ඩලස්ගෙන් හැර ගිය හයේ කල්ලිය
ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට යොමුවන බවත් කරන්නා වූ සෑම ක්‍රියාදාමයක්ම පොදුජන හිතෛශී පොදුජන කේන්ද්‍රීය පොදුජන සහභාගීත්ව මෙන්ම පොදුජන උන්නතිය තකා රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන්නට කටයුතු කරන බවත් සමාජ සමානාත්මතාව හා සාධාරණත්වය යන ප්‍රතිපත්තිවලට මුල්තැන ලබා දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් තුළ මානුෂීය ධනවාදයත් ජනතාවාදී සමාජවාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මුසුකරගෙන සෑම න්‍යායකම තිබෙන ධනාත්මක ගුණාංග එකතු කර ගත් මැද මාවතක් හරහා ඉදිරි ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයත් නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 6 දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ සන්ධාන පිටුපස වරප්‍රසාද නැහැ
පළාත් 9 දිස්ත්‍රික් 25 ක ප්‍රාදේශීය ලේකම් හා උප ලේකම් බලප්‍රදේශ 341 මෙන්ම ග්‍රාමසේවා වසම් 14022 ක විහිදී ඇති ගම් නගර 53000 ම ජීවත් වන ලක්ෂ 220 කගේ ජන ජීවිතවල වගකීම තමා බාර ගන්නා බවත් එම බාරකාරීත්වය පණටත් වඩා ආරක්ෂා කරන බවත් නුදුරු අනාගතයේ දී වඩාත් ජනතාවාදී ජනහිතකාමී සන්ධාන රැසක් බිහි වන බවත් මෙම සන්ධාන පිටුපස කිසිදු වරදාන වරප්‍රසාදයක් ලබා දීමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
තවද රටේ අවශ්‍යතාවට මුල්තැන ලබා දී අත්මාර්ථකාමීත්වය නොව පරාර්ථකාමීව පොදු ජනතාවට සේවය කිරීමේ උතුම් ජනතා සේවාව උදෙසා පෙළ ගැසෙන බවත් ජාති ආගම් කුල මල ගෝත්‍ර පක්ෂ භේදයකින් තොරව ලක්ෂ 220 ට ම පරමාදර්ශී ක්‍රියාදාමයක් තුළ රට ගොඩනගන ගමනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
අධික බදු බරින්, ජීවන වියදමින් මෙන්ම අල්ලසින් දූෂණයෙන් රටේ ජනතාව තලා පෙළා දමන, රටේ ජනතාවගේ පොදු සතුරා වන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ අරමුණු කර ගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු 6 දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (5) උදේ 9.45ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු විය. එම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් නිදහස් ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය නාලක ගොඩහේවා, උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යනාදීන් අත්සන් තැබීය.
මේ සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්විය.
 
            
