ජගත් ගේ සතියේ සටහන - 104

රජයේ නීතිපති වරයා හා නීතිපති දෙපාර්තමේන්තුව, මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේත්, පාරිලිමේන්තුවේත්, සමාජ මාධ්‍යවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.
නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින්, විදේශගතව සිටින ශ්‍රී ලාංකීක මාධ්‍යවේදීන් හා යූටියුබ් කරුවන් විසින්, දැඩි විවේචන හා විරෝධය පළකොට තිබුණේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඇති, නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අපක්ෂපාතී ව කටයුතු නොකරන බවට චෝදනා කරමිනුයි.
රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ගේ නීතිඥයින් කණ්ඩායමක් නීතිපතිවරයා හමුවී සාකච්ඡා කිරීම, හිටපු ජනාධිපතිවරයා ගේ ලේකම්ව සිටි සමන් ඒකනායක මහතා එම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට තැනීමට කටයුතු නොකිරීම, නීතිපති වරයාට එරෙහිව, මෙම පිරිස් නඟන ප්‍රධාන චෝදනාව යි.
"මම නීතිය අභිබවා ගිය අයකු නොවේ" - නීතිපති පාරින්ද රණසිංහ
පසුගිය බදාදා (21) සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් පිරිසක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතා පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් නීතිපති වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව නිහඬ විරෝධතාවයක් පැවැත්වූවා.
මේ අතර 'ෆ්‍රී ලෝයර්ස්' (FREE LAWYERS) නමින් හදුන්වාගත් නීතිඥවරුන් පිරිසක්, එදා සවස නීතිපති දෙපාර්තමේන්තුවට ගොස්, නීතිපති වරයා මුණ ගැසී ඔහුට සහාය පළ කරන ලිපියක් භාරදි තිබෙනවා.
තමා වරදක් කර ඇත්නම් ඕනෑම අයකුට අධිකරණය හමුවට යාහැකි බව, නීතිපති පාරින්ද රණසිංහ මහතා ඔවුන්ට පැවසුවා.
''මම නීතිය අභිබවා ගිය අයකු නොවන බව නීතිය දන්නා පුද්ගලයින් විධියට ඔබ සැම දන්නවා. මම වරදක් කර තිබේනම් අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඕනෑම අයකුට යාහැකියි. කරුණාකර ඒ තැන්වලට ගිහින්, මගේ තීරණ අභියෝගයට ලක්කරන්න. අධිකරණය හරහා එන තීරණයකට එකඟවන්න මා සූදානම්" යැයි ද නීතිපතිවරයා ඔවුන්ට ප්‍රකාශ කළා.
මේ 'ෆ්‍රී ලෝයර්ස් ' සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන, මෛත්‍රී ගුණරත්න, උපුල් ජයසූරිය, ගුණරත්න වන්නිනායක හා ප්‍රේමනාත් සී. දොළවත්ත මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක්, මේ අවස්ථාවට සහභාගි වී සිටියා.
සජිත් ප්‍රේමදාස, ජී. එල්. පීරිස් ඇතුළු විපක්ෂයේ අය පවසන්නේ නීතිපතිවරයා පන්නා දැමීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවයි. නීතිපතිවරයාට විරුද්ධව චෝදනා නඟන්නේ ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍යමඟින් බවට ද ඔවුන් චෝදනා නඟනවා.
එහෙත් නීතිපතිවරයාට විරුද්ධව එල්ල කරන මේ චෝදනා ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් කිසිවක් පවසා නැහැ.
එහෙත් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් පදු ඉකුත් 22 වනදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, වර්තමාන නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් හෝ ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් නොපැවති බව ප්‍රකාශ කළා.
''වර්තමාන නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරනවා ද යන්න මාධ්‍යයෙන් මගෙන් විමසීම් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍යවල කුමනාකාරයේ වාර්තා පළ වූවත්, නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන්, කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුකර නැහැ"
''නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමහර සමාජ මාධ්‍යවල අදහස් පළ වෙනවා. ඔහු ඉවත් කළ යුතු බවට තවත් සමහර මාධ්‍ය වාර්තා පළ කරනවා. නීතිපතිවරයා පමණක් නෙවෙයි අධිකරණ අමාත්‍යවරයාත්, ගෙදර යවන්න කියලා සමහර සමාජ මාධ්‍ය වාර්තා පල කර තිබුණා. මට කියන්න තියෙන්නේ අධිකරණ ඇමති ගැන හෝ, කවරකු ගැන හෝ පැමිණිලි තියෙනවා නම්, මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන බැවින් පැමිණිලි කරන්න පුළුවන්"
නීතිපතිවරයා ඉවත් කිරීම හෝ දෝෂාභියෝගයක් පිළිබඳව හෝ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවූ බව, මා අවධාරණයෙන් පවසනවා" යැයි ද අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළා.
