උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

මහින්ද රාජපක්ෂ යනු මිනිස්කමින් සපිරි, දුර්ලබ ගණයේ මිනිසෙකි

කස්තිරම

ඔහුත් මාත් අතර ඇසුර වගාදිගා වුණේ හවුරුදු තිස් හතක පටන් ය. හරියට ම කියනවා නම් තිස්හත් වසරකුත් දවස දාහතරක කාලයේ දී ය.

මම පත්තරකාරයෙක්මි.

ඔහු නීතිඥයෙකි.

මට මගේ පත්තරේ ලොක්කා හෙවත් මුල්කතුවරයා අපේ ආදරණීය එඩ්මන්ඩ් රණසිංහයෝ සිය නිල මැදිරියේ සිට මා ඇමතූහ.

''අයිෂේ සුගතපාල මෙහෙ එනවකෝ....!"

ඒ රණසිංහයාණන් ගේ වාග් විලාසය යි.

මම ලියමින් හුන් ලිපිය නතර කොට ලොක්කා ගේ කාමරේට හොස්ස දැමිමි.

''තමුසෙ දැන් යන්නෝනැ වීරකැටියට....! මේ දැන්....!!

මනෙතු ඔහුගේ වුවනට යොමු කළේ ප්‍රශ්නාර්ථයක් ඇතිව ය.

 

''විජේදාස ලියනාරච්චි ගේ බොඩි එක අරන් යනවලු දැන් වීරකැටියට ප්ලේන් එකකින්... ඔයා වීරකැටියට ගිහින් වැඩේ හොඳට කරන් එනවා.... ඔයාට පුළුවන් බව මං දන්නවා.... මං දන්නවා... තමුසෙ ගෙ හැටි..  මං හොඳට දන්නවා නේ. පෙටි කෑෂ් එකක් දාගෙන යනවා දැන් ම ම..."

ප්‍රධාන කතුවරයා මා උස්සා තිබ්බේ මුරුංගා අත්තක් මත ය.

මා කිසිවක් බිණුවේ නැත. හිනාවක් පෑවා විතර ය. ලොක්කා මා වෙත දෑස් පා හිඳියි.

''හොඳයි මං යන්නන්"

මම දිවයින පත්තර කන්තෝරුවෙන් නික්මුණෙමි. මඟට පිළිපන් ම හිත පිටකොටුවට ඇවිත් ගාල්ල ලංගම බසයකට නැඟ ගෙදර එනතුරුම ප්‍රශ්න පත්තර කිහිපයකට ම පිළිතුරු හොයමින් වෙහෙසුණු අයුරු දැනුදු මතකයට නැඟේ.

මා වෙත රණසිංහ මහත්තයා පවරන ලද්දේ එසේ මෙස් භාරදූර කාර්යයක් නොවේ. වචනයෙන් විස්තර කළ නොහැකි තරමට එය බරපතල වැඩකි.

අපේ ගම්පළාත්වල පටන් සමස්ත දේශය ම එක විදියට මහා ගිනි ජාලාවලින් දැවෙමින් පිළිස්සෙමින් පවතින අඳුරු ම අඳුරු, කළු ම කළු යුගයකි. කොයි කොනත් එක ම විදියට ඒ කළු ම කළු දුම්වලා එක්ක, පුලුටු ගඳ වාතලයට එක්කෙරෙමින් පවතී. හැම තැනක ම ටයර් මත පිලිස්සෙන තරුණ තරුණියන් ගේ මළ සිරුරු ය. ඒ එක පැත්තකිනි. ජේ. ආර්. ප්‍රේමදාස ධාර්මිෂ්ඨ පාලනයේ වැඩ කිඩ ය ඒ.

අනික් පැත්තෙන්.... දේශප්‍රේමීන් ගේ කුරිරු කම් විදහා පෙන්නන කෙරුම්කාරකම් ය. කපා කොටා හෝ වෙඩිතබා හෝ මරා දමන ලද දේශද්‍රෝහී හංවඩුව ගසන ලද පුද්ගල ඝාතන ය.

ඒ පැත්තෙන් සුදු භීෂණයේ ඝාතනය. මේ පැත්තෙන් කළු භීෂණයේ ඝාතන ය.

කෙනකුගේ ගෙල සිඳ පාර අද්දර වැටක කෝටුවක රඳවා ඇත.

පැත්තකින් ධාර්මිෂ්ඨ නිල මැරයන් ය. නොනිල ධාර්මිෂ්ඨ මැරයන් ය. කළු කොටි ය. කහ බළලුන් ය. ප්‍රා ය. උකුස්සන් ය.

