උණුසුම් පුවත්කාලීනදේශපාලන

රංග දිසානායක අල්ලස් ලොක්කා වූයේ දූෂිත මාලිමා මෙහෙයුමකින්

උදය ගම්මන්පිල ගේ මාධ්‍ය හමුව

ඔක්තෝම්බර් 2 දින මාධ්‍ය හමුවක් පවත් වන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා මා එතුමාට එරෙහිව ප්‍රකාශ සිදු කලොත් දූෂණ විරෝධි පනතේ 118 වන වගන්තිය යටතේ මට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. එතුමා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වුණාට දූෂණ විරෝධි පනත ගැන නිසි අවබෝධයක් නැති බව තමයි ඒ ප්‍රකාශයෙන් ප්‍රදර්ශනය කර තිබෙන්නේ.

යමෙක් අල්ලස් කොමිසමේ අධිකාරයට එරෙහිව හෝ ඊට අගෞරව වන පරිදි අපහාසයක් සිදු කලොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමට දඬුවම් ලබා දීම මෙන් දඬුවම් ලබා දිය යුතු බවට දූෂණ විරෝධි පනතේ 118 වගන්තියෙන් කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරනවා කියන්නේ පොදුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම වගේම විනිසුරුවරුන්ට අපහාස කිරීමත් අයිති වෙනවා. ඒ අනුව අල්ලස් කොමිසමට වගේම කොමිසමේ කොමසාරිස්වරුන්ට අපහාස කිරීමත් කොමිසමට කරන අපහාසයක් බවට පත්වෙනවා. නමුත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට සමාන තනතුරක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට පෞද්ගලිකව අපහාස කලාම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වෙන්නේ නෑ වගේම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට පෞද්ගලිකව අපහාස කලාම කොමිසමට අපහාසයක් වෙන්නේ නෑ. ඒ වගේම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරට ආවේ දූෂිත ක්‍රමයකට නම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ තනතුර දරන්නේ සුදුසුකම් නැතිව නම් ඒක හෙලි කිරීම කොමිසමේ ගෞරවය රැකීමක් මිස කොමිසමට කරන අපහාස කිරීමක් වන්නේ කොහොමද?

අධ්‍යක්ෂ ජනරාල්තුමා මට අනතුරු අඟවන්නේ මගේ ඉතිහාසය දන්නේ නැතිව. මම ජනපතිවරුන් හයදෙනෙකු සමග දූෂණයට එරෙහිව සටන් කරපු මිනිහෙක්. තමන්ගේම ආණ්ඩුවේ දූෂණ වලට එරෙහිව සටන් කරලා දෙපාරක්ම ඇමතිකම් නැති කර ගත්තු මිනිහෙක්. ඒ නිසා තර්ජනය කරලා මාව නිහඬ කරන්න බැරි බව එතුමා තේරුම් ගන්න ඕනි. දූෂණය සොයන්න තිබෙන කොමිසමේ ලොක්කා ඒ තනතුරට පත් වෙන්නේ දූෂිත ක්‍රමයකට නම් මේ රටේ දූෂණය මැඩලීම ගැන ජනතාව විශ්වාසය තබන්නේ කොහොමද? ඒ නිසා මාව හිරේ දැම්මත් ඔබතුමා ඔය තනතුර ගත්තු දූෂිත මෙහෙයුම ජනතාවට දැන ගන්න මට කළ හැකි කළ යුතු හැම දෙයක්ම මම කරනවා කියන එක රංග දිසානායක මහතාට මම සෘජුවම කියනවා. මේ කතාව මුල සිට අගට සාවධානව ඇහුව්වොත් ඔබතුමාට ආත්ම ගරුත්වයක් තිබෙනවා නම් ලැජ්ජා හිතිලා තනතුරෙන් අස් වේවි කියලා මම විශ්වාස කරනවා.

