උණුසුම් පුවත්

මහ ගෙදර (”අදිසි ප්‍රේමය” නමින් කතුවරිය විසින් පරිවර්තනය කරන ලද කෙටි කතා දහයකින් යුත් කෘතියේ එන එක් කෙටිකතාවකි මේ.)

සුනිලා විජේසිංහ

සුනිලා විජේසිංහ නම් ප්‍රවීණ ලේඛිකාව, කිවිඳිය, නවකතා කාරිය, කෙටිකතා කාරිය අතින් පරිවර්තනය වුණු ''අදිසි ප්‍රේමය" නම් කෙටිකතා සංග්‍රහයේ එන එක් කතාවකි ''මහගෙදර". ලෝක ප්‍රකට සාහිත්‍යවේදීන් ගේ නිර්මාණ දහයක් සුනිලා ගේ පන්හිඳෙන් මෙසේ හෙළ බසට පෙරළීම නම් බෝ සේ අගේ කළ යුත්තකි. අපි සුනිලා ගැන පසුව කතා කරමු.

දැන් මේ කෙටිකතාව කියවා රස විඳිමු.

ගොවිපොළ පැතිර තිබුණේ සමර්සෙට්ෂයර් කඳුවැටි අතරේ වූ නිම්න භූමියකය. එහි වූ ගලින් කරන ලද පැරණි පන්නයේ   නිවස වටා ධාන්‍ය අටු ද, කුකුළන්, එළුවන්, ගවයන් වැනි සතුන් සඳහා ඉඳි කරන ලද කුඩා නිවාස ද දක්නට ලැබිණි. නිවසේ දොරකඩට ඉහළින් ‘1673’ යන්න මනහර ලෙස ලියකම් කොට තිබුණි. ඒ එම නිවාසය ඉදි කොට හමාර කළ වර්ෂයයි. කාලගුණයේ පහරදීම් වලට ද නොඅඩුව ලක්ව තිබූ නිවසෙහි බිත්ති අළු පැහැ ගත්තේය. නිවස ආවරණය කරන්නට උත්සාහ ගනිමින් සමහර ගස් වැල් වැවී තිබූ අතර ඒ නිසාම නිවස ද ගෙවත්තෙහිම කොටසක් සේ පෙනෙන්නට තිබිණි. මහා මාර්ගයේ සිට නිවස දෙසට වැටී තිබූ මාවත දෙපස එල්ම් ගස් දෙපෙළක් නැගී සිටියේ තේජස්වී විලාසයකිනි. කලකට පෙර මේ එල්ම් ගස් දෙපෙළ එම ගම්ඉඩම් හිමියාගේ මන්දිරයට මහත් ආඩම්බරයක් වූවාට කිසිදු සැකයක් නැත.
නිවස්න වාගේම එහි නිවැසියන් ද දෘඪ හා උද්ධච්ඡ ගතියක් පෙන්නුම් කළා යැයි කීවොත් එක අතකට නිවැරැදිය. පරම්පරාවෙන් පරම්පරාවට ඉපදීම මෙන් ම මිය යාම ද එකී මන්දිරය තුළම සිදුවීම ඔවුන්ගේ අහංකාර ප්‍රාර්ථනාවක් වී තිබුණා සේ ය. නිවැසියන් අවට ඉඩ කඩම් වගා කරමින් ගොවිපළ ආරම්භ කොට තිබුණේ වසර තුන්සියයකට පමණ පෙරාතුවය. දැන් සිටින ගොවිපළ හිමියා ජෝර්ජ් මෙඩෝස් ය. ඔහුගේ වයස අවුරුදු පනහකි. බිරිඳ ඔහුට වඩා වසර දෙක තුනකින් බවිය යුතුය. ඔවුන් දෙදෙනාම පැහැපත් ය. පුත්තු දෙදෙනා සහ
දූවරු තිදෙනා ද මවු පිය පාර්ශ්වයන් සේ ම ශක්තිමත් හා ප්‍රසන්න අය වූහ. එකී පවුල සැබැවින් ම සිටියේ හොඳින් හා සතුටිනි. එහෙත් නව ලොවක් පිළිබඳව හැඟීමක් නම් ඔවුන් කිසිවෙකුටත් නොතිබුණා සේ ය. ඔවුන්ගේ ආඩම්බරය වූයේ ස්වකීය පරම්පරාගත නිවස තුළ, ගොවිපළ තුළ සංහිඳියාවෙන් ජීවත්වීම පමණකි. නෝනාවරුන්, මහත්වරුන් වීමේ උවමනාවක් ඔවුනට තිබුණේ නැත. කෙසේ නමුත් එවැනි සමගි සම්පන්න, ප්‍රීතිමත් නිවසක් මා වෙනත් දැක නොතිබූ තරම්ය. කාර්‍ය්‍යශූර මෙන් ම කරුනාවන්ත ද වූ නිවැසියෝ හැම විටම වැඩිහිටියාට ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කළහ.
