කතු වැකිය

යුක්තිය මෙහෙයුම

පොලිස් ඇමතිවරයාටත් පොලිස්පති (වැඩ බලන) තුති මල්!

වස් විස්සක් හමාර ය. ඒ හෙරොයින්, අයිස් වැනි අති විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්, ගෙන්නන්න් හා බොන එවුන් අල්ලා ගන්නට මෙන් ම පාතාල ක්‍රියාකාරකම් මැඩලීම උදෙසා මහජන ආරක්ෂක ඇමති ටීරාන් අලස් මහතා ගේ නියෝග මත, පොලිස්පති (වැඩ බලන) දේශබන්ධු තෙන්නකෝන් මහතා ගේ සංකල්පයක් යටතේ පොලිසිය හා විශේෂ කාර්ය බළකාය විසින් දියත් කරන ලද 'යුක්තිය" මෙහෙයුමට ය. යුක්තිය මෙහෙයුම අරඹන ලද ටිරාන් අලස් ඇමතිවරයාටත්, දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ, ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වෙමින් එකී මෙහෙයුම සාර්ථකව දියත් කරනා සියලු නිලධාරීන්ටත් 'හෙළදිව' සිය ශීර්ෂ ප්‍රණාමයෙන් යුක්තව ආචාර පිරි නමන්නට කිසිදු ලෝබ කමක් නොදක්වන වග ප්‍රකාශ කරන්නෙමු.

රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌ ගැනීමට පසුබට වන්නේ නැති වග  මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා කරන ලද ප්‍රකාශය අපි එක පයින් අනුමත කරන්නෙමු. ඒ උදෙසා පොදු මහ ජනයා පොලිසියට හා ඊට අදාළ අංශ වෙත  පූර්ණ සහයෝගය දැක්විය යුතු බව අපි කියන්නෙමු.

අලස් මහතා ගේ උක්ත ප්‍රකාශය හෙතෙම පසුගිය දින ගණනාව මුළුල්ලේ ම රටට කී ය. ඔහු ” යුක්තිය ” මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ අභිලාශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ස්ථාපිත කර ඇති ස්වයංක්‍රියව මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය(Automated Facial Recognition System) විවෘත කරමින් නැවත වරක් ඒ ගැන ජනතාවට පැවසුවේ දැඩි විශ්වාසයකින් යුක්තව තමන් ඒහිලා කැපවන වග සඳහන් කරමිනි.

අපගේ විශ්වාසයේ හැටියට නං ලංකාවට මුලින් ම ආ විෂ මත්ද්‍රව්‍ය සේ සැලකිය හැක්කේ හෂිස්' ය. එය සංචාරක පාරාදීසයන් කරා ආ සුද්දන් සුද්දියන් අතරෙන් අපේ තරුණ පිරිස් වලට ව්‍යාප්ත විය. ඒත් එක්කම හෙරෙයින් ද ගලා එන්නට පටන් ගත්තේ ය.

මේ මත් උවදුරට නෑ කම් කියමින් පාතාලයේ අයියලා ද වැඩේ අතට ගත්හ. පාතාල අයියලා මල්ලිලා හෙළදිව් හි බිහි වූයේ සුදෝ සුදුවතින් සැරහුණු ඊනියා දේශපාලනඥයන් ගේ අනුග්‍රහය ආශිර්වාදය මැද යි. අන්තිමට උන් පාලනය කිරීම ද උගහට වී උන් විසින් නරුම දේශපාලනඥයන් පවා පාලනය කරන තත්ත්වයක් අද වන විට උද්ගතව ඇත.

මේ රටේ පිහිටි දේශපාලන පක්ෂ හැම එකකට ම පාහේ මේ පාතාලයන්ගේ කුඩු ඒජන්තයන් ගේ සහාය ඇසුර නොමඳව ලැබේ. අද වන විට මේ නරුම පාපතරයන් ගේ බූවලු අඬු හැම පැත්තකට ම දිගු වී හමාර ය.

''ඔන්න මං විවෘත කළා. ඕනෑම කෙනකුට ඕනෑ ම විදියකින් හම්බ කර ගන්න පුළුවන්. හැබැයි කරන දේ අහුවෙන්න කරන්න නං එපා" යැ යි රට කරවූ මහා චින්තකයා හැත්තෑව දසකයේ අවසාන භාගයේ දී කීවා අපට මතක ය. ලොක්කා එහෙම කීවාට පසු හැකි, හැකි හැම එකාම බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්නට පෙලඹුණු අයුරු වත්මන් පරපුර දන්නේ නැත. කොමිස් ගැහිල්ල අල්ලස් ගිලිල්ල නේක විධ අන් දූෂණ ද ඒ උපදේසය අනුව යමින් දේශපාලනඥයන් ද උන්ට උඩ ගෙඩි දුන් රාජ්‍ය නිලධරීන් ද හම්බ කර ගත්තේ රුපියල් ලක්ෂ ගණනිනි. කෝටි ගණනිනි. මේ ටික කීවේ නොකියා ම බැරි කමට යි.

යුක්තිය මෙහෙයුම ගැන එක එක පුද්ගලයන් මෙන් ම එක එක සංවිධාන නේකාකාර මත පළ කරනු ද අසන්නට දකින්නට ලැබේ.