රංග දිසානායක මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරලා මාස අටකට පස්සේ අපි මේ ගැන කතා කරන්නේ ඇයි කියලා යමෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. අපට මෙතෙක් ඒ ගැන කතා කරන්න බැරි වුණේ ඔහුගේ පත්වීම අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා මූලික අයිතිවාසිකම් නඩු අංක 29/2025 යන නඩුව විභාග වෙමින් තිබුණා. අධිකරණයේ විභාග වන නඩුවක් ගැන ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම නීතියෙන් තහනම්. නමුත් පසුගිය සතියේ අබිරහස් ලෙස හදිසියේම පෙත්සම්කරුවන් මේ නඩුව ඉවත් කර ගත්තා. දැන් තමයි මේ ගැන කතා කරන්න අපට නිදහස තිබෙන්නේ. අද මම ඉදිරිපත් කරන්නේ ඒ නඩුවේ නඩු ගොනුව අධ්‍යනය කිරීමෙන් දැනගත් තොරතුරු පමණමයි.

අපරාධ නඩු පැවරීම අතිශයින්ම සූක්ෂම කටයුත්තක්. සැකයේ වාසිය විත්තියට ලැබෙන නිසා නඩු පැවරීමේ සුළු හෝ දෝෂයක් තිබුණොත් නඩුව විසි වෙන්න පුළුවන්. ලංකාවේ අපරාධ නඩුවක චුදිතයෙකු වැරදිකරු වීමේ සම්භාවිතාව 10% ට අඩුයි. ඒ නිසා දූෂණ විරෝධි පනතේ ඉංග්‍රිසි පිටපතේ තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපරාධ නඩු පැවරීම පිළිබඳ වසර 15 ක අත්දැකිම් තිබෙන නීතිඥවරයෙක් කියලා. ඇත්තෙන්ම අපරාධ නඩු පැවරීම පිළිබඳ අවබෝධයක් තිබෙන අය ප්‍රධාන වශයෙන්ම ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒක නිසා තමයි දිල්රුක්ෂි ඩයස් මහත්මිය සහ සරත් ජයමාන්න මහතා වැනි අය මේ තනතුර දැරුවේ.

අපි ඒ පනතේ තියෙන ඉංග්‍රීසි වගන්තිය කියවමු. 19(1)(c) be an Attorney at Law with at least fifteen years experience and sound knowledge in criminal prosecutions. නමුත් මේක සිංහලට පරිවර්තනය කරන විට අපරාධ නඩු පැවරීම කියන එක පරිවර්තනය කරලා තිබෙන්නේ “අපරාධ නඩු කටයුතු පිළිබඳ” කියලා. පරිවර්තන දෝෂයක් වුණත් සිංහල පිටපතේ තිබෙන එකනෙ බලාත්මක. ඒක නිසා නීතිමය ගැටළුවක් නෑ කියමුකෝ.

මේ පරිවර්තන දෝෂය ගැන කොමිසමවත් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම පනතේ නැති අමතර සුදුසුකමක් ඉල්ලන්න ව්‍යවස්ථාදායක සභාවට පුළුවන්නෙ. ඒ නිසා 2024 ඔක්තෝම්බර් 13 දා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම් කරන්න කියලා පාර්ලිමේන්තු වෙබ් අඩවියේත් පුවත්පත් වලත් දැන්වීමක් පල කරනවා. ඒකෙත් ඉල්ලන්නේ අපරාධ නඩු පැවරීම පිළිබඳ වසර 15 පලපුරුද්දක්. නමුත් රංග දිසානායක මහතා මේ තනතුරට අයදුම් කරනවා. නමුත් ඔහුට අපරාධ නඩු පැවරීම පිළිබඳ වසර 15ක් නොවේ, එක දවසකවත් පලපුරුද්දක් නෑ. තමන් අයදුම් කරන රැකියාවට ඉල්ලන මූලික සුදුසුකමක් නැතිනම් කවුරුවත් ඒකට අයදුම් කරන්නේ නෑ. මොකද ඒක ප්‍රතික්ෂේප වන බව දන්න නිසා. එහෙම නැතිනම් බඳවා ගන්න අය කියන්න ඕනි සුදුසුකම් නැතත් අයදුම් කරන්න, අපි ඒක බලා ගන්නම් කියලා. විශේෂයෙන්ම ඊට කලින් ඒ තනතුරේ හිටිය කනිෂ්ක විජේරත්න නඩුකාරතුමාට ඒ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදු වුණේ එතුමාට අවශ්‍ය සුදුසුකම් නෑ කියලා නඩුවක් පැවරුවාම ඒ නඩුව විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නිසා. එතුමාගේ තනතුර අභියෝගයට ලක් කළ නුසුදුසුකම් දෙකක්ම රංග දිසානායක මහතාට තිබෙනවා. එකක් තමයි අපරාධ නඩු පැවරීම පිළිබඳ අත්දැකීම් නැති එක. දෙවැනි එක නඩුකාර තනතුරෙන් ඉවත් නොවී අධ්‍යක්ෂ ජනරාල් තනතුර දරන්න බැරිවීම.

