ජගත් ගේ සතියේ සටහන - 34
අජිත් දොවාල් හදිසියේ ම ආවේ?
ජනාධිපති ඡන්ද සටන දවසින් දවස ම උණුසුම් වෙමින් තිබිය දී ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වුණා.
ඔහු පැමිණ තිබුණේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා මොරිෂස් යන රටවල් රටවල් විසින් පිහිටුවා ගෙන තිබෙන ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය කොළඹ ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා බව යි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එහෙත් දේශපාලන විචාරකයින් පවසන්නේ ඉන්දීය ආරක්ෂක උපදේශක දොවාල් මහතා ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉන් එහාට ගිය දේශපාලන අරමුණු ගණනාවක් ඇති බව යි.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණි දින රාත්‍රියේ ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා හමුවී තිබෙනවා. ඒ රත්නායක මහතා ගේ කොළඹ 7 මල්පාරේ පිහිටි නිවසේ දී.
සිකුරාදා පෙරවරුවේ අජිත් දොවාල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එයට වෙනත් කිසිවකු සහභාගි වී නැහැ. ඉන් අනතුරුව ඔහු ජනාධිපති වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා සහ සාගල රත්නායක මහතා ද සහභාගි වී තිබෙනවා.
ඉන්පසු ආරක්ෂක උපදේශකවරයා ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහත්වරු ද වෙන වෙන ම හමුවී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණා.
ඔහුගේ සංචාරයේ තවත් වැදගත් අවස්ථාවක් වුණේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හා වතුකරයේ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හමුවීම යි.
සිකුරාදා සවස අජිත් දොවාල් මහතා උතුරේ ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයින් වන මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්දිරන්, එස්. ශ්‍රීධරන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හමුවුණා.
මෙම සාකච්ඡාවේ දී දෙමළ ජනතාවගේ ඡන්ද ඵලදායි සේ භාවිතා කිරීමට කටයුතු කරන ලෙසට ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ඔවුන්ට දැනුම්දී තිබෙන බව ද වාර්තා වෙනවා.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝගනේෂන් හා පලනි දිගම්බරම් යන නායකයින් ද හමුවී ඇති දොවාල් මහතා ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට නිවාස හා සෞඛ්‍ය පහසුකම් සැලසීම සඳහා විශාල මුදලක් වැය කරන බවත් මෙවර ජනාධිපතිවරණයේ දී රටේ ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ඡන්දය පාවිච්චි කරන ලෙසත් ඉල්ලා සිටි බව දෙමළ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
කුඩා රටක් වන ශ්‍රී ලංකාව ගැන ඉන්දියාව හා චීනය විශාල උනන්දුවක් දක්වනවා. ආසියාවේ තම බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා එම රටවල් දෙක ම කලක සිට කටයුතු කරනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය, උතුරු දුම්රිය මාර්ගය, මන්නාරමේ සූර්ය බලශක්තිව්‍යාපෘතිය ආදි ව්‍යාපාර ඉන්දියාවේ ආයෝජන ලෙස ක්‍රියාත්මක වන අතර හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය, අධිවේගී මාර්ග ඉදිකිරීම් නිසා චීනය ද ශ්‍රී ලංකාව ගැන විශේෂ උනන්දුවක් දක්වනවා.
මේ නිසා ජනාධිපතිවරණයේ දී මේ රටවල් දෙකම ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ට මුල්‍ය ආධාර සපයන බවට දේශපාලන අංශ අතර රාවයක් පවතිනවා.
එබැවින් ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ගේ ශ්‍රී ලංකා සංචාරය සාමාන්‍ය නිල සංචාරයක් ලෙස සැලකිය නොහැකි බව දේශපාලන විචාරකයින් පවසනවා.
දෙවාල් මහතා ගේ සංචාරය හේතුවෙන් උතුරු නැගෙනහිර සහ වතුකරයේ ඡන්ද පදනමේ විශාල වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවට ද ඔවුන් අනාවැකි පළ කරනවා. ≈≈≈≈≈ ⋆⋆ ≈≈≈≈ 4 , 5 හා 6 තැපැල් ඡන්දෙට 712000 ක් රජයේ සේවකයන් ගෙන් මනාපෙ කවුරුන් ට ද?
