ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

මාලිමාවේ දෙවැනි අයවැය

තිරසර සහ සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය ආණ්ඩුවේ වැනි අය වැය වාර්තාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඔහු සිය අයවැය‌ යෝජනා සම්බන්ධයෙන් කළ  කතාව උදෙසා  පැය හතරක තරම් කාලයක් මිඩංගු  කළේ ය.

පිටු හැටකින් සමන්විත අය වැය වාර්තාව සභාවට ඉදිරිපත් කර හමාර වූයේ පස්වරු  පහමාරට පමණ ය.

ගරු කථානායකතුමනි,

අපගේ දෙවන ජාතික අයවැය මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටක්.

ශ්‍රී ලාංකික ජනතාව අපට ලබාදුන් ඓතිහාසික ජනවරමින් පසු, ගත වූ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අප පැහැදිලි දැක්මකින් යුතුව තීරණාත්මක පියවර රාශියක් ගත්තා. මෙතෙක් පැවති ඥාති සංග්‍රහය, ඒ හා බැඳුනු දූෂිත දේශපාලන සංස්කෘතියේ පැහැදිළි වෙනසක් වෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඒ විශ්වාසය රැක ගැනීමට අප ගෙන ඇති පරිවර්තනීය පියවර ගැන අද අපට ආඩම්බර වීමට පුළුවන්. ආර්ථිකය හා දේශපාලන ව්‍යුහය නව්‍යකරණය කිරීමටත්, මහජන කේන්ද්‍රීය ආණ්ඩුකරණයක් බිහි කිරීමටත්, නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටත්, පාලනය ශක්තිමත් කිරීමටත්, අප ආර්ථිකයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ රටේ පතුළේම වෙසෙන ජනතාව කරා ගෙන යාමටත් අප අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා.

ගරු කථානායකතුමනි,

අප මෙම අභියෝගය බාරගන්නා මොහොතේ දී, රටේ ආර්ථික පදනම දෙදරා ගොස්  තිබුණා. දශක ගණනාවක් පුරා පැවති සාර්ව ආර්ථික අස්ථාවරභාවය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයම දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබුණා. එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක්වුණා. මෙම අර්බුදයට කිසිසේත්ම වගකිව යුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුණු වී තිබුණා. ඒ නිසාම, අප ජනවරම ලැබූ  මොහොතේ සිටම, සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත්, රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමටත්, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත්, දූෂණයට තිත තබමින් විනිවිදභාවය ඉහළ නැංවීමටත්, ජනතාව කෙරෙහි වගවීම තහවුරු කිරීමටත්, ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ආරම්භ කළා. මෙකී ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, රාජ්‍ය මූල්‍ය, සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට හැකි වූ බව, අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි.

ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන්, 2025 වසරේ පළමු භාගය තුළ දී, ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වුණා. එය බහුපාර්ශවික සංවිධානවල පුරෝකථයන් ද අභිබවා යාමක්. උද්ධමනය මේ වනවිට නැවත ධන අගයකට පැමිණ තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය අඩුවීමෙන් මූල්‍ය අංශය ස්ථාවර වී තිබෙනවා. විනිමය අනුපාතිකය ද ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍යයේ පවා ආනයන අපනයන ඇතුලත් විදේශ අංශය ශක්තිමත් වුණා. අපනයන, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ යාම හේතුවෙන්, දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගියා. 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 16 ක මට්ටමට ලඟා වීමට මේ වසරේ දී හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එමෙන්ම මේ වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.3 ක වූ ඉලක්කගත අගය කැපී පෙනෙන ලෙස ඉක්මවා යන, ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, ආයෝජකයින්ගේ විශ්වාසය පෙර නොවූ විරූ ලෙස ගොඩනැංවීමටත් අපට හැකිව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ආරම්භක මූලික ක්‍රමෝපාය වූයේ රාජ්‍ය මූල්‍ය විනයත් සමඟම විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමයි. දේශීයව ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම තුළින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තයේ අඛණ්ඩ ඉහළ යාම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති සියයට 114.2 ක අගයේ සිට 2026 වසර වන විට සියයට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩු වීමට දායක වෙනවා. තවද, 2030 වසර වන විට එම අගය සියයට 87.0 ක පමණ මට්ටමකට ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. එම ප්‍රතිඵල හේතුවෙන් අපගේ ප්‍රමුඛතම අපේක්ෂාව වන ණය අර්බුදයෙන් මිදීම  සඳහා වූ මාර්ගය විවෘතව තිබෙනවා.

2020 වසරේ දී ආර්ථිකයේ තිබුණු අර්බුදකාරී තත්ත්වය ක්‍රමිකව පුපුරා යන තත්ත්වයකට පත්වුනා. මෙය ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර කරා ඩොමිනෝ ආකාරයෙන් පැතිර ගියා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2022 වසරේ අප්‍රේල් වන විට අප බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වීමයි. මෙම ආර්ථික බංකොලොත්භාවය විසින් අප රටට අහිමි දශකයක් නිර්මාණය කළා. එනම්, අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟාකර ගැනීම සඳහා අවුරුදු 10 ක් ගතවන බවයි. ඒ අනුව බොහෝ අය ප්‍රකාශයට පත් කළේ එම 2019 වසරේ ආර්ථික තත්ත්වය 2029 වසරේ දී ළඟාකර ගන්නා බවයි. එහෙත් 2025 වසර අවසන් වන විට අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට අපට හැකි වෙනවා.

ගරු කථානායකතුමනි,

අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තිරසාර මූල්‍ය මාවතකට යොමු කර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන FitchRatings, Moody's සහ S&P විසින් රටේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පිළිවෙලින් CCC+, Caa1 සහ CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ විශ්වාසය තවදුරටත් පිළිබිඹු කෙරෙන කැඩපතක් වෙනවා.

අපගේ ජාතික අවශ්‍යතා මුදුන්පත් කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව අපට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් සිටිනවා. එම වැඩසටහනෙහි ඉලක්ක හා ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරාලමින්, අනුක්‍රමිකව සිදුකරන සමාලෝචන සම්පූර්ණ කිරීමට හා එහි ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට අප සමත්ව තිබෙනවා. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ දිගුකාලීනව ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය හා විදේශීය ස්වාරක්‍ෂක නැවත ගොඩනැඟීමේ දී රජය සහ ජාත්‍යන්තර සංවිධානවල ඇති සහයෝගීතාවය විසින් ඉහළ ප්‍රගතියක් අත්කර දී තිබෙනවා.

එමෙන්ම, සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අපගේ ප්‍රතිපත්ති ප්‍රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා, අස්වැසුම වැඩසටහන යාවත්කාලීන කර පුළුල් කිරීම මඟින්, සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර ලබාදීම අපේක්ෂා කරනවා.  තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබාදීම සහතික කිරීම වෙනුවෙන්, එම ප්‍රතිලාභීන් 2026 වසරේ දී සමාලෝචනයට ලක් කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි කළා. විශ්වවිද්‍යාල සිසුන්ට සහාය දීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර දීමනා ද ඉහළ නංවනු ලැබුවා. අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දුන්නා. මෙම කාර්යයන්ගේ අරමුණ වන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවයක් සහිත ජනතාවට ලබාදීමයි.

වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවා සැපයීමක් සඳහා රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අපගේ කැපවීම, අපගේ පළමු අයවැයෙන්ම පෙන්නුම් කළා. ඒ සඳහා මේ වන විටත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අදියර 3 කින් වැඩි කර තිබෙනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට උපායමාර්ග සකස් කරමින් තිබෙනවා. රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානයට කටයුතු කරනවා. මෙ‍හි අරමුණ ජනතාවට සැබවින්ම සේවය කළ හැකි කාර්යක්ෂම සහ ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් ගොඩනැඟීමයි.

ගරු කථානායකතුමනි,

පාලන ප්‍රතිසංස්කරණ හා දූෂණ විරෝධී ක්‍රියාකාරකම් වේගවත් කර, විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අප සමත්ව තිබෙනවා. පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයන්, රාජ්‍ය ව්‍යවසායයන්, රාජ්‍ය වත්කම් කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳ නව නීති සම්පාදනය කිරීම මඟින්, යල්පැන ගිය නීති රීති ක්‍රමවේද, නව නීති පද්ධතියක්  මඟින් ප්‍රතිස්ථාපනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය වන නව පනත් කෙටුම්පත් මේ වන විට අවසන් අදියරේ පවතිනවා. රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ අපගේ ඩිජිටල් ප්‍රවේශය ද මේ වන විට බොහෝ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත්, විද්‍යුත්-ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මඟින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයුතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා.

