ජගත් ගේ සතියේ සටහන - 111
මොසාඩ් ඔත්තු සේවය හෝගාලා වැඩ?
කතානායක ගේ ලේකම්ගෙන් සුජීවට දුරකතන ඇමතුම්

මහාචාර්ය ජී, එල්. පීරිස් මහතා ගේ මෙහෙයවීමෙන් පසුගියදා පිහිටුවාගනු ලැබූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කණ්ඩායම පසුගිය බදාදා විශේෂ බස් රථයකින් මහනුවර බලා ගියේ රටේ වර්තමාන දේශපාලන තත්වය හා යුද්ධය නිසා හටගෙන ඇති අර්බුදයේ අතුරුඵල ගැන මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැක උන්වහන්සේලා දැනුවත් කිරීම සඳහා යි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, සමගි ජන බලවේගයේ සජීව සේනසිංහ, ඇතුළු පිරිසක් මෙහි ගමන් ගත්තා. ඒ අතර සුජීව සේනසිංහ මහතාට පාර්ලිමේන්තුවෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට නොවරදා ම පැමිණෙන ලෙසයි. ''මම නුවර යන ගමන් ඉන්නේ" සුජීව පිළිතුරු දුන්නා. එම ඇමතුම කුමක් සඳහාදැ යි සෙසු පිරිස විමසූ විට සුජීව ''ශ්‍රී ලංකා - ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍ර සංගමයක් පිහිටුව ගන්නට යනවා. එහි සභාපතිකම මට භාර ගන්න ලු" යනුවෙන් ඔවුන්ට හේතුව පැහැදිලි කළා.
''මේ වෙලාවේ මුළු ලෝකෙම ඊශ්‍රායලයට විරුද්ධව යි ඉන්නේ. ඒක භාරගන්න එපා. ඕක මරාලයක්" විමල් වීරවංශ ඔහුට එහි බැරෑරුම්කම පැහැදිලි කර දුන්නා. ඒ අනුව සුජීව එය භාර නොගන්නා බව කියා සිටියා.
තව ටික දුරක් යන විට සජීවට කතානායක වරයාගේ ලේකම්ගෙන් ඇමතුමක් ලැබුණා. ඊශ්‍රායල් තානාපති තුමා ඉන්දියාවේ සිට මේ සඳහා ම පැමිණෙන බැවින් කෙසේ හෝ එන ලෙස යි සුජීව ගෙන් ඔහු ඉල්ලා සිටියේ.
''ඔය වැඩේට වෙන කෙනෙක් පත්කර ගන්න. තව මන්ත්‍රීවරුන් ඉන්නවා නේ. මට එන්න බැහැ" යි සුජීව පැවසූ විට, ''මේකට ආණ්ඩුව පැත්තෙන් නෙවෙයි විපක්ෂයෙ කෙනකුයි පත්කර ගන්න ඕනෑ. ඒ නිසා ඔබ තුමා කොහොම හරි එන්නැ යි කතානායක වරයාගේ ලේකම් යළි ඇවිටිලි කළා.
''නෑ... නෑ,.. මම එන්නේ නෑ" යි තදින් ම පවසමින් සුජීව දුරකතනය විසන්ධි කළේ තමා වැටෙන්න ගිය උගුලෙන් බේරා ගැනීම ගැන විමල්ට ස්තුති කරමින්.
1970 ට පෙර ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයක් පිහිටුවා තිබුණා. ඊශ්‍රායලය පලස්තීනයේ වැසියන්ට එරෙහිව සිදුකරන පීඩන හා ඔවුන් පලස්තීනයේ භූමිප්‍රදේශ බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව නොබැඳි ජාතීන්ගෙන් නැඟී ආ විරෝධයත්, හේතුකොට ගෙන 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු පාලනය විසින් ශ්‍රී ලංකාවෙන් ඊශ්‍රායල තානාපති කර්යාලය ඉවත් කරනු ලැබුවා.
එහෙත් උතුරේ යුද්ධය ආරම්භ වීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ඊශ්‍රායලයෙන් ඩෝරා ප්‍රහාරක යාත්‍රා ඇතුළු යුද උපකරණ මිලදී ගත් අතර ඉන්පසු ඊශ්‍රායලය ඔවුන්ගේ කාර්යාලයක් කොළඹ ආරම්භ කළා. එය හැඳින්වුණේ ඊශ්‍රායල් ඉන්ටරස්ට් සෙක්ෂන් (Israyal Interest Section) යනුවෙන්. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම අංශය වසා දමනු ලැබුවා. එහෙත් ඊශ්‍රායලය දැන් ශ්‍රී ලංකාව සමඟ තානාපති සබඳතා පවත්වන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ සිටයි.
