උණුසුම් පුවත්විශේෂාංගසංස්කෘතිකහෙළදිව කෙටිකතා

මුවා දුටු පොසොන් සඳ!

හෙළදිව පොසොන් කෙටිකතාව

                                                                                                                     
සංජීවනී පද්මසේන
ළාවට හමා ගිය මද සුළඟ ඉතා සිසිලැතිය. දම් පාට, සුදු පාට මල් පොකුරු පිරී ගිය ළපලු පිරි මහ වනය ගුප්ත ය. නිහඬ ය. ළා කොළ පැහැති තණ පත් මත කහ පැහැ කුඩා මල් කිණිති ද, ඇඹුල් රසැති කුඩා ගෙඩි පිරුණු ඇඹිලිය පඳුරු ද බොහෝ ය. මිස්සකපව්ව අසළ අඹ ගසේ ඉදුණු අඹවල සුවඳ වනය පුරා පැතිරී යයි.

තණකොළවල මිහිරි රසයට ලොබ බැඳුණු මුවා සතුටින් මිස්සකපව්ව අසළ ළදලු පත් උලා කයි. අහසේ සුදු පැහැති වලාවෝ සිනා සලති. ගැබ්බර බිරිඳ ද අනෙක් මුව රැළ ද මඟහැරී මිස්සකපව්ව අසළ තණ පලස මතට මුවා ඇදී ආවේ අහම්බෙනි. හෙට අනිද්දා බිරිඳ වූ මුවැත්තිය තම කුළුඳුල් දරුවා ප්‍රසූත කරනු ඇත. වගකීම් සහගත තරුණ පියෙකුගේ ආඩම්බරය මුවාට දැනේ.

බියජනක මහ වනයේ ඉතා සුළු ශබ්දයක් වුවද මේ තියුණු කන් යුවලට ඇසේ. ඈතින් කොළ රොඩු පොඩිවෙන හඬකි. මුවාගේ ලොකු ඇස් දෙක බියෙන් තවත් විශාල වේ. කන් කෙළින් වේ. තවත් හෝරා කීපයකින් පොසොන් සඳ ද අහසට නැගෙනු ඇත. මද සුළඟ ද සලිතය. මිස්සකපව්ව වටා තණ පලස මත අඳුරු සෙවණැලි රටා මැවෙයි. කොටියෙකු හෝ වෙනත් මාංශ භක්ෂක විලෝපිකයෙකු නම් නොවේ. ඈතින් දුනු හී මානාගෙන එන්නේ මනුස්සයෙකි.
මේ මුළු තුන් ලොවෙහිම මනුසතා තරම් කෲර සත්ත්වයෙක් තවත් නම් නැත. උනුනගේ ළයෙහි මදක් හෝ අනුකම්පාවක් නම් නැත්තේමය. ඔවුහු විනෝදයට පවා තමා වැනි අහිංසකයින් දඩයම් කරති. අසරණයෙකුගේ ජීවිතය නැති කර ලබන සතුට කුමක් විය හැකිද? මුවාගේ විසල් දෙනෙත් මත කඳුළු පටලයක් නැගේ. හතර ගාතයට කවදාවත් නොදැනෙන ජවයක් දැනේ. හදවත වේගයෙන් ගැහේ. තණ උලා කා හමාරය. දැන් තියෙන්නේ ජීවිතය රැක ගැනීම උදෙසා පළා යාමයි. බිරින්දෑගේ සුන්දර ලොකු ඇස් මුවාගේ දෙනෙත් මත මැවී නොපෙනී යයි. උන්දෑගේ කුසේ පෙරළි කරන තමාගේ ලේ උරුමය මතක් වී ළය පැලී යන ශෝකයක් දැනේ. කෙසේ හෝ දිවි රැක ගනිමි යැයි දැඩි අදිටනක් සිතට එයි. දුනු හී මානාගත් තැනැත්තාගේ හිසේ දිලිසෙන රන් ඔටුන්නකි. දෑත් දෙපාවල රන් ආභරණ කාන්තියෙන් දිස්න දේ.
