ජගත් ගේ සතියේ සටහන - 72
පරීක්ෂණයක් කොරනව ලු 
රුපියල් ලක්ෂ 40 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුරමහාධිකරණය මඟින් වරදකරු කර සිර දඩුවම් නියම කර සිටි විත්තිකරුවකු පසුගිය වෙසක් පොහෝදා ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ ද මහත් ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා.
මෙසේ සිර දඬුවම් නියම කොට සිටි ප්‍රකට මුල්‍ය සමාගමක අනුරාධපුර ශාඛාවේ කළමනාකරුවකු ලෙස සේවය කළ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැත්තකුය ඒ. මොහුට විරුද්ධව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු 20 කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන බව ද වාර්තා වෙනවා.
මොහුට විරුද්ධව තිබුණු නඩුව ඉකුත් මැයි මස 02 වනදා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මුල්‍ය වංචා චෝදනාවට වැරදිකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මහත්මිය තීන්දු කළා.
ඒ අනුව රුපියල් 20000 ක දඩ මුදලක් ගෙවන ලෙසත් නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව හය මසක සිර දඬුවමක් ද නියම කරනු ලැබිණි. ඊට අමතරව මොහුට බරපතළ වැඩ ඇතිව වසර 2 ක සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය එය වසර 5 කට අත්හිටවීමට ද නියෝග කළා.
තව ද විත්තිකරු විසින් පැමිණිලිකරුට මුදලින් රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් ගෙවන ලෙසත් එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ද නියම කළා.
එම දඩ මුදල් හා වන්දි මුදල් ගෙවා ඒ බව ජුනි 04 වනදා මහාධිකරණයට වාර්තා කරන ලෙස ද මහාධිකරණ විනිසුරුතුමිය නියෝග කළ අතර ඒ අනුව ජුනි 04 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ලිඛිතව අධිකරණයට කරුණු දක්වමින් මෙම වරදකරු ඉකුත් මැයි මස 12 වැනි දිනට යෙදී තිබුණු වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස් කර ඇති බව යි ප්‍රකාශ කරන ලද්දේ.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරිය අතුල තිලකරත්න නමැති මේ පුද්ගලයා නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළා.
මෙම පුද්ගලයාට එරෙහිව තවත් මුල්‍ය වංචා පිළිබඳ නඩු 20 කට අධික සංඛ්‍යාවක් තිබෙන බව ද පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබෙනවා.
මෙම විත්තිකරුවා බන්ධනාගාර ගතවී සතියක් ඇතුළත ජනාධිපති සමාව ලබා දීම ජාතික පුවත්පත්වල හා සමාජ මාධ්‍යවල ද ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළවූ අතර නීතිවේදින් හා දේශපාලන අංශ අතර ද මේ ගැන විශාල කතාබහක් ඇති වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පෙරේදා (06) මේ ගැන කතා කරමින් මෙම විත්තකරුට ජනාධිපති සමාව දීම ගැන අප්‍රසාදය පළ කළා.
මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගත වූවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමේ දී මෙම සිරකරුගේ දඩ මුදල අහෝසි වී ඇති බැවින් ඔහු නිදහස් කළ බව යි. එම සිරකරු නිදහස් කළේ සාමාන්‍ය සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රමය යටතේ බව ද එහි දැක්විණි.
නීති විශාරදයින් පවසන අන්දමට නිදහස් දිනය, වෙසක් පොහොය ආදී විශේෂ අවස්ථාවල සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස් කෙරෙන්නේ එසේ නිදහස් කරන එක් එක් සිරකරුගේ දඬුවම් ස්වභාවය හා ඔහු සිදුකොට ඇති වැරදි සමාලෝචනය කිරීමෙන්.
එහෙත් බරපතළ මුල්‍ය වංචාවකට සිර දඬුවම් හා දඩ නියම වූ සහ තවත් එවැනි ම වංචා නඩු 20 කට අධික සංඛ්‍යාවක් තිබෙන එමෙන් ම මීට පෙරදී මෙවැනි නඩුවල දී වරදකරු වූ අතුල තිලකරත්න නමැති මෙම පුද්ගලයා බන්ධනාගාර ගත වී සතියක් ඇතුළත නිදහස් කළේ කෙසේ දැයි නීතිවේදීන් ප්‍රශ්න කරනවා.
ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලබන සිරකරුවන් තීරණය කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන කමිටුවක් මඟිනුයි. එම කමිටුව නිර්දේශ කරන නම් ලැයිස්තුව ජනාධිපති කාර්යාලය වෙත යැවීමෙන් පසු ජනාධිපතිවරයා එයට අත්සන් තබමින් අනුමැතිය දෙනවා.
එහෙත් ජනාධිපති සමාව යටතේ මෙවැනි බරපතළ චෝදනා ලැබූ සිරකරුවකු නිදහස් කිරීම ජනාධිපතිවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව සිදුවී ඇති බවයි ආණ්ඩුවේ ඇමතිවරයෙක් පැවසුවේ.
මෙම සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය මඟින් ඉක්මනින් ම නිවේදනයක් නිකුත් කරන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
මීට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනයට නියම වී සිටි දුමින්ද සිල්වා හා රෝයල් පාර්ක් මිනීමැරුමේ විත්තිකරු වූ ජූඩ් සමන්තට ජනාධිපති සමාව දී නිදහස් කිරීම ගැන මේ වන විට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු දෙකක් විභාග වෙනවා.