කනිෂ්ක විජේරත්න කියන තම සහෝදර මහාධිකරණ විනිසුරුතුමා නුසුදුස්සෙකු වුණු තනතුරට තමන්ට පත් වෙන්න පුළුවන් කියලා රංග දිසානායක මහතාට හිතෙන එකම පුදුමයක්නෙ. දැන් ඔන්න අපි කරුණු දෙකක් කිව්වා. දැන්වීමේ ඉල්ලන සුදුසුකම් නැතිව සිටිය දී තම සහෝදර විනිසුරු නුසුදුස්සෙකුව සිටිය දී රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම් කිරීමට තීරණය කිරීමම පුදුමයක්නෙ.

දෙවැනි පුදුමය තමයි රංග දිසානායක මහතාව සම්මුඛ පරීක්ෂණයට කැඳවන්න තීරණය කිරීම. සාමාන්‍යයෙන් අයදුම්පත් ලැබුණාම මුලින්ම කරන්නේ දැන්වීමේ තිබුණු සුදුසුකම් අයදුම්කරුට තිබෙනවා ද කියා බලන එක. සුදුසුකම් තිබෙන අයට පමණයි සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ. ඒ අනුව අයදුම් කළ 16 දෙනාගෙන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ 10 දෙනායි. දැන්වීමේ තිබුණු වසර 15 ක අපරාධ නඩු පැවරීමේ අත්දැකීම් රංග දිසානායක මහතාට නැති නිසා ඔහුගේ අයදුම්පත සම්මුඛ පරීක්ෂණයටත් කලින් ප්‍රතික්ෂේප වෙන්න ඕනි. නමුත් ඒක එහෙම නොවුණේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලැබිය යුත්තේ රංගටයි කියා කලින්ම තීරණය කර තිබුණා ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පුද්ගලයෙකුව ජනපතිට නිර්දේශ කරන්න ඕනි ව්‍යවස්ථාදායක සභාව. ඒකේ සාමාජිකයින් 10 දෙනාගෙන් හත්දෙනකුම මන්ත්‍රිවරුන්. මන්ත්‍රිවරුන් නොවන අය තුන්දෙනෙක්. ඒ නිසා අධ්‍යක්ෂ ජනරාල් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විධියට මන්ත්‍රිවරුන් නොවන තුන්දෙනා පත් කරනවා. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු 70% ක් දෙන්නත් ඉතිරි 30% සමස්ත ව්‍යවස්ථාදායක සභාවම ලබා දෙන්නත් තීරණය කරනවා.

මේ සම්මුඛ පරීක්ෂණයේ දී වැඩිම ලකුණු ගන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ මාධව තෙන්නකෝන් මහතා. ඔහු එක පැත්තකින් අවු 27 ක් නඩු පැවරීමේ අත්දැකීම් තිබෙන නීතිඥයෙක්. අනිත් පැත්තෙන් ෆීජි රටේ දූෂණ විරෝධි කොමිසමේ නීති කළමනාකරු ලෙසත් කටයුතු කරනවා. ඒ නිසා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තුන්දෙනාම වැඩිම ලකුණු දුන්නේ මාධව තෙන්නකෝන් මහතාට. දෙවැනියාට වැඩිම ලකුණු ගන්නේ මහාධිකරණ විනිසුරුවරයෙකු වන රංග දිසානායක මහතා.