අනෙක් පසින් දේශප්‍රේමී ලේබලය අලවා ගත්තු ඝාතකයන් ය.

දෙපැත්ත ම තරගෙට මිනිසුන් මරන්නේ හිත් පිත් නැති නරුමයන් සේ ය.

මුළු රට ම මිනී කනත්තක් බවට මේ නරුම පිරිස් විසින් පත් කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිත කීතු කීතු කොට ඉරා දමමිනි. ඒ ඝාතනවලින් රට ම විසාලා මහනුවරක් කොරන්නට මේ අධම පිරිස් සිය බළමුළු මෙහෙයවන්නේ තව තවත් ලේ සුවඳට ලොල් බවෙක් පාමිනි.

ඉදින් මා දිවයින ලොක්කා පැවරූ රාජකාරිය කරන්නට ගෙදර විත් බිරියට කීවෙමි. ඈ බියපත් දෑහින් මවෙත පෑ බැල්ම තවමත් මට පෙනෙන්නා පෙනෙන්නා සේ ය.

''දැන් යන්නෙපා... හෙට උදේන් ම යන්න"

මං වීරකැටියට යන විට උදේ දහය විතර වෙන්නට ඇත. අතර මැද සිද්ධීන් මෙහි බහාලන්නේ නැත. මට හිතවතෙක් මුණගැස්සූ පුද්ගලයකු සමඟ මම විජේදාස ලියනාරච්චි ගේ මළගෙදරට ගියෙමි. ඒ වන විටත් ඔහුගේ දේහය ගෙනැවිත් නොතිබිණි.

පැය දෙක තුනක් එහි රැඳී සිටිය ද විජේදාස නීතිඥවරයා ගේ නිසසල මෘත දේහය ගෙන එන බවක් නොපෙනේ. අවමඟුල් උත්සවය පසුදා පැවැත්වෙන වග වටින් ගොඩින් අහුලාගත හැකි විය. ඒත් එක්කම මට හදිසියේ ම යමක් සිහියට නැගිණි.

''මරණෙ වැඩ කරන්නෙ හෙට නං.... අද රැය???  

ප්‍රදේශයේ හැම තැනක ම රැඳී ඇත්තේ  බිය හා  සැකය යි. මරබිය....!! මා වීරකැටියට අමුත්තෙකි. කිසිවකු මා ගැන නොදනී. එනිසා ම මා කෙරෙහි සැක සංකා පොලිසියට හෝ හමුදාවට හෝ ඇති වුවහොත්..... නැත්තං දේශප්‍රේමීන් යැ යි කියනා ඊනියා දේශප්‍රේමීන්ට ඇති වුවහොත්.....????

මා මේ දැන් සිටිනා ගිරුවායේ ගම්බිම් හැම තැනකම පාහේ රූස්ස ගහ කොළ බිම වැලඳ ගෙනය. මහ මග දෙපැත්තේ ඇති විදුලි කණු ද අධිබලැති  විදුලි රැහැන් සහිත කණු ද කඩා බිඳ බිම හෙළා ඇත. තැන තැනින් අහසට නැඟෙන්නේ කළු ම කළු දුමාරය යි.

හිත කීරි ගැහේ. මරබිය මහිතට ද රිංගයි. මා ද අතුරුදන් ලැයිස්තුවට එකතු වනු සිකුරු ය. ඒ සැක සංකාව මසිත් හි ලියලා වැඩෙන්නට වූයේ කීප දෙනකු ම මා කෙරෙහි විපරම් බැලුම් පානා බවක් හැඟීමත් එක්ක ය.

මට දිවයින කතුවරයා ගේ වචන මතකයට නැඟේ. මම කල්පනා කළෙමි. ඕනැ බංබුවක් වුණා වේ.... යනවා තංගල්ලට... ගිහින් රැය ගත කරන්න තැනක් හොයා ගන්නවා..."

මම වීරකැ‌ටිය පස්මං හන්දියට විත් තංගල්ල බලා යන බසයකට නැඟ ගත්තෙමි.

මා වෙත ඇස් හයක් යොමු වන අයුරු බස්රියේ දී තේරුම් ගත් මා තංගල්ලට ළඟා වෙන තුරු හුන්නේ දැඩි කුකුසකිනි.

