පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් බොරුව රජ කරවන රටක් නිර්මාණය වෙලා
ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී රට සුබ නැකැතින් අනුරට බාර දුන්නත් අද වන විට පච දේශපාලනය රට පුරා කප් ගහන බවත් සෑම මොහොතකදීම ජනතාව රවටන අන්දවන මංමුලා කරන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා බොරුව රජ කරවන රටක් නිර්මාණය කර ඇති බවත් ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා මුළු සිස්ටම් එකම බොරුවෙන් දුවන සිස්ටම් එකක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දෙවිනුවර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
වරම් දෙකක් ලබා වැඩක් නොකර තුන් වෙනි බලයත් ඉල්ලා සිටින මේ අය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී කියපු දේවල් වුණ පොරොන්දු ඉටු කර නැති බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් අවසානයේ ජනතාවගේ නැගී සිටීම මත මහජන උපයෝගීතා කොමිසම 20%කින් පමණක් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කිරිමට ඇති බවත් තෙල් මිල සම්බන්ධයෙන් ද රජය අනුගමනය කරන්නේ එවැනිම පිළිවෙතක් බවත් තෙල් මිල සූත්‍රය අහෝසි කර තෙල් වල ලාභය ජනතාවට ලබා දෙනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රජය ලෝක වාර්තා තබමින් බොරු ටොම්පච දේශපාලනය ක්‍රියාත්මක කරනවා
රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් රැකියා නොමැතිව සිටින බවත් පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් එය ද නොලැබුණු බවත් මෙවැනිම උදාහරණ රැසක් ඇති බවත් උපාධිධාරීන් අනාථ කළ බොරුකාරයා ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ බවත් මේ අය මනාප අරන් උපාධිධාරීන් අනාථ කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පමණක් හඬ නැගූ බවත් මේ රජය ලෝක වාර්තා තබමින් බොරු ටොම්පච දේශපාලනය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එක පෑන් පාරින්ම නම් කිසිදු ප්‍රශ්නයක් විසදලා නැහැ
බඩු මිල අඩු කරනවා යැයි පැවසුවත් අද වන විට සහල් පොල් කිරිපිටි මිල ද වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දී ගන්න බැරිව ඇති බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය ආහාරවලට ගහන වැට් එක අඩු කරනවා කිව්වත් එයද කඩවුණු පොරොන්දුවක් වී ඇති බවත් එක පෑන් පාරින් ප්‍රශ්න විසඳනවා කිව්වත් කිසිවක් නොවිසඳුණු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ පචයෝ ගැන බුද්ධිමත්ව සිතන්න
ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලට පච කන්ටේනර් පිටින් දිග හරින බවත් පච කන්ටේනර් මෙන්ම පරීක්ෂා නොකළ කන්ටේනර් තුන්සිය ගණනක් මේ රජය නිදහස් කළ බවත් ඒවායේ තිබෙන දේවල් අදටත් අභිරහසක් බවත් එම නිසා ජනතාව මෙවර බුද්ධිමත්ව සිතිය යුතු බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නිසි තීන්දුව ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවියා රජකරවීම කෙසේ වෙතත් රිලා සංගණයට නම් රජය ප්‍රමුඛතා දෙනවා
රටේ දුප්පත්කම වැඩිව ඇති මොහොතක දුප්පත්කම තුරන් කරන්න නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යැයි කිව්වත් එවැනි දෙයක් සිදුව නැති බවත් ගොවිතැන් විනාශ වී ඇති බවත් පොහොර සහනාධාරය මෙන්ම වගා හානි වන්දි පවා නොලැබ ඇති බවත් මොවුන් ගොවියා ශක්තිමත් කිරීමට කිසිදු ප්‍රමුඛතාවක් නොදෙන බවත් මොවුන් රිලා සංගණන කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බොරු කියා පච කියා ටොම් පචයා කියන ලේබලය ආණ්ඩුවට වැදුනම මැතිවරණ නීති උල්ලංඝනය කර මාලිමා පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන වෙන් කරන බවට ජනාධිපතිවරයා පක්ෂග්‍රාහී ප්‍රකාශ සිදු කරන බවත් අනික් පක්ෂවලට බලයක් නොමැතිව වැඩ කළ නොහැකි වුවත් ජනාධිපතිගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතන ජනතා සේවය කරන බවත් එය ආණ්ඩුවට නවත්වන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.