දෙවියනේ මේ රටේ මහරජතුමා ය. ඔව්. තිස්ස රජතුමාය. විනෝදයට සතුන් දඩයමේ පැමිණ තමාගේ දර්ශනය දැක මහත් සතුටින් තමා ලුහුබැඳ එයි. සතර ගාතයට වෙර රැගෙන මුවා දුවයි. මහා කාය ශක්තියෙන් හෙබි මහරජතුමා ද දුනු හී මානාගෙන පසුපස එළවයි.
මරණ බිය නම් මෙයම ය. සෑම තත්පරයක්ම මහා වනපෙතෙහි දැනෙන්නේ මේ මරණ බියයි. පෙර අකුසලයකට තිරිසන්ගතව ඉපදුණු පවට අනෙකුගේ විනෝදය පතා තමා බිලි විය යුත්තේ ඇයි ද යන්න මුවාට නොතේරේ. විලෝපිකයෙකු නම් තමා මරා කන්නේ කුසගින්නටය. එහෙත් සියලු සැපසම්පත් වලින් අනූන මහරජතුමා තමා පසුපස එළවන්නේ හුදෙක් විනෝදය පතා තමාගේ ජීවිතය විනාශ කිරීමටය.
මිනිසුන් මෙතරම් කුරිරු වන්නේ ඇයිද යැයි මුවා නොදනී. ළදලු පත් කා කුස පුරවාගත්තා පමණි. තමා වේලාසනින් ගොස් රැළට එකතු වූවා නම් මෙවන් අකරතැබ්බයක් නැත. මුවා දුවයි. දැන් දැන් විෂ හී සර තම සිරුර පසා කරගෙන ගොස් තමා මරා දමතැයි සිතමින් බියෙන් ගැහෙමින් දුවයි. මාරාවේෂ වූ රජතුමා ද පසුපස පන්නයි.
තිස්ස, තිස්ස!
ජීවිතයේ කිසිම දිනෙක කිසිම ලෙසක නොඇසූ අතිශයින් මිහිරි කටහඬක් මිස්සකපව්ව මතින් නැගේ. මුවාට පුදුමය. රටේ මහරජතුමාට තිස්ස යැයි අමතන්නේ කවුද? කවුරු වුණත් හැරී බැලිය නොහැක. හී සර පහරින් මිදීමට දිවිය යුතුමය.
තිස්ස, මදක් නවතින්න.
ලෝකය උඩුයටිකුරු වූවා විය යුතුය. තමාට දැනුනු පුදුමයම මහරජතුමාට ද දැනෙන්නට ඇත. රජතුමා නැවතුනු බව නිසල වූ අඩි ශබ්දයෙන් මුවාට වැටහේ.
මෙය නම් අරුම පුදුමයකි. මරබිය එක් පසෙකය. පුදුමය තවත් පසෙකය. දඩිබිඩිගා ගැහෙන පපුවේ ශබ්දයට ඉඩ දී මදක් හැරී බලන්නට මුවාට සිතේ. තව ටිකක් දුර දුවගොස් පඳුරකට මුවා වී බැලිය යුතුය. මුවෙක් වුවද තමාට ද කුතුහලයෙන් මිදීමට නොහැක. මුව  හැල්මේ දුව ගොස් පඳුරකට මුවා වී මිස්සකපව්ව දෙස බලයි.
එය නම් බැලිය යුතුම දර්ශනයකි. මිස්සකපව්ව මත කසාවතින් බැබළෙන සාන්ත මුහුණක් සහිත උත්තමයෙකුගේ රුවකි. එවන් තවත් උතුමන් පිරිසක් ද පව්ව මත සිටියි. රජතුමා දුනු හී පසෙක හෙළා දොහොත් මුදුන් දී වැඳගෙන සිටියි.