'මොසාඩ්' ඔත්තු සේවය තදින් ම ක්‍රියාත්මක බව විමල් කියයි
යුද්ධය පැවති කාලයේ ඊශ්‍රායලය ශ්‍රී ලංකා රජයට ප්‍රහාරක බෝට්ටු අලවි කරන අතර තුර ඊශ්‍රායල් 'මොසාඩ්' ඔත්තු සේවය එල්ටීටීඊ සංවිධානයට ද ආයුධ හා යුද පුහුණුව ලබාදුන් බව එකල ප්‍රසිද්ධ රහසක්.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ඊශ්‍රායලයේ 'මොසාඩ්' ඔත්තු සේවය ශ්‍රී ලංකාවේ තදින් ම ක්‍රියාත්මක වන බව යි.
මේ වන විට සංචාරක වීසා මත පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයින් දහස් ගණනක් නැගෙනහිර පළාතේ ආරුගම්බේ වෙරළ තිරයේ පදිංචිව සිටින අතර ඔවුන් එහි වෙළඳ ව්‍යාපාර, යුදෙව් ආගමික මධ්‍යස්ථාන හා ආපනශාලා ද පවත්වා ගෙන යන බව ද වාර්තා වෙනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
විපක්ෂය සතු බර අවිය !
ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුරු ගෙන්වීමේ දී සිදුවී ඇතැ යි වංචාව දැන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට ආණ්ඩුවට එරෙහිව යොදාගත හැකි බර අවියක් වී තිබෙනවා.
බාල ගල් අඟුරු ගෙන්වීමෙන් රජයට රුපියල් කෝටි 850 කට අධික පාඩුවක් සිදුකළ බවට විපක්ෂයේ ඇඟිල්ල දිගුවී තිබෙන්නේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට යි. ඔහු 2014 දී පොහොර සංස්ථාවේ අධ්‍යක්ෂවරයකුව සිටිය දී සිදුකරන ලදැ යි කියන ටෙන්ඩර් ප්‍රදානයක දී රජයට රුපියල් ලක්ෂ 88 ක් පාඩුකළ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මාර්තු 27 වැනිදා මහාධිකරණය හමුවේ ජයකොඩි මහතාට අධිචෝදනා භාරදීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාරදෙනු ලැබුවා. මෙම විශ්වාස භංග යෝජනාවට සජබ මන්ත්‍රීවරුන් 36 කු අත්සන් කොට තිබූ බව ද වාර්තා වෙනවා.
මේ ගල් අඟුරු සිද්ධිය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් බදාදා පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ කුමාර ජයකොඩි මහතා බලශක්ති ඇමතිවරයා වශයෙන් ඔහුගේ විෂය පථයට අදාළ කරුණක් පිළිබඳව වරදක් කිරීම ගැන නඩු පවරා තිබේනම් වහාම ඔහු ඇමති ධුරයෙන් ඉවත් කිරීමට තමා පසුබට නොවන බවයි.
එහෙත් ජයකොඩි මහතා රාජ්‍ය නිලධාරියකු වශයෙන් කටයුතු කළ 2014 වසරේ සිදුවූ සිද්ධියක් ගැන ඔහුට චෝදනා එල්ල වී ඇති බැවින් එහි නීති කටයුතු අවසන් වන තෙක් ඒ පිළිබඳව කටයුතු කළ නොහැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
කෙසේ වුවද සමගි ජන බලවේගය ඔවුන් අතට ලැබී ඇති බර අවිය නිකම්ම බිම තැබීමට සූදානම් නෑ.
ගල් අඟුරු සිද්ධිය, බාල ඖෂධ ගෙන්වීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදිය පිළිබඳව ගත වූ වසර එක හමාර තුළ වර්තමාන ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීමට පසුගිය බදාදා පැවති සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.
මේ ගැන විරෝධතා පැවැත්වීමට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇති නමුත් බහුතර මතය වූයේ දිවයින පුරා ආසන මට්ටමින් ජනහමු පැවැත්විය යුතු බව යි. මේ අනුව 'හොරුත් එපා' – 'බොරුත් එපා' 'අනුර ෆේල්' යන තේමාව යටතේ රැස්වීම 100 ක් පැවැත්වෙනු ඇති.