කෙනෙක් කරන කිසියම් යහපත් දෙයක් වෙ ද ඊට පූර්ණ සහාය දැක්වීම 'හෙළදිව' අපේ සිරිත යි. එසේ ම කිසිවකු විසින් කරනු ලබනා නොකටයුත්තක් වෙ ද ඊට එරෙහිව අදහස් දක්වන්නට ද අපි නොපසුබට වන්නෙමු. ඒ අපේ දැක්ම යි.

කෙනෙකු කියන්නේ මෙය තවත් එක ප්‍රචාරාත්මක උප්පරවැට්ටියක් බවයි. තවත් කෙනකුට මෙය සෝබන වැඩකි. තවත් උදවිය දකින්නේ මේ නම් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් වපුරමින් ඇති කෛරාටික ක්‍රියාවක් බව යි.

ඒ කොහොම කොහොම වුණත් හැම දෙමාපියකු ම ඊට අනුග්‍රහයක්, උදව්වක්, උපකාරයක් කළොත් එය අති සාර්ථක වැඩ පිළිවෙලක් වෙනවා දැකීම අප ගේ අභිලාෂය යි . ගෙවී ගිය දවස් විස්ස ඇතුළත පාතාල ලෝකයේ රජවරුන් ගේ ද සිටුවරුන් ගේ ද මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඔස්සේ උපයා ගන්නා ලද රුපියල් කෝටි ගණනක ධනස්කන්ධයක් ද, අති සුඛෝපභෝගී මාළිගා ද, නවීන පන්නයේ යාන වාහන ද සෑහෙන සංඛ්‍යාවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ තරම් මහා ධනස්කන්ධයක් මේ නරුමයන් විසින් උපයා ගෙන ඇත්තේ අපේ තරුණ පරපුරේ ජීවිත විනාශය කරා ඇද දමමිනි. මෙහෙම ගියොත් ඉදිරි දවස්වල තව තවත් මහා ධනයක් මේ අවලමුන්ගේ විවධ ක්‍රම ඔස්සේ ආරක්ෂාකාරීව ඇති මහා ධනයක් පොලිසියට හා ඒ ක්‍රියාන්විතයේ නිරත නිලධාරීන්ට හොයාගත හැකි වනු ඇත.

මත් කුඩු රකුසා විසින් ග්‍රහණයට ගන්නා ලද ලක්ෂයකට ආසන්න 'කුඩ්ඩන්' ඒ උවදුරෙන් ගලවා ගන්නට මේ වන විට සාර්ථක මෙහෙයුමක් දියත් කරැති පොලිසියටත් වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට හා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ධූරන්ධර ටිරාන් අලස් මහතාට ඒ අසරණයන් ගේ මා පියන් ද, අඹු දරුවන් ද පවුල්වල නෑ හිතවතුන් ද උදේ හවා පින් දෙනු නො අනුමාන ය.

කෙසේ වුව ද මහජන ආරක්ෂ ඇමතිවරයාත්, වැඩ බලන පොලිස්පති වරයාත් මේ බිමෙන් මත් උවදුර මැඩීමට ගෙන යන ව්‍යාපාරය හෙවත් මෙහෙයුම අතර මඟ ඇණ හිටියොත් වැඩේ හබක් ය. දෙස් විදෙස් හි රැදී සිටිමින් මේ මහා පාපපකාරී ජාවාරම මෙහෙයවන පාතාල රජවරුන් සියලු දෙනා නීතියේ දැලට හසු කර ගෙන ජාතියේ ජීවනාලිය වන තරුණ පරපුර ගලවා ගන්නට ඔවුන් තබා ඇති මාහැඟි පියවර කිසිදු බලවේගයක් ඔස්සේ අතරමඟ අත්හිටවන්නට කැස කැවුවොත් බබිත් සුං ය. බබීගේ මවත් සුං ය කියා කියන්නට අපට සිදු වේ.

එහෙයින් මේ යහපත් ක්‍රියාදාමය කවරාකාර වූ හෝ බලපෑමකට, බලවේගයකට නො නැමී නිසි පරිදි  ක්‍රියාත්මක වන අයුරු දැකීම සමස්ත දේශයේ ම පොදු මහජන කැමැත්ත යි. ආසාව යි. එය ඒ ආකාරයෙන් ම වැඩ බලන පොලිස්පතිවරයාටත්, ඇමතිවරයාටත්, පොලිසියේ සෙසු නිලයන්ට හා විශේෂ කාර්ය බළකායේ ඇත්තන්ටත් හැකි වේවා. එහෙම වුණොත් බාල පරපුර රැක ගැනීමට මුල් වූ පෙරට ආ ඔබ හැම රුදුරුවූත් කුරිරු වූ යුද්දයෙනුත් හෙම්බත්ව හුන් ලාංකේය ජන සමාජයට සාමකාමී උන්නතිකාමී ඉදිරි දැක්මක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නිරෝගී දරු පරපුරක් ජාතියට දායාද කරන්න හැකියාවක් උදා වෙනු ඇත.

හැබැයි ඉතින් මේ නම්වලින් නොව වෙනත් නම්වලින් යුත් ඔය විෂ මත්ද්‍රව්‍ය රට පුරා පතුරුවන්නට මේ කැනහිලුන් උප්පරවැට්ටි යොදනවා ය යන්න අපට බැහැර කළ නො හැක.