“ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට ඉන්දුනීසියාවේ සහාය දෙන වගට තානාපතිවරියගෙන් සහතිකයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය (Dewi Gustina Tobing )අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදු විය.
නව රජයට ඉන්දුනීසියානු රජයේ සුබ පැතුම් එක් කළ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය දෙරට අතර වසර 70 ක මිතුදම ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළා ය.
ශ්‍රී ලංකාවේ හා ඉන්දුනීසියානු රජයන් සමකාලීන මැතිවරණ ජයග්‍රහණයක් ලබා නව රජයන් පිහිටවූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් රජය ආරම්භ කර තිබෙන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සහයෝගය ලබාදෙන බවත් එවැනිම වැඩසටහනක් ඉන්දුනීසියාවේද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් තානාපතිවරිය සඳහන් කළා ය.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ණීය වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සමාජයීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගනිමින් දෙරටටම වාසි සහගත අයුරින්වෙළඳපොළ පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඉන්දුනීසියානු නියෝජ්‍ය තානාපති ෆිකී ඔක්ටානියෝ ( Fiki Oktanio) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුර කුමාර මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) අතර අද වූ හමුව
පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳවද සතුට පළ කළේය.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60 ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මාලදිවයින් ජනරජයේ විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), දෙවන ලේකම් අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
අනුර ගේ වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහායත්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය.
ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාළ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කෙරිණි.
අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.
ජාති, ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් "Sri Lankan Day" සැමරීමට රජය සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය 1989 සිට ශ්‍රී ලංකාවේ සිදු කරන මානුෂීය මෙහෙයුම් මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමනාකරු රුවන්ති ජයසුන්දර මෙනවිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.