‘දූෂණය කියන්නේ දුප්පතුන් මත පටවන ලද බද්දක්, ඒ වගේම එය අපගේ සංවර්ධනය වෙළා ගත් විලංගුවක්’. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක්ම නොවේ; ඒවා සමාජ යුක්තිය ඉටුකිරීම සඳහා ද වැදගත් මෙවලම් වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව, දූෂණය අවම කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩිදියුණු කර තිබෙනවා. තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩල ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. 2026 වසරේ මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නවා, ඒ වගේම 2026 වසරේ දී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. ඊට අමතරව, දේශපාලකයින්ට සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබූ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළා. ඒ අනුව අපි සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැඟීම අරමුණු කරමින් වැඩ කරනවා.

දූෂණය වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මඟින් ආයෝජකයින්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා. අපගේ රජය පෞද්ගලික අංශයට සතුරු විය හැකි බවටත්, ආයෝජන අධෛර්යමත් කරනු ඇති බවටත්, දේපල පවරා ගනු ඇති බවටත් විවිධ පාර්ශවයන් විසින් ද්වේෂ සහගත ප්‍රචාරයන් ව්‍යාප්ත කළා. මේවා පදනම් විරහිත ප්‍රකාශයන් බව දැන් ඔප්පු වී තිබෙනවා. ආයෝජන ආරක්ෂණය සහතික කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව සහතික කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කරමින් නියාමන රාමු ශක්තිමත් කරමින් සිටිනවා. අවිධිමත් ක්‍රම ඔස්සේ සිය ගජමිතුරන්ට බදු නිදහස් කිරීම් සහ බදු සහන ලබාදීමේ සංස්කෘතිය අප අවසන් කර දැමුවා. විනිවිදභාවයෙන් යුතු, රීති මත පදනම් වූ නිර්ණායක අනුව බදු සහන ලබාදීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර පනත යන පනත් දෙකම සංශෝධනය කරනවා. බදු නිදහස් කිරීමේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා, ලබාදුන් බදු නිදහස් කිරීම් පිළිබඳ ප්‍රකාශයක් වසරකට දෙවරක් මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනවා. එමෙන්ම සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය -SVAT- අවලංගු කර, බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සහ කාර්යක්ෂම, කරමින් පවතින අතර එය බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වෙනවා.

ගරු කථානායකතුමනි,

රාජ්‍ය ව්‍යවසායයන් කාර්යක්ෂම කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නව “රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක්” හඳුන්වා දීමට නියමිත අතර එම පනත 2026 වසරේ  මුල් භාගයේ දී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමඟින්, රාජ්‍ය ව්‍යාපාරවල අරමුණු පැහැදිලිව හඳුනාගැනීම, වාර්ෂිකව විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශනය කිරීම සහ උචිත ණය ගැනීම් සඳහා පමණක් සීමා කිරීම සිදු වනවා. තවද, අපගේ රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ නියාමන රාමුව ශක්තිමත් කරනවා. රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණයේ දී තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන නිලධාරීන් සඳහා දඩ මුදල් පැනවීම පහසු කිරීම පිණිස “ජාතික විගණන පනත” දැනටමත් සංශෝධනය කරනු ලැබුවා. රාජ්‍ය ඉඩම් කළමනාකරණය සහ භාවිතය සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායක් පත් කරනවා. රාජ්‍ය වත්කම්වල විනිවිදභාවය, කළමනාකරණය සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා 2026 වසරේ දී “රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත” සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. පිරිවැය නිරූපිත බලශක්ති මිලකරණය දිගටම පවත්වාගෙන යන අතර අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා සහන දීමට කටයුතු කරනවා. දූෂණයට අනුබල දෙන ආයතන ජාල අක්‍රිය කිරීම සඳහා, 2026 වසරේ ජනවාරි මස වන විට ක්‍රියාකාරී ප්‍රතිලාභ හිමිකාරීත්ව ලේඛනයක් හඳුන්වා දීම මඟින් මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. තවද, මේ වන විටත් “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ  පනත” සම්මත කර තිබෙනවා. එය බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ඨාෂයක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා තිබෙනවා.

අපගේ මෙම දැක්මට සමාන්තරව, ආරක්ෂිත, සුරක්ෂිත සහ සාධාරණ සමාජයක් ගොඩනැඟීම අපගේ අරමුණයි. දිගු කලක් තිස්සේ, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට ගොදුරු වූ අපගේ දරුවන් ඉන් මුදාගත යුතුයි. ඒ වෙනුවෙන්, විෂ  මත්ද්‍රව්‍ය සැපැයුම් දාමය බිඳ වැට්ටවීම, ඉල්ලුම් ජාලය දුර්වල කිරීම, අධ්‍යාපන හා පුනරුප්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රැකියා අවස්ථා ලබාදීම ඇතුළත් බහුවිධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට තිබෙනවා.

අපගේ සංවර්ධනය සඳහා සහාය දුන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ට මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව දක්වන ලද දායකත්වය සම්බන්ධයෙන් අප ස්තූතිවන්ත වෙනවා. මෙම හවුල්කාරීත්වයන් ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැඟීම සඳහා පිටිවහලක් වූ අතර, මෙම බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපි උනන්දු වෙනවා.

අපගේ මෙම දෙවන අයවැය මඟින්, පළමු අයවැයෙන් අප දැමූ අඩිතාලම තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථිකයේ වේගවත් පිම්මක් ලබාගැනීමට අපේක්ෂා කරනවා. පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් කරා අප යන ගමනේ දී අභියෝග ජයගනිමින්, ඉදිරියටම යාමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා සහයෝගය අපේක්ෂා කරනවා.

2026 අයවැයෙහි උපායමාර්ගික අරමුණු

ගරු කථානායකතුමනි,

2.1 තිරසර සහ සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක්

අපගේ ප්‍රධාන උපාය මාර්ගික අරමුණ වන්නේ වසර කිහිපයකින් සියයට 7 ඉක්මවා යන වර්ධනයක් ළඟා කර ගනිමින් එහි ප්‍රතිලාභ රටේ සෑම ප්‍රදේශ, ප්‍රජාවන් සහ සමාජ කණ්ඩායම් අතර සාධාරණව බෙදී යන බව සහතික කිරීමයි. ඒ සඳහා ජනසහභාගීත්ව ආර්ථිකය, ඵලදායිතාවය ඉහළ නැංවීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලික අංශය සහභාගී කරගත් ආයෝජන හා වර්ධනය අපගේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන බලවේග වනු ඇත. විනිවිදභාවයෙන් යුතු, රීති මත පදනම් වූ ක්‍රමවේද මඟින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරනු ඇත. එමෙන්ම අපනයන සහ අගය එකතු කළ කර්මාන්ත ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාව ගෝලීය අගය දාම සමඟ ඒකාබද්ධ කිරීම ද අවශ්‍යයි. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ රාජ්‍ය ව්‍යවසායයන් නවීකරණය කිරීම මෙම ප්‍රයත්නයන්ට වැඩිදුරටත් ශක්තියක් ගෙන එනවා. ඒ වගේම උපායමාර්ගික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

2.2 අපනයන විවිධාංගීකරණය මඟින් ඉහළ ආදායමක්

ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) මඟින් අපනයන විවිධාංගීකරණය කිරීම, අපනයන තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ වීමට සහ නව අපනයන වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීමට මෙන්ම පවතින වෙළෙඳපොළ පුළුල් කිරීමට ද කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය අරමුණු කර ගනිමින් දැනට අත්සන් කර ඇති වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම හා නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට මේ වන විටත් විශේෂඥ කමිටුවක් පත්කර තියෙනවා. නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමටත්, නව අපනයන නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමටත්, ජාතික තනි වෙළෙඳ කවුළුව ඇති කිරීමටත් කටයුතු කරනවා.