ඒ අයුරින් අතුල තිලකරත්න නැමැති මෙම සිරකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අනාගතයේ දී නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අනුරාධපුර බන්ධනාගාරයේ සිර දඩුවම් විඳිමින් සිටි අතුල තිලකරත්න නමැති සිරකරුගේ නම ජනාධිපති කාර්යාලය වෙත එවා තිබූ නම් ලැයිස්තුවේ නොතිබූ බවයි.
මේ ගැන පරීක්ෂණයක් කරගෙන යන බව ද එම නිවේදනයේ සඳහන් වුණා.
⋆⋆⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆⋆⋆
අල්ලස් ගැනීමේ, මුදල් විශුද්ධිකරණය හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් වේගවත් කොට තිබෙනවා.
මේ අනුව සෑම සතියක ම හිටපු මැති ඇමතිවරුන් හා නිලධාරීන්ට අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමට කොමිෂන් සභාව පියවර අරන්.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කම්කරු ඇමතිවරයකු වූ මර්වින් සිල්වා හා යහපාලන ආණ්ඩුවේ ඇමතිවරියක වූ චන්ද්‍රාණි බණ්ඩාර යන අයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය සතියේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබුවා.
ඇමති ධූරය දැරූ කාලයේ රුපියල් මිලියන 800 ක පමණ මුදලක් උපයාගත් ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මර්වින් සිල්වාට අධිචෝදනා බාරදී ඇති අතර සිය හිතවතකු තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක අධ්‍යක්ෂ තනතුරකට පත් කිරීම හා තවත් හිතවතුන් පිරිසක් අමාත්‍යාංශයට බඳවා ගැනීම පිළිබඳවයි චන්ද්‍රාණි බණ්ඩාර හිටපු ඇමතිනියට අධිචෝදනා පත්‍ර බාරදී තිබෙන්නේ.
ඉදිරියේ දී අධිකරණය හමුවට ගෙන්වීමට නියමිත අය අතර විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, ශෂීන්ද්‍ර රාජපක්ෂ, දයාසිර ජයසේකර හිටපු මුදල් ඇමතිවරයකු වූ රවි කරුණානායක, අනුර ප්‍රියදරශන යාපාසහ හිටපු අගමැතිවරුන් ද සිටින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.
හිටපු ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලීන් ෆ්‍රනාන්දු යන දෙදෙනා මේ වනවිටත් බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින අතර ජොන්ස්ටන් ෆ්‍රනාන්දුට හා මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව මේ වන විට මහාධිකරණය හමුවේ නඩු දෙකක් විභාග වෙනවා.
එසේම පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහාධිකරණය හමුවේ නඩු දෙකක් පවරා තිබෙනවා.
රාජිත සේනාරත්න මහතා පසුගිය ආණ්ඩුවක ධීවර ඇමති ව්‍ශයෙන් සිටිය දී මෝදර ධීවර වරාය අඩු ලංසුවකට විකිණීම පිළිබඳ නඩුවක් ද මේ දිනවල විභාග වෙමින් පවතිනවා.
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුතා වන රමිත් රඹුක්වැල්ලට එරෙහිව ද අධිකරණය හමුවේ නඩු දෙකක් විභාග වෙනවා.
කැලණියේ රජයේ ඉඩමක් අයථා ලෙස විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති මර්වින් සිල්වා සමඟ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන ප්‍රසන්න රණවීර ද රිමාන්ඩ් බාරයේ රඳවා සිටිනවා.
හිටපු ඇමතිවරයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ද නීතිවිරෝධි ගිනිඅවියක් සම්බන්ධයෙන් පසුවෙන්නේ රිමාන්ඩ් භාරයේ.
මේ තත්වය යටතේ තමන් ද අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැ යි සිතන හිටපු මැති ඇමතින් රැසක් මහත් භීතියෙන් පසුවන බව ද වාර්තා වෙනවා.
මහා පරිමාණ මුල්‍ය අක්‍රමිතා පිළිබඳ ගොනු 50 ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයි විසින් නීතිපතිවරයා වෙත යවා ඇති බවත් ඒවාට නීතිපති අනුමැතිය ලැබීමෙන් පසු නඩු පැවරීමට පියවර ගෙන ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.
මේ අතර වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 276 ක මුදලක් වැය කරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවට කැඳවීමට යන බව දැනගන්නට තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එම උත්සවය සංවිධානය කළ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිණී ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අතුඅඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කොට තිබුණා.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය හෙළිකිරීමට තම සේවාදායිකාව සූදානම් බව ප්‍රකාශ කළා.
තම සේවාදායිකාව මෙම සංස්ථාවේ සේවය කොට ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ බලපෑම් හා ඔහුගෙන් එල්ල වූ පීඩනය මධ්‍යයේ බවත් අධිකරණය හමුවේ පැවසූ ඇගේ නීතිඥවරයා වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට රජයේ මුදල් වෙන්කොට නොතිබූ අතර ඒ සඳහා තම සේවාදායිකාව ව්‍යාපෘතියේ මුදලින් ලක්ෂ 276 ක් භාතිය ජයකොඩි යන අයගේ සමාගමට ලබා දුන්නේ ඉහළින් ආ බලපෑම් මත බව ද කියා සිටියා.
මේ නිසා මේ සිද්ධියේ සැකකරුවන් විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා භාතිය ජයකොඩි යන අය බව ද එම නීතිඥවරයා ප්‍රකාශ කළා.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය රුපියල් මිලියන 5 ක් බැඟින් වටිනා ඇප කරුවන් දෙදෙනකුගේ ඇප මත සැකකාරිය මුදා හැරීමට නියෝග කළා.