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ සතියේ 4, 5 සහ 6 යන දිනවල සිදුවෙනවා. මෙවර තැපැල් ඡන්දය දීම සඳහා රජයේ සේවකයින් 7, 12, 000 ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මේ දිනවල පැවැත්වෙන ඡන්ද ප්‍රචාරක රැස්වීම්වල ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ රජයේ සේවකයින්. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ හා දිලිත් ජයවීර යන අපේක්ෂකයින් රැස්වීම්වල දී ඔවුන් කරන කතා, බෙදා හරින පත්‍රිකා හා රෑපවාහිනී දැන්වීම් ආදිය මඟින්, තමන් බලයට පැමිණි පසු රජයේ සේවකයින්ට දෙන සහන හා පහසුකම් පිළිබඳව විස්තර කරනවා.
රජයේ සේවක අවම වැටුප මසකට රුපියල් 57500 දක්වා වැඩි කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසද්දී අනුර කුමාර දිසානායක මහතා තමන් ජනාධිපති වූ පසු රජයේ සේවකයින්ට අවුරුද්දකට දෙවතාවක් වැටුප් වර්ධක ලබ දෙන බව ප්‍රකාශ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ රජය විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න වැටුප් කමිටුවේ නිර්දේශ කොට ඇති රජයේ සේවක අවම වැටුප වන රුපියල් 55, 000 ක මුදල ලබන ජනවාරි මාසයේ සිට ලබා දෙන බවයි.
පොරොන්දු ඉෂ්ට කරන්න සල්ලි හොයන ක්‍රම, සජිත් වත් අනුර වත් කියලා නෑ...
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා දිලිත් ජයවීර යන අපේක්ෂකයින් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කොට තිබෙනවා. පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (2) කොළඹ තරු පහේ හෝටලයක දීත්, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිල වශයෙන් එළි දැක්වීම සැප්තැම්බර් 4 වන දා කොළඹ දී ත් සිදුකරන බව යි එම පක්ෂවල ආරංචි මාර්ග පවසන්නේ.
දැනට ප්‍රකාශයට පත්කොට ඇති සජිත් ප්‍රේමදාස මහතා ගේ හා අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මඟින් පොරොන්දු රාශියක් ලබා දී තිබෙනවා. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගන්නා ආකාරය එම ප්‍රකාශවල සඳහන් කොට නොතිබීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. මැතිවරණ කොමිසම නීතිරීති රකින්නට පෙරට ඇවිත්.... ටක්කෙට වැඩ
මේ අතර ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ ව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කොට තිබෙනවා. ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකු විසින් පසුගිය සතියේ අනුරාධපුරයේ හෝටලයක පැවැත්වීමට ගිය රාත්‍රී භෝජන සංග්‍රහයක් ද මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන් විසින් තහනම් කොට තිබුණා. අනුරපුරේ පාටිය යි මහරගම පාටිය යි කොට උඩ යැවූ කොමිසම
එම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ගෙනැවිත් තිබූ මත්පැන් බෝතල් හා හෝටලයේ සූදානම් කොට තිබූ ආහාර පාන ද ඔවුන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා.
මේ අතර මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති 'පුළුවන් ශ්‍රී ලංකා' ජාතික තරුණ සමුළුව සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත එහි ගිය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටිය දී ම එය වීඩීයෝගත කර රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් ගෙන්වා පවත්වා ඇති මෙම සමුළුවේ දී ඔහු එම තරුණ පිරිස අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව ද වාර්තා වෙනවා.
මෙම සමුළුවට පැමිණි තරුණ තරුණියනට බෙදාදීම සඳහා ගෙනැවිත් තිබූ ආහාර පානාදිය ද මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියේ දී මැතිවරණ නීතිරීති උල්ලංඝණය සම්බන්ධයෙන් තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු වගකිවයුත්තන්ට නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළා.
≈≈≈≈ ⋆⋆ ≈≈≈≈
'ජන ජය පෙරමුණ' දිනේෂ් සභාපති, රමේෂ් මහ ලේකම්
ජධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විසින් පිහිටුවීමට යන 'ජන ජය පෙරමුණ' පක්ෂයේ මංගල රැස්වීම සැප්තැම්බර් 5 වැනි දා කොළඹ දී පැවැත්වීමට තීරණය කොට තිබෙනවා.