2.3 ණය තිරසරභාවය සහතික කිරීම

ශ්‍රී ලංකාවේ ණය මට්ටම තිරසාර නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 වසරේ ප්‍රකාශ කර තිබුණා. එයට ප්‍රධාන හේතුව වූයේ වගකීම් විරහිතව ප්‍රමුඛතාවයන්  නොවන ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබා ගැනීමත්, ලබාගත් ණයවලින් අවශ්‍ය වත්කම් ජනිත නොකිරීමත්, අදාළ ව්‍යාපෘති අදාළ කාලයේ දී නිම කිරීමට අසමත් වීමත්, ණය කළමනාකරණය විධිමත් හා ක්‍රමවත් ප්‍රතිපත්ති රාමුවක් තුළ සිදු නොකර තිබීමත්ය. කෙසේ වුව ද, මේ වනවිට අප ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා පැහැදිලි සැලැස්මක්, විශේෂයෙන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා සකස් කරමින් පවතිනවා. අවසන් වීමට ආසන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය අත්පත් කර ගැනීමත් සඳහා අපගේ මැදිහත්වීමත් නිසා වෙළෙඳපොළ විශ්වාසය වේගයෙන් වර්ධනය වී තිබෙනවා. ඒමෙන්ම, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇති පසුබිමක, ණය තිරසරභාවය අත්පත් කර ගැනිමේ දිශාවට, පැහැදිලි මාවතක් ඔස්සේ, ක්‍රමවත්ව හා ස්ථාවරව අප රජය ගමන් කරමින් සිටිනවා.

දළ මූල්‍යන අවශ්‍යතාවය මාධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කට වඩා අඩු මට්ටමක හා වාර්ෂික මධ්‍යම රජයේ විදේශ මුදල් ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 ක් නොඉක්මවන මට්ටක පවත්වා ගැනීම ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා එක් උපාය මාර්ගයක්. ඒ අනුව රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් වීමත් සමඟම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වූ රාජ්‍ය ණය ක්‍රමාණුකූලව අඩු වීමට පටන්ගෙන තිබෙනවා.

2032 දී ළඟා කර ගත යුතු ඉලක්කය වන සියයට 95 ආසන්නයට මේ වන විටත් ළඟා වෙමින් තිබෙනවා. මෙම ප්‍රතිඵල මත හා අපගේ ණය කළමනාකරණ උපායමාර්ග අනුව 2032 දී ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 90 කට වඩා අඩු අගයක තබා ගැනීමේ ඉලක්කය පහසුවෙන්ම ළඟා කර ගත හැකි බව අප විශ්වාස කරනවා.

2028 වසරේ දී විදේශ ණය ගෙවීමට නොහැකියාවක් මතු විය හැකි බවට පදනම් විරහිත මතයන් ඇතැම් පාර්ශවයන් විසින් සමාජගත කරමින් සිටිනවා. නමුත් සැබෑ තත්ත්වය කුමක් ද? අප 2024 දී විදේශීය ණය සේවාකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 1,674 ක් ගෙවා අවසන් කළා. 2025 වසරේ විදේශීය ණය සේවාකරණය ඩොලර් මිලියන 2,435 ක් වුන අතර, සැප්තැම්බර් 30 වන විට ඉන් ඩොලර් මිලියන 1,948 ක් ගෙවා අවසන්. මේ වසරේ දෙසැම්බර් 31 වන විට තවත් ඩොලර් මිලියන 487 ක් ගෙවීමට සූදානම්. ඒ අනුව, 2025 වසරේ විදේශීය ණය සේවාකරණ ගෙවීම් 2024 ට සාපේක්ෂව ඩොලර් මිලියන 761 ක වැඩිවීමක්.

ගරු කථානායකතුමනි,

2028 වසරේ අප විසින් ගෙවිය යුතු විදේශ ණය සේවාකරණය ඩොලර් මිලියන 3,259 ක් පමණයි. එනම්, 2025 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 824 ක වැඩිවීමක් පමණයි. මෙය ගෙවීමට අපට හැකියාවක් තියෙනවා. එබැවින් එවැනි සාවද්‍ය ප්‍රචාරයන් මේ රටේ ජනතාව පිළි නොගන්නා බව අප විශ්වාස කරනවා.

තවද, රජය විසින් ‍ ලබාගෙන ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් කොටසක් යහපත් ආණ්ඩුකරණය සමඟ බැඳී ඇති බැඳුම්කර (Governance-Linked Bonds) ලෙස ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. ඒවා 2034 සහ 2035 වසර තුළ ගෙවා අවසන් කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ළඟා කරගන්නා දර්ශක දෙකක ප්‍රගතිය අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සහනයක් සැලසීමට ණය හිමියන් එකඟ වී තිබෙනවා.

ඒ අනුව රජයේ ආදායම් ඉලක්ක 2026-2027 වසරවල දී පිළිවෙළින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් හා 15.4 ක් ඉක්මවා යන පරිදි පවත්වා ගැනීම සහ නියමිත කාලසීමාව තුළ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට පත් කිරීම කළ යුතු වෙනවා. එම ඉලක්ක සපුරා ගන්නේ නම්  2028 වසරේ සිට 2035 වසර දක්වා ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතයට සියයට 0.75 ක අඩු කිරීමක් ලබා දීමට එම ණය හිමියන් එකඟ වී තිබෙනවා.

ඒ අනුව, වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක ණය සේවාකරණයේ වාසියක් රජයට හිමිවනු ඇත. රජය විසින් එම ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරනවා.

2.4 නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම

අප ප්‍රධාන වශයෙන්ම ආනයන මත රඳා පවතින ආර්ථිකයක් බැවින් ගෝලීය අර්බුදයන් හමුවේ ආර්ථිකයට දැඩි හානි එල්ල වීමට පුළුවන්. එම නිසා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට අපි අපේක්ෂා කරනවා.  වර්තමානයේ දී අපි ආනයනය කරන භාණ්ඩ දේශීයවම නිෂ්පාදනය කිරීම සඳහා, අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉලක්කගත සහනාධාර, අවැසි තාක්ෂණය සහ වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දීමට අප කටයුතු කරනවා. එමෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය වර්ධනය කිරීමටත්, දේශීය නිෂ්පාදනයන්ට වටිනාකමක් එකතු කිරීමටත් අප අවධානය යොමු කරනවා. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්වල ආයෝජනය කිරීමට සහ මානව සම්පත් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් උපයෝගී කරගැනීමටත් අපි අපේක්ෂා කරනවා.

2.5 ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම

ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීමට නම් කුඩාම ඒකකය වන ගම, පොහොසත් ගමක් බවට පත් කළ යුතුයි. ආර්ථිකයේ ජාතික මට්ටමේ සිදුවන වර්ධනයේ ප්‍රතිලාභ, ග්‍රාමීය ජනතාවට ද ලැබෙන පරිදි ආර්ථිකය ගමට රැගෙන යා යුතුයි. මේ සඳහා ඵලදායී ආර්ථික කටයුතුවල නියලීමට හැකිවන පරිදි ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම අපගේ ප්‍රධාන උපායමාර්ගයක්. ඒ සඳහා නවීන හා තිරසර මෙන්ම කිසිවෙක් අත් නොහැරෙන  සංවර්ධන වැඩපිළිවෙළක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ, ආර්ථික අවස්ථා බහුල කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය, සැලසුම් සහගත නාගරීකරණය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩදියුණු කිරීම. තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක පාදක කර ගත් සංවර්ධන රාමුවක් යටතේ ක්‍රියාත්මක කරනවා.

ඒ අතරම, විශේෂ රැකවරණය ලැබිය යුතු පිරිස් අඛණ්ඩව රැක බලාගැනීමත්, විවිධ අර්බුදවල බලපෑම මත සංක්‍රාන්තික දරිද්‍රතාවට පත්වන පිරිස් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමත් කළ යුතුයි. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් අත්පත් කර දීමේ අපගේ ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ මෙම අරමුණ මුදුන්පමුණුවා ගැනීමට බව කිවයුතුයි.

