හෙළදිව කෙටිකතාව
වෙලාව ඇතුව ගෙදරින් පිටවුණත් ඉස්පිරිතාලේ ගාවින් බහිනකොට දොළහටත් කිට්ටුයි. ඒ වෙනකොටත් ගේට්ටුව ගාව ඉඳලා පේමන්ට් එක දිගේ දිග පෝලිමක්. මම පිටිපස්සෙන්ම හිටගත්තා. මගේ පිටිපස්සෙන් හරි ඉක්මනට පෝලිම දික් වුණා. හැමෝගේම බැල්ම යොමුවෙලා තිබුණේ ගේට්ටුව දිහාවට.
ගේට්ටුව ඇරෙයිද, ලෙඩාට කොහොමද, අද ටිකට් කපයිද වගේ දේවල් ඒ බැල්මේ තිබුණා. මට නම් ඊටත් වඩා ප්‍රශ්න තිබුණා. අද හෙට ටිකට් කපන්න බැරි වුණත් දැඩි සත්කාර ඒකකයෙන් තේමියව සාමාන්‍ය වාට්ටුවකට දාන එක සතුටට කාරණාවක් වුණත් කවුරුහරි ළඟ නවත්තන්න වෙනවා.
" එහෙම වුණොත් මොකද කරන්නේ ? "
ඒකත් ප්‍රශ්නයක්.
" පාස් තියෙන අය විතරක් එන්න.
අනිත් අය අයින් වෙන්න."
පෝලිම නොසන්සුන් වුණා. කීප දෙනෙක් මූණ හකුළුවාගෙන පැත්තකට වුණා. පෝලිම ඉස්සරහට ඇදුණා. හෝදපු රෙදි මල්ලයි, බැඳගෙන ආපු බත් මුලයි අනෙත් අතට අරගෙන හෑන්ඩ් බෑග් එකේ තිබුණු පාස් එක අතට ගත්තා.
ගේට්ටුව ළඟ ඉඳලා දැඩි සත්කාරයට යන්නම විනාඩි දහයක් විතර ගියා. එතනින් තමයි දැනගත්තේ තේමියව සාමාන්‍ය වාට්ටුවකට දාලයි කියලා. වාට්ටුවේ අංකය අහගෙන වාට්ටුව හොයාගන්න කොට තව විනාඩි දහයක් විතර ගතවෙලා.
තේමියට නින්ද ගිහිල්ලා. ඇහැරවන්න බය හිතුණා. තේමිය හොඳටම ඇදිලා පැදිලා ගිහිල්ලා. ඔළුවේ වම් පැත්ත බූගාලා නිසා මූණේ තියෙන්නේ හරිම අසරණ පෙනුමක්.
" කතාකරන්න "
එතනින් ගියපු මිසී කෙනෙක් කිව්වා.
" තේමිය "
දෙතුන් පාරක් කතාකරන කොට තේමියට ඇහැරුණා. එයා ඇස් ඇරලා බලලා මාව අඳුනගන්න බැරුව වගේ ආයෙමත් ඇස් දෙක වහගත්තා.
" තේමිය "
ආයෙමත් හෙමින් ඇස් ඇරියා. මගේ ඇස්වල කඳුළු පිරුණා. ඉක්මනින්ම පිටි අල්ලෙන් ඒ කඳුළු පිහදාගත්තේ තේමිය දකී කියලයි.
" නිලූ "
තේමිය හෙමින් කිව්වා. හීනියට හිනාවකුත් මූණේ ඇඳුණා. පහුගිය දවස්වල බට ගහලා තිබුණු තැන්වල රතු පාට නිල් පාට ලප මතුවෙලා. ඉදිමිලා. හීනෙකින්වත් නොහිතපු දෙයක්නේ දෙයියනේ සිද්ධ වුණේ.
අපේ ජීවිත උඩි යටිකුරු වුණා.
" බත් ටිකක් කවන්න
හැබැයි කටවල් පහකට වැඩිය කවන්න එපා.
අපි උදේ කැඳ දුන්නා.
ප්‍රශ්නයක් වුණේ නැහැ.
