ශ්‍රී ලංකාව සඳහා සිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කරයි
යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමක් අද ජනපති හමුවක් සිදු විය. ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කළේය. ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළඳපොළ ලෙසත් කටයුතු කරයි.
ශ්‍රී ලංකාව සඳහා සිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ තහවුරු කළහ.
එසේම, දැනුම හුවමාරු කර ගැනීම, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ දූෂණ විරෝධී ප්රයත්නයන්හි නව යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ද යුරෝපා සංගමය ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.
වෘත්තීය අධ්‍යාපනය, සමුද්‍රීය කටයුතු, ආයෝජන, සාමය සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයේ කැපවීම මෙහිදී නියෝජිත පිරිස අවධාරණය කළ අතර මෙම පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරන බවට ද ඔවුහු සහතික වූහ.
පසුගිය ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ අතර පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් සිය රටවල ජනාධිපතිවරුන් විසින් එවනු ලැබු සුබපැතුම් පණිවිඩ නෙදර්ලන්තය, ප්‍රංශය සහ රුමේනියාව යන රටවල තානාපතිවරු ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.
ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් (Felix Neumann) , ඉතාලි තානාපති ඩැමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh), රුමේනියා තානාපති ස්ටෙලුටා ආහයර් (Steluta Arhire), ප්‍රංශ තානාපති මාරි-නොයිල් ඩුරිස් (Marie-Noelle Duris) සහ නෙදර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඉවාම්ස් රට්ජන්ස් (Iwams Rutjens) යන මහත්ම මහත්මීහු යුරෝපා සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.