බීතෝවන්ගේ තූර්‍ය්‍ය සංවාදයක හෝ ටිඩියන්ගේ සිතුවමක දැකිය හැකි පූර්ණත්වය එම නිවසේ ඇතැයි මට සිතුණු වාර බොහෝ විය. එසේ වුව නිවසෙහි ආධිපත්‍යය අයත්ව තිබුණේ ජෝර්ජ් මෙඩෝස් හට නොවේත ඔහුගේ මවටය. අළු පැහැති හිස කෙස් සහිත උස, ඍජු ගැහැනියක වූ ඇයගේ වයස අවුරුදු හැත්තෑවක් විය. මුහුණ රැලි ගැසී තිබුණ ද ඇගේ දෑස දීප්තිමත් හා කලබලකාරීවිය. නිවසට මෙන්ම ගොවිපළට ද නීතිය බවට පත්ව තිබුණේ ඇගේ වචනයයි. අත්තනෝමතික හා ස්වෛරී වුවද ඇගේ පාලනය අකාරුණික වූයේ නැත. සේවකයෝ ඇය හා විහිළුවක් කොට සිනාසෙන්නට බිය නොවූහ. සැබැවින්ම ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වූවාය. උදෑසනින් අවදිවීම යමෙකුට ඇගෙන් සැලකිලි ලබන්නට තරම් හේතුවක් විය. අපූරු චරිතයක් වූ ඇය; මෙඩෝස් මහත්මිය යහපත් සිහි බුද්ධිය මෙන් ම ප්‍රීතිය ද යන මනෝභාවයන්ගේසංකලනයක් වැන්න. දිනක් ජෝර්ජ් මහත්මිය අතරමග දී මා නතර කළාය. ඇය සිටියේ මහා කලබලයකිනි. ජෝර්ජ් මහත්මිය මෙඩෝස් නිවස තුළ කිසිදාක මෙඩෝස් මහත්මිය බවට පත්ව සිටියේ නැත. එහි මෙඩෝස් නෝනා මහත්මිය වූයේ ඇගේ නැන්දම්මා පමණකි.
''ඔයා දන්නවද අද මෙහාට එන්නෙ කවුද කියලා?” ඇය මා නතර කරමින් පිළිවිසියාය.
“ජෝර්ජ් මෙඩෝස් මාමා! දන්නවනෙ එයා හිටියෙ චීනෙ.”
“මං හිතා හිටියෙ එයා මළාය කියලනෙ.”
''ඇත්තටම අපිත් හිතා හිටියෙ එහෙම තමයි.”
ජෝර්ජ් මෙඩෝස් පිළිබඳ කතාව මම වාර දුසිම් ගණනක් අසා ඇත්තෙමි. පැරණි කවි කතාවක දැවටී තිබෙන ආශ්වාදය ඒ කතාව තුළ තිබූ නිසාම මම එය අසන්නට ප්‍රිය කළෙමි.එය යථාර්ථවාදයෙන් බැහැර වූ කතාවකැයි ද වරෙක මට නොසිතුණා නොවේ. ජෝර්ජ් මෙඩෝස් මෙන් ම ඔහුගේ බාල සහෝදරයා වූ ටොම් ද යන දෙදෙනාම ආලය කොට තිබුණේ මෙඩෝස් මහත්මියට ම ය. එකල ඇය එමිලි ග්‍රීන් මෙනවිය වූවාය. ඒ අඩ සිය වසකටත් එපිට සිදු වූ සිදුවීමකි. අවසානයේ දී, එමිලිටොම් හා විවාහ වූ අතර ජෝර්ජ් මුහුදෙන් එතෙර ගොස් තිබිණි.