2.6 ඩිජිටල්කරණය ප්‍රවර්ධනය 

ඩිජිටල්කරණය අපගේ ආර්ථික වර්ධනය හා සමාජ ජීවිතය උසස් කිරීමේ දී වැදගත් උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙස අප  හඳුනාගෙන තිබෙනවා. අප රට තුල ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කිරීමේ විභවතාවයක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම, රාජ්‍ය පාලනය හා සේවා සැපයීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව ඉටුකිරීමේ දී, අප අත්පත් කරගන්නා මෙම ඩිජිටල් පරිවර්තනය සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඒ හේතුවෙන් ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැඟීමට අවැසි මූල්‍යමය සහය ලබා දීමට මෙන්ම නීතිමය හා ආයතනික පරිසරය සැකසීමට අප කටයුතු කරනවා.

                   

3. මධ්‍ය කාලීන සාර්ව ආර්ථික දිශානතිය

ගරු කථානායකතුමනි,

මේ වන විටත් අප ළඟාකරගෙන ඇති අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ශක්තිමත් කළ රාජ්‍ය පාලනය සහ ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ස්ථාවරව  පවත්වාගෙන යාමට අප කටයුතු කරනවා. අපගේ ආර්ථිකය  ශක්තිමත්, තිරසාර සහ සැමට සමාන ප්‍රතිලාභ හිමිවන වර්ධනයක් කරා විශ්වාසයෙන් යුතුව මෙහෙයවීම අපගේ ඉලක්කයයි. අපි මධ්‍යකාලීනව සියයට 7 ඉක්මවන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් කටයුතු කරනවා.

මෙම ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් පළමු වසර තුළ අප ශක්තිමත් පදනමක් සකස් කොට තිබෙනවා. ඒ අනුව;

  • අපගේ ආර්ථික වර්ධනය 2024 වසරේ පළමු භාගය තුළ පැවති සියයට 6 සිට 2025 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී සියයට 4.8 දක්වා වැඩි වුණා.
  • විරැකියාව 2024 වසරේ පළමු කාර්තුවේ පැවති සියයට 5 ක සිට 2025 වසරේ පළමු කාර්තුවේ දී සියයට 3.8 දක්වා පහත වැටුණා.

2024 වසරේ මුල් මාස නවය හා සසඳන විට, 2025 වසරේ මුල් මාස නවය තුළ:

  • අපගේ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 5 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි වුණා.
  • සේවක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වුණා.
  • සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වුණා.
  • ආදායම් සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි වුණා. මෙය අපගේ ඉලක්කයන් ද ඉක්මවා යාමක්.
  • ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 8 සිට රුපියල් ට්‍රිලියන 1.5 දක්වා තියුණු ලෙස වැඩි වුණා. මෙයත් අපගේ ඉලක්කයන් ද ඉක්මවා යාමක්.

2025 වසරේ සැප්තැම්බර් වන විට ප්‍රාග්ධන වෙළඳපොලේ කාර්යසාධනය 2024 වසරේ සැප්තැම්බර් මස කාර්යසාධනය හා සමඟ සැසදීමේ දී:

  • සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 11,855 සිට ඒකක 21,779 දක්වා ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළා.
  • S&P SL 20 දර්ශකය ඒකක 3,453 සිට ඒකක 6,127 දක්වා ඉහළ ගියා.
  • වෙළෙඳපොළ ප්‍රග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4 සිට රුපියල් ට්‍රිලියන 7.8 දක්වා වර්ධනය වුණා.
  • විදේශීය මිලදී ගැනීම් රුපියල් බිලියන 37 සිට රුපියල් බිලියන 47 දක්වා වැඩි වුණා.

 

ගරු කථානායකතුමනි,

අපි මූල්‍යමය නොසැලකිලිමත්භාවයක් පැවති යුගය අවසන් කර, එය විචක්ෂණශීලී නීතිමය රාමුවක් මඟින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. මෙම නීතිමය රාමුව අනාගත කම්පනවලින් අප ආරක්ෂා කරන අතර සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ බදු විනයානුකූලව, විනිවිදභාවයකින් සහ වගවීමෙන් කළමනාකරණය කරන බවට අප සහතික කරනවා.

අප විධිමත්ව හා කාර්යක්ෂමව රාජ්‍ය ආදායම වර්ධනය කරමින් සිටිනවා. 2026 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක් ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව RAMIS 3.0 සමඟින් නවීකරණය කිරීමට කටයුතු කරනවා. අපගේ ඉලක්කය වන්නේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 දක්වා දිගු කාලීනව වැඩි කිරීමයි. වඩාත් ප්‍රගතිශීලී  සහ සාධාරණ බදු ක්‍රමයක් තහවුරු කරමින්, සෘජු හා වක්‍ර බදු අනුපාතය 25:75 සිට 40:60 අනුපාතය දක්වා ක්‍රමානුකුලව ගෙන ඒම අපගේ අරමුණයි.

අප ප්‍රාථමික වියදම් සියයට 13 ක සීමාව තුළ පවත්වා ගනිමින් වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් සියයට 4 ක පවත්වා ගැනීමට කටයුතු කරනවා.

ගරු කථානායකතුමනි,

අපගේ රාජ්‍ය මූල්‍ය උපාය මාර්ගය වන්නේ අස්ථාවරත්වය වෙනුවට පුරෝකථනය කිරීමේ හැකියාවෙන් ද, වරප්‍රසාද වෙනුවට සාධාරණත්වයෙන් ද, කෙටිකාලීන වාසි වෙනුවට දිගුකාලීන සමෘද්ධියෙන් ද ප්‍රතිෂ්ඨාපනය කරන මාවතකි. සැමට ස්වෛරී, සමෘද්ධිමත් සහ යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ පදනම එයයි.

මම දැන් මෙම ගරු පාර්ලිමේන්තුවට 2026 වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරනවා.

 

4. පෞද්ගලික අංශය සහ ආයෝජන මඟින් බලගැන්වෙන ආර්ථික වර්ධනය
4.1 ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම

ගරු කථානායකතුමනි,

ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වා ගෙන එන ලද අවිධිමත් හා පක්ෂපාති සංස්කෘතිය මේ වන විට වෙනස් කර තිබෙනවා. ඒ අනුව අප විසින් ජාවාරම්කාරීත්වය වෙනුවට විශ්වසනීයත්වයත්, අභිමතය වෙනුවට පුරෝකථනය කිරීමේ හැකියාවත්, වරප්‍රසාද වෙනුවට හවුල්කාරිත්වයත් ආදේශ වන නව පරිසරයක් ගොඩනඟමින් සිටිනවා. මෙවැනි පරිසරයක්  ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වනවා. අපේ ජාතිය  නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ශක්තිය සපයනු ලබනවා.

  • විදේශීය සහ දේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් රීති මත පදනම් වූ දිරිගැන්වීමේ පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට සහ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම සංශෝධන මඟින් සෘජු විදේශ ආයෝජන (FDI) සඳහා වූ ක්‍රියාවලින් විධිමත් කිරීම, දිරිගැන්වීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ විදේශීය ආයෝජකයින් අපේක්ෂා කරන අනුකූලතාව ලබා දීම සිදු කරනවා. මෙම සංශෝධන මඟින් සෘජු විදේශ ආයෝජන මෙරටට ගලා ඒම සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අප විශ්වාස කරනවා.

 

  • ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් වෙනවා. රජය සමඟ ශක්තිමත් හවුල්කාරීත්වයන් හරහා මෙම යටිතල පහසුකම් ලබා දීමේ දී පෞද්ගලික අංශයට වැදගත් කාර්යභාරයක් කළ හැකි වෙනවා. විනිවිදභාවයෙන් යුතු නීතිමය රාමුවක් සපයන “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත” පිළිඳව පනත් කෙටුම්පත සැප්තැම්බර් මාසයේ මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, 2026 වසරේ මුල් භාගයේ දී එය අනුමැතිය සඳහා මෙම සභාවට ඉදිරිපත්  කරනවා.