දෙසැම්බර් 31 දා රැස්වුණු ව්‍යවස්ථාදායක සභාවට මේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ සෑම සාමාජිකයෙකුම ලබා දෙන 30% ලකුණු ලබා දෙන ආකාරයත් එදාම තීරණය කරනවා. ඒ අනුව ජනවාරි 3දා රැස්වෙලා ව්‍යවස්ථාදායක සභාවේ සෑම සාමාජිකයෙකුම 30% ලකුණු අයදුම්කරුවන්ට ලබා දෙනවා. මේ අතරේ එක සහ දෙක වුණු දෙදෙනාගෙන් වඩා හොඳ කවුදැයි කතා බහක් ඇති වෙනවා. මෙතැන දී මහචාර්ය දිනේෂා සමරරත්න දෙදෙනා ගැනම ගැටළු මතු කරනවා. මාධව තෙන්නකෝන් මහතා ෆීජි වල දූෂණ විරෝධි කොමිසමේ වැඩ කරන්නේ හමුදා ආණ්ඩුවක් යටතේ. ඒක නුසුදුසුකමක් කියලා මහචාර්යතුමිය කියනවා. මම නම් දකින්නේ ඒක නුසුදුසුකමකට වඩා සුදුසුකමක් විධියට. ඕනෑම රටක දූෂණ චෝදනා නගන්නේ ආණ්ඩුවේ නිලධාරින්ට. හමුදා ආණ්ඩුවක නිලධාරින්ට දූෂණ චෝදනා නගන්න කොන්දක් තිබෙන කෙනෙකු තමයි අපේ රටටත් ඕනෑ වෙන්නේ. එහෙම නැතිව බලයේ ඉන්න අයගේ දූෂණ නොසලකා හැරලා බලය නැතිවුණු අයගේ පස්සෙන් විතරක් යන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගෙන් රටට සුගතියක් වෙන්නේ නෑ.

වඩාත් බරපතල චෝදනාවට ලක් වෙන්නේ රංග දිසානායක මහතා. ඔහුව නිර්දේශ කරන්නේ උතුරුමැද ආණ්ඩුකාරතුමායි සබරගමුවේ ආණ්ඩුකාරතුමියයි. දේශපාලන පත්වීම්ලාභින් දෙන්නෙකු නිර්දේශ කිරීම මත රංග දිසානායකගේ ස්වාධීනත්වය ප්‍රශ්නගත බව මහචාර්යතුමිය පෙන්වා දෙනවා. ඒක ඉතාම වැදගත් තර්කයක්. ආණ්ඩුකාරවරුන් කියන්නේ ආණ්ඩුවේ ඉහලම තනතුරක්. ජනාධිපති කරන පත්වීම්. දිසානායක මහතාව නිර්දේශ කරන දෙන්නාම ආණ්ඩුවේ තනතුරු දරණ අය වුණාම ආණ්ඩුවේ දූෂණ හොයන වැඩේ ස්වාධීනව කරන්න පුළුවන් වේවි ද ඒ අය ගැන දූෂණ චෝදනා ආවොත් මොකද කරන්නේ කියන ප්‍රශ්නය තමයි මහචාර්යතුමිය මතු කලේ. අනිත් පැත්තට මාධව තෙන්නකෝන් මහතාව නිර්දේශ කරලා තිබෙන්නේ නීතිපතිතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්.