වර්තමාන නීතිපති පාරින්ද රණසිංහ මහතා එම තනතුරට පත්කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. එනිසා ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව යට ගහන බවයි සමහර සමාජ මාධ්‍ය ජාල චෝදනා කරන්නේ.
ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් සිටින බැවින්, අවශ්‍ය නම් ඕනෑම මොහොතක දෝෂාභියෝග යෝජනාවක් නීතිපතිවරයාට එරෙහිව ගෙනැවිත් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත හැකියි.
එහෙත් නීතිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ හැකි එකම චෝදනාව වන්නේ, නඩු ප්‍රමාද කිරීම යි. එය කාලාන්තරයක් තිස්සේ සිට සිදුවන දෙයක් බැවින් නීතිපතිවරයාට එරෙහිව එය චෝදනාවක් ලෙස ගත නොහැකි බව නීතිවේදීන් පවසනවා.
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර සිටම ප්‍රකාශ කළේ දූෂණ නැති කිරීම හා හොරුන් ඇල්ලීම කඩිනමින් සිදුකරන බවයි. එහෙත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණවලින්, චෝදනාවන්ට ලක්වී ඇති පුද්ගලයින්, අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන්, අනුමැතිය ඉල්ලා ඇති අවස්ථා රැසක් තිබෙනවා. ඒවාට නීතිපති අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් පවතිනවා.
මේ සුමානේ දේශපාලන පවුලක ප්‍රධාන කාන්තාවක්, අත්අඩංගුවට?
මේ ගැන අප කළ විමසුමක දී නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ, ඇමතිවරයකු, උසස් නිලධාරියකු වැනි අයකු අත්අඩංගුවට ගැනීමට ඉල්ලා සිටි පමණින්, ඒ සඳහා අනුමැතිය දීමට, අපහසුවී තිබෙන්නේ එම නඩු ගොනුවල ඇති, චෝදනා ඔප්පු කළ හැකි ඒවා ද, ඒවාට අදාළ සාක්ෂි තිබේද ආදී කරුණු රැසක් පරීක්ෂා කිරීමට, සිදුවී ඇති නිසා බව යි.
එසේ වුවද ඉකුත් සතියේ සිට හිටපු ඇමතිවරුන්, සංස්ථා ප්‍රධානීන්, හිටපු ලේකම්වරුන්ඇතුළු ගණනාවක් ම, අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ සතියේ දේශපාලන පවුලක ප්‍රධාන කාන්තාවක්, අත්අඩංගුවට ගැනීමට, යන බවට ද රාවයක් පවතිනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
සාකච්ඡාව ඉතා සාර්ථකයි, ජයග්‍රාහී අවසානයක්! - සජිත් කියයි

දිනෙන් දින කල් යමින් තිබු සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට 75% කින් පමණ සාර්ථක වී ඇතැ යි සමගි ජන බලවේගය පවසනවා.
මේ බව තහවුරු වන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඊයේ (24) දහවල් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින්.
සමගි ජන බලවේගය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සමඟ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය හා රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක හා සාගල රත්නායක මහත්වරුන් සිටියා.
සජිත් ප්‍රේමදාස මහතා සිය ගිණුමේ X සටහනක් තබමින්, සාකච්ඡාව ඉතා සාර්ථක බවත්, ජයග්‍රාහී අවසානයක් දක්වා සාකච්චා රැගෙන යා හැකි බවත්, දක්වා තිබෙනවා.
කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ 'කොළොම්ඹු ක්ලබ්' හි දී දිවා භෝජන සංග්‍රහයක් ද සමඟ පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ද සහභාගි වූ බවට වාර්තා වෙනවා.
මේ සාකච්ඡාවේ දී පක්ෂ දෙකේ, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, ඵලදායි තීන්දු තීරණ, ගණනාවක් ම ගත් බව පක්ෂ දෙකෙහි ම අභ්‍යන්තර ආරංචි මාර්ග 
පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලනික එකඟතාවයක්, ඇතිකර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායකයින් අතර පළමු සාකච්ඡාව, පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වැනිදා පැවැත්වුණා.
රනිල් දැන් දේශපාලනය කරන්නෙ නැහැ කියා කියයි
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන්, සිටින තුරු එම පක්ෂය සමඟ එකතු වීමට සජිත් ප්‍රේමදාස මහතා, මුල සිට ම විරුද්ධත්වය පළ කළා.
එහෙත් පසුගිය සිකුරාදා (23) එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක, රටේ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳ සාකච්ඡා කොට තිබුණා. මෙම සාකච්ඡජව මාධ්‍යවේදීන්ට විවෘත වුණේ නැහැ.