හිරවෙන ගතියක් ආවොත් කතා කරන්න. "
ඇඳ ළඟට ආව චූටි මිසී කෙනෙක් කිව්වා. මිසීම උදව් වෙලා තේමියව ඇඳ විට්ටමට හේත්තු කළා. උදේම හදාගෙන ආව නිසා බත් එක හීතල වෙලා. තේමිය දැඩි සත්කාරයේ ඉන්න දවස්වලත් හැමදාම මම බත් බැඳගෙන ආවා. තේමියට කෑම දුන්නේ බට වලින්. ඒ නිසා යන ගමන් ඒ කෑම එක කෑම නැති කාට හරි දීලා ගියා. තේමියට ඉක්මනට සනීප වෙන්න කියලා හිතාගෙන.
මම අනලා කවන පුංචි බත් ගුළි තේමිය වෙලාව අරගෙන හැපුවා. හරියට මුලින්ම කන්න ඉගෙනගන්න පුංචි දරුවෙක් වගේ. මගේ ඇස්වලට කඳුළු පිරුණා. ඒ පාර නම් තේමිය ඒ කඳුළු දැක්කා.
" අඬන්න එපා නිලූ
දැන් මට සනීපයි "
තේමිය කිව්වා.
" කෝ දුව "
හදිසියේ මතක්වුණා වගේ තේමිය ඇහුවා.
" ඉස්කෝලේ ගියා.
පහුගිය ටිකේම යවාගන්න බැරි වුණානේ.
ඔයාට සිහිය නැති දවසක එන්නම ඕනෙයි කියලා මාත් එක්ක ආවා.
තාත්තට කතා කරන්න බැරි වුණා කියලා යනකම්ම ඇඬුවා. "
" කෙල්ල පව්.
''ඔයත් පවු"
තේමිය කිව්වා.
මම කිව්වේ ඕනෑ නැති කතාවක්ද කියලා පස්සේ මට හිතුණා.
හදිස්සියෙම තේමියට කලන්තයක් අල්ලලා තිබුණේ වැඩපොළෙ දිමයි. එතනින් ඉස්පිරිතාලෙට ඇතුළු කරලා. පරීක්ෂණ ගණනාවකට පස්සෙයි මොළේ ගෙඩියක් බව දැනගත්තේ. අපේ අම්මලාටවත් තේමියගේ අම්මලාටවත් අපිට උදව් කරන්න තරම් ශක්තියක් නැහැ. ඔපරේෂන් එකේ ඉඳලා හැම දෙයක්ම ඉස්පිරිතාලෙන් නොමිලේ කෙරුණත් යන එන වියදම් වුණත් දරාගන්න වුණේ අමාරුවෙන්. අපි ආශ්‍රය කරන්නෙත් අපි වගේ ම අය නිසා හදිස්සියකට අතමාරුවක් කරගන්නවත් කෙනෙක් අපිට නැහැ. වැඩපළේ කට්ටිය එකතුකරලා දුන්න මුදලින් තමයි මේ ටිකේ ආවේ ගියේ. ඊට අමතරව තේමියට ඕනෑ කරන බඩු මුට්ටු කීපෙකුත් ගන්න සිද්ධ වුණා. අද ආවේ ගේ හරියේ තියෙන අන්තිම සතෙත් අතගාගෙනයි. හෙට එන පිළිවෙළ ගෙදර ගිහින් හිතන්න ඕනෑ.
තේමිය ළඟ කවුරුවත් තියන්න ඕනෑ නෑ කියලා කිව්වා. වාට්ටුවෙන්ම ඔක්කොම දේවල් කෙරෙනවා කිව්වා. ලොකු දොස්තර මහත්තයා උදේ ඇවිත් බලලා
" දැන් හොඳයි "
කියපු බවත් තේමිය කිව්වා.
මගේ හිතට දැනුණේ පුදුම සහනයක්. වෙනදා වගේ බර වැඩ කරන්න බැරි වුණත් ටික කලක් යනකන් තේමියට " ලයිට් ජොබ් " දෙන බව වැඩපොළේ මහත්තයෙක් කියලා එවලා තිබුණා.
එහෙම බැරි වුණොත් තේමියව ගෙදර තියලා මම රස්සාවක් හොයා ගන්නවා. ගාමන්ට් එකක රස්සාවක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. දුව හම්බවෙන්න එනකම්ම ගාමන්ට් එකක මහපු නිසා පුරුද්දත් තියෙනවනේ.
" යන්න ඉස්සරවෙලා හම්බවෙලා යන්න "
පොඩි මිසී ළඟටම ඇවිත් කිව්වා.
හරියටම එකයි.
" ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි "
සිකියුරිටි නෝනා කෙනෙක් කියාගෙන ගියා. තේමියගේ මූණ කළුවලාවකින් වැහුණා.
" මම හෙටත් එනවා.
මොනවද ඔයාට උයාගෙන එන්න ඕන."
" ඔයාගෙ ළඟ සල්ලි තියෙනවද ?"
" ඒවා හිතන්න එපා.
මා ගාව සල්ලි තියෙනවා."
තේමියගේ නළල ඉඹලා හෝදන්න තියෙන රෙදි ටිකත් අරගෙනම මිසීලා එන්න කිව්වේ මොකද බලන්න ගියා.
" පොඩි බෙහෙතක් තියනවා පිටින් ගන්න.මෙහෙ ඉවරවෙලා. ටිකක් ගණන් වෙයි. එකක් තිබිලා අද උදේ දුන්නා .
හෙට එනකොට ගෙනාවහම ඇති."
ලොකු මිසී බේත් තුණ්ඩුව අතට දුන්නා.
පාරට බහිනකොටත් ගිනි අව්ව. ඔළුව කැරකෙන්න වගෙයි. කලබලේට උදේට හරියට කෑවෙත් නැහැනේ. ඒක වෙන්න ඇති. ඔසුසලේ පෝලිම. බේත් තුණ්ඩුව බලලා ගාන කිව්වා. ඒ තරම් සල්ලියක් මා ගාව නැහැ. අතමාරුවක් වත් ඉල්ලගන්න කෙනෙකුත් නැහැ. හෙට බේත ගන්න පුළුවන් වුණත් ගෙදර ගියත් සල්ලි හොයා ගන්න කියලා අමුතු ක්‍රමයක් පෑදෙන්නෙත් නැහැ.
" මුද්ද "
එයා දුන්ණු සුදු ගලක් අල්ලපු හීනි පටි මුද්ද.
" අපි බඳිමු " කියපු දවසේ මගේ වම් අතේ වෙදැඟිල්ලේ එයා දාපු මුද්ද. තේමිය බඳින දවසේ වම් අතින් දකුණු අතට මාරුවුණු මුද්ද.
අවුරුදු පහළවක් වෙලත් එකම දවසක්වත් අතින් නොගලවපු මුද්ද.
හීන් සීරුවේ මම මුද්ද ගලවලා අතට ගත්තා. දුවගේ වුවමනව දවසේ මගුල් මුද්ද ගලවලා උකස් කඩයට වික්කත් මේ මුද්ද ගලවන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. මං වගේ අසරණයන් ගැන කම්පාවෙන් වගේ උකස් කඩයක් ඔසුසල ඉස්සරහම තිබුණා.
අවසන් වතාවටත් මුද්ද දිහා බලලා ඒක ගලවලා උකස් කඩේ ගෑනු ළමයා අතට දුන්නා. ඒ ලස්සන ගෑනු ළමයා හිනාවකුත් එක්කම සල්ලි කොළ කීපයක් ගැනලා මගේ අතට දුන්නා. ඒ මුදල බෙහෙත් ගන්න සෑහෙනවා.
ආපහු එන්න බස් එකට නැගලා කවුළුවක් අයිනේ ඉඳගත්තාට පස්සේ මගේ අතේ පාළුව මටම පෙනුණා. මටත් නොදැනිම ඇස් කෙවෙනි රිදවගෙන කඳුළු බිංදු කීපයක් වැටුණා.
" එයා දැනගත්තොත් මම ඒ මුද්ද වික්කයි කියලා."
අපිට වෙන් වෙන්න සිද්ධ වුණේ අපේ වුවමනාවට නෙවෙයි. එයාලගේ පවුලේ වුවමනාවට. නැවත කිසිදාක අපි හමුවුණේ නැති වුණත් අපිට අපිව දැනෙන බව මම දැනගෙන හිටියා.
" මට සමා වෙන්න
මට වෙන කරන්න දෙයක් නැහැ.
එයා ඉන්න හැටි දැක්කම මට වාවන්නේ නැහැ.
ඔයා දන්නේ නැහැ.
එයා පුදුමාකාර මිනිහෙක්.
මේතරම් කාලයක් හදවත මැරුණු ගෑනියෙක් එක්ක ජීවත් වෙච්ච."
මම කවුළුවෙන් එන හුළඟට මිමිණුවා.