නීතිඥ ලියනාරච්චි මහතා ගේ දේහය මහින්ද රාජපක්ෂ  භාර ගෙන වීරකැටියට ගෙන යන කතාවක් රණසිංහ මහත්තයා කීව නිසා  ඔය අස්සේ ඒ තොරතුර ඉව අල්ල අල්ලා මා තංගල්ල නගරයට ගොස් වේගවත් ගමනකින් පසු මහින්ද ගේ නිවසට ගියෙමි. ඒ වෙනකොට වෙලාව හවහ පහට විතර ඇත.

ගිනිගත් දකුණට ගියෙමි" හිසෙන් යුතුව මාස කීපයකට පෙර දිවයින ඉරිදා සංග්‍රහයට ධර්මන් වික්‍රමරත්න ලියූ ලිපියෙහි මහින්ද රාජපක්ෂ සිය ජීවිතය නොතකා කරමින් සිටින කැප කිරීම ගැන කරන ලද සටහන ඔහු හොයා යන්නට ප්‍රබල හේතුවක් වූ බව සටහන් කළ යුත්තේ ය. ධර්මන් ඒ ගැන ලිපිය ලියා තිබුණේ 1988 අප්‍රේල් මහේ 17 වැනිදා යැයි අතීත මතක හාරද්දී හසුවිය.

මා ඒ නිවසට හෙවත් 'කාල්ටන්' වෙත ගියද කිසිවකු පේන්නට සිටියේ නැත. ඒ දිස්වූයේ පාළු සොහොන් බිමක් සේ ය.

සැණෙකින් මට ඇතිවුණේ ඉහවහා ගිය සතුටකි. ''ඕ. පී." ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම්වරයකු වූ ඕ. පී. පියසේන සහෝදරයා කාල්ටන් හි සිට මා දුටු වහා,

''සහෝදරයා කොහෙද මෙහේ"යි මගෙන් විමසී ය.

මම අප්‍රමාදව කටහඩ අවදි කළෙමි. අප දෙදෙනා රටතොට තොරතුරු කතාබහේ යෙදී සිටිය දී මහින්ද ආවේ ය.  ඒ රාත්‍රී අටට, නමයට විතර ය. ඕ. පී. මා ගැන මහින්දට කිවේ ය. ඔහු බෝ වෙහෙසකින් පෙළෙන බවක් දිස් විය. කෙටි පිළිසඳරකින් හේ අපෙන් ඈත් වූයේ ඇඟපත සෝදා ගැනීමට යි.

යළි අප දෙදෙනා අතරට පැමිණි හේ දොඩමලු විය. හෙට උදේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විජේදාස ලියනාරච්චිට අවසන් ගෞරව දක්වන්නට පැමිණෙන බව මහින්ද  අපට කී ය. මට රැය පහන් කරන්නට හේ උත්සුක වූයේ මගේ ආරක්ෂාව ගැන කල්පනා කර විය හැකි ය.

කලවානේ අතුරු මැතිවරණයට තරග කළ, සරත් මුත්තෙට්ටුවේගම ගේ ඡන්ද ව්‍යාපාරයේ අවසන් රැළියේ දී, ඔහු හමුවුවද කතා කරන්නට ඉඩක් කඩක් නොලැබුණු බව මම ඔහුට කීමි.

මේ අටුවා ටිකා ටිප්පනි කියා ලියා, කස්තිරම අල්ලන්නේ බොහොම කලකට පසුව ය.

මිනීමරු ධාර්මිෂ්ඨර් ජේ. ආර්. - ප්‍රේමදාස ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නො එසේත් නැත්නම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හා හටනේ යෙදෙමින් කරන ලද තිරස්චීන මිනිස් ඝාතනවලින් එකක් නම් නීතිඥ විජේදාස ලියනාරච්චි ගේ ඝාතනය යි.

ඔහුට දස වද දී ඝාතනය කරන ලද්දේ කුරිරු පාලකයින් ගේ පොලිසියේ තංගල්ලේ පොලිස් අධිකාරි ධර්මදාසන් ගේ නියමයෙනි. ලියනාරච්චි මරා දමා ඇත්තේ පොලු මුගුරුවලින් පහර දීමෙනි. ඔහුගේ ඉලඇට කූඩුවේ ඉලඇට දහනමයක් බිඳී ඇති බව අධිකරණ වෛද්‍යවරයා ගේ වාර්තාවේ සඳහන් ව තිබුණි. ඔහු පැහැර ගන්නා ලද්දේ 1988 අගෝස්තු 25 වැනිදා ය.