ඔහු චීනයේ සිටින බව ඔවුහු එකල දැන සිටියහ. ඒ වසර විස්සක් ගත වන තුරුත් ඔහු ඉඳ හිට ඔවුනට තෑගි බෝග එවූ බැවිනි.
එයින් පසු ඔවුනට ඔහු පිළිබඳව ආරංචි නොලැබී ගියේය. ටොම් මෙඩෝස් මිය ගිය පුවත ද එමිලි මෙඩෝස් ඔහු වෙත ලියා යැව්වාය. එහෙත් පිළිතුරක් ලැබුණේ නැත. අවසානයේ දී සියලු දෙනා එක්ව නිගමනය කොට තිබුණේ ඔහු මිය ගොස් ඇති බවය. දින දෙක තුනකට පෙරාතුව මෙඩෝස් මන්දිරයට හදිසියේ ම හසුන්පතක් ලැබුණේ නිවැසියන් මවිතයට පත් කරවමිනි. ලියුම එවා තිබුණේ ‘පෝට්ස්මවුත්’ නාවුක නිවාස පාලිකාවක් වෙතිනි. එකී ලියුමට අනුව ජෝර්ජ් මෙඩෝස් පසුගිය දස වසරක් පුරා අත් පා අවසඟව නාවුක නිවාසයක නේවාසික රෝගියෙකු ලෙස ගත කොට ඇත. ඒ ඔහුට රූමැටික උණ වැලඳීම හේතුවෙනි. යමනට අනුව ඔහු තවත් වැඩි කලක් ජීවත් නොවනු ඇත.
ඒ අතර ඔහුගේ සිතට තමා උපන් පාරම්පරික නිවස දැක ගැනීමේ උවමනාවක් පහළ වී ඇත. ඇල්බට් මෙඩෝස් ඔහුගේ වැඩිමහලු බෑනා, අද දවාලේ ‘පෝට්ස්මවුත්’ ගොස් තිබුණි. ඒ තම ෆෝඩ්කාරයෙන් ඔහු කැඳවාගෙන එන්නටය.
“හරි අපූරුයි”
ජෝර්ජ් මහත්මිය කීවේ සතුටිනි.
“අවුරුදු පනහකටත් වඩා කලින්නෙ එයා මෙහේ ඉඳල තියෙන්නෙ. මගේ ජෝර්ජ්ව දැකලවත් නෑ තාම. ලබන අවුරුද්දට තමයි එයාට පනස් එක පිරෙන්නෙ.”
“එතකොට මෙඩෝස් නෝනා මේ ගැන මොකද කියන්නේ?”
“දන්නවද, එයා තනියම හිනාවෙනවා. එයා මෙහෙන් යද්දි
බොහොම කඩවසම් තරුණයෙක්ලු. ඒත් හැබැයි එයාගේ බාල සහෝදරයාගේ වගේ හිතේ ස්ථිරසාර ගතියක් තිබුණෙ නැතිලු. ඒක නිසාලු එයා අපේ ජෝර්ජ්ගේ තාත්තව කසාද බැන්දෙ.”
ජෝර්ජ් මහත්මියගේ කාරුණික ආරාධනාව පිළිගෙන මම මෙඩෝස් නිවසට ඇතුළු වූයෙමි. දුර බැහැරක කිසිදා නොයන ගැමි කාන්තාවක වූ ඇය සිතන්නට ඇත්තේ ආගන්තුකයා හා මා
අතර කිසියම් සමීප බවක් ඇති බවය. ඒ මා ද කලක් චීනයේ ගත කොට ඇති බැවිනි. මා එහි යන විට පවුලේ සියලු දෙනා එක් රැස්ව සිටියහ.
විශාල පැරණි මුළුතැන්ගෙය තුළ සියල්ලෝ වාඩි වී සිටියෝය. ගෙබිම ද ගලෙන් ම නිමා කළ මුළුතැන්ගෙහි උදුන අසල වූ සුපුරුදු අසුන මත වාඩි වී සිටියේ මෙඩෝස් මහත්මියයි. ඇය
සිටියේ තමා සතු හොඳම සිල්ක් ඇඳුමෙන් සැරසීගෙනය. මගේ මුවඟට සිනහවක් නැගුණේ නිරායාසයෙනි. ඇයගේ පුතා, පුතාගේ බිරිඳ හා දරුවෝ ද මේසය අසල වාඩි
වී සිටියහ. උදුනෙහි අනෙක් පස වාඩි වී සිටියේ මහලු මිනිසෙකි.