 

  • ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම හා ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නව “ආයෝජන ආරක්ෂන පනත” 2026 වසරේ මුල් භාගයේ දී සම්මත කරනු ලබනවා

 

  • දැනටමත් ක්‍රියාත්මක වන ආයෝජන කලාප ආශ්‍රිත සේවා කලාප ලෙස සහායක කලාප සංවර්ධනය කිරීම තුළින්, ප්‍රධාන ආයෝජන කලාපවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, ආර්ථික ප්‍රතිලාභ පළාත් මට්ටමින් පුළුල් කිරීමටත් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අගය දාමයන්ට ඒකාබද්ධ කිරීමටත් හැකියාව තිබෙනවා. මෙමඟින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම, ශ්‍රම සංචලනය වැඩිදියුණු කිරීම සහ කාර්මීකරණයේ ආර්ථික ප්‍රතිලාභ පළාත් මට්ටමින් ව්‍යාප්ත කිරීම අපේක්ෂා කරනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර එයට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

 

  • තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ආයෝජන වර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ආයෝජන හිතකාමී පරිසරය මෙතෙක් ප්‍රායෝගිකව සවිමත් කර නොමැති බැවින්, එම ක්ෂේත්‍රය වෙත ආයෝජකයින් ආකර්ෂණය අභියෝගාත්මක වී තිබෙනවා. පසුගිය රජයන් විසින් විශාල පිරිවැයක් දරා ආරම්භ කර, වසර ගණනාවක් අත්හැර දමා ඇති තාක්ෂණික උද්‍යාන දෙකක් කුරුණෑගල සහ ගාල්ලේ පවතිනවා. මෙය ඉදි කළ කොන්ත්‍රාත්කරුවන්ට මහජන බැංකුවෙන් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය ලබාගෙන ගෙවීම් සිදු කර ඇති නමුත් වසර ගණනාවකින් බැංකු වෙත නොගෙවූ මෙම හිඟ ණය මුදල පියවා දැමීමට රුපියල් මිලියන 1,500 ක් මෙම වසරේදිම ගෙවා නිම කර, එම ව්‍යාපෘති පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා. තවත් උද්‍යාන දෙකක් දිගන සහ නුවරඑළිය යන නගර කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

 

  • ප්‍රමුඛතා අංශවල හෝ සුදුසුකම් ලබන ව්‍යාපෘතිවල නිශ්චිත අවම ආයෝජන සීමාවක් සපුරාලන විදේශීය ආයෝජකයින් සඳහා නේවාසික වීසා ක්‍රමයක් හඳුන්වා දෙනවා.

 

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ "තනි කවුළු" (Single Window) යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරනවා. මෙම යාන්ත්‍රණය මඟින් ආයෝජන ක්‍රියාවලිය කාර්යක්ෂමව, විනිවිද පෙනෙන ලෙස සහ වේගවත් ලෙස සිදුකළ හැකි වන අතර, ආයෝජකයින්ට ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය සහ පහසුව ලබා දෙනවා. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 100 ක් වෙන්කර තිබෙනවා.

 

  • ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැස්ම සකස් කිරීම විධිමත් කිරීම සහ ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා ඉඩම් විෂයට අයත් ආයෝජන මණ්ඩලය වැනි ආයතනවල පහසුකම් වැඩි දියුණු කිරීම සහ එම ආයතන ඒකාබද්ධ කරමින් ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. එසේම, ආයෝජකයින්ට ඉඩම් ලබාදීම සම්බන්ධ නව නීතිමය රාමුවක් හඳුන්වාදීමටත්, ආයෝජනයේ ස්වභාවය අනුව ඉඩමේ තක්සේරුව තීරණය කිරීමටත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.

 

ගරු කථානායකතුමනි,

 

  • අපගේ පෙර අයවැයේ දී යෝජනා කළ, රජය සතු වාණිජ ව්‍යවසායයන් තුළ වගවීම, විනිවිදභාවය, පාලනය සහ ලාභදායිත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වාණිජ ව්‍යාපාරවල කොටස් හිමි රජයේ සමාගමක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත 2026 වසරේ පළමු කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

  • අපනයන වැඩි කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන්ගේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය ඇතිව දැනටමත් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරමින් පවතිනවා. එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250 ක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික අපනයන සන්නාම ප්‍රවර්ධන සැලැස්ම වැඩසටහන යටතේ වෙන් කිරීමට යෝජනා කරනවා.

 

  • අප විවිධ රටවල් හා කලාප සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීමට සාකච්ඡා ආරම්භ කරනවා. ඒ සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ හැකියාව සහිත කමිටුවක් පත්කොට ඇති අතර එම කමිටුව විසින් පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම හා අලුතින් එකතු විය යුතු වෙළඳ ගිවිසුම් පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා.

 

  • ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා ව්‍යාප්ත කිරීම සඳහා අපනයන නැඹුරු ව්‍යවසායයන්, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ නැගී එන සේවා අංශ වෙනුවෙන් වෙළඳ ප්‍රදර්ශනවල සහභාගී වීම, නිෂ්පාදන සහතික කිරීම, ඩිජිටල් අලෙවිකරණය, සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන්ට අනුවර්තනය වීම වැනි වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපනයන සංවර්ධන මණ්ඩලයට වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

 

  • අන්තර් ජාතික වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය වර්ධනය කිරීම සඳහා වෙළඳ පහසුකම් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. එහි දී, ජාතික තනි වෙළඳ කවුළුව (Trade National Single Window) ඇතුළු පහසුකම් සංවර්ධනය, නීතිරීති යාවත්කාලීන කිරීම, නියාමන ක්‍රියාවලීන් සම්මතගත කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම සහ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළවල් සමඟ කාර්යක්ෂමව සම්බන්ධ වීමට හැකියාව ලබාදීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වෙනවා. ඒ සඳහා ජාතික තනි වෙළඳ කවුළුව පහසුකම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.

 

4.2 ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීම සඳහා වූ ඒකාබද්ධ රාමුව
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල සම්බන්ධීකරණය කාර්යක්ෂම කිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසායය සංවර්ධන අධිකාරිය (NEDA), සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධන අංශයේ (SMED) කාර්යයන් ඒකාබද්ධ කර කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යටතට පත් කිරීමට යෝජනා කරනවා. කර්මාන්ත කලාප පිහිටුවීම සහ සංවර්ධනය මනා ලෙස කළමනාකරණය කිරීමට 2026 ‍වසර සඳහා දැනට වෙන් කර ඇති රුපියල් මිලියන 4,000 ක අයවැය ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.

 

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට වඩා දායක වන අතර, සේවා නියුක්තිය මුළු ශ්‍රම බලකායෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. එම ව්‍යවසායයන්ගේ මූල්‍ය ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් දේශීය බැංකු හරහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය ප්‍රදානය කරමින්, රජයේ සහාය සහිත ණය යෝජනා ක්‍රම කිහිපයක් දැනටමත් හඳුන්වා දී තිබෙනවා.

 

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය ලබා දීමේ දී ඇතිවන අවදානම අවම කිරීම සඳහා ස්ථාපිත කරන ලද ජාතික ණය සුරැකුම් ආයතනය මඟින් ඇප රහිතව ව්‍යවසායකයින්ට ණය ලබා දීමට දුන් පොරොන්දුව අප විසින් ඉටු කර තිබෙනවා. ඒ අනුව, 2025 වසරේ දී මේ වන විට රුපියල් මිලියන 4,027 ඉක්මවා ඇප රහිතව ණය ලබා දී තිබෙනවා. 2026 වසරේ දී රුපියල් මිලියන 7,000 ක පමණ ණය සඳහා සුරැකුම් ලබා දීමට මේ අනුව අප විසින් සැලසුම් කර තිබෙනවා. මෙම ආයතනය ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර ලබා දී තිබෙනවා.

Ø  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා හා ආයෝජන සඳහා සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරයකට රුපියල් මිලියන 25 ක් දක්වා ද, ආර්ථික අපහසුතාවලට මුහුණ පා ඇති ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 15 ක් දක්වා ද සහන පොලී අනුපාත යටතේ ණය ලබා දීමට රුපියල් මිලියන 25,000 ක් වෙන් කර තිබෙනවා.

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සඳහා රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 5,900 ක් වෙන්කර තිබෙනවා.

 

  • කෘෂිකර්ම අගය දාමයන් සංවර්ධනය කිරීම
    • නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හරහා සියයට 5ක පොලී සහනාධාරයක් යටතේ රුපියල් මිලියන 3 දක්වා කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1,700 ක්  වෙන් කර තිබෙනවා.
    • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා අළුත් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7,700 ක් වෙන් කර ඇති අතර ඒ තුළින් සහන පොලියට රුපියල් මිලියන 50 දක්වා නව ණය ලබා දෙනවා.