ඉදින්... පත්තරකාරයකු වන මා හා නීතිඥවරයකු වන ඔහුත් අතර හිත මිත්‍රකමක් වගා දිගා වීමට මුල පිරුණේ එසේ ය. එදා ය. පත්තරකාරයකු වන මා, එදා පටන් දකුණේ පැවති දැවැන්ත භීෂණයේ තොරතුරු රටට ජනතාවට, ලොවට අනාවරණය කරන්න කරක් ගසද්දී, කාල්ටන් නිවසේ දිවි ගෙවන ඒ මිනිහා සොයා යෑම පුරුද්දක් කර ගත්තේ ය. ඔහු හොයා ගොස් රට පුරා වැපිරෙමින් පවතින, මහා මිනිස් ඝාතන ගැන විස්තර අසා දැන ගන්නට, කැස කවන, දෙස් විදෙස් පුවත්පත් කලාවේදීන් ද, නිතිපතා ම පාහේ මහින්ද මුලිච්චි වීමට අමතක කළේ නැත.

එසමයේ සමස්ත විපක්ෂය ම පසුවූයේ මර නින්දක ය. පොදුජනයාගේ හිතසුව පිණිස සිය කාලය, ශ්‍රමය, ධනය වැය කරන්නට ඇප කැප වූ බව කියනා සෙසු දේශපාලනඥයෝ හැම දෙනා ම පාහේ ගොම්බෙල්ලන් වී සිටිති. එකෙක්කත් කටුවෙන් හිස එළියට දිගු කිරීමක් නැත. කිසිවෙක් කිසිදු හාවක් හූවක් නොනැගූහ. කුම්භකර්ණ නිද්‍රාවක ගිලී හුන් විපක්ෂය කූද්දන ලද්දේ ඔහු විසිනි.

තංගල්ලේ කාල්ටන් නිවසත්, ඒ ඉඩමත් නිතිපතා ම පිරී තිරී ගියේ කැහි හොටු පෙරා ගෙන දෑස් කඳුළින් පුරෝගත්තු මව්වරුන්ගෙනි. පියවරුන්ගෙනි. බිරින්දෑවරුන්ගෙනි. දරු දැරියන්ගෙනි. සහෝදර සහෝදරියන්ගෙනි. ළමා ළපටින් අතේ එල්ලා ගත්තු තරුණ මව්වරුන්ගෙනි. නැතිනම් ඕන්න මේන්න දරු ප්‍රසූතිය සිදු කරන්නට ආසන්න ගැබිනියන්ගෙනි.

රට පුරා ව්‍යාප්තව පවතින භීෂණෙය් අඳුරු සෙවණැලි අතරින්, කළු දුම්වලා අතරින් සිය ගණනක් දුක්ඛිතයන්, ඔහු කරා ආවේ, ඔවුන්ට පිහිටට සිටිනා එකම පුද්ගලයා ඔහු ය යන විශ්වාසයෙනි. ඒ  බව ඒ හැම මුහුණක ම කටක ම සටහන් වී තිබුණු අයුරු මේ දැනුදු මට නං මැවී පෙනේ.

මිනිස් අයිතිවාසිකම් හා නීති ආධර සංවිධානය යනුවෙන් ස්වාධීන ආයතනයක් මේ මිනිහා ආරම්භ කරන ලද්දේ තමන් දන්නා නීතියෙන් හෝ රටේ වපුරුවා ඇති කුරිරු ඝාතනවලින් පීඩාවට පත්වූවන් වෙනුවෙන්, තමන්ට කළ හැකි යමක් වෙද, එය ඒ ආකාරයෙන් ම ඉෂ්ට සිද්ධ කරන්නට යැ යි, ඔහුගේ පපුවෙන් නැඟුණු ළතෙත් බව නිසාවෙන් යැයි කිවහොත් මෙය කියවන සමහරුන්ට 'ඩෝං' යන බව මට දැනේ.

හමුදාවේ හෝ පොලිසියෙන් හෝ කහ බළල්ලු, කළු බළල්ලු, උකුස්සෝ, ලේ මාපිල්ලු නැත්තං ප්‍රා වැනි ආණ්ඩුවේ ආශිර්වාදයෙන් බිහි වී ඇති මිනීමරු නොනිල තිරස්චීන කල්ලි විසින් හෝ තම දරුවන්, පැහැර ගැනීමකට, උදුරා ගැනීමට ලක්වූ දෙමාපියන් ද, බිරින්දෑවරුන් ද, සොවුරු සොවුරියන් ද ගැන කිසියම් නිශ්චිත තොරතුරක් හොයා බලා, ඒ මිනිසුනට පිරිත් පැන් බිඳක් ඉහින්නට, මහින්ද දවසේ පැය විසිහතර පුරා කාල්ටන් නිවහනේ සිය කන්තෝරු කාමරය විවෘතව තැබී ය.