මෙහි පළමු අදියර සෙනසුරාදා අවිස්සාවේල්ලේ දී පැවති අතර ඉරිදා (22) අද ගම්පහ ද 23 වැනිදා සඳුදා බොරැල්ලේ දී ද අඟහරුවාදා (24) කැලණිය යන ආසන වල ද පැවැත්වීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මෙම ජනහමු වල සම්පත් දායකයින් ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, වරුණ රාජපක්ෂ, වෛද්‍ය චමල් සංජීව, චමින්ද විජේසිරි ආදි පිරිසක් සහභාගි වන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ හැර මැදපෙරදිග අර්බුදය නිසා රට ව්‍යාකුල වූ විට එයට මුහුණ දීම සඳහා උපායමාර්ග සකස් කිරීමට කළමනාකරණ කමිටුවක් ද පත්කොට තිබෙනවා. රංජිත් මද්දුම බණ්ඩර, තිස්ස අත්තනායක, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් මෙම කමිටුව අර්බුදය උග්‍ර වුවහොත් ගතහැකි දිගුකාලීන හා කෙටිකාලීන යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරෙනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
රනිල්ට පැය 9 ක හදවත් සැත්කමක් කාලයක් යන තුරු විවේකය අවශ්‍යයි - වෛද්‍ය උපදෙස්
දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න - පවුලේ ඇත්තන් කියලා
මේ අතර හිටපු ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සඳුදා වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගියා. මෙම ගමනට බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, සොහොයුරකු වන චන්න වික්‍රමසිංහ හා සොයුරිය වන ශානිකා වික්‍රමසිංහ මහත් ම මහත්මීන් එක්ව සිටියා.
සිංගප්පූරුවට යෑමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා දින කිහිපයක් නාරාහේන්පිට කිංස් රෝහලේ නැවතී වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සිදුකර ගෙන තියෙනවා. එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට ඉක්මනින් හදවත් සැත්කමක් සිදුකළ යුතු බව යි.
ඒ අනුව ඉකුත් සඳුදා සිංගප්පූරුවට ගිය රනිල් වික්‍රමසිංහ මහතාට මවුන්ට් එළිසැබෙත් රෝහලේ දී හදවත් සැත්කමක් සිදුකොට ඇති අතර එයට පැය 9 ක කාලයක් ගතවී ඇති බව පත්කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති තුනක පමණ කාලයක් රෝහල්ගතව සිටීමට සිදුවී ඇති බව ද දැනගන්නට තිබෙනවා.
රනිල්ගේ උපන් දිනේදාට බෝධිපූජා
ඒ මහතාට කාලයක් යන තුරු දේශපාලන කටයුතුවලින් ඉවත්වී විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැ යි ද ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ 77 වන ජන්ම දිනය මාර්තු 24 වනදාට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් රටපුරා බෝධිපූජා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා ඇතැයි කොළඹ මල්පාරේ පිහිටි වික්‍රමසිංහ මහතා ගේ කාර්යාලයෙන් වාර්තා වෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු බව ඔහුගේ පවුලේ අයගේ අදහස බව ද දැනගන්නට තිබෙනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
පක්ෂ දෙක එකතුවිය යුත්තේ පක්ෂයේ නායකත්වය, ඇමති තනතුරැ බලාගෙන නෙවෙයි 
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු හා හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම පසුගිය සිකුරාචා (20) කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ඒ මහතා ගේ පිළිරුව අබියස දී පැවැත්වුණා.
සජබ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරු ජයසූරිය, දිසානායක මහතාගේ පුතුන් වන නවීන් දිසානායක හා මයන්ත දිසානායක යන මහත්වරුන් හා එජප, සජබ පාක්ෂිකයින් විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වුණා.
එහිදී ජනතාව ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා ජනතාවාදී, ජනහිතකාමී රටක් හාරාජ්‍යයක් ගොඩනැඟීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතුවන බව ප්‍රකාශ කළා.
පක්ෂ දෙක එකතුවිය යුත්තේ පක්ෂයේ නායකත්වය, ඇමති තනතුරු ආදිය බලාගෙන නොව ජනතාව වෙනුවෙන් රට ගොඩනැඟීම සඳහා බව ද ඒ මහතා කියා සිටියා.

