කාලීන

යටත් විජිතයක් ද? විජිතයක් ද??

පර්යේෂණ නැව් ශ්‍රී ලංකාවට යැවීම තහනම් කළේ අපට ඕනැ හින්දා .. ශ‍්‍රී ලකාවේ නව ඇමරිකා තානාපතිනි

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිනීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන්නේ යැ යි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි
ඒ මහතා මේ බව සදහන් කළේ අද (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

 ගම්මන්පිල මහතා මේ ප්‍රවෘත්ති හමුවේ දී මෙසේ ද තමන් දන්නා තොරතුරු මාධ්‍යවේදීන් ට විස්තර කළේ මෙසේ ය.

''පර්යේෂණ නැව් තහනම ඇමෙරිකාවේ අවශ්‍යතාවයක් බව ශ්‍රීලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිනිය කියල තියෙනවා.

ශ්‍රී ලංකාවේ මී ළඟ ඇමෙරිකානු තානාපති ලෙස නම් කර ඇති එලිසබත් හෝස්ට් තමන්ගේ තනතුර අනුමත කර ගැනීමට විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියට පැමිණි අවස්ථාවේ කළ ප්‍රකාශයත් සෙනෙට් සභිකයින් මතු කළ ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරුත් www.senate.gov වෙබ් අඩවියේ තිබෙනවා. එලිසබත් එම කාරක සභාව හමුවේ කළ ප්‍රකාශ අනුව ලංකාවට එන්නේ, ලංකාව කියන ස්වාධීන රටේ දී, ඇමෙරිකාව නියෝජනය කරන තානාපතිනිය විධියට නොවේ. ලංකාව කියන යටත් විජිතය, ඇමෙරිකාවට අනුව පාලනය කරන්න එන ආණ්ඩුකාරවරියක් විධියටයි. ඒ නිසා එලිසබත් හෝස්ට්, පර්සනා නන් ග්‍රාටා හෙවත් ආණ්ඩුව විසින් පිළිනොගන්නා තානාපති නිලධාරිනියක් ලෙස වහාම නම් කළ යුතුයි. අපි එහෙම කියන්නේ ඇයි?

එතුමිය සෙනෙට් සභාවට කියන විධියට පර්යේෂණ නැව් වලට ලංකාවට ඇතුළුවීම වසරකට තහනම් කලේ ඇමෙරිකාවේ උවමනාවට. ලංකාව පර්යේෂණ නැව් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණු විධියෙන් ඒ කතාව සනාථ වෙනවා. සියැන්ග් යැන්ග් හොන්ග් 3 කියන චීන පර්යේෂණ නැවට ලංකාවට එන්න අවසර දීලා ඇමෙරිකානු විරෝධය හමුවේ සියළුම පර්යේෂණ නැව් වලට ලංකාවට ඇතුළුවීම වසරක කාලයකට තහනම් කරලා චීන නැවට දුන්නු අවසරය වක්‍රව ඉවත් කළා. නමුත් ඒ තහනම තිබෙන අතරේ ඇමෙරිකාවේ පර්යේෂණ නැවකටත් ජර්මානු පර්යේෂණ නැවකටත් කොළඹ වරායට ඇතුළු වෙන්න අවසර දුන්නා. ඒ පිළිබඳ විදේශ අමාත්‍යාංශය කියන්නේ සැපයුම් ලබා ගැනීමට පමණයි ඒ නැව් වරායට ඇතුළු වුණේ. නමුත් චීන නැවට සැපයුම් ලබා ගැනීමටවත් අවසරය දුන්නේ නෑ. මෙයින් පැහැදිලි වෙන්නේ ඇමෙරිකාවට සතුරු රටවලට තහනම බල පෑවත් ඇමෙරිකාවටත් ඇමෙරිකාවට මිතුරු රටවලටත් මේ තහනම බලපාන්නේ නෑ කියන එකයි. කෙටියෙන්ම කිව්වොත් ලංකාවට ඇතුළු විය යුත්තේ මොන පර්යේෂණ නැව් ද කියන එක දැන් තීරණය කරන්නේ ඇමෙරිකාවයි. එහෙම නම් ශ්‍රී ලංකාව දැන් ස්වාධීන රටක් නොව අමරිකාවේ යටත් විජිතයක්"

"පර්යේෂණ නැව් තහනම් නම් සියළුම රටවලට එක වගේ බලපාන්න ඕැ. ඇමෙරිකාවට ඕනෑ විධියට නම් අපේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ අපි තවදුරටත් ස්වාධීන රටක් නොවේ. කොන්ද පණ නැති ඇමෙරිකානු ගැති මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ව, වහා ම විදේශ ඇමතිතුමා රටට ප්‍රකාශයක් කළ යුතුයි.

එලිසබත් හෝස්ට් විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියේ කියනවා එයාගේ බලාපොරොත්තුව ජුලී චංග්ගේ අඩි පාරේ යෑමටයි කියලා. චුලී චංග් තමයි ගෝඨාභය ජනාධිපති  තුමාගේ කරට අත දාගෙන එක්ක ගෙන ගිහින් ගොඩ එන්න බැරි වළක දැම්මේ. එලිසබත් හෝස්ට්ව ලංකාවේ තානාපතිනිය ලෙස භාර ගත්තොත් ලංකාවට අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ" යනුවෙන් උදය ගම්මන්පිළ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

– Midea unit