ඔහු පුටුවේ වාඩි වී සිටියේ ගුලි ගැසීගෙන ය. ඉතා කෘශ වූ සිරුරක් සහිත ඔහුගේ සම අස්ථි පංජරය අතැර එල්ලී සිටිනු දැකගත හැකි විය. හරියට තමාට නොගැළපෙන ප්‍රමාණයෙකින්
විශාල ඇඳුමක් ඇඳ සිටින්නා සේ ය. කහ පැහැති ඒ මුහුණේ රැළි බහුල විය. ඔහු සතුව එකදු දතක් හෝ නො තිබුණා විය හැකිය.
මම ඔහුට අතට අත දී සුබ පැතුවෙමි.
“මෙඩෝස් මහත්තමයා. හරිම සතුටුයි ඔබට කරදරයක් නැතුව එන්න ලැබුණට.”
මම කීවෙමි.
“කැප්ටන්. කැප්ටන් මෙඩෝස්.”
ඔහු මා නිවැරැදි කළේය.
“මාමා පයින් ඇවිදගෙන ගෙදරට ආවෙ.”
ඔහුගේ බෑනා, ඇල්බට් විස්තර කළේය.
“ගේට්ටුව ළඟට ආවම මාමා මට කාරෙක නතරකරන්ඩ කිව්වා. ඇවිදගෙන ම ගෙට එන්ඩ ඕන කිව්වා.”
“විශ්වාස කරන්ඩ. මං අවුරුදු දෙකකින් ඇඳෙන් බැහැලා තිබුණෙ නෑ. මාව උස්සගෙන ඇවිත් තමයි ඒ අය මාව කාරකෙන් තිබ්බෙත්. මං හිතා හිටියෙ මං ආයෙ කවදාවත් ඇවිදින එකක් නෑ කියලයි. ඒත් අර එල්ම් ගස් පේළි දැක්ක ම මට ඒ ගස් යටින් ඇවිදගෙන එන්ඩ ඕන වුණා. අපේ තාත්තා ඒ කාලෙ ඒ එල්ම් ගස්වලට ආදරේ කළ හැටි මට මතක් වුණා. මට හිතුණා මට ඇවිදින්ඩ බැරි නෑ කියලා. ඔව්, අවුරුදු පනස් දෙකකට කලින් මංඇවිදගෙන ගිය පාරේ මං ආපහු ඇවිදගෙන ආවා.”
“අනේ මන්දා.”
එමිලි කීවාය.
“මට සනීපයක් දැනෙනවා. හරියට අවුරුදු දහයක් ආපස්සට ගිහින් වගේ සුවයක්, ශක්තියක් දැනෙනවා. මට තාමත් ඔයාව හොඳට පේනවා එමිලි.”
මෙඩෝස් මහත්මියට දැන් පරම්පරාවේ කිසිවෙක් එමිලි යැයි අමතන්නේ නැත. එබැවින් මසිතට දැනුණේ කිසියම් චකිතයකි.
පරිසරය සැකසී තිබුණේ හරියට ඔවුන් දෙදෙනා පමණක් එහි සිටින්නා සේ ය. ඇය ඔහු දෙස බැලුවේ මඳහසක් සහිත කලබලකාරී දෙනෙත්වලිනි. ඔහු ඇය හා දොඩමළුව සිටියේ දත් නැති විදුරුමස පෙන්වමින් පුළුල් වූ සිනා මතු කරමිනි. සැබැවින් ම එය ආගන්තුක දසුනක් ම විය. අඩ සිය වසක් එකිනෙකා නොදැක ගෙවුණු කාලය පුරාවට ඒ ගැහැනියටම ප්‍රේම කළ මිනිසා. ඒ අතරතුර වෙනත් පිරිමියෙකුට ප්‍රේම කළ ඒ ගැහැනිය.
“කැප්ටන් මෙඩෝස්, කසාදයක් බැන්දෙ නැද්ද කවදාකවත්?”
මම ඔහු විමසුවෙමි.