ඒ කන්තෝරුව නාම්බන් හතර පස් දෙනෙකුට වගකීම් පවරා තිබුණි. එයින් අංක එක සේ සටහන් කළ හැක්කේ සරත් අමරවීර ය. ඊළඟට පුවක්දණ්ඩාවේ අබේ (අබේගුණවර්ධන) ය. ජයන්ත ය. ගාමිණි ය. පරණගම ය. රංජි (රෝහණ විජේවීර සොවුරා ගේ මවගේ සොවුරියක ගේ පුතෙකි).

විජේදාස ලියනාරච්චි ගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ වීජේවීරත්, නියෝජ්‍ය නායක උපතිස්ස ගමනායක සහෝදරයාත්, වෙස්වලා ගෙන ඒ රාත්‍රියේ රංජියා ගේ සංචාරක හෝටලයට ආ නිසා මහින්ද ගේ ඉල්ලීමට මට ලැගුම් දෙන්නට නොහැකි වූ බව පසුදින උදේ ඔහු මට පමණක් අනාවරණය කරමින් කීවේ බොහොම දුරදිග සිතා බලා බව අඟවමිනි.

 ඒ නාම්බන් කීප දෙනා උන්ගේ ජීවිත අවදානම ගැන ද නොතකා අතුරුදන් වූ හෝ පැහැරගෙන යන ලද තරුණ තරුණියන් ගේ ඡායාරූප සමඟ තොරතුරු විස්තර වෙන් වෙන් ව ලිපිගොනු කරමින් මම බලා හිඳියෙමි.

ලද තොරතුරු අනුව මහින්ද පොලිසිවලට මෙන් ම හමුදා කඳවුරුවලට ද දුරකතන ඇමතුම් ගන්නේ ය.

''අපි නං ගෙනාවේ නෑ... පොලිසියෙන් සොයන්න" හමුදා කඳවුරෙන් ලැබෙන පිළිතුර යි.

''අපි නං ගත්තෙ නෑ... ආමි කෑම්ප් එකෙන් අහන්න" පොලිස් පිළිතුර යි.

ඔහු නාහෙට නාහන මිනිහෙකි. ඔහුට මල පනී. ඒත් බොහොම සංවරශීලීව හේ වචන විදියි. නේක විධ උපාය උපක්‍රම භාවිතා කරමින් කෙසේ හෝ සිය අපේකෂාව සක්ෂාත් කර ගනියි.

ඒ උදෙසා ඔහු ගේ රියැදුරු 'විජේ අයියා' සූදානමිනි. මහින්ද ජිප් රියට ගොඩ වැදේ. විජේ අයියා එය නතර කරන්නේ හතර වටේ ඇති  කොයිබක හෝ ඇති පොලිසියක් ඉදිරියේ ය. නැත්තං හමුදා කඳවුරක් (වදකාගාරයක්) ඉදිරිපිට ය.

ඔහු ගේ කැපවීම නිසා ටයර් සෑයක හෝ ගඟේ මූදේ හෝ කැලෑබද අමු සොහොනක හෝ පිළිස්සෙන්නට, පාවෙන්නට හෝ වන සතුන්ට ආහාර වෙන්නට හුන් සිය ගණනක් තරුණ තරුණියන් ජීවිතදානය ලද බව වත්මන් පරපුර නොදන්නවා වූවාට ඇත්ත ඒ හැටියෙන් එහෙම ය.

මා මහින්ද ගේ ගෝල බාලයකු නොවේ. වහලකු හෝ ඩෝබියකු හෝ නොවේ. කඩේ යන්නකු ද නොවේ. අප අතර කිසියම් හිතවත්කමක්, ළෙන්ගතු කමක් වගා දිගා වූවා නම් ඒ ඔහු විසින් කරන ලද මාහැඟි උතුම් සද්කාර්යය කෙරෙහි පැහැදි සිතක් මා සතු වූ හෙයිනි.

මේ යකා මහා කරදරකාරයෙකි. ආණ්ඩුවේ නිල හා නොනිල අළුගෝසුවන්ට රිසි සේ මේ බිමේ කොල්ලන් කෙල්ලන් බල්ලන්, බළලුන් සේ මරා දමන්නට අතුරුදන් කරන්නට නොහැකි ය. ඒ නිසා ම මේ කරදරකාර යෝදයා 'අහවරයක්' කළ යුතු ය. ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ගේ නියමයෙන් රංජන් සෙනෙවිරත්න ඇමතියා සිය ඝාතන කණ්ඩායමකට  වැඩේ පැවරුවේ ය.

