ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

මාලිමා ආණ්ඩුව මාස පහකට රුපියල් බිලියන 5,156 ක ණය අරන්

මේ සා ණය මුදලකින් කළ කාර්යය කුමක් දැ යි උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි

වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත් මෙම මුදල් වලින් කළ කාර්ය භාරය කුමක්දැයි රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම බවත් පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2025.03.10) පිවිතුර හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

අපේ රට ආර්ථික අර්බූදයක හිර වුණේ ගත්තු ණය ගෙවා ගන්න බැරි වීමෙන් කියන එක කවුරුත් දන්නා කරුණක්.  එහෙම නම් මෙවර අයවැය කතාව ඉදිරිපත් කරන විට මාලිමා ආණ්ඩුව ණය කෙතරම් ගත්තා ද කියන එක ජනාධිපතිතුමා විසින් රටට හෙලි කරාවි කියලා අපි බලාපොරොත්තු වුණා.  නමුත් අවාසනාවට අයවැය කතාවේ එහෙම දෙයක් කිව්වේ නෑ.  ඒ නිසා මාලිමා ආණ්ඩුව මොනවා නැතත් ණය ගැනීම නම් ඉහලින්ම කරලා තිබෙන බව රටට හෙලි කිරීම අපේ යුතුකමක්.

2025 මාර්තු 5 වන දා වන විට ඒ කියන්නේ ආණ්ඩුව පත් වෙලා මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත්තු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156ක්. කෝටි වලින් කිව්වොත් රුපියල් කෝටියේ ඒවා 515,600ක්.  2024 වසරේ ආණ්ඩුව රැස් කරපු ආදායම රුපියල් බිලියන 4,000යි.  ඒත් මාස පහමාරකට ණය විතරක් අරන් තිබෙනවා රුපියල් බිලියන 5,156ක්.

මේ ණය වලින් රුපියල් බිලියන 3,775ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්.  තවත් රුපියල් බිලියන 1,063ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්.  ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,084ක් හෙවත් රුපියල් බිලියන 318ක් ණය අරගෙන තිබෙනවා.

මීට අමතරව ආණ්ඩුව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය අයිරා පහසුකම් ලබාගෙන තිබෙන්න පුළුවන්.  ඒ පිළිබඳ තොරතුරු සොයා ගන්න නෑ.  ඒ වගේම මේ ණය වලින් සැලකිය යුතු කොටසක් මීට කලින් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වලට ගෙවීම් කරන්න යොදා ගන්න ඇති.  ඒවා අපි දන්නේ නෑ.  මේ සල්ලි වලට මොකද කලේ කියන එක රටට කියන එක ආණ්ඩුවේ වගකීමක්.

ඡන්දයක් මැද පොලිසියේ මාරු කිරීම් කරන්නේ ඇයි?

ඊයේ දිනයේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 13කට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වශයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 41කට හදිසියේ මාරුවීම් ලබා දීලා.  අපි මේ ගත කරන්නේ ඡන්ද කාලයක්.  මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන දවසේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දවස දක්වා කාලය තමයි මැතිවරණ කාල වකවානුව කියන්නේ.  ඒ කාලය තුල විශේෂයෙන්ම මැතිවරණ කටයුතු වලට සෘජුවම බලපාන පොලිස් ස්ථානාධිපති සහ ග්‍රාම නිලධාරි වැනි නිලධාරින් කිසිසේත්ම මාරු කරන්නේ නෑ.  මේ මාරු කිරීම් හරහා තමන්ට අවාසිදායක ප්‍රදේශ වල මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කරන්න පුළුවන්.  ඒ නිසා එවැනි මාරු කිරීම් සදාචාර විරෝධියි; නීති විරෝධියි; පක්ෂග්‍රාහියි.

මේ මාරුවීම් කලේ මැතිවරණ කොමිසමේ අනුමැතිය ගෙන නොවේ නම් ඒවා වහාම අවලංගු කළ යුතුයි.  මැතිවරණ කොමිසම අනුමත කළා නම් ඒවාට අනුමැතිය ලබා දීමට හේතුව කොමිසම විසින් රටට හෙලි කළ යුතුයි.

පොලිස්පති දේශබන්දු ද? ප්‍රියන්ත ද?

පොලිසියේ හදිසි මාරු කිරීම් කරනවා නම් මුලින්ම මාරු කළ යුත්තේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පසුගිය සතියේ මාධ්‍ය හමුවක දේශබන්දු මහතා හඳුන්වා සිටියේ හිටපු පොලිස්පති විධියටයි.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොදැන හිටියාට අදටත් පොලිස්පති දේශබන්දු මහතායි.  මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කර අවසන් වන තුරු දේශබන්දු මහතාට පොලිස්පති තනතුරේ රාජකාරි කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළා.  ඒ නිසා පොලිස්පති නිල ඇඳුම ඇන්දාට පොලිස්පතිගේ නිල රිය පැද්දාට පොලිස්පතිට හිමි වැටුප ලැබුවාට පොලිස්පතිට හිමි ආරක්ෂාව ලැබුවාට පොලිස්පති තනතුරේ රාජකාරි කරන්න බෑ.  ඒ නිසා තමයි ඒ වැඩේට විතරක් වැඩ බලන පොලිස්පති කෙනෙකු පත් කරලා තිබෙන්නේ.  තමන්ගේ ප්‍රධානියා කවුද කියලා දන්නේ නැති මාධ්‍ය ප්‍රකාශකවරයෙකු කියන පොලිසිය ගැන අනිත් දේවල් ජනතාව විශ්වාස කරන්නේ කොහොමද?

දේශබන්දු සැඟ වී ඉන්නේ අක්කර එකහාමාරක භූමියක බව හෙලි වේ

පොලිස්පති කවුද කියා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොදන්නා එකට සමාව දෙන්න බෑ.  ඒත් නීති විශාරද අධිකරණ නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මැතිතුමාත් ඒක දන්නේ නෑනෙ.  ඊයේ දිනයේ රැස්වීමක් අමතමින් කිව්වේ හිටපු පොලිස්පති දේශබන්දු කියලා.  ප්‍රියන්ත වීරසූරිය මහතාට වැඩ බලමින් ඉන්න වෙලා තිබෙන්නේ තවමත් දේශබන්දු මහතා පොලිස්පති ධූරයේ ඉන්නා නිසා කියන එකවත් අපේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා දන්නේ නෑනෙ.

සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමා තවත් අපූරු කතාවක් කිව්වා.  දේශබන්දු මහතා හැංගිලා ඉන්නේ වර්ග අඩි 65,000 භූමියක් තුල කියලා.  වර්ග අඩි 65,000ක් කියන්නේ පර්චස් 239ක්.  ඒ කියන්නේ හරියටම අක්කර එකහාමාරක භූමියක්.  එවැනි කුඩා ප්‍රදේශයක නම් හැංගිලා ඉන්නේ පොලිසියෙන් විස්සක් එතැනට යැව්වා නම් පැයක් ඇතුලත ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්නෙ.  මීට කලින් පාතාලයේ ලොකුම නායකයා මතුගම ප්‍රදේශයේ සැගවී ඉන්නවා කියලා අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා.  මෙහෙම බලන විට වරෙන්තුකාරයින් සඟවා ගෙන ඉන්නේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමාය කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.