 

  • කෘෂිකර්ම අගය දාමයන් සංවර්ධනය කිරීම සඳහා සහන පොලී වැඩසටහනක් යටතේ රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට රුපියල් මිලියන 6,200 ක් වෙන් කර තිබෙනවා. ඔඩපන ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් මිලියන 50 ක් දක්වා සහන පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා ගත හැකියි. මේ සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කර තිබෙනවා.

 

  • කෘෂි ව්‍යාපෘතිවලට ප්‍රවේශය ඉහළ නැංවීම අරමුණු කරගත් තිරසර ගොවි ණය අරමුදලක් පිහිටු වීමට රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ගරු කථානායකතුමනි,

  • මීට අමතරව, තරුණ ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම, ක්ෂුද්‍ර මූල්‍ය ණය, කාන්තා ව්‍යවසායයකත්වය සවිබල ගැන්වීමේ ණය ක්‍රමද ඇතුළත්ව සියලු සහන ණය යෝජනාවන් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. ඒ අනුව, ප්‍රතිමූල්‍ය ණය, ප්‍රදාන, ඔඩපන ණය, ඇප රහිත ණය, සහ පොලී සහනාධාර වැනි ණය යෝජනා ක්‍රම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 80,000 ක ණය ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

Ø  නව ආයෝජන පුළුල් කිරීම හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නව ආයෝජන දිරිමත් කිරීමේ අරමුණෙන් දැනට පවතින වැඩි කළ ප්‍රාග්ධන දීමනා සඳහා සුදුසුකම් ලබන ආයෝජන සීමාව, ඇමෙරිකානු ඩොලර් මිලියන 3 සිට ඇමෙරිකානු ඩොලර් 250,000 දක්වා පහළ දැමීමට යෝජනා කරනවා.

5. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය

ගරු කථානායකතුමනි,

2030 වසර වන විට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් දක්වාත් සංචාරක පැමිණීම් මිලියන 4 ක් දක්වාත් වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් සංචාරක අංශයේ වේගවත් වර්ධනයක් අපේක්ෂා කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට ඇති ප්‍රධානම අභියෝගය වන විවිධ පාර්ශවකරුවන් අතර වන සම්බන්ධීකරණ ගැටළු ජය ගැනීමට ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සංචාරක අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන තියෙනවා. ආයතන ශක්තිමත් කිරීමට අමතරව, බලාපොරොත්තුවන සංචාරක කර්මාන්තයේ විවිධ අංශවල ඉලක්ක සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ ඒකාබද්ධ අලෙවිකරණ, ප්‍රචාරණ ව්‍යාපාරයක් පැවැත්වීමට අඛණ්ඩව ආයෝජන සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

  • සොබාදහම කේන්ද්‍ර කරගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම කටයුතුවලට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 3,500 ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ බස්නාහිර පලාතේ වෙරළ හා මුහුද ආශ්‍රිත හැමිල්ටන් ඇල, මීගමු කළපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරයන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

 

  • තවද, ඌව පළාත තුල දැනටමත් විශාල වශයෙන් දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණයක් සහිත හපුතලේ, බෙරගල හා ඉදල්ගස්හින්න යන ප්‍රදේශවල පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීම මඟින් හපුතලේ ප්‍රදේශය ලංකාවේ තවත් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

  • රජය සතු ඌන උපයෝජිත සංචාරක බංගලා, නිවාඩු නිකේතන 900 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණය සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් අවශ්‍යතාවන් සැපරීම සඳහා පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ආදායම් උත්පාදන ඒකක බවට එම ස්ථාන පත්කරනවා.

 

  • 2030 වසර වන විට සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ විවිධ කාණ්ඩ හරහා නිපුණතා සහිත පුද්ගලයින් 800,000 කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පවතින භෞතික හා මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට (SLITHM) පමණක් මෙම ඉල්ලුම සපුරාලිය නොහැක. මෙම ජාතික මට්ටමේ ශ්‍රම බලකා පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් දිවයින පුරා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන හරහා කෙටි කාලීන වෘත්තීය පුහුණු වැඩසටහනක් වන ආගන්තුක සත්කාර බහුකාර්ය වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.

 

  • බේරේ වැව සංවර්ධනය කොට එය කොළඹ නගර මධ්‍යයේ පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමටත්, සංචාරක ක්‍රියාකාරම් ඇතුළු සමාජයීය, ආර්ථික සහ පාරිසරික යන සියලු අංගයන්හි ඵලදායී භාවිතය ඉහළ නැංවීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලෙන් රුපියල් මිලියන 2,500 ක් යොදා ගැනීමට යෝජනා කරනවා.

 

  • අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට අත්‍යවශ්‍යයි. මේ සඳහා දැනටමත් ආරම්භ කර ඇති හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළෙහි සංවර්ධන කටයුතු 2026 වසර තුළ දී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. සීගිරිය, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය, හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනු ලබන අතර අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කර ගනු ලබනවා.

 

  • ඉහළ යන ගුවන් ප්‍රවාහන ඉල්ලුම සපුරාලීමට සහ මගී හා භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් (International Transit Hub) ලෙස ස්ථාපිත වීමට අනඟි අවස්ථාවක් උදා වී තිබෙනවා. අපගේ උපායමාර්ගික පිහිටීම, බටහිර සහ නැගෙනහිර කලාප දෙකටම අසමසම ප්‍රවේශයක් සපයනු ලබනවා.

මෙම දැක්ම යතාර්ථයක් කර ගැනීම සඳහා, අප නවීනතම ගුවන් තොටුපළ පහසුකම් සඳහා ආයෝජනය කළ යුතු අතර, ඒ සඳහා ප්‍රමාණවත් ගුවන් යානා සමූහයකින් සමන්විත අපගේම ගුවන් සේවයක් දියුණු කළ යුතුයි. ඒ සඳහා, ලබන වසරේ පළමු කාර්තුව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමට නවතා දමා ඇති ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා. තවද, ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට වැඩකටයුතු කෙරෙමින් පවතිනවා.

6. නවීකරණය හා ඩිජිටල්කරණය

ගරු කථානායකතුමනි,

ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයට සහ ගෝලීය තරඟකාරිත්වයට තීරණාත්මක මාවතකි. සංවර්ධන මාවතේ ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන් මග හැරී ඇති නමුත් මෙම ඩිජිටල්කරණ අවස්ථාව අතපසු නොකළ යුතුය. 2026 වසරේ දී රුපියල් මිලියන 25,500 කට අධික රජයේ ආයෝජනයත් සමඟ, ශ්‍රී ලංකාවට ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සැපයීම, ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නවෝත්පාදන-හිතකාමී පරිසරයන් පෝෂණය කිරීම යන යෝජනාවන් තිරසාර ඩිජිටල් දියුණුව සඳහා ක්‍රියාකාරී මාර්ග සිතියමක් සපයනවා.

රාජ්‍ය ආයතනවලට අදාළ ගෙවීම් කිරීමට GovPay පද්ධතිය ප්‍රචලිත කිරීම, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම, ජනාධිපති අරමුදල, තානාපති කාර්යාලවලින් පුරවැසියන්ට ලබා දෙන ලේඛන සේවා ඩිජිටල්කරණය කිරීම, GovTech ආයතනය පිහිටුවීම වැනි ව්‍යාපෘති මේ වන විටත් අවසන් කර තිබෙනවා. එය අපේ ඩිජිටල් පරිවර්තනයේ විශාල පියවරක්. ඉදිරියේ දී ස්ථාපිත කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ 5G බලපත්‍ර සාර්ථකව ලබා දීම වැනි කාර්යයන් ඩිජිටල් පිවිසුමේ ඉතාමත් ශක්තිමත් පියවරක් වෙනවා. සෑම පුරවැසියෙකුගේම සහභාගිත්වය සහතික කිරීම සඳහා රට පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය පුළුල් කරමින් සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අළුත් ව්‍යවසායකයන්ට සහාය දක්වන සුදුසු වටාපිටාවක් සකස් කරමින් සිටිනවා. කෘත්‍රීම බුද්ධිය, ක්ලවුඩ් (cloud) පරිගණක සහ දත්ත මධ්‍යස්ථාන ඇතුළුව ඊළඟ පරම්පරාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කර තිබෙනවා.

දත්ත ආරක්‍ෂණ අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත සංශෝධන සහිතව සම්මත කර තිබෙනවා. තවද, දැනට සකස් කරමින් පවතින ඩිජිටල් ආර්ථික පනත මඟින් ඩිජිටල් ආර්ථික අධිකාරිය මෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.