මේ වෙලාවේ රංග දිසානායක මහතා බේරා ගන්න ඉදිරියට පනින්නේ බිමල් රත්නායක ඇමතිතුමා. රංග දිසානායක මහතාව අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නිර්දේශ කරන විට ඒ අය ආණ්ඩුකාර තනතුරු වලට පත්වෙලා හිටියේ නෑ කියලා බිමල් ඇමතිතුමා ලොකු ටොම් පචයක් අත් හරිනවා. ඇත්තෙන්ම ඒක අතේ පත්තුවන බොරුවක් බව රංග දිසානායක මහතාගේ අයදුම්පත බැලුවත් පේනවා. මොකද අයදුම්පතේ ඒ දෙදෙනාව නම් කරලා තිබෙන්නේම ආණ්ඩුකාරවරුන් හැටියට. පත්වීම කරන්න කලින් නිර්දේශ කලා නම් ඒ අයව ආණ්ඩුකාරවරුන් ලෙස හඳුන්වන්නේ කොහොමද? රංග දිසානායක මහතාව කොහොම හරි අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කර ගන්න ආණ්ඩුවට උවමනාවක් තිබුණු බව ඔහු වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව නොමග යවන්න සභානායක වැනි ඉහළ තනතුරක් දරණ බිමල් ඇමතිතුමා කටයුතු කිරීමෙන් පේනවා.

කියන්නේ සභානායක නිසා බිමල් ඇමතිතුමාගේ කතාව මහචාර්ය දිනේෂා සමරරත්න මැතිණිය පිලිගන්නවා. මාධව තෙන්නකෝන් මහතා පිළිබඳ මතු කළ ගැටළුව විසඳුනේ නැති නිසාත් රංග දිසානායක මහතාගේ ගැටළුව විසඳුනු නිසාත් තමන්ගේ ලකුණු වගුවේ මාධවට වඩා රංගට ලකුණු ලැබෙන අයුරින් මහචාර්යතුමිය තමන් ලබා දුන් ලකුණු වෙනස් කරනවා. එහෙම වෙනස් කරලත් සියළුදෙනාගේම ලකුණු ගත්තාම රංගට වඩා මාධව ලැබූ ලකුණු ගණන වැඩියි. කලින් කතා කරගත් විධියට නම් ජනාධිපතිතුමාට මාධව තෙන්නකෝන් මහතාගේ නම නිර්දේශ කරලා වැඩේ අවසන් කරන්න ඕනි. ඒත් සභාවේ සාමාජිකයින් මාධව සහ රංග අතර බෙදී ගිහින් සිටි නිසා දෙදෙනාගේම නම් සහ එක් එක් අය ලැබූ ලකුණු ජනාධිපතිට දැනුම් දීමට තීරණය කරලා රැස්වීම අවසන් වෙනවා.

අගමැතිනියගේ මැදිහත්වීමෙන් නැවත ජනවාරි 7 ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනවා. සභාවේ එකඟතාවයක් ඇති කර ගන්න බැරි වුණු නිසා ඡන්දයක් විමසන්න තීරණය කරනවා. ඡන්දය ප්‍රකාශ වෙන්නේ රංගට 5යි මාධවට 4 යි ලෙසට. බිමල් ඇමතිතුමාගේ ටොම් පචය විශ්වාස කරපු මහචාර්ය දිනූෂා සමරරත්න මැතිනිය ඡන්දය දෙන්නේ රංගට. එදා ඇමති බිමල් ටොම් පචයක් සභාව මැද අත්හැරලා සභාව නොමග යැව්වේ නැතිනම් සමරරත්න මැතිනිය ඡන්දය දීලා තිබුණේ මාධවට. එහෙම නම් මාධව තෙන්නකෝන් මහතා 5:4 ක් ලෙස බෙදුනු ඡන්දයකින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වෙනවා.

මාලිමා නායකයින් කට ඇරියොත් කියන්නේ පච කියලා සමාජ මතයක් තිබෙනවානෙ. ඒ නිසා වෙන්නැති, බිමල් ඇමතිතුමා කිව්වේ ඇත්තදැයි සමරරත්න මැතිනිය එදා රෑම අන්තර්ජාලයේ පරික්ෂා කරනවා. එතුමිය දකින දෙයින් ඔළුව ගිනි ගන්නවා. ජනාධිපතිතුමා තනතුර භාර අරගෙන පැය 48 න් ආණ්ඩුකාරවරු පත් කරනවා. ඒ කියන්නේ ආණ්ඩුකාරවරු පත් කරන්නේ සැප්තැම්බර් 25 දා. පුරප්පාඩුව පිළිබඳ දැන්වීම දාන්නේ ඔක්තෝම්බර් 13 දා. ඒ කියන්නේ රංග දිසානායක මහතාව නිර්දේශ කරන විට මේ දෙන්නාම ආණ්ඩුකාරවරු විධියට විධායකයේ කොටස්කරුවන් විතරක් නොවෙයි, දේශපාලන පත්වීම්ලාභින්.