සමනාමයං මහාරාජ-ජම්බුද්වීපා ඉධාගථා
ඒ උත්තමයා ශාන්ත හඬින් පවසයි. මුවා ද හදවතින් දොහොත් මුදුන් දී ඒ උතුමාට නමස්කාර කරයි. තම ජීවිතය රැකුණේ මේ උතුමන් නිසාය. දරු පැටියාගේ මුහුණ බලන්නට ජීවත් වීමට හැකිවූයේ ඒ උතුමන් නිසාය.
රජතුමා හා උත්තමයා අතර අඹ ගසක් ගැන කුමක්දෝ සංවාදයක් ඇසේ. උත්තමයා රජතුමාගෙන් ප්‍රශ්න අසයි. රජතුමා පිළිතුරු දේ. ඒ ලක්දිව ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය බව මුවා දැනගන්නේ පසුවය.
කෙසේ වූවත් රජතුමා තමා මරණ පාටක් නම් නැත. මරණ බියෙන් මිදීම යනු කුමන ආශ්චර්යයක් ද! මුවාට ඒ සංහිඳියාව දැනේ. අහෝ! මේ උත්තමයානම් තමාගේ පිනට වැඩි උත්තමයෙකි. මුවා කඳුළු පිස ගනිමින් සිතයි.
සෙමෙන් කැළයට වදින මුවා රැළට එක්වේ. අමාරුවෙන් ඇවිද යන ගැබ්බර මුවැත්තියගේ දෙනෙතෙහි ආදරය උතුරයි. රැළේ කුඩා පැටවුන් වන වදුලේ කරණම් ගසයි. තව නොබෝ දිනකින් තමාගේ පුත්‍රයා ද මේ රැළට එකතු වෙනු ඇත. මුවා සතුටිනි.
කාලය වේගයෙන් ගෙවී යයි. මිනිසුන් දඩයම් කිරීම නවතා දමා ඇති බව මුවා දැනගන්නේ තවත් මිනිසුන් දෙදෙනෙකු කතා කරන දෙබසකිනි. ඔවුන් පන්සල් යන බවක් කියයි. පන්සල් කියා දෙයක් මෙහි පෙර තිබුණේ නැත. දැන් එවැනි ගොඩනැගිලි තැනින් තැන ඉදි වී තිබේ. මිනිසුන් සුදු ඇඳගෙන ඒවාට යයි. මල් පූජා කරයි. කසාවත් ඇඳගත් උත්තමයෝ එහි සිට මිනිසුන්ට ධර්මය දේශනා කරති.
ඒ ධර්මය මෙරටට රැගෙන ආවේ තමාට පෙර දිනක මිස්සකපව්ව මත දී මුණගැසුණු උතුමන් බව මිනිසුන් කතා වේ.
තම ජීවිතය බේරූ උත්තමයා මෙන්ම දැන් බොහෝ දෙනා කසාවත් හැඳගෙන පන්සල්වල සිටිති. මිනිසුන් මල් පූජා කරයි. දානමානාදිය දෙයි. සතුන්ට කරුණාවන්තය. සතුන්ගේ ජීවිතය වනසන්නේ නැත. දැන් මිස්සකපව්ව අවට පෙදෙස අභය භූමියකි. එහි කිසිම සතෙකුගේ ජීවිතය සිඳලීමට මිනිසුන් ඉදිරිපත් නොවේ.