ශ්‍රී ලාංකීය ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI), ජාතික දත්ත හුවමාරුව, ලංකා රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජයේ සේවාවන් සැපයීමට තනි පියැසි ඩිජිටල් අතුරුමුහුණතක් (Single Roof Digital Intefece) සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම වැනි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා. 2026 වසර මුල දී ශ්‍රී ලංකාවෙහි ඒකීය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. 2026 වසරේ 3 වන කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා.

මුදල් නෝට්ටු භාවිතයට ඇති නැඹුරුතාවය අඩු කර ඩිජිටල් මාර්ගයන්ගෙන් ගනුදෙනු කරන සමාජයක් කරා පරිවර්තනය කරවීම ආරම්භ කර තිබෙනවා. මෙම පරිවර්තනයේ අරමුණ වන්නේ ගනුදෙනු පහසුකරවීම, ඒ සඳහා යන වියදම අඩු කිරීම, මුදල් අවභාවිතයන් අවම කිරීම හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමයි. 2025 වසරේ පළමු කාර්තුව තුළ රජයේ ගෙවීම්වල දී Lankapay මාර්ගගත ක්‍රමවේදය හරහා පමණක් රුපියල් බිලියන 2,000 කට වැඩි ගනුදෙනු සිදුව තිබෙනවා. මුදල් නෝට්ටු රහිත සමාජයක් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා, සියලුම රජයේ ගනුදෙනු සඳහා මාර්ගගත ගෙවීම් මාදිලිය හරහා පහසුකම් ලබා දීමට යෝජනා කරනවා. ආරම්භයක් ලෙස මේ සඳහා දිරිගැන්වීමක් ලබා දීමට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කිරීමේ දී සේවා ගාස්තු අය නොකිරීමට යෝජනා කරනවා. මෙම ගනුදෙනු පිරිවැය ආවරණය කිරීම්, පද්ධති වැඩිදියුණු කිරීම් සහ මහජන දැනුවත් කිරීම් සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. තවද, අවශ්‍ය පහසුකම් සැලසීමට හා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.

මේ අනුව, 2026 වසරේ ජනවාරි මස 1 වන දින සිට, රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලුම සේවා ගාස්තු ඉවත් කිරීමට අවසර ලබා දෙනවා. තවද, QR කේත ක්‍රමයට අනුව ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා, රුපියල් 5,000 ට අඩු වටිනාකමක් ඇති QR කේත ගෙවීම් කිසිම පිරිවැයකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හරහා ලබා දෙන්නට යෝජනා කරනවා.

ශ්‍රී ලංකාවට දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා කළාප මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වීමට ඉහළ විභවතාවයක් තියෙනවා. දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දී අප විසින් ගත යුතු තීරණාත්මක පියවර රැසක් තිබෙනවා. ඒ අතර, දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, පෞද්ගලිකත්වය, හා ඩිජිටල් පාලන නීති පද්ධති සවිබල ගන්වමින් ආයෝජක විශ්වාසය තහවුරු කිරීම අවශ්‍ය වෙනවා. එය දැනටමත් අප විසින් සිදුකරමින් පවතිනවා. මෙම ආයෝජනයන් දිරි ගැන්වීම සඳහා මූල්‍ය සහන, හරිත බලශක්ති භාවිත සහන, ආරම්භක අදියරේ දී අඩු පිරිවැයට විදුලිය, අවශ්‍ය ඉඩම් සහනදායී ලෙස ලබා දීම හරහා විදේශීය සහ දේශීය ආයෝජකයන්ට මෙම ක්ෂේත්‍රයේ ආකර්ෂණීය වාතාවරණයක් සකස් කළ යුතු වෙනවා. මේ සඳහා ආරම්භයක් ලෙස 2026 වසර සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘත්‍රීම බුද්ධිය ප්‍රමුඛ, නවෝත්පාදනයන්හි කලාපීය ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ උපායමාර්ගික ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මධ්‍ය කාලීන අරමුදල් රජය විසින් සපයනවා. නවෝත්පාදනයන් වර්ධනය කිරීම, තෝරාගත් කෘත්‍රීම බුද්ධි ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම, විදේශීය පුහුණු ශිෂ්‍යත්ව සහ දේශීය භාෂා දත්ත කට්ටල සංවර්ධනය කිරීම, විශ්ව විද්‍යාල සහ පාසල් ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන අරමුණු වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය සහ ක්ලවුඩ් පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කර තිබෙනවා.

සියලු පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම පිණිස, අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රවේශයන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්, අස්වැසුමලාභීන් සහ අනෙකුත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට අපේක්ෂා කරනවා. එමඟින්, මාර්ගගත අධ්‍යාපනය සහ ඩිජිටල් ආර්ථිකයට සහභාගී වීම වඩාත් සක්‍රීය කිරීම අරමුණ වෙනවා. මෙමඟින්, සැමට ප්‍රතිලාභ සැලසෙන ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම සහතික කෙරෙනවා.

ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා, සන්නිවේදන කුළුණු වැනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරනු ලබනවා. මෙම ඩිජිටල් තාක්ෂණ ව්‍යාප්ති වැඩසටහන යටතේ ඉදිකරන ලද නව කුළුණු සඳහා අදාළ වන බද්ද වසර 5 ක කාලයක් සඳහා අත්හිටුවීමට යෝජනා කරනවා.

ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා, ඇරඹුම් සඳහා වන වටපිටාවෙහි (Star-ups ecosystem) වර්ධනය වේගවත් කිරීම සඳහා අරමුදලක් 2026 වසරේ දී පිහිටුවනවා. එම අරමුදල පිහිටුවීම සඳහා මූලික රාජ්‍ය අනුග්‍රහය ලෙස රුපියල් මිලියන 1,500 ක් (ඩොලර් මිලියන 5 ක්) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වෙන්කර තිබෙනවා.

අපනයන සහ රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම සඳහා ආයෝජන මණ්ඩලය හරහා “අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක්” ද (Virtual Special Economic Zones) ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.

 

 

 

් ඔහු රජයේ සේවය නව්‍යකරණය කරනා අයුරු ගෙනහැර දක්වන ලද කරුණු ය.

32. රාජ්‍ය සේවය නව්‍යකරණය කිරීම

අප රට ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ලෙස ඉදිරි ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව පිළිගන්නවා. එහෙත් වර්තමානයේ මහජන සේවා සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දරනු ලබනවා. දේශපාලනීකරණය වුනු රාජ්‍ය බඳවා ගැනීම්, සිය කාර්යභාරය ඓතිහාසිකව අවසන් වූ ආයතන, එකම කාර්යයන් වෙනුවෙන් ගොඩ නඟා තිබෙන විවිධ ආයතන එයට ඉවහල් වී තිබෙනවා.  අප රජය විසින් ලබා දිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නිසි ඇගයීමකට ලක් කරමින් කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්යය කරන විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල් පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසංවිධානය කිරීමටත් කටයුතු කරනවා.  එවැනි කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර තියෙනවා. තවද, වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද  හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට සූදානම් කරනවා.

ඉහත රාජ්‍ය ව්‍යසායයන් ජාතික ආර්ථිකයට හෝ සේවා සැපයීමට කිසිදු දායකත්වයක් නොමැති අතර, ඒවායේ මූල්‍ය වාර්තා සොයාගැනීම ඉතා අපහසු සේම නිරවුල් නොකරන ලද වගකීම්, හා වත්කම් හිමිකාරිත්වයේ පවතින නීතිමය ගැටළු නිසා මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුනේ නැහැ. මෙම ගැටළු විසඳමින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය යටතේ ඒකකයක් දැනටමත් පිහිටුවා තිබෙනවා.

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ලබා දී ඇති නිර්දේශ පදනම් කර ගනිමින් ආයතන 21 ක් එකම කාර්යයන් ඒකාබද්ධ වන ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති ආයතන 14 ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත්, දැනට වාණිජ ආකෘතියක කටයුතු නොකරන ආයතන 9 ක් මූල්‍ය ස්වාධීනත්වයෙන් යුත් ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, ආයතන 13 ක් ඒවා එවකට පිහිටුවීමේ අරමුණු වර්තමානයට අවශ්‍ය නොවීම මත ඈවර කිරීමටත් කටයුතු කරනු ලැබේ.