මේ වනවිට කතානායකතුමා හරහා ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය ජනාධිපතිතුමාට යවලා ඉවරයි. ඒ නිසාම සමරරත්න මැතිනිය එදා රෑම කතානායක හරහා ජනාධිපතිට ලිපියක් ලියනවා. ඒ ලිපියෙන් මේ සිදුවීම විස්තර කරලා තමන් රංග දිසානායක මහතාට ඡන්දය ප්‍රකාශ කලේ බිමල් ඇමතිතුමා තමන්ව නොමග යැවූ නිසා බවත් මේ ලිපියේ සඳහන් කරුණු සලකා බලන ලෙසත් ඒ ලිපියේ සඳහන් කර තිබුණා.

කතානායක විසින් ඒ ලිපිය ජනාධිපතිට යවන්න ඇතැයි අපි උපකල්පනය කරනවා. මේ ලිපිය ලැබුණු වහාම ජනාධිපති කළ යුතුව තිබුණේ මොකක්ද? මුලින්ම කළ යුතුව තිබුණේ බොරු කියලා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය බිඳ ගත් බිමල් රත්නායක ඇමතිවරයා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කිරීමයි. ඊ ලඟට කළ යුතුව තිබුණේ අසත්‍ය තොරතුරු මත ගත් තීන්දුව සංශෝධනය කිරීමට ව්‍යවස්ථාදායක සභාවට අවස්ථාවක් ලබා දීමයි. ඒ වෙනුවට ජනාධිපතිතුමා කලේ සද්ද නැතුව මේ ලිපිය නොසලකා රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරිමයි. වෙනත් වචන වලින් කිව්වොත් බොහොම අමාරුවෙන් අතට ගත්තු කේක් කෑල්ල නැවත මේස උඩ තබනවා වෙනුවට කටේ ඔබා ගැනීමයි.

රටේ ජනාධිපතිවරයෙකු ඉතිහාසයේ ප්‍රථම වතාවට පුන් පෝ දා සුදු පාට වෙනුවට මඩ පාට කමිසයක් ඇඳගෙන පන්සල් ගිහින් ඉන්නවා අපි ඊයේ දැක්කා. අපි පන්සලට සුදු අඳින්නේ ඇයි? ජරාව ගෑවුනොත් කැපිලා පේන නිසා නිසා සුදු අඳින අය හැම මොහොතේම හැම ඉරියව්වක් ගැනම ඉන්නේ අවධානයෙන්. කායගතා සතියෙන්. මඩ පාට අඳින්නේ මොන ජරාවක් ගෑවුනත් ප්‍රශ්නයක් නෑ කියලා හිතන අය. පන්සලට මඩ පාට කමිසයක් ඇඳලා ප්‍රදර්ශනය කලේ දූෂිත ගනුදෙනු ඉදිරියේ දූෂිත පත්වීම් ඉදිරියේ නිහඬවීමේ ප්‍රතිපත්තිය ද කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.