“නෑ"
ඔහුගේ කටහඬ වෙවුලන සුළු විය. එහෙත් මුවෙහි සිනහව පුළුල්ව පැතිර පැවතුණි.
“ඒ වුණාට මං ගෑනු ගැන ඕනවටත් වඩා හොඳට දන්නවා.”
“ඒ කියන්නේ....?”
මෙඩෝස් මහත්මිය කටහඬ අවදි කළාය.
“එහෙදි මෙයාට ඉන්න ඇති කළු නෝනලා දුසිම් බාගයක්වත්.”
“චීනෙ කොහෙන්ද කළු ගෑනු. ඇයි එමිලි දන්නෙ නැද්ද චීන ගෑනු කහ පාටයි.”
“ඒක වෙන්නැති එහෙනම් මෙයත් කහ පාට වෙලා ඉන්නෙ. දැක්ක ගමන් ඒත් මං හිතුවා, මොකද මෙච්චර පාණ්ඩු පාට වෙලා කියලා.”
“මං ඉස්සර ඉඳලම කියල තිබුණේ, එමිලි ඇරෙන්ඩ වෙන කිසි කෙනෙක් කවදාකවත් කසාද බඳින්නෙ නෑ කියලා.”
ඔහුගේ වචන තුළ අකරුණාවක්, අමනාපයක් තිබුණේ ම නැත.
“මම කිව්වෙම හැතැප්ම විස්සක් පයින් ඇවිදලා යන එක මට දෙයක් නෙමෙයි කියලා. මට ඕන දුකක් විඳින්ඩ පුළුවන්”
ඔහුගේ කටහf`ඩ් තිබුණේ තෘප්තිමත් බවකි.
“එක අතකට මාව බැන්ද නම් ඔයා ඒ ගැන පසු තැවෙන්නත් තිබුණා. සමහර විට.”
ඇය පිළිතුරු දුන්නා ය.
මම මහලු මිනිසා සමඟ චීනය පිළිබඳව කතා කළෙමි.
“ඔයා, ඔයාගෙ කෝට් පොකට් එක ගැන දන්නෙ කොච්චර ද ඊටත් වඩා මම දන්නවා චිනෙ නැව් තොටවල් ගැන. නැවකට යන්න පුළුවන් කොතැනකටද මං ඒ හැම තැනකම ගියා.”
ඔයා මා ළඟ මාස හයක් තිස්සෙ දවස පුරාම වාඩිවෙලා අහන් හිටියත් මට කියන්ඩ පුළුවන් වෙන්නෙ මං දැකපු දේවල්වලින් බාගයක් විතරයි.”
“ඒත් මට හිතෙන්නෙ ජෝර්ජ් ඔයා සල්ලි ඉතිරි කරල නම් නෑ.” මෙඩෝස් මහත්මිය කීවේ අකරුණාවන්ත නොවූ සරදම් සිනහවක් සහිතවය.
“මම සල්ලි ඉතුරු කරන මිනිහෙක් නෙමෙයි. හම්බ කරන්නේ වියදම් කරන්ඩ. ඒක තමයි මගේ ආදර්ශ පාඨය. ඒත් හැබැයි මට මගේ ජීවිතේට ආපහු යන්ඩ පුළුවන්නම් මං ඒකත්ක රනවා. ඒත් ඉතින් එක අතකට ඒකත් එච්චර තේරුමක් ඇති දෙයක් නෙමෙයි.”
“ඇත්තට ම නෑ.”
මා ඔහු දෙස බැලුවේ ගෞරවපූර්වකවය. දත් නැති, අත් පා අවසඟව ගිය පැන්සයක් නැති මහල්ලා.... නමුත් ඔහු ජීවිතය ජයගෙන ඇතිවා සේ ය. ඔහු ජීවිතය වින්දනය කොට ඇත.
පසුවදා ද තමා බලන්නට පැමිණෙන්නැයි ඔහු මා පිටත්වන විට ඉල්ලා සිටියේය. චීනය ගැන මා අසන්නට කැමති බොහෝ කතා ඔහු පවසනු ඇත.
පසුවදා උදෑසන මම නැවත කැප්ටන් මෙඩෝස් දකින්නට ගියෙමි. අර අපූරු එල්ම් ගස් යටින් මා ඇවිද ගියේ මා දැකීම ඔහුට සතුටක් වෙතැයි සිතමිනි. මෙඩෝස් මහත්මිය ගෙමිදුලෙහි සිටියේ මල් නෙළමිනි. මම ඇයට සුබ උදෑසනකට සුබ පැතුවෙමි.