ඉදිරි මැතිවරණවල දී තමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා නොලැබෙන බැවින් ඔවුන් මෙම පෙරමුණ පිහිටුවීමට තීරණය කොට ඇති අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. 'ජන ජය පෙරමුණේ' නායකයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රධාන ලේකම් ධූරයට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීමට මෙහිදී තීරණය වී ඇති අතර පක්ෂයේ සෙසු තනතුරු සඳහා සුදුස්සන් ජනාධිපතිවරණයෙන් පසුව පත් කිරීමට මෙහි දී තීරණය වූ බව යි එයට සහභාගි වූ මන්ත්‍රීවරයෙක් අප සමඟ ප්‍රකාශ කළේ. දැන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 90 ක් පමණ දැන් 'ජන ජය පෙරමුණ'
සමඟ එක්වීමට සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකෙරන බැවින්, ජනාධිපතිවරණයෙන් පසු පත්වන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ගියහොත් 'ජන ජය පෙරමුණ' ට ප්‍රශ්නයක් වන්නේ එය ලියාපදිංචි නොකර තිබීම නිසයි. මෙයට විසඳුමක් ලෙස ජන ජය පෙරමුණට තමාගේ එක්සත් මහජන පක්ෂයේ ලකුණ ලබා දෙන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අල්ස් මහතා මෙම සාකච්ඡාවේ දී පවසා තිබෙනවා.
මේ අතර ජන ජය පෙරමුණ පිහිටුවීමෙන් පසු අනුර ප්‍රියදර්ශන යාපා හා නිමල් ලංසා යන මහත්වරුන් ගේ නව සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා අලුත් සන්ධානයක් පිහිටුවීමට යන බව ද දැනගන්නට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත. රංගේ බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවති පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී තීරණය වූ බවට වාර්තා වෙනවා. පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගෙන් ලැබුණු පැමිණිලි මෙයට හේතු වූ බවයි දැනගන්නට තිබෙන්නේ. හිටපු පොලිස් නිලධාරියකු වූ පාලිත රංගේ බන්ඩාර මහතා දේශපාලන පළිගැනීමට ලක්වී ඇති බවට තීරණය කොට වන්දි මුදලක් නිර්දේශ කොට තිබූ නමුත් එම වන්දි මුදල මෙතෙක් ඔහුට ලැබී නැති බවත් සිරිකොත ආරංචි මාර්ග පවසනවා
එම වන්දි මුදල පමාවීම ගැන රංගේ බණ්ඩාර මහතා කණස්සල්ලෙන් පසුවූ අතර පසුගිය කාලයේ ඔහු කලකිරී සිටි බව ද සිරිකොත ප්‍රකාශකයෙක් සඳහන් කළා.
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේ රංගේ බන්ඩාර මහතා ක්‍රියාකාරීව කටයුතු නොකිරීම නිසා ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කල බව ද එම ප්‍රකාශකයා තව දුරටත් කියා සිටියා.
රංගේ එනවා නං සාදරයෙන් පිළිගන්නව ලු - සජිත් 
මේ අතර පාලිත රංගේ බන්ඩාර මහතා පෙරේදා සිරිකොත මාධ්‍ය හමුවක දී පැවසුවේ තමා තවමත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් බවයි. තමා ඉවත් කළ බවට ලිපියක් මෙතෙක් තමාට ලැබී නොමැති බව ද ඔහු එහිදී කියා සිටියා.
පාලිත රංගේ බණ්ඩාර මහතා මේ සතියේ සමගි ජන බලවේගයට එක්වීමට යන බවට ද රාවයක් පැතිර ගොස් තිබෙනවා. ඔහු පැමිණෙන්නේ නම් සාදරයෙන් සාදරයෙන් භාර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස මහතා පැවසූ බව ද වාර්තා වෙනවා.
තලතා යූඇන්පී මහ ලේකම්වරිය ?
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වශයෙන් පසුගිය දා සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරාළ මහත්මිය පත්කිරීමට යෝජනා වී ඇති බව ද පැවසෙනවා. එහෙත් අතුකෝරාළ මහත්මිය මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැහැ. තලතා අතුකෝරාළ මහත්මිය පවසන්නේ තමා සමගි ජන බලවේගයෙන් ඉවත් වුණේ, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීමට තමා ගත් උත්සාහය අසාර්ථක වූ නිසා බවයි. රවි ත් මහ ලේකම් හීනෙ දකිමින් ලු
හිටපු ඇමතිවරයකු වන රවි කරුණානායක මහතා ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ද දැන ගන්නට තිබෙ