32.1 රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් විධිමත් කිරීම

වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී තිබෙනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ  බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වෙනවා. එසේම, මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම්වලින් පරිබාහිරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදු කිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දෙනවා.

32.2 රජයේ ආයතනවල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීම

සෘජුවම මහජන සේවා ලබා දෙන රාජ්‍ය ආයතනවල සංකීර්ණ ක්‍රියාපටිපාටි සරල කර (Business Process Reengineering) ඩිජිටල් ක්‍රමවේද යටතේ එම පහසුකම් කඩිනමින් සැලසීමට කටයුතු යෙදිය යුතුයි. ඒ සඳහා රජය විසින් දැනටමත් සකස් කර ඇති ඩිජිටල්කරණ වැඩසටහනට (Digital Blue Print) අනුගතවන පරිදි යෙදවුම් සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

32.3 රජයේ ආයතනවලට අවශ්‍ය වාහන/පළාත් පාලන ආයතනවලට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ලබා දීම

රජය සතු දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත්, පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ බොහෝමයක් පැරණි ඒවා වීමත් හේතුවෙන් ඒවා අළුත්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු‌ව තිබෙනවා. මෙම තත්ත්වය රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වෙලා තිබෙනවා. මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල්  මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

32.4 රාජ්‍ය ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත ගෙවිම් නිරවුල් කිරීම

රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සේවකයන් බඳවා ගැනීමේ දී දේශපාලන වාසි තකා ආධාරකරුවන්ට රැකියා දෙන ස්ථාන ලෙස භාවිතා කරමින් නිසි කළමනාකරණයකින් හෝ මූල්‍ය විනයකින් තොරව කටයුතු කිරීම නිසා රාජ්‍ය ආයතන ගණනනාවක් ජනතාවට මහා බරක් වන තැනට පත්වී, බැංකුවලට ණය වී, සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් හා බදු ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට ඇද වැටී තිබෙනවා.

  1. සි/ස ලංකා සීනි (පුද්ගලික) සමාගම
  2. ජනතා වතු සංවර්ධන මණ්ඩලය
  3. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව
  4. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
  5. ලංකා ධීවර සංස්ථාව
  6. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
  7. සි/ස ඇල්කඩුව වැවිලි සමාගම
  8. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
  9. නොර්ත් සී සමාගම
  10. ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය

යන රාජ්‍ය ව්‍යාපාර 10 ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂිත දීමනා යනාදී ව්‍යවස්ථාපිත දීමනා හා හිඟ බදු නිරවුල් කිරීම සඳහා රුපියල් මිලියන 11,000 ක් අවශ්‍ය වෙනවා.

මෙම නොගෙවා ඇති ව්‍යවස්ථාපිත ගෙවීම් අදියරගතව ගෙවීමට යෝජනා කරන අතර 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. එමඟින් මෙම ආයතනවල වර්තමාන සේවකයන්ගේ හිඟ සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් මෙන්ම විශ්‍රාමලත් සේවකයන්ගේ සේවක පාරිතෝෂික හිමිකම් ලබාදීම තහවුරු කිරීමටත් ඒවායේ ශේෂපත්‍ර වගකීම් ප්‍රතිව්‍යූහගත කිරීමට ලක්කිරීමත් අපේක්ෂා කරනවා.

32.5 රජය විසින් රාජ්‍ය ව්‍යවසායයන් වෙනුවෙන් නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකර හා ආරක්ෂණ ලිපි නිදහස් කිරිම

රජය සතු ව්‍යවසායන්ට ණය ලබා ගැනීමට භාණ්ඩාගාර ඇපකර හෝ ආරක්ෂණ ලිපි රාජ්‍ය බැංකු වෙත ලබා දී තිබෙනවා. දිගු කාලීන පාඩු ලැබීම හා මූල්‍ය අර්බුද හේතුවෙන් එම ව්‍යවසායක්ට මෙම ණය ගෙවීමේ නොහැකියාවක් මතුව තිබෙනවා. 2026.12.31 දින දක්වා අක්‍රිය තත්ත්වයට පත්වන මෙම බැඳීම්, හදිසි අවශ්‍යතාවක් සේ සලකා මෙම වසර තුළ දී නිරවුල් කරනවා.

32.6 ‌ ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබා දුන් පොලී සඳහා රජයේ දායක මුදල් ගෙවීම

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්වලට සියයට 15 ක් පමණ අමතර පොලියක් ලබා දී තිබුණ ද 2022 හා 2023 වසරවල ඒ වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතුව තිබූ නමුත් මේ දක්වා නොගෙවූ හිඟ මුදල පියවා දමනවා. ඒ සඳහා රජය විසින් දැරිය යුතු පොලියෙන් (රජයේ දායකත්වයෙන්), නොගෙවා තිබූ රුපියල් මිලියන 10,000 ක් 2025 වසරේ දැනටමත් ගෙවා ඇති අතර ඉතිරි රුපියල් මිලියන 45,700 ක හිඟ මුදල ද මෙම වසරේ දීම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කරනවා.

 

33. රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප්
33.1 වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම

වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයකට කළමනාකරණය කිරීම අපගේ වගකීමයි. වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා, සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ‍ව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරනවා.

33.2 දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව පත්වීම් ලිපියේ කොන්දේසිය සංශෝධනය කිරීම

2016.01.01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල, දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාම ගතහොත් දැනට පවතින විශ්‍රාම ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවේ. විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනු ලබනවා.

33.3 රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ දෙවන අදියර

2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට  සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනවා.

33.4 2020ට පෙර විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමේ දෙවන අදියර

විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අදියරේ දී 2020 ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබනවා. මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000 ක් මුදලක් වෙන් කර තිබෙනවා.

33.5 රාජ්‍ය සේවකයින්ට සහන පොලී යටතේ නිවාස හා දේපල ණය ලබාදීම

රජයේ සේවකයින්ට ලබා දුන් දේපල ණය යෝජනා ක්‍රමය, නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා සියයට 4 ක පොලී සහනයක් ද, රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2 පොලී සහනයක් ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදීමට යෝජනා කරනවා.

33.6 අග්‍රහාර යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ආවරණය පුළුල් කිරීම

දැනට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුළ රාජ්‍ය සේවකයන් හට යම් යම් සහන ලැබුණ ද, සේවක දායකත්වයේ අවමය රුපියල් 125 ක පැවතීම හේතුවෙන් සේවකයින් වෙත ලබා දෙන ප්‍රතිලාභ, ස්ථාවරව පවත්වා ගැනීම තහවුරු කිරීම පිණිස රුපියල් 125 ක දායක මුදල තවත් රුපියල් 75 කින් ද, රුපියල් 300 සහ රුපියල් 600 ක් වන මාසික දායකත්ව මුදල් තවත් රුපියල් 150 කින් ද වැඩි කිරීමටත් යෝජනා කරනවා.

33.7 උත්සව අත්තිකාරම් ඉහළ නැංවීම

රජයේ සේවකයින්ට ලබා දෙන පොලී රහිත රුපියල් 10,000 ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට යෝජනා කරනවා.

33.8 ආපදා ණය අත්තිකාරම්

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව ඔවුන්ට සියයට 4.2 ක පොලී පදනමින් ලබාගත හැකි ආපදා ණය අත්තිකාරම් මුදල රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 400,000 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කළා. එම අත්තිකාරම් මුදල් කෙටි කාලයකින් බාධාවකින් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000 ක් වෙන් කර තිබෙනවා.

33.9 දුෂ්කර සේවයේ නිරත ගුරුවරුන්ගේ  දීමනා හා විදුහල්පති දීමනා වැඩිකිරීම

දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනා වසර 20 කින් වැඩිකිරීමට කටයුතු කර නොමැති බැවින් එම ගුරුවරුන් අභිප්‍රේරණය කිරීම සඳහා එම දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.

අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමේ දී විදුහල්පතිවරුන්ගේ පරිපාලන වගකීම් සහ වගවීම අගය කිරීමක් වශයෙන් විදුහල්පති තනතුරෙහි සේවයේ නිරත විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන විදුහල්පති දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීම හා අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම වැඩි කිරීම  සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.