මේ කිසිවක් නොදත් මහින්ද රාජපක්ෂ, සිය නිවහනට විත් හඬා වැලපෙන, සුවහස් ජනී ජනයා කෙරෙහි අනුකම්පාවෙන් පොලිසි කරා ද හමුදා කඳවුරු කරා ද දුව යමින් කැපවීම කරමින් හුන්නේ ය.

(රංජන් ගේ නියමයෙන් තංගල්ලට ආ අළුගෝසුවන් හය දෙනාගෙන් ඔහු දිවිය රැකුණු අන්දම වෙන ම ම ලිවිය යුතු ඇඟ කිලිපොළා යන කතාවෙකි.)

ඔහු හුදෙකලාව එදා පැවති 5/6 ක අතිමහත් බලයක් තිබුණු ධාර්මිෂ්ඨර් පාලකයනට අභියෝග කළේ ය. ඔහු ඔහුනට අභියෝගයක් ම විය.

 හේ 1989 පැවති මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන නියෝජිත වරම දෙවන වරටත් ලැබ සිටියේ ය.

පාලක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව බලමුළු රැස් කළේ ය. එහි ප්‍රතිපලය නම් කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරියෙන් පටන් ගත්තු කතරගම දක්වා වූ පාදයාත්‍රාව ය.

දවස් 16 ක් තිස්සේ ඒ පාදයාත්‍රාව ගමන් කළේ ය. ඒ කතරගම දෙයිහාමුදුරුවන්ට දැහැමි පාලකයින් විසින් තම දූ පුතුන් මැරූ  අතුරුදන් කළ උදවියට එරෙහිව මහා කන්නළව්වක් කරන්නට ය. පාදයාත්‍රාව ඇරඹුණේ 1992 මාර්තු මහේ 16 වැනි දා ය. දෙයියන් ඉදිරියට දූදරුවන් අහිමි දෙමාපියෝ, අඹු දරුවෝ, සොවුරු සොවුරෝ දහස් ගණනක් දිවසින් දවස දේවකන්නළව් කරන්නට කතරගම කරා පාදයාත්‍රාවට එකතු වූහ. හවුල් වූහ.

ඒ ජනගඟ කෙතරම්ද? විහාරමහාදේවී උද්‍යානය ඉදිරියෙන් බොහොම සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඇරඹුණු පාදයාත්‍රාව අප්‍රේල් 1 වැනිදා කතරගමින් අහවර වන විට පෙර දින ඊට කැටිගැහී සිටිය මහා ජනකන්දරාව අග තිස්සමහාරාම විහාරය ළඟ තියෙද්දී මුල කතරගම නගරයේ ය. ඒ දුර කිලෝ මීටර් 13 කි. ඊට එක්වූවෝ ගමන් ගත්තේ දෙන්නා තැන් දෙනා බැගින් පේළි සැදී නොව පාර පුරා පොදි ගැසුණු ජන සමූහයකිනි.

ලංකාදීප පත්තරෙන්, දුෂාන්ත අමරසේන, නිමල් සමරසිංහ, සහෝදර පුවත්පත් කලාවේදීන් දෙන්නත්, ලලිත් වැලිවිටිගොඩ හා කමල් ජයමාන්න කැමරා ශිල්පීන් දෙන්නත් නිතිපතා පාදයාත්‍රාවේ තොරතුරු රටට කීහ.

දෙටු පුවත්පත් කලාවේදී සරත් අබේගුණවර්ධන හා කැමරා ශිල්පී චන්දන පෙ‌රේරාත් සමඟ මා දිවයින වෙනුවෙන් ඒ උදෙසා  දින 16ක් පුරා කැප වුණෙමු.

ජීවිතාශාව හේතුකොට ගෙන ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් සැඟව සිටියහ. නැත්නම් හමුදාවේ හෝ පොලිසියේ හෝ බිල්ලන් වී සිටිය දී මේ මිනිහා හෙවත් මහින්ද රාජපක්ෂ සිය ජීවිතය හෝ බිරිය මෙන් ම අත දරුවන් දෙදෙනා ගේ ජීවිත ගැන අබමල් රොණක් තරම්වත් නොතකා සිය මානුෂීය වගකීම් අකුරට ම ඉටු කළ හැටි ....

පාදයාත්‍රාවෙන් නිදාහුන් විපක්ෂය අවදි කර ලූ මහින්ද ඊළඟට ජනඝෝෂාවක් ද, මිනිස් දම්වැලක් ද රට පුරා නිර්මාණය කරමින් ආණ්ඩුව කෙරෙහි ජනතා සිත් සතන් හි පැවති බිය දුරු කරන්නට පෙරමුණ ගත්තේ ය.