මගේ කටහඬින් ඇය හිස ඔසවා මදෙස බැලුවාය. ඇගේ දෝත අවුරාගෙන සිටියේ සුදු පැහැති මල් මිටියකි. මම නිවස දෙස බැලුවෙමි. ජනේල් තිර පහතට වැටී තිබුණි. මෙඩෝස්
මහත්මිය සාමාන්‍යයෙන් කැමති හිරු එළිය ගෙතුළට ඇදෙනවාටය.
“මිනිහෙක් යට කළාට පස්සෙ ඕන තරම් අන්දකාරෙට වෙලා ඉන්න බැරුවයැ.”
ඇය නිතර කීවේ එලෙසය.
“කොහොමද කැප්ටන්ට?”
මම ඇසුවෙමි.
“එයා ඉතින් හැමදාමත් කිසි වග විභාගයක් නැති කෙනෙක්නෙ. අද උදේ ලිසී තේ එක අරගෙන යද්දි එයා යන්නම යන්න ගිහින්.”
“කැප්ටන් මළා?”
“ඔව්, නින්දෙදිම. මං මේ සුදු මල් කඩන්නෙ ඒකයි. මේ එයාගෙ පරණ ගෙදරම එයා මැරුණු එක මට සතුටක්. ඒක මෙඩෝස්ලට බොහොම වටිනවා.”
ඔවුන් රාත්‍රියේ ඔහු ඇඳට යවා තිබුණේ පෙරැත්ත කිරීමෙන් අනතුරුවය. පසුගිය කාලය පුරා සිදුවූ තම ජීවිතයේ බොහෝ සිදුවීම් ගැන පවසමින් ඔහු බොහෝ වේලාවක් අවදිව සිට ඇත.
නිවසට පැමිණීම සහ එල්ම් ගසින් සෙවණ වූ මාවත දිගේ ඇවිදපත්ව ඇත. තවත් විසි වසරක් දැන් ඉතින් තමාට ජීවත් විය හැකි යැයි ඒ අතර ඔහු පුරසාරම් දොඩා ඇත.
‘නමුත් ඔහුගේ ජීවිතය අග මරණයේ නැවතුම් තිත නිවැරදි තැනදී තබන්නට තරම් දෛවය කාරුණික වී ඇත.’
මට සිතුණේ එලෙසිනි.
මෙඩෝස් මහත්මිය තමා අත වූ මල් පොකුර නාසයට ළං කොට එහි සුවඳ වින්දාය.
“කොහොම නමුත් එයා ආපහු ආ එක කොච්චර දෙයක් ද?
මං ටොම් බැන්දට පස්සෙ ජෝර්ජ් යන්ඩ ගියා. මට කවදාවත් ම තේරුම් ගන්ඩ බැරිම දේ තමයි මං කසාද බඳින්ඩ තිබුණෙ ටොම් ද නැත්නම් ජෝර්ජ් ද කියන එක.”
ඒමට හැකිවීම පිළිබඳව ඔහු මහත් සේ ආඩම්බරයටත් සතුටටත් පත්ව ඇත. තවත් විසි වසරක් දැන් ඉතින් තමාට ජීවත් විය හැකි යැයි ඒ අතර ඔහු පුරසාරම් දොඩා ඇත. නමුත් ඔහුගේ ජීවිතය අග මරණයේ නැවතුම් තිත නිවැරදි තැනදී තබන්නට තරම් දෛවය කාරුණික වී ඇත.’
මට සිතුණේ එලෙසිනි.
මෙඩෝස් මහත්මිය තමා අත වූ මල් පොකුර නාසයට ළං කොට එහි සුවඳ වින්දාය.
“කොහොම නමුත් එයා ආපහු ආ එක කොච්චර දෙයක් ද?
මං ටොම් බැන්දට පස්සෙ ජෝර්ජ් යන්ඩ ගියා. මට කවදාවත් ම
තේරුම් ගන්ඩ බැරිම දේ තමයි මං කසාද බඳින්ඩ තිබුණෙ ටොම් ද නැත්නම් ජෝර්ජ් ද කියන එක                                                                                                                            - නිමි -