මේ කතාව බැලුවාම රංග දිසානායක මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වෙන්නේ මාරක පහක් පැනලා. පනින පළමු මාරකය වෙන්නේ පුරප්පාඩු දැන්වීමේ සඳහන් මූලික සුදුසුකම් නැතත් තමන්ගේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්නේ නෑ. පනින දෙවන මාරකය තමයි මාධව තෙන්නකෝන් මහතාට වැඩි ලකුණු ලබා සිටිය දී වැඩිම ලකුණු ලැබූ කෙනා වෙනුවට දෙන්නාගේම නම් නිර්දේශ කරන්න තීරණය කරනවා. පනින තුන්වන මාරකය තමයි බිමල් ඇමතිතුමා කියන බොරුවක් නිසා රංග දිසානායක මහතාට සභාවේ බහුතර කැමැත්ත ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. පනින හතරවන මාරකය තමයි දිනේෂා සමරරත්න මැතිනිය තමන්ව බිමල් ඇමතිතුමා විසින් රැවට්ටුවා කියා තේරුම් ගෙන ඒ ගැන ජනාධිපතිතුමාට දැනුම් දුන්නත් ජනාධිපතිතුමා එය නොසලකා හැරීම. පනින පස්වන මාරකය තමයි රංග දිසානායක මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරන නඩුව හදිසියේ අබිරහස් ලෙස ඉල්ලා අස්කර ගැනීම.

මේ කතාව අධ්‍යනය කලාම තාර්කික මනසක මතු වන ප්‍රශ්න ගොන්නක් තිබෙනවා.

තමන්ට මූලික සුදුසුකම් නැතිව රංග දිසානායක මහතා අයදුම්පතක් යොමු කලේ තමන්ව තමයි මේ තනතුරට තෝරා ගන්නේ කියා පූර්ව දැනුමක් තිබුණු නිසා ද?

කනිෂ්ක විජේරත්න කියන තම සහෝදර මහාධිකරණ විනිසුරුතුමා නුසුදුස්සෙකු වුණු තනතුරට තමන්ට පත් වෙන්න පුළුවන් කියලා රංග දිසානායක මහතාට හිතෙන පරිසරයක් නිර්මාණය කලේ කවුද?

රංග දිසානායක මහතාගේ නිර්දේශකරුවන් පිළිබඳ බොරු කියා ඔහුව රැක ගන්න බිමල් ඇමතිතුමාට තිබුණු වුවමනාව කුමක්ද? ඔහුව අධ්‍යක්ෂ ජනරාල් කිරීමේ පූර්ව එකඟතාවයක් තිබුණු නිසා ද?

මාධව තෙන්නකෝන් මහතා පළමු නිර්දේශය ලෙසත් රංග දිසානායක මහතා දෙවන නිර්දේශය ලෙසත් ජනපතිට යැවීමට තීරණය කර අවසන් වූ රැස්වීම අගමැතිතුමිය යලි කැඳවන්නේ මාධව තෙන්නකෝන් මහතා පළමු නිර්දේශය ලෙස යැවීම රංග දිසානායක මහතා පත් කිරීමට බාධාවක් වන නිසා ද?

තමන් රංග දිසානායක මහතාට ඡන්දය දුන්නේ නොමග යෑමෙන් බවට දිනේෂා සමරරත්න මැතිනිය ජනපතිට දැනුම් දුන්නත් ජනාධිපතිතුමා එය නොසලකා හැරියේ රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් කිරීමේ පූර්ව එකඟතාවයක් තිබුණු නිසා ද?

රංග දිසානායක මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරලා පැවරූ නඩුව හදිසියේ අබිරහස් ලෙස ඉවත් කර ගන්නේ ඇයි?

මේ ප්‍රශ්නවලට පිලිතුරු ලැබෙන තුරු අල්ලස් කොමිසම පිළිබඳ පලුදු වුණු මහජන විශ්වාසය යලි ගොඩ නගන්න බෑ කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

තමන් ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් මාධ්‍ය හමුවල කියන්නේ නැතිව ව්‍යවස්ථාදායක සභාවට පැමිණිලි කරන්න කියා රංග දිසානායක මහතා අපට උපදෙස් දෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නේ ටොම් පච අත්හැරලා හරි රංග දිසානායක රැක ගත යුතුයි යන ස්ථාවරයේ ඉන්නා සාමාජිකයින් නම් එතැනට පැමිණිලි කිරීම හොරාගේ අයියාගෙන් පේන අහනවා වාගේ කියලයි අපට පෙනෙන්නේ. වැටත් නියරත් ගොයම් කත් නම් කාට කියන්න ද ඒ අමාරුව කියන්නේ මෙන්න මේ වගේ වෙලාවටයි.