ඊළඟට... ඊළඟට....

දකුණ වමට හරවන්නට 1993 දී හා 1994 දී ත් සිය දේශපාලන මිතුරන් හා අත්වැල් අල්ලා ගෙන දකුණු පළාත් සභාවේ බලය අල්ලා ගෙන අනතුරුව කළ හටනින් දාහත් වසරක් පුරා පැවති දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාලනයට තිත තබන්නට, පලවා හරින්නට පෙරමුණ ගත්තේ ය.

ඊළඟට .... ජනරමින් 2005 දී රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් වී ප්‍රභාකරන් නම් මීනිමරු ඝාතකයා ගේ ගෝලබාලයන් විසින් රට පුරා වපුල තිස් හවුරුදු යුද්ධය නිමා කොට, මර බියෙන් දිවි ගෙවූ ලාංකේය ජන සමාජයට, නිදහසේ උස්ම ගන්නට ඉඩකඩ පාදා දුන්නේ ය.

ඒ වන විට විනාශය කරා ගමන් කරමින් පැවති ලාංකේය ආර්ථිකය නැංවීමට, කළ කැපකිරීම් ද අමතක කරවන්නට රට වැසියා ගේ අවධානය යොමු කළ අයුරු ගැන කතා තවමත් කෙරෙයි.  ඒ ඔස්සේ ම සිදු කෙරුණු නේක විධ දූෂණ ගැන ද ජනතාව අතර කතා බහක් පවතී.

රටක බලය විසින් මිනිසා නොමිනිසා කරන්නේ ය යන කියමන සනාථ කරමින් තමන් රැක ගෙන ආ කීර්තිනාමය මේ මිනිසා නැති කර ගත්තේ අනවශ්‍ය පිරිස් සිය පාලනයට එක්කර ගැනීම නිසා බව සටහන් කළ යුත්තේ ය.

දෙවරක් රටේ නායකත්වයට පත් ඔහු කළ කී දේ ගැන වෙනම ලිවිය යුත්තේ ය. වෘත්තීය පුහුණු අධිකාරිය ඇරඹූ හැටි, ධීවරයින් උදෙසා සැටලයිට් දෙමින් ද දියවර නිවාස ඇරඹූ හැටි ද ආදිය වෙනම කතා ය.

ලෝකයේ හුන් අති භයානක ම මිනීමරු යුදවාදියා, ත්‍රස්තවාදියා වූ පිරිබාහරන් හා උහුගේ ගෝලබාලයන් ප්‍රමුඛ කොටි සංවිධානයේ සන්නද්ධ කල්ලිය අකාමකා දාන්නට මහින්ද ගත්තු පියවර වළකාලන්නට විදෙස් ප්‍රතිගාමිත්වය පිටපොට ගසද්දී ඔහු ඒ කිසිවකු මායිම් නොකර ලාංකේය ජන සමාජය සුවපත් කරන්නට ඇවැසි පියවර නොගත්තේ නම්.....? අද කිසිවකුට උතුරුකරේ කරක් ගසන්නට ඉඩක් කඩක් නැති බව නම් නොකියා ම බැරි ය.

මහින්දට ඇතුළතින් ද පිටතින් ද කැපිලි කෙටිලි තිබුණි. ඔහු ජිනීවා හි මහ සමුළුවට එක්ව සිටිය දී කම්කරු ඇමතිකම උදුරා ගෙන  හේ මහ මුදුදේ දැම්මා අපට මතක ය.

කොටියන් පරාජය කරන්නට බැරි බවට සමහර ලොක්කන් ලොක්කියන් කැට තියද්දී ඒ සියල්ල පාපිස්සෙක පිසදා මේ මිනිහා  ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායට නියෝග දී ඒ සියල්ල වැඩේ හමාර කළේ 2009 මැයි 19 වැනි දා ය.