මේ සියල්ල සිදු වූයේ ඉන්දියාවේ සිට ලංකාවට බුද්ධාගමට රැගෙන මිහිඳු හිමියන් වැඩම කළ නිසා බව තවත් මිනිසෙකුට පන්සලක භික්ෂු උත්තමයෙක් කියනු මුවාට ඇසුණේ ඒ අසළ වන ලැහැබේ තණපත් බුදින අතරය. දැන් ඔහු මරබියෙන් තොරව ලඳු කැළෑවල ඇවිදියි. මුව රැළ ද මරණ බියෙන් තොරව පෘෂ්ඨිමත්ව වැඩී සිටියි. බුද්ධධර්මය දේශනා කළේ බුදුරජාණන්වහන්සේ නැමැති උත්තමයෙකු බව පන්සලේ හාමුදුරුවෝ ඒ මිනිසාට කියනු මුවාට පැහැදිලිවම ඇසෙයි. බුදුහාමුදුරුවන් පරපණ නැසීමට එපා යැයි පවසා ඇති බවත් ඒ සමඟම තවත් පාපකර්මයන් හතරකින් ද වැළකී සිටීමට ගිහි මිනිසුන්ට උපදෙස් දී ඇති බවත් ඒ හාමුදුරුවෝ කියයි. ඒවා පංචශීලය යනුවෙන් හඳුන්වන බව ද තමා උපමා කොට අනුන් දණ්ඩනයට යටත් නොකරන්න යැයි දේශනා කර ඇති බව ද හාමුදුරුවෝ මිනිසාට කියනු මුවා සතුටින් අසා සිටියි.
දැන් ලංකාව පෙර තිබූ ලංකාව නම් නොවේ. ගස් ගල් වලට වැඳුම්පිදුම් කළ සිංහලයන් දැන් නැත. වෙහෙර විහාර, බුදු පිළිම, වාරි මාර්ග, උයන්පෙත් වලින් මේ ලංකාව අලංකෘතය. සමාජීය හා සංස්කෘතිකමය වශයෙන් ද, ආගමික වශයෙන් ද මනා දියුණුවක් ලබා ඇත. බොහෝ දෙනා භික්ෂු සාසනයට එක්වෙයි. සතර අතින් පන්සල්වල පිරිත් හඬ ඇසෙයි. මරබිය වෙනුවට සිත්වල ශාන්ත සහන් සුවයක් දැනෙයි.
මිහිඳු හිමියන්ගේ නැගණිය වූ සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරයක් ද රෝපණය කළ බවට තැනින් තැන කියනු මුවාට ඇසේ. ඒ බුදුන් නම් උතුමන්ට බුද්ධත්ත්වය ලැබීමට පිහිට වූ ගසේ අංකුර ශාකාවක් බව මිනිසුන් කතාවේ.
දැන් මුවා වියපත්‍ ය. තම පුතුගේ පුතුද දැකීමට තරම් මුවා වාසනාවන්ත වූයේ මිහිඳු හිමියන් නැමැති උත්තමයා නිසාය. මුවා හදවතින් නිරතුරුවම ඒ උතුමන්ට නමස්කාර කරයි. මිහිඳු හිමියන් මෙසේ පිංබර නම් බුදු හිමි කෙසේ පිංබර විය හැකි දැයි මුවා කල්පනා කරයි.
තම තරුණ පුත්‍රයා දැන් රැළේ නායකයාය. කුඩා සුරතල් මුණුබුරා තණ පළසේ දඟ කරයි. තමා තරම්ම වයසට නොගිය ද මුවැත්තිය ද දැන් වියපත් වී සිටියි.
මුවා නිවීසැනසිල්ලේ තණපලස මත වැතිරේ. ඈතින් පිරිත් හඬ හා ඝාංඨාර හඬ එකට මුසුවේ. සන්සුන් සඳ අහසේ සිට කහ පැහැති සඳ කැරලි මිහිමත අතුරයි. ඈතින් ඉදිවී තිබූ මංපෙත දිගේ මල් නෙළා ගත් උවැසියෝ පන්සල් යති. තරුණ උපාසක මහත්තුරු දන්සැල් යනුවෙන් හඳුන්වන ආගමික කටයුත්තකට සූදානම් වෙති.
සඳ සිනා සලයි. සාධු! සාධු! මුවා සැනසිල්ලේ සඳ එළිය දෙස බලා සිටියි. මුවැත්තිය ද එතනම වැතිර නිසංසලේ මුවාගේ සිරුරට වාරු වෙයි. තරුණ නායක මුවා වටපිට බලයි. නැත. බිය වීමට කිසිම හේතුවක් නැත. මිනිසුන් බුදු දහම වැළඳගෙන සිටියි.

⋆⋆⋆