

මේ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම පස්වැනි ණය වාරිකය ලබා ගැනීමේ අනිවාර්ය කොන්දේසියක් වනු ඇතැ යි දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන කතා බහ අනුව දැන ගන්නට තිබෙනවා.

⋆⋆⋆⋆  ⋆⋆⋆⋆

මහින්ද දැක්කා විතරයි සජීවි විකාශනය අත්හිටවපු ස්වාධීන රූපවාහිනි සේවාවේ  කෙරුවාව

රුහුණේ ‌‌ෙඑතිහාසික සිතුල්පව්ව රජ මහ විහාරයේ පොසොන් පොහොය නිමිත්තෙන් සෑම වසරක ම පැවැත්වෙන පිංකමේ ආලෝක පූජාව සිදු කරන්නේ දිවයින හා දි අයිලන්ඩ් පුවත් පත් පළ කරන උපාලි පුවත්පත් සමාගම මඟිනුයි.

වසර ගණනාවක් ම එම ආලෝක පූජාව හා පිංකම සජීවී ව විකාශනය කරන්නේ රජය සතු ස්වාධීන රූපවාහිනී සේවාව  විසින්.

මෙවර පොසොන් පොහොය  නිමිත්තෙන් එම සජීවී විකාශනය සඳහා රූපවාහිනී කණ්ඩායමක් ස්වාධීන රූපවාහිනී සේවය මඟින් සිතුල්පව්වට යවා තිබුණා.

සිතුල්පව්ව රජ මහා විහාරයේ දායක සභාවේ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ද එදින උදයේ එම පිංකමට සහභාගිවීම සඳහා විහාරස්ථානය වෙත පැමිණ තිබෙනවා. ඔහු පිංකම ආරම්භ කිරීමට පෙර විවේක ගැනීම සඳහා විහාරස්ථානයට ගොස් ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙනු දුටූ රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායම ඒ බව ස්වාධීන  රූපවාහිනියේ බලධාරීන්ට දැනුම් දී සජීවී විකාශනය දිගට ම කරන්නදැ යි විමසා ඇති බවයි  දැන ගන්නට තිබෙන්නේ. කොළඹින් එම නිෂ්පාදන කණ්ඩායමට දන්වා ඇත්‌තේ සජීවී විකාශ නොකරන ලෙසයි. ය

මාධ්‍ය නිදහස හා මාධ්‍යයේ ස්වාධීනත්වය ගැන පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ ස්වාධීන රූපවාහිනි සේවයේ බලධාරීන් ගේ මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ අප්‍රසාදයට හා දෝෂාරෝපණයට ලක්වී තිබෙනවා.

   - ජගත් -