1970 දේශපාලන පොරපිටියට හේ පිවිසියේ ද අවලාද මධ්‍යයේ ය. සුද්දා රට පාලනය කරද්දී උනට එරෙහිව හඬ නැඟූ වාම නායකත්වය හා අත්වැල් අල්ලා ගත්තු මහින්ද ගේ බාප්පා ඩී. එම්. රාජපක්ෂ රුහුණේ සිංහයා යැ යි විරුදාවලියෙන් දකුණේ මිනිසුන් විසින් හඳුන්වන ලද්දේ ය. ඔහුගෙන් පසු ඒ නාමය හිමිකර ගත්තු මහින්ද ගේ තාත්තා, කටුක දිවි පෙවතක් විඳිමින් පණනල රැකගත් රුහුණේ මිනිසුන්ට දිය බිඳක් පානයට චන්ද්‍රිකා වැවත්, මුරුතවෙල ජලාශයත්, බඳගිරිව වැවත් දායාද කළෙන් ඔහුන් තුළ පැවතියේ අසීමිත ගෞරවයකි. ඒ මිනිසුන් දෙදෙනාට දැක්වූ ගෞරවය ඔවුන් ගේ දූ දරුවනට ද දැක්වීම නිසා ලක්ෂ්මන් හා ජෝර්ජ් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂටත් රුහුණු ගිරුවායේ පොදු ජනයා  එකසේ පෙළ ගැසුණු අවුරු අප දැක ඇත.

එහි ප්‍රතිඵලය වූයේ තිස් වසරක යුද්දයේ ශාපයෙන් ලාංකේය ජනී ජනයා මුදා ගන්නට ඇවැසි ශක්තිමත් නායකයකු සේ ලක්මව දායාදයක් සේ ලැබීම යි.

මේ පත්තරකාරයකු සේ මා දන්නා දේ ය. නොදන්නා දේ ද බෝ ඇති.

එතැනින් පසු මේ කතාව හමාර ය.

කොහොම වුණත් අද ඔහු යළි කාල්ටන් නිවසට පැමිණ සිටින්නේ ජනපති ධූරයෙන් නික්ම ගිය පසු රජයෙන් දී තිබූ නිල නිවෙස අහිමි කරන්නට වත්මන් පාලන තනත්‍රය විසින් සම්මත කරගත් පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමෙන් පසු ය.

ඔහුට නැඟෙනා චෝදනා බොහෝ ය. අවලාද බොහෝ ය. නින්දා බොහෝ ය. අපහාස බොහෝ ය. ඒ හැම එකක් ම ඔහුට හුරු පුරුදු ය. දරා ගැනීමට හයියක් හත්තියක් අද වියපත් වූවත් ඔහුට ඇති බව පැහැදිලි ය.

අනෙක් රාජපක්ෂලා ගැන කියන්නට මට නොහැකි ය.  මා ඔවුන් ගේ කියුම් කෙරුම් අසා නම් ඇත.

කොහොම වුණත් මහින්ද රාජපක්ෂ යනු මිනිස්කමින් සපිරි, දුර්ලබ ගණයේ මිනිසෙකි. ඔහු සතු මානව ගුණය බෝ ඉහළ ය. ඇසුරු කරන්නා කවරකු වුව ඔහුගේ හිත් ඇඳ බැඳ ගන්නට ඔහු සතු වාසනා මහිමය කෙසේ මිනිය හැකි ද?

 -  සුගතපාල මැන්දිස් -

පසුව ලියමි

ඔහුට 'මයිනා' යනුවෙන් අද අපහාස කරන්නෝ 88, 89, 90 කාලයෙන් පසුව මේ බිමේ උපන් පරපුර ය. උහු මයිනා යනුවෙන් මේ මිනිසාට අපහාස උපහාස කරන්නේ ඒ ඇත්තන් ගේ මාපියන් වයසට නොයන උදවිය නිසා විය හැකි ය. වැඩිහිටියන්ට අපහාස උපහාස කරන්නා වූ සමාජයක් දක්වා ලාංකේය දේහය කුණුවී ඇත්තේ අපේ තියෙන පරගැතිකම නිසා හැර අන් කිසිවක් නිසා නොවේ..

මහින්ද අවසානයේ සිරකරුවෙක් විය. ඒ පවුලේ ඇත්තන්ගෙන් හා ඔහු විසින් ම මෙන් ම ඔහුගෙන් වාසි ලබා ගන්නට පසුකාලීනව රොක් කරගත්, රොක් වූ අවස්ථාවාදීන් නිසා ය. ගේ ප්‍රාණඇපකරුවකු කරගත්තවුන් නිසා මේ අයෝමය මිනිසාගේ වටිනාකම  හෑල්ලු වී හමාර ය.

ඒත් ඒ කවරක් වුව බොහො විචක්ෂණශීලීව විඳ දරා ගන්නට අසූවිය ඉක්මවා සිටින මහින්ද රාජපක්ෂ මානසිකව ශක්තිමත් බව දිගු කලක් ඔහු ඇසුරු කරන ලද මගේ අත්දැකීම් අනුව  නොකියා ම බැරි ය.