ඕස්ට්‍රේලියාවේ - පර්ත් නුවරින් කව් මිණි වැලක්
මොටාගෙදර වනිගරත්න
අසහාය කලාකරුවාණෙනි,
ඔබට සුබ ගමන්..!🌸
කළ මැවුම් " රේකාව "
ඇඳි නිපුන් සුරතකී
හෙළ කලාවට සිතුම්
මැවීමේ සමතෙකී
හෙළ මවට - " දකුණු -
සිරිලක දි වූ උපතෙකී
හළ දිවිය - එවන් පුතු
සසල වූ පුවතෙකී
පිනි පබළු - තුරු වදුලු
මල් කැකුළු පුබුදුවා
තෙලි තුඩට පන ගැහෙන
ලෝ සියල් හකුළුවා
ඇඳි සියුම් සිතුවමින්
දැවෙන සිතිවිලි නිවා
ඔබ ය සිත්තරාණන්
නව මගෙක ගිය හොවා..!
ඉගෙනුමට ගිය ද ඔබ
කලායතනය වෙතට
රැඳුනි සිසුනගෙ දෙනෙත්
ඔබේ සිතුවම් මතට
එදා හමුවූ - " විපුලසාර හිමි "
- යන් වෙතට
උදාවන නව මගක්
පෙන්වීය ඔබ සිතට..!
ළමා විය - රැඳුණු
සිතුවම් දැකුම් " සීගිරිය "
ලබා උපතින් ගෙනා
කලාවට වී - පිරිය
තබා " රේකා " තුළින්
පන පොවා ලූ සිරිය
හඹා ගිය අයුරු - ලක
පුවත් පත් දී දිරිය....!
" සම්බුද්ධ ජයන්තිය "
තොරණ " ඒකාලෝක "
පින්සලෙනි ඔබේ රූ -
රටාවන් ඇඳි නේක
තුන් සිංහලේ එදා
කළ කතා කිසිදාක
අන් කිසිවෙකුට නොවුණි
" වෙසක් පුන් පෝදාක..!
පියඹ " සීතා " ඔබ ට
සෙනෙහෙබර වූ බිරිය
" හෙළ බතික් " කලාවට
ඔබට දුන්නා දිරිය
නොමිලයේ සිසුන්හට
දැනුම ඔබ දුන් සිරිය
අමිල මෙහෙයකි - මිලක්
සිතා ගන්නට බැරිය .!
" සංඛ" පුතු හා සමග
සිතුවම්හි එළි දැක්ම
පැවතුනා " කලාබවනෙහිදි"
දින - දහයක්ම
එහෙත් , ' පුතු ' හදිසියෙන්
යාම - දිවියෙන් නික්ම
දිවිය කඳුළින් තෙමාලී ය
දිවි ඇති තෙක්ම.!
ඔබේ සිතුවම් "
" මොටාගෙදර සිතුවම් ආර"
තිබේ ඒ ලෙසින්
යුගයෙන් - යුගය ආ - පාර
ලැබේ පැසසුම් අදත්
හිමිව ඇත බෝ - වාර
ඔබේ ගුණ ගයන්නට
' මුදු පවනටයි. බාර..!
" මූර්තී - සංඛ " හා
පියඹ " සීතා" සිටින
ලෝකයක් සොයා අද
ඔබ නික්ම ගිය බැවින
" තිමල් - සිවුමල් " පුතුන්
නෑ - හිතවතුන් මෙදින
පතති - සුබ ගමන් -
සැනසුමින් - සසරින් මිදෙන..!
_
විජායී ලක්ෂ්මී මොහොට්ටි
ඕස්ට්‍රේලියාවේ - පර්ත් නුවර සිට .

